ඓතිහාසික උඩුගම ශ්‍රී මහා බෝ සමිඳුන් රෝපණය කොට වසර 50ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ශ්‍රී මහා බෝධිරාජ පෙරහැර මංගල්‍යය

rashi
By rashi
15 Min Read

ගාල්ල, උඩුගම, ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානයේ විරාජමානව වැඩ සිටින ඉන්දියාවේ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛා බෝධීන් වහන්සේ රෝපණය කොට 2026 ජූලි මස 11 වැනි දිනට වසර 50ක් සපිරේ. ඊට උපහාර පූජා පිණිස වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී මහා බෝධිරාජ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහැර 2026 ජූලි මස 11 වැනි දින රාත්‍රි උඩුගම නගරයේ වීථී සංචාරය කෙරේ. ජූලි මස 17 දින පැවැත්වෙන දෙවොල්මඩු ශාන්තිකර්මයෙන් මෙම කටයුතු නිමා වේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

දක්ෂිණ ලංකාවේ, ඓතිහාසික ගාලු පුරවරයේ, ගිං ගඟ කොමළියගෙන් සරුසාරවත් වූ උඩුගම නම් සුන්දර පුරවරයෙහි මනස්කාන්ත කඳුගැටයක පිහිටා ඇති, වසර 200කට අධික ඉතිහාසයකට නෑකම් කියන ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානය, අපවත් වී වදාළ අතිපූජ්‍ය පනංගල ශ්‍රී දේවරක්ඛිත මහා ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කොට ඇති මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයට අයත් පුණ්‍යභූමියකි.

විසිවැනි සියවසේ ලංකාවාසී බෞද්ධ, අබෞද්ධ බොහෝදෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වූ ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කරගත් පරම පූජනීය බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස ද උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරය චිර ප්‍රසිද්ධය. ශ්‍රී ලංකාව යටත්විජිතයක්ව පැවැති අවධියේ ක්‍රිස්තියානි මිෂනාරීන්ගේ සදාචාර නොවන ක්‍රියාවන්ගේ පීඩනයට ලක්ව සිටි මේ ප්‍රදේශවාසී අසරණ, අහිංසක, දුප්පත් ජනතාව ඉන් මුදාගෙන බුදු දහමේ පුනර්ජීවනයක් ඇති කරලීමේ පුරෝගාමීත්වය ගෙන කටයුතු කළේ මෙම විහාරස්ථානයෙහි එදා වැඩසිටි විචිත්‍ර ධර්ම කථික පරම පූජනීය නෙළුවේ ශ්‍රී ගුණානන්ද නාහිමිපාණන් වහන්සේ ය. අතිපූජ්‍ය අපේ නායක මාහිමිපාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ මෙම විහාරස්ථානයෙන් සිදු කෙරුණු ජාතික, ආගමික, සාමාජික, ආර්ථික සහ සංස්කෘතික සේවාවන් අසීමිතය. එදා සිදුවූ ඒ උතුම් සේවාවන් පිළිබඳව විස්තර සැපයීම මෙම ලිපියෙහි අරමුණ නොවේ. එනමුදු එදා නායක මාහිමිපාණන් ආරම්භ කළ සේවාවන් හි දිගුවක් ලෙස වත්මන් සේවාවන් හැඳින්වීම වරදක් නොවේ. අපේ ගුණානන්ද නායක හාමුදුරුවෝ වනදුර්ග, ගිරිදුර්ග පසුකරමින් සුමිහිරි හඬක් නංවාමින් ලාලිත්‍ය ගමනක යෙදුණු ගිංගඟ අසබඩ පිහිටි ස්වභාවධර්මයේ දායාදයක් බඳු සුන්දර ගම්මානයක් වූ නෙළුව නම් ගමෙහි ඉපිද ගැමි සිරිය අත්විඳිමින් කුඩා කල දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් සමග කල් ගෙවූහ. අනතුරුව ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් වීමෙන් පසු පිරිවෙන් අධ්‍යාපනය හරහා සිංහල, පාලි, සංස්කෘත භාෂාත්‍රය මෙන්ම ත්‍රිපිටක ධර්මය මනාව හැදෑරූහ. ඒ නිසාම උන්වහන්සේ කුඩා කල සිටම අති දක්ෂ ධර්ම භාණක කෙනෙක් විය. එදා පැවිදි සමාජයේ වැඩ සිටි උත්තරීතර වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක, වැලිවිටියේ ශ්‍රී සෝරත වැනි උගත් බුද්ධිමත් කීර්තිධර නාහිමිවරුන් සමග එකට එක්වී කටයුතු කිරීමේ මහාර්ඝ අවස්ථාවක් අපේ නාහිමියෝ උදාකර ගත්හ. ඒ නිසාම නාහිමියෝ තරුණ වයසේදීම ජනතා ගෞරවයටත් රාජ්‍ය ගෞරවයටත් පාත්‍ර වූහ.

උන්වහන්සේගෙන් රටටත්, ජාතියටත්, ශාසනයටත් සිදුවන උදාර සේවාව දුටු ශ්‍යාමෝපාලි වංශික සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයෙන් “ආනන්ද ධර්මකීර්ති ශ්‍රී” යන ගෞරව නාම සම්මුතිය සහිතව ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයට පත් කළහ. ඒ හැරුණු විට උන්වහන්සේ ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සභාපති වශයෙන් ද කටයුතු කළහ. මෙසේ උසස් තනතුරු සහ වගකීම්වලින් කාර්ය බහුල ජීවිතයක් ගතකළ නමුදු ස්වකීය ප්‍රදේශයේ සියලු ආගමික සාමාජික කටයුතුවලදී කැපවීමෙන් කටයුතු කළහ. සිය විහාරස්ථානයෙහි අඩුපාඩුවක් ලෙස පැවැති බෝධීන් වහන්සේ නමක් රෝපණය කළ යුතු යැයි සිතූ අප නායක හිමිපාණන් එම බෝධිය ඉන්දියාවේ බුද්ධගයාවේ වැඩ සිටින ගෞතම බුදුන් වහන්සේ පිටදුන් බෝධියේම අංකුරයක් විය යුතු යැයි සිතා ඒ සඳහා අපමණ වෙහෙසක් දැරූහ.

මේ වනවිට ඉන්දීය මහා බෝධි සමාගමේ ප්‍රධාන සභාපතිව සිටියේ අතිපූජ්‍ය නෙළුවේ ශ්‍රී ජිනරතන නාහිමිපාණන් ය. උන්වහන්සේ අතිපූජ්‍ය නෙළුවේ ශ්‍රී ගුණානන්ද නාහිමිපාණන්ගේ ඥාති පරපුරට අයත්, එකම ගමේ ඉපදී හැදී වැඩුණු කෙනෙක් විය. ඒ අනුව ගුණානන්ද නාහිමියෝ සිය අදහස වූ බුද්ධගයාවේ ඇති ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකූරයක් සිය විහාරස්ථානයට වැඩම කරවා ගැනීමට අවශ්‍ය බව දැන්වූහ. ඉන්දීය රජයේ ගෞරවාදරයට පාත්‍රව සිටි අතිපූජ්‍ය නෙළුවේ ශ්‍රී ජනරතන නායක ස්වාමීන් වහන්සේ ඉහත සඳහන් අදහස එවකට ඉන්දීය අග්‍රාමාත්‍යවරිය ලෙස සිටි ඉන්දිරා ගාන්ධි මැතිනියට දැන්වීමෙන් පසු ඒ සඳහා අවශ්‍ය කරන සියලු පහසුකම් ඉන්දීය රජය විසින් ලබාදෙන ලදී. එවකට ලංකාවෙහි අග්‍රාමාත්‍යවරිය වූයේ සිරිමාවෝ ආර්. ඩයස් බණ්ඩාරනායක මැතිනියයි. එතුමිය සමග ඉතා කුළුපග ඇසුරක් තිබූ අතිපූජ්‍ය නෙළුවේ ශ්‍රී ගුණානන්ද නාහිමියන් සිය අදහස අග්‍රාමාත්‍යවරියට දැන්වීමෙන් පසු ලංකාවෙහි ද ඒ සඳහා සියලු පහසුකම් ලංකා රජය විසින් සපයන ලදී. මෙසේ ඉන්දීය රජයේත් ලාංකේය රජයේත් උපරිම රාජ්‍ය අනුග්‍රහයන් හා ගෞරවයන් ලබමින් 1976 වර්ෂයේදී ගුවන් මගින් බුද්ධගයාවේ පිහිටි ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් මෙරටට වැඩමවන ලදී. ගුවන්තොටේදී මෙම ශ්‍රී මහා බෝධි ශාඛාවට උපරිම රාජ්‍ය ගෞරව ලැබුණු අතර, එය පිළිගනු ලැබූයේ එවකට ශ්‍රී ලංකා ජනාධිපතිව සිටි ශ්‍රීමත් විලියම් ගොපල්ලව මැතිඳුන් විසිනි. එසේ වැඩමවූ ශ්‍රී මහා බෝධි ශාඛාව රිය පෙරහැරකින් ගෞරව පුදසත්කාර සහිතව උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානයට වැඩම කළහ. එසේ වැඩම කරවූ, බෝධීන් වහන්සේ 1976 ජූලි මස 11 දිනට යෙදී තිබුණු ඇසළ පුර පසළොස්වක පොහොය දිනයෙහි, ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සාදු නාද, පුද පූජෝපහාරයන් මැද විහාරස්ථානයේ උඩ මළුවෙහි විශේෂයෙන් සකස් කරන ලද භූමියෙහි එවකට ගාල්ල මහ දිසාපතිවරයා වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතාගේ සුපින්බර සුරතින් රෝපණය කරන ලදී. ක්‍රි.පූ. තුන්වන සියවසේ සඟමිත් තෙරණිය විසින් වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඓතිහාසික සිදුවීමෙන් පසු ක්‍රි.ව. විසිවන සියවසේ සිදුවූ තවත් ඓතිහාසික සිදුවීමක් ලෙස මෙය ඇගැයීමට ලක්වෙයි.

උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානයේ උඩ මළුවේ තෙමහල් බෝධි ප්‍රාකාරය තුළ, ආරක්ෂිත රන්වැටකින් වටකොට නිරුපද්‍රිතව, විරාජමානව වැඩ සිටින ශ්‍රී මහා බෝධීන් වහන්සේට උපහාර පූජා පිණිස අතිපූජ්‍ය නෙළුවේ ශ්‍රී ගුණානන්ද නායක ස්වාමීන් වහන්සේ විසින් ශ්‍රී මහා බෝධිරාජ පෙරහැර ආරම්භ කොට ඇත්තේ 1977 වර්ෂයේදී ය. උන්වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව, පංච මහා විහාරාධිපති, හිනිදුම් පත්තුවේ ප්‍රධාන සංඝනායක, “ධර්ම කීර්ති ශ්‍රී ගුණානන්ද” ශාස්ත්‍රවේදී, පූජ්‍ය උඩුගම සමිත නායක ස්වාමීන් වහන්සේ විසින් මෙම පෙරහැර අඛණ්ඩව පවත්වාගෙන එන ලදී. හිනිදුම් පත්තුවට හා උඩුගම පුරවරයට බලපෑ ගංවතුර ව්‍යසනය වැනි ස්වාභාවික ව්‍යසන හේතුවෙන් වසර කිහිපයක් පෙරහැර පවත්වා නොමැත.

දෙවනපෑතිස් රජුගේ පටන් ලක්දිව පාලනය කළ සියලුම පාලකයන්ගේ ගෞරවාදරයට, මහමෙවුනා උයනේ පිහිටි ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්වී ඇත. රාජාභිෂේකය වැනි රාජකීය වැදගත් උත්සව පවත්වා ඇත්තේ බෝධි මළුවේදී බව වංශකතා සඳහන් කරයි. එසේම බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සඳහා බෝධිමළු සැකසීම, බෝධි ප්‍රාකාර, බෝධිඝර ඉදිකිරීම ආදී කටයුතු ලංකාවේ විවිධ කාලපරිච්ඡේදවල රාජ්‍ය පාලනය ගෙනගිය රජවරුන් මෙන්ම ප්‍රභූ පුද්ගලයන් විසින් ද සිදුකර ඇත.

බෝධියේ ආරක්ෂාවටත්, සියලුම ආවතේව කටයුතු සිදුකිරීමටත් පුද පූජා පැවැත්වීමටත් අවශ්‍ය කරන නිලදරුවන් රැසක් පත්කළ රජතුමා ඔවුන්ගේ යැපීම සඳහා ගම්වර ලබාදීමත් සිදුකර ඇත. ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජෝපහාර වශයෙන් පෙරහැර පැවැත්වීම දෙවනපෑතිස් රජ දවසම ආරම්භ වූ බව වංශකතාවල එන විස්තරයන්ගෙන් හෙළිවෙයි. දෙවනපෑතිස් රජතුමා සුමිත්ත හා බෝධිගුප්ත කුමරුවන් දෙදෙනා කැඳවා “තොප දෙදෙනාගේ පරම්පරාවෙන් බෝධීන් වහන්සේ ආරක්ෂා කිරීමත්, පෙරහැර පැවැත්වීමත් කළ යුතු යැයි” නියමයන් පනවා ඇත. මෙසේ දෙවනපෑතිස් රජතුමාගේ නියෝගයෙන් තනතුරු හා ගම්වර ලබාගත් සියලුමදෙනා විසින් අද දක්වාම බෝධි ආරක්ෂක කටයුතු ද, බෝධි පූජා ද, එසේම වාර්ෂිකව පවත්වන පෙරහැර ද පවත්වාගෙන එනු ලැබේ.

මෙසේ ඈත අතීතයේ සිටම පැවතෙන සාම්ප්‍රදායික චාරිත්‍ර විධියක් වූ බෝධි පූජාවන් සහ පෙරහැර පැවැත්වීම, වත්මන් විහාරාධිපති, හිනිදුම් පත්තුවේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රවේදී පූජ්‍ය උඩුගම සමිත නාහිමිපාණන්ගේ අවවාද අනුශාසනා පරිදි, පාලක විහාරාධිපති, ශ්‍රී මහා බෝධිරාජ පෙරහැරේ ප්‍රධාන සම්බන්ධීකාරක සහ ශ්‍රී මහා බෝධිරාජ ජාතික සංස්කෘතික පදනමේ සභාපති, ගෞරව ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති පූජ්‍ය උඩුගම සාරානන්ද හිමිපාණන්, පෙරහැරේ සියලු නිලමේවරුන් ඇතුළු උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථ ශ්‍රී මහා බෝධිරාජ පෙරහැර කමිටුව, දායක සභාව, දහම් පාසල, කුලඟන සමිතිය, සතරපේරුවේ දායකකාරකාදීන්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ප්‍රදේශවාසීන්, ව්‍යාපාරික ප්‍රජාව, වතු සමාගම් සහ වතු කම්කරු ජනතාව, ස්වෙච්ඡා සංවිධාන සහ විවිධ පරිත්‍යාගශීලින්ගේ මෙන්ම බාල, තරුණ, වැඩිහිටි කොයි කාගේත් පූර්ණ සහයෝගය සහ අනුග්‍රහය ඇතිව සිය විහාරස්ථානයේ රෝපණය කර ඇති ශ්‍රී මහා බෝධීන් වහන්සේට ගෞරව උපහාර දැක්වීම වස් සිදුකෙරෙන චිත්තාකර්ෂණීය වූ අලංකාර පෙරහැර, දක්ෂිණ ලංකාව තුළ පවත්වනු ලබන ඓතිහාසික පෙරහැර දෙකෙන් එකක් වෙයි.

ශ්‍රී මහා බෝධි ශාඛාවක් වෙනුවෙන් ජාති, ආගම්, කුල මල, පාට පක්ෂ, භේදයකින් තොරව පවත්වනු ලබන එකම පෙරහැර මංගල්‍යය ද මෙය යි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නරඹන දක්ෂිණ ලංකාවේ ගාල්ල දිසාවේ ප්‍රමුඛතම පෙරහැර ද මෙය වන අතර,

පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මෙම පෙරහැරේ සුවිශේෂතා අතර,

* ශ්‍රී මහා බෝධීන් වහන්සේ නමක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන එකම පෙරහැර මංගල්‍යය වීම.
* අලි ඇතුන් රැසක් සහභාගි කරගැනීම.
* උඩරට, පහතරට, සබරගමු නර්තනාංගයන් රැසකින් සමලංකෘත වන අත්‍යලංකාර පෙරහැරක් වීම.
* පංච මහා දේවාල පෙරහැරවලින් ද යුක්ත වීම.
* අඛණ්ඩ ඓතිහාසික පෙරහැර මංගල්‍යයක් වීම
* සධාතුක කරඬුව වැඩමවන මංගල හස්තිරාජයාට අමතරව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ස්වර්ණාලේපිත අනුරුවක් හස්තිරාජයකු පිට වැඩම කරවීම
* බෞද්ධ, අබෞද්ධ සියලු ජන කොටස්වල දායකත්වය ලබන පෙරහැරක් වීම

2026 ජුනි මස 29 වැනි දින සිට ජූලි 12 වැනි දින දක්වා මහා පිංකම් මාලාවක් විහාරස්ථානයේදී පැවැත්වේ.

අවසන් රන්දෝලි මහ පෙරහැර 2026 ජූලි මස 11 වැනි දින සවස 6.30 ට ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවැත්වෙන සුවිශේෂ පූජාවෙන් හා කෙටි දහම් හමුවෙන් අනතුරුව මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් ආරම්භ වී, උඩුගම නගරයේ වීථි සංචාරය කොට යළි විහාරස්ථානයට ගෙවැදීමට නියමිතය. ජූලි මස 17 දින රාත්‍රි ගම්මඩු ශාන්තිකර්මයෙන් පෙරහැර කටයුතු නිමා වේ.

පෙරහැර සමාරම්භක අවස්ථාවට මැති ඇමැතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ගාල්ල මහ දිසාපති කේ. යූ. චන්ද්‍රලාල් මහතා, අතිරේක දිසාපතිතුමියන්ලා, නාගොඩ ප්‍රාදේශීය ලේකම් සදිශානි ලක්නිමා යද්දෙහිගේ මහත්මිය පමුඛ කාර්යාලයීය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශවල නිලධාරීන් ඇතුළු ප්‍රභූන් රැසක් සහභාගිවීමට නියමිතය.

දඹදිව් තලයේ සිට වැඩම කරවා රෝපණය කරන ලද, උඩුගම ශ්‍රී මහා බෝධීන් වහන්සේට කිසියම් බාරහාරයක් වූ විට එය අනිවාර්යයෙන් ඉෂ්ටප්‍රාප්ත වන බව බෞද්ධ ජනතාවගේ පොදු පිළිගැනීමයි. මේ නිසා ගාලු පුරවරයේ පමණක් නොව දිවයිනේ නන් දෙසින් මෙම බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමට, ගෞරව පුද සත්කාර දැක්වීමට, බාරහාර වීමට, බාරහාර ඔප්පු සිද්ධ කිරීමට, මස් මාංශයෙන් වැළකී, නිර්මාංශව, පින් සිතින් පේ වී සුදෝසුදු වතින් සැරසී සිය දහස් ගණනක් බොදුණුවන් දිනපතා උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානයට ළඟා වන්නේ මෙම මාහැඟි බෝධීන් වහන්සේ හාස්කම් රැසකින් සමන්විත නිසාය.

දිනපතා උදේ, සවස ශබ්ද පූජාව සහිතව තේවාව පැවැත්වෙන අතර උදේ 05.00 ට කිරිපිඬු පජාව සහිත බුද්ධ පූජාව ද, දහවල් සම්බුද්ධ පූජාව ද, රාත්‍රි ඖෂධ පූජාවන්, අෂ්ටපාන පූජා හා බෝධි පූජාවන් ද පැවැත්වේ. බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණෙන ජනතාව සත්වරක් පෙරන ලද සුදුහඳුන් කුඩු දමන ලද පැන් කළයක් රැගෙන ඒම සිරිතකි.

බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමට නන් දෙසින් පැමිණෙන සැදැහැවත් බොදු ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට වත්මන් පාලක විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය උඩුගම සාරානන්ද ස්වාමීන් වහන්සේ කටයුතු කිරීම ප්‍රශංසනීය ය. විහාරස්ථානයේ නේවාසිකව වැඩ වෙසෙන මහා සංඝරත්නය, පෙරහැර කමිටුවේ ලේකම් ඒ. එල්. ජී. ජයසිරි මහතා ඇතුළු නිලධාරී මණ්ඩලය හා දායකකාරකාදීන්, පංච මහා දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර ප්‍රේමසිරි මහතා සහ ඔහුගේ සහායක ශාන්ත මහතා ඊට අවශ්‍ය පහසුකම් සලසා දෙති.

ලක් දෙරණට උඩුගම ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව, සෙත ශාන්තිය ලැබේවා!

උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරය, උඩුගම දකුණ ශ්‍රී දක්ෂිණාරාමය, අක්කර 80 ශ්‍රී ගුණානන්දාරාමය, නෙළුව ශ්‍රී ධර්මපාල විහාරය හා කඩිහිංගල ශ්‍රී ගුණානන්ද බෞද්ධ මධ්‍යස්ථානය යන පංච මහා විහාරවලට අයත් ග්‍රාමයන්හි වෙසෙන පොදු ජනතාවට මෙන්ම පොදුවේ ගාලු දිසාවටම අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා පවත්වමින්, සියලු ආගමික කටයුතු ඉටු කර දෙමින් කටයුතු කරන මහ තෙරනමක් වන පූජ්‍ය උඩුගම සමිත නාහිමිපාණන් වහන්සේ විසින් 2009 වර්ෂයේ උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානයේ කටයුතු හා ශ්‍රී මහා බෝධිරාජ පෙරහැර අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑමේ භාරදූර කර්තව්‍යය සතර පේරුවේ දායකකාරකාදීන්ගේ ද එකඟත්වය පරිදි තම ශිෂ්‍ය, පූජ්‍ය උඩුගම සාරානන්ද ස්වාමීන් වහන්සේ වෙත පවරා දෙන ලදී.

තම අධ්‍යාපන කටයුතු සිදුකරන අතරම දායකකාරකාදීන්ගේ ආගමික, සාමාජීය, සංස්කෘතික හා පොදු කටයුතු සිදු කරමින් මෙතෙක් කලක් සවස් කාලයේ උඩුගම නගරයේ වීථි සංචාරය කළ ශ්‍රී මහා බෝධිරාජ පෙරහැර 2014 වර්ෂයේ සිට රාත්‍රි පෙරහැරක් බවට පත් කිරීමට පූජ්‍ය උඩුගම සාරානන්ද ස්වාමීන් වහන්සේ කටයුතු කළේය. 2014 වර්ෂයේ මෙම පෙරහැර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අයි නාලිකාව මගින් සජීවීව විකාශය කිරීමට පියවර ගනු ලැබුවේ මෙහි ඇති සුවිශේෂත්වය නිසාය.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ නමක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එකම පෙරහැර මංගල්‍යය මෙය නිසා, පූජ්‍ය උඩුගම සාරානන්ද ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමට අනුව, එවකට ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය හෙබවූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වජිර අබේවර්ධන මහතා විසින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වන්දනා ගමන් ආඥා පනත යටතේ රජයේ පූර්ණ අනුග්‍රහය ලබාදිය යුතු ජාතික පෙරහැරක් ලෙස අංක 1956/11 – 2016 මාර්තු 01 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහැර ප්‍රකාශයට පත්කර ඇත. මෙම පෙරහැරේ ඇති විශේෂත්වය වන්නේ සධාතුක කරඬුව වැඩම කරවන මංගල හස්තිරාජයාට අමතරව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ස්වර්ණාලේපිත අනුරුවක් රන්සිවිගෙයක තැන්පත් කොට ඒ හා සමාන තවත් හස්තිරාජයකු පිට වැඩම කරවීමය.

ඉහතින් සඳහන් කරන ලද ඓතිහාසික සිදුවීම සිහිකරලීම වස් ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානයෙහි උඩ මළුවේ රෝපණය කරන ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට උපහාර පූජා පිණිස අලි ඇතුන් ඇතුළුව උඩරට, පහත රට, සබරගමු යනාදී විවිධ නර්තනාංග රාශියකින් සමන්විත අලංකාර පෙරහැරක් ප්‍රදේශවාසී බෞද්ධ, අබෞද්ධ ජනතාවගේ සහභාගිත්වයෙන් වාර්ෂිකව උඩුගම පුරවරය කේන්ද්‍ර කොට ගනිමින් පවත්වනු ලැබේ. ජාතික සමගිය සංකේතවත් කරන මෙම පෙරහැර දක්ෂිණ ලංකාවට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම ආශිර්වාදයකි.

බෞද්ධ පූජනීය වස්තූන්ට ගෞරව පුද සත්කාර කිරීම සඳහාත්, පුද පූජාවන්ගේ උපහාරයක් සඳහාත් පෙරහැර පැවැත්වීම ඈත අතීතයේ සිටම පැවැති චාරිත්‍ර විධියකි. ක්‍රි.ව. පස්වැනි සියවසේ මෙරටට පැමිණි චීන දේශාටක පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවන්හි එදා අනුරාධපුරයෙහි පැවැති දළදා වහන්සේට පූජෝපහාරයක් ලෙස පැවැත්වූ අලංකාර පෙරහැරක් පිළිබඳ විස්තර අඩංගු කර ඇත. පාහියන් හිමියන්ගේ දේශාටන විස්තරයට අනුව බෞද්ධ කතා චිත්‍රයට නගා මඟ දෙපස අලංකාර කර තිබූ බවත් ඒ හැර මඟ දෙපස විවිධ සැරසිලිවලින් අලංකාර කර තිබූ බවත් සඳහන් වේ. පළමු දළදා පෙරහැර මේඝගිරියේ සිට අභයගිරිය දක්වා ගමන් කළ බවත් ඉතිහාසයෙහි සඳහන් වෙයි. ලාංකේය සමාජය තුළ පූජෝපහාර වශයෙන් පෙරහැර පැවැත්වීම සියවස් 15 කට වැඩි අතීතයකට දිවෙයි.

දර්ශනපති මෝහාන් නන්දන නානායක්කාර ✍️
:බී.ඒ.(විශේෂ) ගෞරව, එම්.ඒ. (කැලණිය), එම්.ෆිල්. (කැලණිය), බහුශික්ෂණාත්මක පිරිනිර්මාණ (චිත්‍ර/මෝස්තර) උසස් ඩිප්ලෝමා, මුළු දිවයිනටම සාමවිනිසුරු)

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *