අධිකරණ සමථ

rashi
By rashi
7 Min Read

මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර

බෞද්ධ විනය සම්ප්‍රදායෙහි භික්ෂුන් වහන්සේලා අතර උද්ගත වන විවිධ අර්බුද සමථයට පත් කිරීම පිණිස විධිමත් හා ප්‍රබල ක්‍රියාපටිපාටියක් ඇති බව බොහෝ නූතන විචාරකයන්ගේ ඇගැයුමට ලක් වූවකි. විශේෂයෙන්ම බෞද්ධ අධිකරණ සම්ප්‍රදායෙහි ඇති ප්‍රජාතාන්ත්‍රික හා මානව හිතවාදී ලක්ෂණ නවීනතම ප්‍රබුද්ධ ආකල්පයන් හා සැසඳෙන බවත් ඇතැම් ලක්ෂණ සමකාලීන චින්තනයටත් වඩා ප්‍රබුද්ධ ලක්ෂණ විද්‍යාමාන කරන බවත් පිළිගෙන තිබේ.

අධිකරණ යන්නෙන් බෞද්ධ විනය සම්ප්‍රදායෙහි අදහස වන්නේ ආපත්ති, අනුවාද, විවාද හා කිච්ඡ යනුවෙන් හැඳින්වෙන අර්බුද සිවු වර්ගයකි. විනය ශික්ෂාපද උල්ලංඝනය කළ විට ඇතිවන්නේ ආපත්තාධිකරණයකි. බුදු දහම පිළිබඳ සාවද්‍ය සංකල්ප හා මත ඉදිරිපත් කළ විට ඇතිවන්නේ විවාද අධිකරණයකි. කිසියම් භික්ෂුවකට හෝ භික්ෂු පිරිසකට චෝදනාවක් එල්ල කළ විට මතුවන්නේ අනුවාදාධිකරණයකි. කිච්ඡාධිකරණ නම් පවත්වන ලද විනය කර්‍මයක ව්‍යවස්ථාමය ශිල්පීය නිරවiතාව පිළිබඳ ගැටලුවක් මතුවීමකි. මෙබඳු තත්ත්වයක් ඇති වූ විට එය නිරාකරණය කරගැනීමට විධිමත් පිළිවෙළක් බෞද්ධ විනය සම්ප්‍රදායෙහි එයි.

අධිකරණයෙන් සමථයට පත්කර ගැනීමට හෙවත් විසඳා ගැනීමට ක්‍රියාමාර්ග ගන්නා විට එහි විධිමත් බව, නිවැරදි බව හා සාධාරණ බව රැකගැනීම පිණිස යොදා ඇති ශිල්පක්‍රම හතක් සප්ත අධිකරණ සමථ නමින් හැඳින්වේ. ඒවා නම්,

  1. සම්මුඛා විනය
  2. සති විනය
  3. අමුල්හ විනය
  4. පටිඤ්ඤාත කරණ
  5. යෙභුයිය්‍යසිකා
  6. තස්සපාපිය්‍යසිකා
  7. තිණ වන්‍ථාරකා

සංඝයා අතර ඇතිවන ගැටුම්, නොසන්සුන්කම්, විනය විරෝධී පැවතුම් ආදිය විනිශ්චය කොට දඬුවම් දීමෙන් හෝ සන්සුන් කිරීමෙන්, සමාව දීමෙන් විසඳා ගැනීමේදී මෙම ක්‍රම හත උපයෝගී කර ගනු ලැබේ. මේවා කෙතරම් වැදගත් ද යත් ශික්‍ෂා පද 220 උද්දේස කරන විට (සංඝයා වහන්සේලා පෝය දිනවල පවත්වන උපෝසථ නම් වූ රැස්වීමේදී විනය නීති කියැවීම) ශික්‍ෂාපද සමග මේ හත ද උද්දේස කරනු ලැබේ.

සම්මුඛාවිනය නමින් හැඳින්වෙන්නේ සියලුම අධිකරණමය කාර්යවලදී අනිවාර්යයෙන් අනුගමනය කළ යුතු කරුණකි. එනම් විත්තිකරු අධිකරණය හමුවට පමුණුවා ඔහු පිළිබඳ චෝදනාව විභාග කළ යුතු බවයි. විත්තිකරු නැති තැන නඩු විභාග කර දඬුවම් පැමිණවීම මූලික මානව අයිතියක් අහිමි කිරීම බව වර්තමාන ලෝකයේ පිළිගැනීමකි. බුදුරජාණන් වහන්සේ අවධාරණයෙන් පවසා ඇත්තේ විත්තිකරුට නොදන්වා ඔහුට හොරෙන් නඩු විභාග නොකළ යුතු බවය. එසේ කළහොත් කළවුන්ට ඇවැත් සිදුවන බවද දැක්වෙයි.

සති විනය යන්නෙන් චුදිතයකු විෂයෙහි ක්‍රියාත්මක වන්නට පෙර ඔහුගේ නිවැරදි බව තහවුරු කිරීම පිණිස ඔහුගේ මතකය පරීක්ෂා කරන ක්‍රමයකි. මෙහිදී විත්තිකරුට තමා එබඳු වරදක් කර ඇත්දැයි මතක් කර පැවසීමට ඉඩ සැලසෙයි. මෙම ක්‍රමයෙහි භාවිතය සඳහා යම් යම් සීමා තිබේ. සිහි නුවණ සහිත ප්‍රාමාණික චුදිතයකු තමන් එබඳු වරදක් කර නැතැයි තහවුරු කර පැවසූ විට එපමණකින්ම සමාව දීම බරපතළ වගකීමකින් කළ යුත්තකි. එහෙයින් මෙසේ තම මතකය මත නිවරැදිකරු බව පවසා සමාව ලැබීමේ ක්‍රමය රහතන් වහන්සේලාට පමණක් සීමා කර භාවිත කළ යුතු බව විනය අටුවාවේ දක්වා ඇත. බුද්ධ කාලීනව දබ්බමල්ල පුත්ත රහතන් වහන්සේට ලබාදුන් සහනය මෙම ක්‍රමයට නිදසුනකි. මෙත්තියා භික්ෂුණිය උන්වහන්සේට කළ පාරාජිකා චෝදනාවෙන් උන්වහන්සේ පිරිසිදු කර නිදහස් කරන ලදී.

අමුල්හ, විනය බෞද්ධ අධිකරණ සමථ අතර තවත් මානව දයාව හා මූලික මානව අයිතීන් සැලකිල්ලට ගනිමින් යෙදූ විශේෂ සමථ ක්‍රමයකි. එය විත්තිකරු වරද සිදු වූ අවධියේ පසු වූ මානසික සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනියි. කිසියම් වරදක් සිදු වූ අවධියේ චූදිත භික්ෂුව මානසික රෝගියකු වශයෙන් (උමතුවෙන්) විසී නම් ඔහුට සමාව දිය යුතු බව මෙයින් කියැවේ. වරදකරු ඇති නමුත් චේතනාමය තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහු වගකීමෙන් නිදහස් කෙරේ. ගග්ග නම් භික්ෂුන් වහන්සේට මේ සහනය දී ඇත. කෙසේ වුවද මෙය සාවද්‍ය හා අයුතු ලෙස භාවිත කොට සමාව ලැබීමට ගන්නා ප්‍රයත්න නිෂ්ඵල කළ යුතු බවද විනය සම්ප්‍රදායෙහි කියැවේ.

පටිඤ්ඤත කරණය, තරමක් විවාදයට භාවිත වූ අධිකරණ සමථයකි. වරදකරු තම වරද ප්‍රතිජානනය කරන තත්ත්වයට පත් කිරීම මෙයින් අපේක්ෂා කෙරේ. මෙහි එක් භාවිතයක් වූ මෙත්තියා, දබ්බමල්ල පුත්ත සිද්ධියේදී මෙත්තියා භික්ෂුණිය රහත් නමකට කළ බොරු චෝදනාවෙන් රහත් නම උන්වහන්සේ ගේ ප්‍රතිඥාව මත නිදහස් වූ අතර මෙත්තියාගේ ප්‍රතිඥාව වූ තමා රහතන් වහන්සේ සමග ලිංගිකව හැසුරුණු බව පිළිබඳ ප්‍රකාශය ඇයගේ ප්‍රතිජානනය හෙයින් ඒ මත ඇයට දඬුවම් පමුණුවන ලදී. මෙය විත්තියේ අයිතිය රකින අතරම බොරු චෝදනා ඉදිරිපත් කරන්නේ අධෛර්ය කරන්නට ද හේතු වෙයි. කෙසේ වුවද මෙහිදී ‘පටිඤ්ඤ’ යන්න තේරුම් කිරීමෙහි ලා අභයගිරි – මහා විහාර දෙපිල අතර මතභේදයක් ද විය. ඒ පිළිබඳ සාකච්ඡාවක් මෙහි දී කිරීමට අපේක්ෂා නොකෙරෙයි.

යෙභුයියාසිකා, යන්න තරමක් දුෂ්කර අර්බුදයකදී උපායශීලිව එය විසඳා ගැනීමේ ක්‍රමයකි. විශාල පිරිස් හා සංකීර්ණ වූ ගැටලුවකදී වුවමනාවට වඩා ප්‍රශ්න අවුල් කරනොගෙන කමිටුවක් පත් කර කමිටුවේ ඡන්දය අනුව තීරණයකට එළැඹීම සිදුකෙරේ. මෙහිදී හුදෙක් වැඩි ඡන්දයම නොව ධර්‍මවාදීන්ගේ වැඩි ඡන්දය සැලකිල්ලට ගන්නා බව දක්වා ඇත. ඡන්දය විමසන්නේ ශුල්හක (රහස් ඡන්ද පත්‍රිකා භාවිතය), සකණ්ණජප්පක (කනට කොඳුරා කීම) හෝ විවටක (විවෘත ඡන්දය) යන ක්‍රමවලින් එකකිනි.

තස්සපාපියාසිකා, යන්න සංඝයාගේ විනිශ්චය ක්‍රියාවලියට නිග්‍රහ කරමින් අධිකරණයට බාධා පමුණුවන චුදිතයන් දමනය කරනු පිණිසය. එවිට කළ යුත්තේ ඔහු වරදකරු කරනු ලැබීමය. මෙහිදී විශේෂයෙන් වැදගත් වන්නේ ඔහුට පසුව මා නිදොස් යැයි කියා ඉදිරිපත් වන්නට බැරිවන පරිදි තහවුරු කළ දඬුවමක් දීමය. සංඝයාට ද තම තීන්දුව පසුව වෙනස් කළ නොහැකි බව විමති විනෝදනියේ දැක්වෙයි. අධිකරණයේ ගෞරවය හා අධිකාරී තත්ත්වය රැකීමට යෙදූ ප්‍රබල ශිල්ප ක්‍රමයක් ලෙස මෙය හැඳින්විය හැක.

තිණවත්‍ථාරකා යනු, නඩුවක් ඉවත දැමීමට සමාන වගකීමකින් යුතුව ක්‍රියාත්මක කරන විශේෂ විධිවිධානයකි. යම්කිසි අවස්ථාවක නීතිය ක්‍රියාත්මක කර දඬුවම් පමුණුවන්නට යෑමෙන් සංඝයාගේ සමඟිය හා ශක්තිය දුර්වල වී අර්බුද වැඩිවිය හැකි නම් එමෙන්ම අර්බුදය විශාල පිරිසක් සමග බැඳුණු සංකීර්ණ එකක් නම් එය විභාග නොකර සමථයකට එළැඹීම යෝග්‍ය බව තීරණය කරනු ලැබේ. තිණවත්‍ථාරකා යන්නේ අරුත තණකොළවලින් වසා දැමීම යනුයි. යම්කිසි අසූචී වැනි දෙයක් අවුස්සා දැමීම වෙනුවට තණකොළවලින් වසා දැමීම වැනි දෙයක් මෙයින් කෙරෙන නිසා මෙසේ දක්වා ඇත. එහෙත් පාරාජිකා වැනි බරපතළ චෝදනා හෝ ගිහියන් සමග පටලැවුණු චෝදනා විෂයෙහි මෙම ක්‍රියාත්මක කිරීම තහනම්ය. ඒවා සරල අධිකරණ නොවන බරපතළ චෝදනා නිසා ය.

බෞද්ධ අධිකරණ ක්‍රමය චූදිතයකු දෙස මහා කාරුණික, දයාන්විත ආකල්පයක් ඇති කරගනිමින් ඔහුට අයිති සියලුම ප්‍රජාතාන්ත්‍රික හිමිකම් උල්ලංඝනය නොවන අයුරින් විනිශ්චය ක්‍රියා මාර්ගයක් ගන්නා බවත් සංඝයාගේ අභිවෘද්ධිය, ප්‍රගමනය විශේෂ අරමුණ කරගෙන මෙම විනිශ්චය ක්‍රියාවලියෙහි යෙදෙන බවත් මේ අධිකරණ සමථ තුළින් පැහැදිලිවේ. එමෙන්ම මානව ශිෂ්ටාචාරයෙහි ඉතා දියුණු යුගයකට ගැළපෙන විනීත හා සාධාරණ අධිකරණ ක්‍රමයක් මෙයින් ගම්‍ය වන බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුව පවතී.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *