අශෝකා අබේවර්ධන
ධනය කුලය බලය ආරෝග්‍යය යොවුන් බව පෘථග්ජන ලෝකයෙහි ඉතා උසස් තලයක තබා වර්ණනා කරනු ලැබුවද විදසුන් නුවණින් විමසන්නා ඒවායෙහි ඇති අස්ථිර බව අසාර බව හරසුන් බව මැනවින් වටහා ගනී. ඒ සියල්ල පූර්වකෘත මහා කුසල් සම්භාරයකින් ලබන්නේ නමුදු එසේ ලබන්නේම අස්ථිරත්වය උරුමකොට ගෙනමය. ඒ සියල්ල සකස් වූ සංඛත ධර්මයන්ය. අසංඛත ධර්මයක් හැටියට පවතින්නේ නිවන් සුවය පමණි. ඉදින් දුක්බර වූ කඨෝර වූ සංසාර සාගරයෙන් එතෙර වීම තරම් මිහිරි සුවයක් තවත් තිබෙන්නේද!
පූර්වකෘත මහා කුසල් සම්භාරයක් ඇති කෙනකු පැහැපත්ව රූමත්ව ඉපදීම අරුමයක් නොවේ. පැහදුල් මෙත් සිතින් දානාදී දස කුසල් කරමින් බුදු සසුන නම් පිං කෙතෙහි වපුළ පිං බීජයන් හි මහඟු ඵල නෙළා ගැනීමකි. ඒ හේතුඵල දහම වේ. එහෙත් රූපයේ ආදීනව දකින නුවණැත්තෝ කොතරම් රූමත් වුවත් රූප මදයෙන් අගතියට නොපැමිණ ප්‍රඥාව උපදවාගෙන සුවසේම සසර කතරින් එගොඩ වන අවස්ථා බොහෝය. ක්‍ෂණයක් පාසා වෙනස් වන නිසා රුප්පනය වන නිසා රූපයට රූපය යන වහර බුදු පියාණන් වහන්සේ විසින් හඳුන්වා දී තිබේ. ඒ සසර සැරිසරන අප වැනි අසරණ සත්ත්වයන් වෙනුවෙනි.
උතුම් මනුෂ්‍යත්වය නම් තමනට ලැබුණු මිහිරි මධුර රසැති ආහාර බඳුනකි. එබඳු ආහාර බඳුනක් ලද තැනැත්තා යළි යළිත් ආහාර සම්පාදනය නොකර ගනිමින් ලද ආහාර අනුභව කිරීම පමණක් සිදුකළ හොත් සම්පත් නිමාවීම නම් විය හැකි කරුණකි. එසේම ක්‍ෂණ සම්පත් සහිතව උතුම් මිනිසත් බව ලද තැනැත්තා තව තවත් පිං කුසල් සිදු නොකළහොත් ලද මිනිසත් බව පිරිහී යෑමද සිදු විය හැකි කරුණකි.
රූපයෙහි ආදීනව නම් කවරේද? ඒ එක ලෙසම නොපවතින ක්‍ෂණයක් පාසා වෙනස් වෙන බව යන අනිත්‍යතාවයයි. ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්සාදී විපතට පත්ව දුක්ඛ ලක්‍ෂණය ප්‍රකට කරවන බැවින් වන දුක්ඛභාවයයි. තම තමන් කැමති ආකාරයට කිසිවක්ම සිය ආත්ම වසඟයෙහි පැවැත්විය නොහැකි බව අනාත්ම වේ යන ත්‍රිලක්‍ෂණ දහම වේ. (අනිත්‍ය, දුක්ඛ, අනාත්ම)
නිරන්තරයෙන්ම තිලකුණු දහම දැන මැනගත් ශ්‍රැතවත් ශ්‍රාවකයා තමන් ලද අස්ථිරවූ මිනිස් කය කොතරම් රූමත් වූවත් එහි වන ආදීනවයන් බහුල වන බව දකින්නට, විදසුන් නුවණ මෙහෙයවන්නට පොහොසත් වන්නේය. දක්‍ෂ වන්නේ ය. රූප මදයෙන් මත්ව අගතිගාමී නොවන්නේය. (රූප මදය, යොබ්බන මදය, ආරෝග්‍ය මදය) ජීවිත මදය ආදී කරුණු වලින් යම් කෙනෙක් මං වුවහොත් හේ මුළා වන්නේමය. එහෙත් නැණවතා කොතෙක් බලවත් වුවත් තම ගුණය එම හේතුවෙන් නසා නොගන්නේමය.
අපගේ ගෞතම නම් බුදු රදුන් සමයෙහි බොහෝ ධන සම්පත් ඇති “මේඝ” නම් සිටුවරයාගේ උසස් කුලයෙහි ඉතා අසිරිමත් රූ සම්පතින් සපිරි දියණියක් උපන්නාය. අසමාන වූ අනුපම වූ රූ සම්පත් ඇති හෙයින් ඇය “අනෝපමා” කුමරිය යයි නම ලද්දීය. ඒ නම ඇගේ අසිරිමත් අසමාන රූ සම්පත්තිය නිසාම ලැබූවකි.
ඇය දැඩි සෙනෙහස මධ්‍යයෙහි වැඩිවිය පැමිණි කල්හි බොහෝ සිටු පුත්තු හා මහ ඇමතිවරු “මට ඔබගේ අනෝපමා දියණිය පාවා දෙන්න. මම ඔබ හට මේ මේ දේවල් දෙන්නෙමි. දියණියගේ බර කිරීමෙන් ඒ යම් ප්‍රමාණයක් වේද එයින් අටගුණයක රන් හා මුතු මැණික් දෙන්නෙමු යි” එකිනෙක්කෙනා පියා වෙත දූතයන් එවූහ.
එම තුරුණු කුමාරවරුන්ගේ තරගකාරී අදහස් අසා දැන මහත් සේ කම්පාවට පත් ව උපනිශ්‍රය කුසල් සම්පත් ඇති බැවින් ගිනි ගෙයක් වූ ගිහි හෙයින් ඵලක් නැතැයි ගිහි භාවයෙහි බොහෝ සෙයින් උකටලී වූවාය. නිතර නිතර බුදුන් වහන්සේ වෙත ගොස් දහම් අසා නුවණ මුහුකුරා ගිය හෙයින් නිර්මල වූ දේශනාව අනුව විදසුන් වඩා එහිලා උනන්දු වෙමින් ආර්ය වූ මග පිළිවෙතෙහි තෙවැනි ඵලයෙහි එනම් අනාගාමී ඵලයෙහි පිහිටියා ය.
අනාගාමී ඵලයට පත් ආර්ය උතුමකු සිත තුළ සත්ත්වයා සසරට බැඳ තබන දස සංයෝජන ධර්මයන්ගෙන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග, පටිඝ යන ඕරම්භාගීය කෙලෙස් ධර්මයන් පස නැවත නූපදනා ලෙසම සපුරාම සිඳී යේය. ඒ උතුම් සිත කෙදිනකවත් කෙලෙසකවත් එම කෙලෙස් ධර්මයන් යළි උපදවා නොගනී. කාමයෝගී ගිහි ජීවිතය කෙරෙහි ඇති ඇලීම බැඳීම සම්පූර්ණයෙන්ම සිඳී යේ.
අනාගාමී උතුමන් වහන්සේ නමකට එම ජීවිතයේදීම උතුම් දහම් මග වඩා අරහත්වයට පත්ව සසර ගමන කෙළවර කොට පිරිනිවන් පා වදාරන්නට පුණ්‍ය මහිමය තිබේ. නොඑසේව එම ඵලයෙන්ම අපවත් වුවහොත් උන්වහන්සේ යළි කාම සුගතියකට වත් ආපසු හැරී නොඑන්නාහ. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී අකනිට්ඨකා යන පංච සුද්ධාවාසයක පහළව එහිදී සියලු කෙලෙසුන් නසා පිරිනිවන් පානු ලබන්නාහ. ශ්‍රද්ධාවාස යනු ශුද්ධාවන්තයින්ගේ වාස භූමියයි.
අනාගාමී ඵලයට පත් අනෝපමා නම් පුණ්‍යවන්ත අභිරූපී සිටු කුමාරිය ගිහිභාවයෙහි ඇල්ම දුරු කළ බැවින් මහා කාරුණික බුදුපියාණන් වහන්සේගෙන් උතුම් පැවිද්ද ආයාචනා කළාය. පසුව බුදුන් වහන්සේගේ අණ පරිදි භික්ෂුණී ආරාමයකට ගොස් පැවිදි වී නොපමාව විදසුන් වඩා පැවිද්දෙන් සත්වන දිනම සියලු කෙලෙසුන් නසා අරහත්භාවයට පත්ව තමාගේ ජීවිත පිළිවෙත විමසා උදාන වශයෙන් මෙසේ ප්‍රකාශ කළාය.
බොහෝ ධන සම්පත් ඇති උසස් කුලයක මම උපත ලදිමි. වර්ණයෙන් හා රූපයෙන් සමන්විත වූ මම මේඝ සිටුවරයාගේ දියණිය වීමි.
රජ කුමරුවෝ මා ප්‍රාර්ථනා කළහ. සිටු කුමරුවෝ මා බලාපොරොත්තු වූහ. ඔවුහු අනෝපමා මට දෙවැයි පියාට පණිවිඩ එවූහ. ඔබේ දියණියගේ බර කිරීමෙන් යම් ප්‍රමාණයක් වේද එයින් අට ගුණයක රන් හා මුතු මැණික් දෙන්නෙමු.
ඒ මම ලෝක නායක වූ අනුත්තර වූ සම්බුදුන් දැක උන්වහන්සේගේ දෙපා වැඳ එකත් පසෙක හුන්නෙමි. ඒ ගෞතමයන් වහන්සේ මට අනුකම්පාවෙන් ධර්මය දේශනා කළ සේක. ඒ ධර්මයට සවන් දුන් මම ඒ අසුනෙහිදීම තුන්වන පලය ලබා ගතිමි. ඉක්බිති මම කෙස් බහා අනගාරික ශාසනයෙහි පැවිදි වීමි. තෘෂ්ණාව වියළවීමෙන් පසු අද සත්වන රාත්‍රියයි.
ධනය කුලය බලය ආරෝග්‍යය යොවුන් බව පෘථග්ජන ලෝකයෙහි ඉතා උසස් තලයක තබා වර්ණනා කරනු ලැබුවද විදසුන් නුවණින් විමසන්නා ඒවායෙහි ඇති අස්ථිර බව අසාර බව හරසුන් බව මැනවින් වටහා ගනී. ඒ සියල්ල පූර්වකෘත මහා කුසල් සම්භාරයකින් ලබන්නේ නමුදු එසේ ලබන්නේම අස්ථිරත්වය උරුමකොට ගෙනමය. ඒ සියල්ල සකස් වූ සංඛත ධර්මයන්ය. අසංඛත ධර්මයක් හැටියට පවතින්නේ නිවන් සුවය පමණි. ඉදින් දුක්බර වූ කඨෝර වූ සංසාර සාගරයෙන් එතෙර වීම තරම් මිහිරි සුවයක් තවත් තිබෙන්නේද, ඒ සඳහා මග කියා දෙන්නේ ද නව ලොව්තුරා දහම බව විශ්වාස කරමු. අචල ශ්‍රද්ධා සම්පත්තියක් ඇතිව ඉදිරි ගමන් මග සුව සේ යන්නට අධිෂ්ඨාන කර එහි සිත පිහිටුවා ගනිමු.
ස්ත්‍රීත්වයේ පළිබෝධ බොහෝ වුවත් බුද්ධාවවාදයට අනුව විදසුන් වඩා සසර කෙළවර කොටගත් ප්‍රවන්ත පින්බර කාන්තාවන් බොහෝය. අවසන් අත්බවෙහිදීත් රජ සිටු කුමරියක වුවත් සැඩොලියක වුවත් දාසියක වුවත් අභිසාරිකාවක වුවත් මග ඵල ලබා සසර ගමන අවසන් කරන්නේ දිනෙක දෙකෙක පරිශ්‍රමයකින් උත්සාහයකින් වීරියකින් නොවේ.
අනවරාග්‍ර වූ සසර පුරා පුරාලූ පාරමී දම් සපිරී තිබීම ඊට හේතු පාදක වේ. එහෙයින් ස්ත්‍රීන් වූ අප ද පෙර සසර දොස් පසෙක දමා අද අද පටන්ම ඒ අමා සුවය මේ බුදු සසුනෙහිදීම අත්විඳින්නට උත්සහ දරමු.
සැමට තෙරුවන් සරණයි!

