බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව

cmadurawala
9 Min Read

ශ්‍රී සද්ධර්ම ශාසන ප්‍රසාදිනී, දේශාභිමානී පී.චන්ද්‍රරත්න

නිර්වාණාවබෝධය ලැබීමට වහ වහා ක්‍රියා කළ යුතුය. ඒ සඳහා වූ ආර්ය මාර්ගයට අප්‍රමාදව පිවිසිය යුතුය. එහෙත් බොහෝ බෞද්ධයන් තුළ පවත්නා අදහසක් වන්නේ කෙදිනක හෝ මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමය. බෞද්ධ සාහිත්‍යයට අනුව එකී අසිරිමත් සිදුවීම මෙම මහා භද්‍රකල්පය අවසානයේදී සිදුවන බැවින් ඊට ගතවන කාලය ගිනිය නොහැකි තරමේ දීර්ඝ එකකි. වික්ටර් රත්නායක සූරීන් විසින් ගැයූ දෙව්රම් වෙහෙරේ…. ගීය අද බොදු ගී විමසුමට යොදා ගනිමු. මෙම ගීයෙහි පද රචකයා ප්‍රේමකීර්ති ද අල්විස් සූරීහුය.

දෙව්රම් වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ
මා සිටියා නම්
සමිඳුනි ඔබ පිළිසරණ පතා
මම එමි බවඳුරු කතර ගෙවා

සහසක් දොම්නස් දුක් ගිනි අතරේ
දැවෙන මහද සිතුවිලි ගන අඳුරේ
සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින්
නිවී නිවී යන අරුමය කිමදෝ

ජීවමානවම හිමි දැක ගන්නට
මා නෙත කළ පින් මද බව වැටහිණි
එහෙයින් හිමි අනුරුව අභියස සිට
බවුන් වඩමි මෙත් බුදුන් දකින්නට

ගීතයේ සමස්ත අර්ථය ගත් විට පෙනී යන්නේ ගෞතම බුදුන් දවස නොසිටි බැවින් තමන්ට සංසාරයේ අප්‍රමාණ දුක් ගිනි විඳිමින් මෙතෙක් එන්නට සිදුවූ බැවින් හා තමන්ට ඊට පින් නොතිබූ හෙයින් මෛත්‍රී බුදුන් දකින්නට පෙරුම් පුරන බවය.

ගීතයේ ආරම්භය ගනු ලබන්නේ බුද්ධ දේශනා වැඩි ප්‍රමාණයක් වදාළ හා ජීවමාන බුදුන් වහන්සේ වැඩිම කාලයක් වැඩ සිටි ජේතවනාරාමය හෙවත් දෙව්රම් වෙහෙර පිළිබඳව සඳහනකිනි. රාජ රාජ මහාමාත්‍යාදීන් හා සාමාන්‍ය ජනයා පමණක් නොව දෙවිබඹුන්ට පවා ඇතිවූ විවිධ ප්‍රශ්න විවාද හා පිළිසරණ ලත් භූමියක් වූයේ දෙව්රම් වෙහෙර යැයි සඳහන් බැවින් ගීත රචකයාද සිය පසුතැවිල්ල නම්, දෙව්රම් වෙහෙරේදී බුදුන් දකින්නට නොහැකි වීම යැයි සඳහන් කරයි. මෙම දෙව්රම් වෙහෙර හෙවත් ජේතවනාරාමය කෙබඳු අසිරියකින් යුත් සුරම්‍ය භූමියක් දැයි සද්ධර්මාලංකාරයෙහි එන පහත සඳහනින් පෙනේ.

“…..එම සැවැත් නුවර සමීපයෙහි ජේත නම් රාජකුමාරයා විසින් රෝපිත සංවර්ධිත වූ විකසිත රක්තශ්වේතාදී පඤ්චවිධ පද්මාමොද මකරන්දයෙහි ලුබ්ධස්වරූප ඇති භෘංගයන්ගේ ක්‍ඩංකාර නදියෙන් හා හංසශ්‍රේණීන්ගේ මධුරනාදයෙන් එකනින්නාද වූ සිහිල් ජල පිරි පතැස් පෙළින් හා රළපතර සන්හිඳුණාවූ ක්ෂීර සාගරයෙහි සඳ රැස් පහල ජලතලාවක් සේ අන්‍යප්තශුභ වූ වාලුකාතලයෙන් හා ගිරා මොණර චක්‍රවාකාදී විහංග ගණයා විසින් ගැවසී ගත්තා වූ ලතා මණ්ඩප පක්ෂීන් හා පුන්නාග නාග කුරවක තිලක උද්දාලක මධුගන්ධිකාශෝක කුරවීක කර්ණිකාරක ගජකෝවිලාර පාරිච්ඡත්තකාදි සුපුෂ්පික ද්‍රැමගණානුවරිත කෝකිලාලිකුලයන්ගේ මධුර ක්ධංකාරනදාකුල කුසුම මඤ්ජරික රෙහෙණයෙන් පිඤ්ඡර වූ රම්‍ය භූමිභාග ඇත. ඡායෝදකසම්බන්න ජේතවනෝද්‍යානයෙහි අනාථපිණ්ඩික නම් මහා සිටාණන් විසින් බුදුන් උදෙසා සිවුපනස් කෙළක් ධන වියදම් කොට කරවා පිළිගන්වන ලද… (සද්ධර්මාලංකාරය – 111 පිටුව)

බුදුන් වහන්සේ විවිධ ස්ථානවල සිට ධර්මදේශනා පවත්වා ඇති නමුත් ගීත රචකයා සිය ප්‍රකාශකයාගේ අභිප්‍රාය ලෙස දක්වන්නේ විචිත්‍ර ලෙස මීට පෙර වර්ණනාවට බඳුන් කර ඇති දෙව්රම් වෙහෙරේ වැඩි සිටි සමය පිළිබඳවය. ඔහුට මෙබඳු සිතක් පහළ වන්නේ ඇයි? ඔහුට පිළිසරණයක් අවශ්‍ය වූ බැවිනි. එම සංසිඳීමෙහි ස්වභාවය මජ්ක්‍ඩිම නිකායෙහි චූලඅස්සපුර සූත්‍රයෙහි එන පහත දැක්වෙන සඳහනෙන් මනාව වැටහේ.

“මහණෙනි යම් සේ පහත් දිය ඇති මිහිරි දිය ඇති, සිහිල් දිය ඇති මඩ නැති මනාකොට ඇති රමණීය පොකුණක් වේද,පෙරදිගිනුද ඝර්මයෙන් තැවුලිපත් මේඝයෙන්, පෙළුණ, කලකුළු, කඃෂිත, දිය පිහැටි – පුරුෂයෙක් එන්නේ වේද හේ එපොකුණ වෙත එළඹ දිය පවස අරුතර ගන්නේ වේද, නිර්මපරිදාහ අරුතරගන්නේ වෙද පැසුළු දිගිනුද, පුරුෂයෙක් එන්නේ වේද? උතුරු දිගිනුද පුරුෂයෙක් එන්නේ වේද දකුණු දිගිනුද පුරුෂයෙක් එන්නේ වේද යම් ම දිගෙකිනුද නිර්මයෙන් තැවුලිපන්, ඝර්මයෙන් පෙළුණු, කලාකුළු, කෘෂික, දිය පියැව් (පිපාසයෙන් පෙළෙන) පුරුෂයෙක් ඒ පොකුණ කරා එන්නේ වේද….. හේ ද බුදුන් වදාළ දහම් විනයට අවුද මෙසේ මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්‍ෂා භවාගෙන සිය සතන්හි සන්හිඳුම ලබයි….”

ගීතයෙහි ස්ථායී කොටසෙහි අවසන් පේළියෙන් පැවසෙන මම එමි බවඳුරු කතර ගෙවා…” යන්න අර්ථවත් වන්නේ පෙර දැක්වූ සූත්‍ර පාඨයට අනුවය.

ගීතයෙහි පළමු අන්තරා කොටසෙහි සමස්තාර්ථය නම් සහසක් දුක් දොම්නස් විඳින අතරේ වවද බුදු පිළිමයක් දුටු පමණින් ඒ සියල්ල අමතකව සිත නිවී පහන් වන බවය. ලොව පහළ වූ සියලු බුදුවරුන්ගේ රූප ස්වභාව යම් සාමාන්‍යයක් ඇති බැවින් සෑම බුදු පිළිමයක්ම පොදුවේ බුදුගුණය පිළිබිඹු වන ලෙස නෙලා ඇත. කිසියම් ද්‍රව්‍යයකින් පුද්ගල රූපයක් නෙළිය හැකි නමුත් අභ්‍යන්තර ගුණ නමැති මානසික ස්වභාවය ඉන් කෙලෙසක නිරූපණය කළ හැකිදැයි යන්නට පිළිතුරු සපයන්නේ අනුරාධපුර සමාධි පිළිමය හා අවුකන පිළිමයයි. කලාකරුවන් විසින් ප්‍රතිනිර්මාණය කිරීමට තැත් කරන එම බුද්ධශ්‍රීය දීපංකර බුරුදුව පිළිබඳව විස්තර කරමින් දහම් සරණෙහි මෙසේ දැක්වේ.

“…..විසිතුරු රුවින් තමන් වහන්සේ පවා “මාත් මතු මෙසේ වුව මැනැවැ යි සිතා ලෝභ කරන පරිද්දෙන් මනෝහර වූ රුවින් යුක්ත වැ වඩවා දීපංකර නම් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කේශාන්තයෙහි පටන් නඛාන්තය දක්වා සෙ දෙඅතුරෙහි හිමි ගැවසී සැරැහී සිටැ ගන්නා වූ දෙතිස් මහාපුරුෂ ලක්ෂණයෙන් හා අසීත්‍යනුම්‍යඤ්ණයෙන් රුචිරතුර බ්‍යාම ප්‍රභා කේතු මාලා විලාසයෙන්ද වෙන වෙනම කරන ලද්දා වූ අව්‍යාජ වූ සර්‍වඥ විභ්‍රමයෙන් හොබනා වූ වාක් විෂයාතික්‍රාන්ත වූ උපමා විෂයාතික්‍රාන්ත වූ මනොවිෂයාතික්‍රාන්ත වූ ලෝක විෂයාතික්‍රාන්ත වූ හුදෙක් බුද්ධ විෂයටම සාධාරණ වූ සමතිස් පැරුමන්ගේ අත් මෙහෙයට මැ සුදුසු වූ දිව්‍ය බ්‍රහ්මයින්ගේ සාධුකාරයටම සුදුසු වූ රූපය බලා වදාරා….” (දහම් සරණ – දීපංකර සම්බුද්ධ විවරණය)

සිත නිවන එවන් වූ රූපකාය දැකීමෙන් පවා නිවි නිවී යාම රචකයා විමසන අරුමය නම් වේ. සැබෑ ලෙස බුදුන් දැකීම හා බුදු පිළිමයක් හෙවත් අනුරුවක් දැකීම එකක් නොව දෙකක් බව යමකුට පැවසිය හැකිය. ධර්මාශෝක රජු දවස වන විට ජීවමාන බුදුන් වැඩ නොසිටි බැවින් රජුට බුද්ධ රූපයක් හෝ දැකීමට ඇති කැමැත්ත මහකෙළ නම් නා රජුට දැක්වූ විට නා රජු බුද්ධරූපයක් දක්වන ලද බව හා එම බුදු රුවේ ආකාරයද ථූපවංසයෙහි මෙසේ දැක්වේ.

…. ඒ කෙසේ වීද යත්.. මදටවන් රැස් කඳෙන් මහමෙර රතිඳු ගොව්වකු සේ රත් කෙරෙමින් සමන්තකූට පර්වතයෙන් බුදුන්ට පුදාලූ මදට වළල්ලක් සේ එක පැහැර රන් කෙරෙමින් බුදුගුණ පැතිරගෙන දසදිග් මැඩගෙන මුලුලෝ කුස පුරමින් පැතිරෙන්නට විය. ඒ ලොව ඇතිතාක් වස්තූන්ගේ නොයෙක් පැහැතාක් එක්කොට අනා අල්ලපුවාක් වැනි වූ පබසර රැස්කඳෙක් තල්කඳෙක් පමණ කූටාගාර ප්‍රමාණව උණකුළලින් පිඩ නහාපු සත්රුවන් කැටියක් සේ සියලු නුවර වසමින් පැතිරෙන්නට විය. මෙසේ ස්වාමිදරුවන්ගේ ආශ්චර්යවත් සවනක් ඝන බුදු රැස්කඳ ඒ නාරජ දක්වත්, ඒ ධර්මාශෝක රජු ද සියලු නගරවාසීහු ද මෙසේ අත්පොළසන් හඩ දී අනන්ත වූ සාධුකාර කෝලාහලයෙන් ශක්‍ර බ්‍රහ්මදේවතාවෝ ය, නාග සුපර්ණයෝය, රාක්ෂයෝය. යන සියල්ලන්ව ඌ මැවූ බුදවෙස් ඇසට රසාංජනයක් බඳු විය. (සිංහල ථූපවංශය- 105 පිටුව)

ගීතයෙහි දෙවන අන්තරා කොටසෙහි දැක්වෙන්නේ ජීවමාන බුදුන් දැකගැනීමට තමාට නොහැකි වූ බවට සන්තාපයකි. පෙර දැක්වූ ථූපවංස උපුටනයෙහි බුදුරුවද එතරම් ඇස රසාංජනයක් නම් ජීවමාන බුදුන් දැකීම කොතරම් නම් ආශ්චර්යක් ද? රචකයා ඒ පසුතැවීම දක්වන්නේ “මා කළ පින් මද බව” ප්‍රකාශ කරමිනි.

ගීතයෙහි කූටප්‍රාප්තිය වන්නේ බුදු පිළිමය අසල සිට බවුන් වඩනුයේ අනාගතයේ බිහිවන මෛත්‍රී බුදුරදුන් හෝ දැක ගැනීමට ලැබීමට ප්‍රාර්ථනය කරමිනි. මෙය බෞද්ධ දර්ශනය හා සාමාන්‍ය ගැමි වහරේ එන පිළිගැනීම අතර පරස්පරතාවකි. නිවන් ලැබීමට නම් අනාගත මෛත්‍රී බුදුන් පහළවන තුරු සිටිය යුතු බව සාමාන්‍ය පිළිගැනීම නමුත් බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම අප්‍රමාදව වහ වහා උත්සාහ කර නිර්වාණාවබෝධය ලබාගත යුතු බවය. එබැවින් ගීතයෙහි ප්‍රකාශය කරනු ලබන්නේ පොදුවේ සමාජගත විශ්වාසය බව පෙනේ. එහෙත් වෙනත් ආකාරයකින් බලන විට පෙනී යන්නේ ප්‍රකාශකයාට අවශ්‍යව ඇත්තේ නිවන් දැකීම පමණක් නොව බුදුන්ද ජීවමානව දැකීමේ ප්‍රාර්ථනයයි. ධර්මය දකින්නා බුදුන් ද දැකගනී යන ධර්ම පාඨය සමඟ එහි ගැටීමක් ඇති නමුත් පොදු ව්‍යවහාරය නම් “බුදුන් දැක නිවන් දැකීම” වේ. මේ ගීතයේ රචකයා බර තබා ඇත්තේ එම ව්‍යවහාරයට විය යුතුය. එසේම යම් පුද්ගලයෙකුට මෙම මහා භද්‍රකල්පයෙහි බුදු කෙනෙකුන් දක්නට ලැබෙන අවසන් අවස්ථාවද එය වේ. එම දුර්ලභ අවස්ථාව ලැබීමේ ප්‍රාර්ථනයද ගීතයෙහි යටි පෙළ ලෙස සැලකිය හැකිය. එම අවසන් අවස්ථාව හෙවත් මෛත්‍රී බුදුන්ගේ පරිනිර්වාණයෙන් අනතුරුව තත්ත්වය පිළිබඳව “අනාගත වංශයෙහි” එන සඳහන මෙසේය.

“ඒ සර්‍වඥයන් (මෛත්‍රී බුදුන්) වහන්සේ පිරිනිවී කල්හි උන්වහන්සේගේ ශාසනය එක්ලක්ෂ අනූදහසක් අවුරුදු මුලුල්ලෙහි පැවත අන්තර්ධාන වන්නේය. දසදහසක් සක්වළ ඝනාන්ධකාර කොට ශාසනාන්තර්‍ධානය වූ කල්හි එයින් වන්නේ ලෝකයේ දසකුශල කර්‍මපථය පිරිහෙන්නට වන් කල්හි දරුණු වූ කර්කශවූ දුඃඛවිශෙහු ය. උපදවන්නා වූ අකුශල ධර්‍මය හෙළවන්නේය. (අනාගත වංශය – 175 පිටුව)

“දෙව්රම් වෙහෙරේ” ගීතයේ සමස්තාර්ථය වටහා ගත යුත්තේ එම සියලු කරුණු සිත්හි තබාගෙනය. සාමාන්‍ය බුද්ධියකින් පෘථග්ජන පුද්ගලයකු විවෘත සිතින් යුතුව කෙරෙන අහිංසක ප්‍රාර්ථනයක් හෘදයංගම ලෙස ගැයී බොහෝ කලක් රසික හදවත් තුළ නින්නාද දීමට සමත් නිර්මාණයක් වීමට ප්‍රේමකීර්ති ද අල්විස් හා වික්ටර් රත්නායක යන ප්‍රතිභාපූර්ණ සුසංයෝගය සමත්ව ඇත.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *