මාතෘදාස ලියනගේ
දුල්ලභඤ්ච මනුස්සත්ථං – බුද්ධූත්පාදොච දුල්ලභො
දුල්ලභා ඛණ සම්පත්ති – සද්ධම්මො පරම දුල්ලභො
මනුෂ්‍ය ආත්මයක් ලබාගැනීම දුර්ලභයි (අමාරුයි). බුදුරජාණන් වහන්සේ නමක් මෙලොව ඉපදීම දුර්ලභයි. ක්‍ෂණ සම්පත්තිය (බුද්ධෝත්පාදය හා මනුෂ්‍ය ආත්මය යන දෙදෙනාගේ එක්වීමට ලැබීම) ඉතාමත් දුර්ලභයි. සද්ධර්මය අසන්න ලැබීමත් ඉතාමත් දුර්ලභයි.
ඉහත සඳහන් කළ අන්දමේ දුර්ලභ (අපහසු) මනුෂ්‍ය ආත්මයක් ලබා සිටින අප 2600 බුද්ධ ජයන්තියේ සිටවත් පිළිවෙතින් පෙළගැසීමට නම් බුදු දහමේ මූලික ඉගැන්වීම් ගැන දැනගත යුතුය.
සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං – ඒතං බුද්ධාන සාසනං
සියලු ආකාරයේ පව් නොකිරීම, කුසල්හි පිහිටීම (කුසල් කිරීම), තම සිත දමනය කර ගැනීම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි.
බුද්ධවග්ගයේ 5 ගාථාව
බුදුරජාණන් වහන්සේලාගේ මෙම ධර්මානුශාසනාවන් පිළිපැදිය හැක්කේ, කුසල් කරගත හැක්කේ ප්‍රධාන වශයෙන් බෞද්ධයන්ටය. මනුෂ්‍යයන්ටය. මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීම ඉතාමත් අපහසු බව දේශනා කර තිබේ. කණ කැස්බා විය සිදුරෙන් ලොව බැලීම මෙන් අමාරුය. ඒ බව මෙසේ කියැවේ.
දිගු පුළුලින් සක්වළ වන් සිඳු කුස
සිය වසකින් උඩ එන කැස්බා හිස
විය සිදුරෙන් නැඟෙතත් දුගතිය බැස
තව උපදින්නට බැරි මෙ මිනිස් කුස
ලෝවැඩ සඟරාව 18 කවිය
පස් පව්
මනුෂ්‍ය ආත්මයක් ලබා ගත්තත් පිටසක්වළ උපන්නොත් පව් කර අඳ, ගොළු, බිහිරි ආදී අංගවිකලව උපන්නත්, දුෂ්ටකයන්ටත් කුසල් කරගත නොහැකි නිසා ස්වර්ග මොක් (නිවන්) සැප ලබා ගන්න නොහැකිය.
ඉහත සඳහන් කළ අන්දමේ මනුෂ්‍ය ආත්මයක් නොලබා සම්‍යක්දෘෂ්ටිකයන්ව ඉපදී සිටින අප 2600 සම්බුද්ධ ජයන්තියේ සිටවත්
පස් පව් කොට මෙතැනත් ලැබ සෝකය
ගොස් නිරයේ දුක් විඳිති අනේකය
රැස්කොට ඉන් පින් මෙ මිනිස් ලෝකය
සිස් නොකරව් කලකින් ලත් මේ කය
ලෝවැඩ සඟරාව – 20 කව
පස් පව්වලින් වැළැකී කුසල් රැස් කරගෙන නිවන් අවබෝධ කර ගැනීමට කටයුතු කළ යුතුය. පස් පව් දශ අකුසල්වලින් වැළැකී කුසල් කළ හැක්කේ ලජ්ජා බය (පව් කිරීමට ලජ්ජා බය) ඇති අයට පමණය.
හිරි ඔත්තප්ප සම්පන්නා – සුක්ක ධම්ම සමායුතා
සන්තො සප්පුරිසා ලොකෙ – දෙව ධම්මොති උච්චරේ
මෙලොව යමෙක් පව් කිරීමට බියෙන් හා ලජ්ජාවෙන් අකුසල් නොකළ යුතුය. සෙසු වැරදිත් මොනවාදැයි දැනගෙන වාසය කරයි ද හැම කල්හිම කුසල් කිරීමෙහි යෙදී වාසය කරයි ද උතුම් සත්පුරුෂ ගුණ ධර්ම ඇති අය වෙත් ද එබඳු සත්පුරුෂයන්ගේ පැවැත්ම මේ ලෝකයෙහි දේව ධර්මයයි.
ජාතක පොතේ දේව ධර්ම ජාතකය ඇසුරෙන්
ලජ්ජා බිය ඇති මනුෂ්‍යයෝ පව් කිරීමට ලජ්ජා හා බිය වෙති. නරක දේ පව්ය. නරක දේ කිරීම පව් කිරීමයි. ප්‍රතිපත්ති පිරීමට සැරසෙන අය මුලින්ම පස් පව්වලින් වැළැකී පන්සිල් රැකිය යුතුය. පස් පව්
- පාණාතිපාතා – සතුන් මැරීම
- අදින්නාදානා – නුදුන් දේ ගැනීම (හොරකම)
- කාමේසු මිච්ඡාචාරා – කාමයන්හි වරදවා හැසිරීම
- මුසාවාදා – බොරු කීම
- සුරාමේරය මජ්ඣ පමාදට්ඨානා – මදයට හා ප්‍රමාදයට හේතුවන සුරාපානය
උපාසකයෙක් වන්නේ කෙසේද?
සිල්වත් උපාසකයෙක් (බෞද්ධයෙක්) වෙන්න නම් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ සරණ ගිය ඉහත සඳහන් පස් පව් නොකරන තැනැත්තෙක් විය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
දිනක් මහානාම ශාක්‍ය රජ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ “කිත්තානු ඛො භන්තෙ උපාසකො හොති’ කොපමණකින් (කුමක් කිරීම නිසා) උපාසකයෙක් වන්නේදැයි විමසීය.
යතො ඛො මහානාම බුද්ධං සරණ ගතො හොති
ධම්මං සරණං ගතො හොති සංඝං සරණං ගතො හොති
එත්තාවතා ඛො මහානාම උපාසකො හොති
මහානාමය යමෙක් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ සරණ ගියේ වේද, මහානාමයෙනි එපමණකින් ඔහු උපාසකයෙක් වන්නේය. නැවතත් මහානාම ශාක්‍ය රජ මෙසේ ඇසීය.
“කිත්තානු ඛො භන්තෙ උපාසකො සිල්වන්තො හොති” යතො ඛො මහානාම උපාසකො පාණාතිපාතා පටිවිරතො හොති අදින්නාදානා පටිවිරතො හොති, කාමේසු මිච්ඡාචාර පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමේරය මජ්ඣපමා දට්ඨානා පටිවිරතො හොති එත්තාවතා ඛො මහානාම උපාසකොසි සම්පන්නො හොති
අ. නිකාය මහානාම සූත්‍රය
සං නිකාය 5 කාණ්ඩයේ මහානාම සූත්‍රය
ස්වාමීනි බුදුරජාණන් වහන්ස උපාසකයා (බෞද්ධයා) සිල්වතෙක් වන්නේ කෙසේද? උපාසකයා ප්‍රාණඝාතයෙන් වැළැකුණු අයෙක් වෙයි. හොරකමින් වැළැකුණු අයෙක් වෙයි. කාමයෙහි වරදවා නොහැසිරෙන අයෙක් වෙයි. බොරු නොකියන අයෙක් වෙයි. පමාවීමට හේතුවන සුරාපානයෙන් වැළැකුණු අයෙක් වෙයි. එම අංගයන්ගෙන් වැළැකුණු කෙනා උපාසකයෙක් වෙයි.
පස් පව් නොකරන අන්‍ය ආගමිකයන්ගෙත් බෞද්ධයන්ගෙත් වෙනස කුමක්ද? ඉහත සඳහන් කරන ලද අන්දමින් බෞද්ධයා තිසරණ සමාදන්ව උපාසකයෙක් වී පන්සිල් රැකීමෙන් සිල්වත් උපාසකයෙක් වෙයි. අන්‍ය ආගමිකයෝ ත්‍රිවිධ රත්නයේ සරණ යෑම නොකරන නිසා එම අය සිල්වත් බෞද්ධ අය නොවෙති.
බෞද්ධයා “පාණාතිපාතා වේරමණි සික්ඛා පදං සමාදියාමි…’ ආදී වශයෙන් සිල් පද පහක් සමාදන් වෙයි. ත්‍රිවිධ රත්නයේ සරණ ගොස් පන්සිල් ආරක්‍ෂා කරයි. කුසල් කරයි.
කෙනෙක් ත්‍රිවිධ රත්නයේ සරණ යෑමට පෙර ත්‍රිවිධ රත්නයේ ගුණ දැනගත යුතු අයෙක් වෙයි. මුලින් බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගත යුතුය.