අතුරුගිරිය ධම්මධුර භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, ධර්ම කීර්ති ශ්‍රී කම්මට්ඨානාචාර්ය, පූජ්‍ය දිගන සුගතවංස හිමි
ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මාසම්බුදු රජාණන් වහන්සේගේ අසීමිත ඤාණය, ඤාණසාගරය නමින් හැඳින්වේ.
තෙ සැත්තෑ ඤාණ යනු අනන්ත අප්‍රමාණ ඤාණ අතුරින් සර්වඥතා ඤාණය ඇතුළත් ෂඩ් අසාධාරණ නම් වූ ඤාණයන් ගෙන් සමන්වාගත සුවිශේෂී ඤාණ 73කි. යමෙකු බුදුරජාණන් වහන්සේගේ ඤාණ දර්ශනය පිණිස සිත යොමු කරන්නේ නම් එය ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය වැඩෙන කුසලයකි (ගම්භීරඤාණචරියපච්චවෙක්ඛණතා).
ගැඹුරු නුවණ පිරික්සීමේ ප්‍රතිපදාව සම්මාදිට්ඨි පූර්වාඞ්ගම කුසල් සිතින් වැඩෙන ප්‍රතිපදාවක් බැවින් ම කෙනෙකුට මිච්ඡාදිට්ඨි ප්‍රතිබාහනය කරමින් සම්‍යග් ප්‍රඥාව වැඩීමට තවත් හේතුවකි. බුදුරජාණන් වහන්සේ වදාළ නාමරූප පරික්ෂාවේ පටන් හේතුඵල නියාමය තත් වූ පරිද්දෙන් සියල්ල අවබෝධය පිණිස බුදුරජාණන් වහන්සේගේ ඤාණ ප්‍රභේදයෙන් උගන්වන මේ ධර්ම පරියාය මහත් සේ ඉවහල් වේ.
යමක් ඇති කල්හි මෙය වෙයි, මෙය ඉපදීම නිසා මෙයත් උපදී, යමක් නැති කල්හි මෙය නො වේ, මෙය නිරුද්ධ වූ කල්හි මෙයත් නිරුද්ධ වෙයි යන හේතුඵල දහම පච්චය පරිග්ගහ ඤාණයෙන් වටහා ගත්
යෝගාවචරයාට සම්මස්සන ඤාණයෙන් ත්‍රිලක්ෂණයන් වඩා මාර්ගඵල අධිගමනය තෙක් වැඩිය යුතු ප්‍රතිපදාවත් තෙ සැත්තෑ ඤාණයන්ගේ මුල් අවධියෙන් ඉතා ප්‍රකට වන කරුණකි.
සීලය මුල් කොට සමාධිය වඩා ඇත්ත ඇති සැටියෙන් දැකීම හෙවත් අධිප්‍රඥා ශික්ෂණය තුළින් අමෘත මහා නිවනට පිවිසීමේ ක්‍රමය, සීල සංවරය නිසා සමාධි සංවරයත් සමාධි සංවරය නිසා ප්‍රඥා සංවරයත් ප්‍රගුණ වීමෙන් ඒකාන්ත වීතරාගී තත්ත්වය දක්වා සිත වැඩෙන මග ඤාතපරිඤ්ඤා තීරණ පරිඤ්ඤා වශයෙන් දියුණු කරගත් ශ්‍රැතමය ඤාණ චින්තාමය ඤාණ කෙළවර භාවනා වශයෙන් වැඩුණු සිතින් පහාන පරිඤ්ඤාව දක්වා සිත වැඩුණු පිළිවෙත ශ්‍රාවක සාධාරණ ඤාණ කොට්ඨාසයෙන් ඉස්මතු වන තවත් කරුණකි.
භාග්‍යවතුන් වහන්සේ “චත්තාරිමානි භික්ඛවේ සෝතාපත්තියඞ්ගානි” වශයෙන් සත්පුරුෂ සේවනය, සද්ධර්මශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්මපටිපත්ති යන සෝතාපත්ති අඞ්ග සතරක් දේශනා කළ සේක.
මින් ප්‍රකට වනුයේ බුදු පසේබුදු මහරහත් ආදි සත්පුරුෂයන්ගේ එකතුවෙන් ලැබෙන නිර්වාණගාමි ප්‍රතිපදා ධර්මශ්‍රවණයෙන් තම තමන්ගේ සන්තාන තුළ දියුණු කරගත් යෝනිසෝ මනසිකාරය සමග විපස්සනා භාවනා පුහුණුව වැනි ගුණාංගයන් ගෙන් දියුණු වන අනුපිළිවෙළ සෝතාපත්ති ප්‍රතිපදාව බවයි.
එය මෙසේ බුදු වදනින් ම තහවුරු කරගත යුතු ය. ඉධ භික්ඛවේ සම්මාදිට්ඨි සීලානුග්ගහිතා ච හෝති, සුතානුග්ගහිතා ච හෝති, සාකච්ඡානුග්ගහිතා ච හෝති, සමථානුග්ගහිතා ච හෝති, විපස්සනානුග්ගහිතා ච හෝති.
එනම් සීලය, බහුශ්‍රැත බව, සාකච්ඡාව, සමථ – විපස්සනා යන මෙකී සම්මාදිට්ඨිය මූලික පදනමේ පටන් ලෝකෝත්තර විමුක්තිය දක්වා වැඩීම පිණිස කියන ලද අනුග්‍රහයෝ මනාව ලබාගත යුතුයි. මෙසේ අරිහත් චේතෝ විමුක්තිය පිණිස උපකාරක විදර්ශනාවත් – විදර්ශනා ඤාණත් ලෝකෝත්තර මාර්ගඵලත් ප්‍රත්‍යවේක්ෂා ඤාණත් ලෝකෝත්තර භූමියෙහි පිහිටි වෙනත් විදර්ශනා විහරණ, සමාපත්ති විහරණ, ෂඩ් අභිඥා, සිවුපිළිසිඹියා ඇතුළු ශ්‍රාවක සාධාරණ ඤාණත් ශ්‍රාවක අසාධාරණ ඤාණත් දක්වා වැඩෙන ක්‍රම පටිපාටිය තෙ සැත්තෑ ඤාණ ධර්ම පරියායෙන් මෙසේ ප්‍රකට කරන ලදී.
සාධාරණ – අසාධාරණ ඤාණ
තෙ සැත්තෑ ඤාණ අතුරින් සම්මාසම්බුදු රජාණන් වහන්සේලාට පමණක් ම අයිති වූ ඤාණ සයකි. සත්ත්වයන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩුණ-නො වැඩුණ බව හෙවත් ඉන්ද්‍රිය පරෝපරියත්තය ඤාණයත්, සත්ත්වයන්ගේ කෙලෙස් අඩු වැඩි බව යන ආසය-අනුසය ඤාණයත් යන ඤාණ ද්විත්වය “බුදු ඇස” නමි. සම්මාසම්බුදුරජාණන් වහන්සේ නමක් ඉන්ද්‍රිය ධර්මයන් වැඩී ක්ලේශයන් ගෙන් අඩු උග්ඝටිතඤ්ඤූ, විපචිතඤ්ඤූ, නෙය්‍ය, පදපරම යන පුද්ගල ප්‍රභේදයන් බලා ධර්මය අවබෝධය වන පිරිස වෙනුවෙන් බුදු ඇස යොමු කරනු ලැබේ.
සම්බුද්ධත්වය ලැබූ පසු දෙවියන්ගේ සැක සාංකා විධමනය පිණිසත්, ශාක්‍ය ජනපදයේ ඤාතිමාන මර්දනය පිණිසත්, සැවැත් නුවර තීර්ථක මාන මර්දනය පිණිසත් යනාදී විශේෂ අවස්ථාවන්හි දී පමණක් පරිහරණය කළ ගිනි සහ ජල දෙක විහිදුවමින් කළ සුවිශේෂ ප්‍රාතිහාර්ය “යමක මහා ප්‍රාතිහාර්ය” නමි. දිනපතා හිමිදිරි පාන්දර සුගන්ධ කුටියේ පටන් සක්වළ ගල කෙළවර තෙක් ද, සවස් කාලයේ සක්වළ ගල කෙළවර පටන් සුගන්ධ කුටිය තෙක් ද සියලු සත්ත්වයන් වෙත වරකට දොළොස්කෝටි ලක්ෂ වාරය බැගින් දෙවරක් සමවදින්නා වූ ඒ අවිජහිත සමාපත්ති නුවණ “මහාකරුණා සමවත් සුවයයි”. සියල්ල දත් නුවණ “සර්වඥතා ඤාණයයි”. සියල්ල දැනගැනීමට බාධා වන ආවරණයක් එහි නොමැති බැවින්
“අනාවරණ ඤාණයයි”.
“සබ්බං සඞ්ඛතමසඞ්ඛතං අනවසේසං ජානාතීති – සබ්බඤ්ඤුත ඤාණං, තත්ථ ආවරණං නත්ථීති – අනාවරණඤාණං, – මේ ලෝකයේ හටගත් සියල්ලත්, හට නො ගත් සියල්ලත් තත් වූ පරිද්දෙන්
දැනගැනීම සර්වඥතා ඤාණයයි. බුදුරජාණන් වහන්සේලාට පමණක් සියල්ල අවබෝධ කරගැනීමේ කිසි දු ආවරණයක් නැත්තේනු යි අනාවරණ ඤාණයයි.
මෙසේ බුදුරජාණන් වහන්සේලාට පමණක් පිහිටන ඤාණයන් 6ට අමතර ව ශ්‍රාවකයන්ට පිහිටන්නා වූ උතුම් ඤාණයන් 67කි.
පුහුදුන් යෝගාවචරයෙක් සුතමය වශයෙන් දියුණු කරගත් ධර්මඤාණය පාදක කොට සීලාදී ගුණයන් ගෙන් සීල විසුද්ධිය වඩා, සමාධි ගුණයෙන් චිත්තවිසුද්ධිය විසද කොට, “නාමරූපානං යාථාවදස්සනං දිට්ඨිවිසුද්ධි නාම” නාමරූපයන්ගේ තත් වූ පරිද්දෙන් ඇති කරගත් අවබෝධයෙන් ආත්මදෘෂ්ටිය විශ්කම්භනය කොට ඒ නාමරූපයන්ගේ හේතුඵල දැනීමේ ධම්මට්ඨිති ඤාණයෙන් සමාධියත් ඤාණයත් පාදක කොට ස්කන්ධ ආදී සියල්ල අනිත්‍යාදී වශයෙන් වඩමින් නාමකලාප – රූපකලාප සම්මසනයත් පුරුදු කොට නාමරූපයන්ගේ උදය වය දකින උදයබ්බය ඤාණයත්, එතැන් පටන් අනුපිළිවෙළින් භඞ්ග – භය – ආදීනව – නිබ්බිදා මුඤ්චිතුකම්‍යතා – පටිසඞ්ඛානුපෙක්ඛනා – සඞ්ඛාරුපෙක්ඛා යන ඤාණය දක්වා සිත දියුණු කරගත හැකි ය.
ආර්ය භූමිය
සඞ්ඛාරුපේක්ඛා ඤාණයට පැමිණි
යෝගාවචරයෙක් ආසේවන භාවිත බහුලීකෘත කරනුයේ ශ්‍රද්ධා සීල සති සමාධි පඤ්ඤා තීක්ෂණ බවට පැමිණෙමින්
පෘතග්ජන ගෝත්‍රය අභිභවනය කරමින් ගෝත්‍රභූ ඤාණය උපදවයි. තවදුරටත් සියලු සංස්කාර – නිමිතිවලින් නැඟිටීම පිණිස උපකාරක අනුලෝම ඤාණය දක්වා වැඩුණ සිත ආර්ය ගෝත්‍රයට පිවිසීම් වශයෙන් මාර්ගඵල අධිගමනය වේ. මෙසේ අරිහත් ඵලය අවසාන කොට ඇති ඒ උතුම් ඤාණයෝ එකුන් විස්ස (19) “ප්‍රත්‍යවේක්ෂා ඤාණ” නම් වේ.
සීල විසුද්ධියේ පටන් අනුපිළිවෙළින් ඤාණදස්සනවිසුද්ධිය දක්වා සිත දියුණු කරගන්නා ක්‍රමය පළමු ඤාණ තුදුසෙන් (14) අර්ථවත් වේ.
වවත්ථාන ඤාණ නිර්දේශය
සීල විසුද්ධියේ පටන් ලෝකෝත්තර භූමිය තෙක් තුදුස් ඤාණයන් ගෙන් අර්ථවත් වන නිවන් මඟ පෙන්වා නැවතත් නාමරූපයන්ගේ ව්‍යවස්ථාපනය හෙවත් ගැඹුරු අවබෝධය පිණිස වවත්ථාන ඤාණ නිර්දේශය වදාරන ලදී.
(i) අජ්ඣත්ත වවත්ථාන ඤාණය – ආධ්‍යාත්මික වස්තු රූප අනිත්‍යාදි වශයෙන් විදර්ශනා වශයෙන් පවත්නා ඤාණයයි.
(ii) බහිද්ධා වවත්ථාන – බාහිර වූ රූපාදී ගෝචර රූපයන් අනිත්‍යාදි වශයෙන් විදර්ශනා වශයෙන් පවත්නා ඤාණයයි.
(iii) චරියාවවත්ථාන – විඤ්ඤාණ ආදී චරියා ධර්මයන්ගේ හැසිරීම දැකීමේ නුවණ.
(iv) චතුධම්මවවත්ථාන – කාම, රූප, අරූපාදී චතුර්විධ භූමීන්හි පැවැති නාමරූප ධර්මයන්ගේ ව්‍යවස්ථාපනය (දැනගැනීම) පිළිබඳ විදර්ශනා වශයෙන් පවත්නා ඤාණයයි.
(v) නවධම්මවවත්ථාන – කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න යන භූමිගත කුසල් අකුසල් අබ්‍යාකත යන ධර්මයෝ නව (09) ආකාර වශයෙන් දැන විනිශ්චය කිරීමේ නුවණයි.
මෙසේ නාමරූප ධර්මයන්ගේ ප්‍රභේදය දැනගැනීම ඤාත පරිඤ්ඤා වශයෙන් පෙන්වා ඉන් අනතුරු ව තීරණ – ප්‍රහාණ වශයෙන් විදර්ශනා නුවණ ගැඹුරින් ප්‍රකට කිරීම සඳහා විශේෂයෙන් “පඤ්චඤාණ” දක්වා ඇත.
මත්තෙහි අරිහත්වය දක්වා ප්‍රකට වන එම පඤ්ච ඤාණයෝ කවරේ ද යත් නම්,
(i) විශිෂ්ට ඤාණයෙන් දත යුතු සියල්ල දැන ගැනීමේ නුවණ (ඤාතට්ඨ ඤාණය)
(ii) නාමරූපයන්ගේ කෘත්‍යාදිය හාත්පසින් දැනගෙන සම්මස්සන වශයෙන් සංස්කාරයන් තීරණය කර ගැනීමේ නුවණ (තීරණට්ඨ ඤාණය)
(iii) අනිත්‍ය අසුභ ආදී වශයෙන් මනා ව දැන ප්‍රහාණය කරමින් සංස්කාරයන් අත්හැරීමේ නුවණ (පරිච්චාගට්ඨ ඤාණය)
(iv) අනිත්‍යාදී වශයෙන් ගෙන භාවනා වශයෙන් වඩා විමුත්ති රස වශයෙන් අවබෝධ කිරීම (ඒකරසට්ඨ ඤාණය)
(v) එකී සංස්කාර ධර්මයන් යථා ස්වභාවය ප්‍රතිවේද ප්‍රතිලාභ වශයෙන් ප්‍රත්‍යක්ෂ ලෙස ස්පර්ශ කිරීමේ නුවණ (ඵුසනට්ඨ ඤාණය)