පූජ්‍ය මාපලගම සිරි සෝමිස්සර නාහිමි
වස්සාන සමයෙහි එළැඹෙන පෝය දිනයන් අතුරෙන් බිනර පෝය ද ශාසනික අංශයෙන් හා සාහිත්‍යය අතින් ද වැදගත් පෝය දිනයකි. අවුරුද්දේ එළැඹෙන වැසි සාරමාසය අමුතු ශාන්ත ස්වරූපයක් උසුලන සමයක් වශයෙන් ප්‍රකටය. භික්ෂූන් වහන්සේලා බුද්ධ නියමය අනුව විහාරාරාමයන්හි නිබඳව වැඩ වෙසෙමින් බණ භාවනා කර්මයන්හි යෙදෙමින් ස්වකීය ශාසන පරමාර්ථයන් ඉටු කර ගන්නා කාල පරිච්ඡේදයක් බව බෞද්ධ සාහිත්‍යය දෙස විමසන විට මැනැවින් පැහැදිලි වෙයි.
බුදුරජාණන් වහන්සේ වෙතින් අවවාද අනුශාසනා ලබාගෙන තම තමන්ගේ චරිතයනට සරිලන කර්මස්ථානයන් ඉල්වාගෙන විවේකී ප්‍රදේශයන් සොයා වැඩමකොට සුදුසු ස්ථානයන්හි වස්වසා භාවනා කර්මයන්හි යෙදී මාර්ග ඵලාවබෝධය ලබාගෙන පෙරවස් පවාරණය කොට බුදුරදුන් වෙත පෙරළා වැඩම කොට ස්වකීය ශාසන පරමාර්ථයන් ඉටු කරගත් අයුරු ප්‍රකාශ කොට උදන් ඇනූ භික්ෂූන් වහන්සේලා පිළිබඳ විස්තර සිය දහස් ගණනින් සොයා ගන්නට පිළිවන. විශේෂයෙන් වෙන කාලවලටත් වඩා විශේෂ වගකීමකින් යුතුව උත්සාහයෙන් මහණදම් පුරන, තමන්ට සිවුපසයෙන් උපස්ථාන කරන සැදැහැබර දායකයනට ද ශ්‍රද්ධාදී ගුණධර්ම වර්ධනයට හා මාර්ගඵලාවබෝධයට හේතුවන දැහැමි අනුශාසනා කරන කාලයෙකි වස් සමය. හැම වෙහෙර විහාරස්ථානයකම දිනපතා ම වාගේ නොයෙක් බණ පින්කම්වලින් හා වෙනත් සසුන් වැඩවලින් පිරී ගිය හැම බොදු සිතක්ම ආගමික හැඟීම්වලින් පිබිදී ගිය සොම්නස් සුවය දනවන කාලයෙකි.
එසේ ම සරත් කාලයේ ආරම්භය ද බිනර පසළොස්වක් පෝයෙහි සිට එළැඹෙයි. සරත් කාලය හැම කවියකු විසින්ම වර්ණනා කරන ලද කවි සිත පුබුදු කරවන ලද ස්වාභාවික සෞන්දර්ය රසයෙන් අවට පරිසරය පවා ආලෝකවත් වී ගිය සමයෙකි. සරත් ඍතුවේ දක්නට ලැබෙන ස්වාභාවික දර්ශනයන් කවියන් කවි ඇසින් බලා නොයෙක් විසිතුරු ලෙස වර්ණනා කර ඇති අයුරු ගද්‍ය පද්‍ය සාහිත්‍ය කෘතිවලින් පැහැදිලි වෙයි. මේ නයින් සලකා බලන කල්හි බිනර මාසය ශාසනික වශයෙන් ද සාහිත්‍ය අගය වශයෙන් ද සංස්කෘතික වශයෙන් ද වැදගත්කමකින් යුත් මාසයක් බව කිව හැකිය.

