දහම් දෙසීමේ සම්ප්‍රදාය

rashi
By rashi
11 Min Read

ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ

අවවාද අනුශාසනා, ධර්ම දේශනා යන වචන සිංහල බෞද්ධයන් අතර නිතර කතාබහට ලක්වන, ගරු සැලකිලි ලබන සංස්කෘතික හා අධ්‍යාපනික අගයකින් යුතු අරුත්බර වචන තුනකි. අවවාද යන වචනයෙන් අදහස් වන්නේ ගුරු දෙගුරුන් වැඩිහිටියන් පමණක් නොව – ඇතැම් විට අධිකරණයෙන් පවා කෙනකු විසින් කරන ලද සුළු වැරදි නිග්‍රහයට ලක්කොට වරද කළ පුද්ගලයා නිවැරදි මගට යොමු කරවීමට ගනු ලබන තර්ජනාත්මක ස්වරූපය ඇති ක්‍රියාවලියකි. ‘යළි මෙවැනි ක්‍රියාවන්හි නොයෙදෙන ලෙස තරයේ අවවාද කොට නිදහස් කරමි’ වැනි යෙදුම්වලින් ඒ බව පැහැදිලි වෙයි. මෙසේ අවවාද කරන්නවුන් බුදු දහමේ හඳුන්වන්නේ ‘නිග්ගය්හවාදි’ යන වචනයෙනි.

නීධීනංව පවත්තාරං – යං පස්සේ වජ්ජදස්සිනං
නිග්ගය්හවාදිං මේධාවිං – තාදිසං පණ්ඩිතං භජේ
තාදිසං භජමානස්ස – සෙය්‍යෝ හෝති න පාපියෝ

(ධම්මපද පාළි – පණ්ඩිත වග්ග – 1 ගාථා) යන ගාථාවෙන් ඒ බව පැහැදිලි වේ.

අනුසාසනා යන්නේ අදහස් වන්නේ වැරදි ක්‍රියාවන්හි දුර්විපාක පෙන්වා දී එයින් වැළකීමේ යහපත් ප්‍රතිඵල පැහැදිලි කොට සුමග ගමන් කිරීමට උපදෙස් දීමයි. පහත දැක්වෙන ගාථාවේ අනුසාසනා ශබ්දය යොදා ඇති අයුරු සැලකිල්ලට ගන්න.

සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං – ඒතං බුද්ධානුසාසනං

අනුසාසනාව හොඳ – නරක දැනුවත් කිරීම සඳහා යොදා ගන්නා වාචසික ක්‍රියාවලියකි. ධර්මානුසාසනාව යනු දහම ඇසුරින් දිවි මඟට එළිය දෙන උපදේශන ක්‍රියාවලියකි. අනුසාසනාවත්, ධර්මානුසාසනාවත් පෞද්ගලිකව මෙන්ම පොදුවේ කළ හැකිය.

එහෙත් ධර්ම දේශනය සම්මත චාරිත්‍ර – වාරිත්‍ර විධි සහිතව මහජනතාව හා මධ්‍යයේ කරනු ලබන්නකි.

ධම්ම සත්වයා සතර අපායට වැටෙන්නට නොදී රැක ගන්නා නිසා ධම්ම යැයි කියනු ලැබේ. (චතුසු අපායෙසු අපතනං කත්වා සත්තේ ධරතීති ධම්මෝ) යි සඳහන් වේ. එහෙයින් සත්වයා දුගතියෙන් මුදවාගෙන සුගති මඟේ ගමන් කරවමි යන කාරුණික වූත් මෛත්‍රී සහගත වූත් සිතින් කරනු ලබන දේශනය ධර්ම දේශනය වශයෙන් අරුත් ගැන්විය හැකිය.

ධර්ම දේශනයත්, ධර්ම ශ්‍රවණයත් (දෙසනා-සුති) දස පුණ්‍ය ක්‍රියාවන්ට අයත් පිංකම් දෙකකි. මංගල සූත්‍රයෙහි සුදුසු අවස්ථාවන්හි ධර්මය ගැන සාකච්ඡා කිරීම (කාලේන ධම්ම සාකච්ඡා) ද, සුදුසු කල්හි දහමට සවන් දීම (කාලේන ධම්ම සවණං) ද පව් දුරු කරන මංගල කරුණු වශයෙන් දැක්වෙයි. එහෙයින් ධර්ම දේශකයාත්, ධර්ම ශ්‍රවණය කරන්නාත් යන දෙදෙනාම කරන්නේ පව් දුරු කරන උතුම් පුණ්‍ය ක්‍රියාවකි.

බුදු දහමෙහි දැක්වෙන පරිදි තමාගේත්, අන්‍යයන්ගේත් පව් දුරු කරන මේ ධර්ම දේශනාමය පුණ්‍ය කර්මයෙහි යෙදෙන ධර්ම දේශකයන් වහන්සේ නමක් ප්‍රතිපත්ති පහක් තුළ පිහිටා ධර්ම දේශනා කළ යුතුය. (පරේසං භික්ඛවේ, ආනන්ද ධම්මං දෙසෙන්තේ පඤ්ච ධම්මෙ අජඣත්තං උපට්ඨපෙත්වා පරෙසං ධම්මො දෙසෙතබ්බෝ

  1. අනුපිළිවෙළ කතාව අතරමගදී කඩ නොකර අන්‍යයන්ට ධර්මය දේශනා කරන්නෙමි යි සිතේ තබාගෙන දහම් දෙසිය යුතුය. (අනුපිළිවෙළ කතාව නමින් සැලකෙන්නේ දාන කථා, සීල කථා, සග්ග කථා, කාමාදීනව කථා, නෙක්ඛමමානිසංස කථා යන අනුපිළිවෙළ කථාය.)
  2. පරියාය කථා පර්යාය වචන, වාක්‍යය දක්වමින් අනුන්ට දහම් දෙසමියි සිතේ තබාගෙන අනුන්ට දහම් දෙසිය යුතුය. (පරියාය කථා නමින් සැලකෙන්නේ සමානාර්ථ වචන හා වාක්‍යයි. නිදසුන් : පට්ඨපනා, විවරණ, විභජනා, උත්ථානිකරණං)
  3. දුකට පත්වූවන්ට එයින් නිදහස් වීමට මඟ පෙන්වමියි සිතේ තබාගෙන කරුණා මෛත්‍රියෙන් යුතුව දහම් දෙසිය යුතුය.
  4. ආමිස පුද පූජා බලාපොරොත්තුවක් නැති ව අනුන්ට දහම් දෙසමියි සිතේ තබාගෙන දහම් දෙසිය යුතුය.
  5. තමන් උසස් කොට සලකාගෙන (අත්තුක්කංසන අනුන් පහත් කොට සලකාගෙන (පරවම්භන) අනුන්ට දහම් නොදෙසිය යුතුය.

ඉහත කී පඤ්චවිධ ප්‍රතිපත්තියෙහි පිහිටාගෙන දහම් දෙසන භික්ෂුව ධර්ම දේශනාමය පුණ්‍ය කර්මයෙහි ආනිසංස ලබන්නෙක් වෙයි.

අනුන්ට දහම් දෙසන භික්ෂුවක් විසින් විශේෂ අවධානය යොමු කළ යුතු ඉතා වැදගත් කරුණ වන්නේ ධර්ම පාඨ උච්චාරණයේදී නිවැරදිව ශබ්දෝච්චාරණය කිරීමයි. පෙර වැඩ සිටි ධර්ම දේශකයාණන් වහන්සේලා මේ ගැන විශේෂ අවධානය යොමු කළහ. අතිපූජ්‍ය පැලෑනේ වජිරඤාණ නාහිමි, අතිපූජ්‍ය කළුකොඳයාවේ පඤ්ඤාසේඛර නාහිමි, අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ නාහිමි යන අති පූජ්‍ය නාහිමිවරුන් විසින් පවත්වන ලද ධර්ම දේශනා පටි සපයාගෙන සවන් දීමෙන් ශබ්දොච්චාරණය සම්බන්ධව බොහෝ ආදර්ශ ලබාගත හැකිය.

බුදුරජාණන් වහන්සේ ‘න භික්ඛවේ ගීතස්සරේන ධම්මො දෙසෙතබ්බො’ මහණෙනි, ගීත ස්වරයෙන් ධර්මය නොදෙසිය යුතු යැයි ධර්ම දේශක භික්ෂුන් අරභයා විනය ප්‍රඥප්තියක් ද පනවා ඇත. බුද්ධ වචන භාවිතයේදී ඒවා දසවිධ ව්‍යඤ්ජන සම්පත්තිය

රැකෙන සේ උච්චාරණය කිරීම අවශ්‍ය බව අවධානයට ගත යුතු කරුණකි. එනම් බුද්ධ වචන උච්චාරණයේදී සිථිල (අල්පප්‍රාණාක්ෂර) ගරුක, ලහුක, නිග්ගහීත යන අකුරු නිවැරදිව ශබ්ද කිරීම අවශ්‍යයි. මෙය තවත් සරලව කියතොත් ධර්ම දේශකයාණන් වහන්සේ ශබ්දෝච්චාරණයෙහි මනා පුහුණුවක් ලද කෙනකු විය යුතුය. සුතා (අසා දැන ගැනීම) ධතා (අසා දැනගත් වචන වාක්‍යය සිතේ දරා ගැනීම) වචසා පරිචිතා (අසා – දැන උගෙන සිතේ දරාගෙන ඇති වචන වාක්‍ය මැනවින් උච්චාරණය කිරීමට පුහුණුවීම) මනසා පෙක්ඛිතා (ඒ අසා දැනගෙන, සිතේ දරාගෙන සිටි මැනවින් උච්චාරණය කිරීමට පුහුණු වූ වචන හා වාක්‍යවල අර්ථය සිතින් විමසීම) දිට්ඨියා සුප්පටිවිද්ධා (වැරදි වැටහීම් ඇති වී තිබේ නම් එවැනි වැරදි වැටහීම් ඉවත් කරගෙන මැනවින් අවබෝධ කරගැනීම) යන බෞද්ධ ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ශබ්දෝච්චාරණ පුහුණුවට දී ඇති විශේෂත්වය ධර්ම කථිකයන්ගේ අවධානයට ගැනීම ඉතා වැදගත්ය.

බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවිට අංග අටකින් යුත් උතුම් හඬක් (අෂ්ටාංග සමන්විත බ්‍රහ්ම ස්වරයක්) නිකුත් වූ බව කියනු ලැබේ. 1. මැනවින් ශබ්ද නිකුත් වීම (විස්සට්ඨ) 2. මිහිරි බව (මඤ්ජු) 3. සවන් දෙන්නාට වහා අවබෝධ වීම (විඤ්ඤෙය්‍ය) 4. සවන් දීමේ රුචිය වර්ධනය වීම (සවනීය) 5. පැතිර යන හඬක් ඇතිවීම (විසාරිණී) 6. බිංදුව සහ අනුනාසික අකුරු මැනවින් භාවිත වීම (බින්දු) 7. ගැඹුරු හඬක් ඇතිවීම (ගම්භීර) 8. අවසානයේ සිහින් සිනිඳු හඬක් පැතිරයෑම (නින්නාද) යනු ඒ අෂ්ටාංග සමන්විත බ්‍රහ්ම ස්වරයයි. මේ කරුණු අට පහසුවෙන් මතක තබා ගැනීමට පුරාණාචාර්යවරුන් ගාථාවකට නඟා ඇත්තේ මෙසේය.

විස්සට්ඨ – මඤ්ජු – විඤ්ඤෙය්‍යා
සවනීයා – විසාරිණෝ
බින්දු – ගම්භීර – නින්නාදි
ත්වෙචමට්ඨ`ඩ්ගිකෝ සරෝ

බුදුරදුන් බඳු ශ්‍රේෂ්ඨ උත්තමයකුගේ සිරිමුවින් නිකුත් වූ අර්ථ රසයෙන් ද ශබ්ද රසයෙන් ද යුත් වචන – වාක්‍ය උන්වහන්සේගේ අනුගාමික පිරිස උච්චාරණය කිරීමේදී ජනතාව ඉදිරියේ ප්‍රකාශ කිරීමේදී මනා පරිචයකින් – මහා සැලකිල්ලකින් කළ යුතු බව අමුතුවෙන් කිය යුත්තක් නොවේ.

ධර්ම දේශනා ආකෘතිය

විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු සිසුන් අමතා පවත්වන ශාස්ත්‍රීය දේශනයකත් දේශපාලකයකු දේශපාලන වේදිකාවකට නැඟී ඡන්ද දායකයන් අමතා කරන දේශපාලන කතාවකත් භික්ෂුවක් ධර්මාසනාරූඪව පවත්වන ධර්ම දේශනාවකත් අතර ඇත්තේ මහත් වෙනසකි. මේවා එකිනෙකට පටලවා ගෙන ජනතාව ඇමතීම.

අසන්තුෂ්ටෝ යතිර් නෂ්ට:
සන්තුෂ්ටීච මහීපති:
සලජ්ජා ගණිකා නෂ්ටා
නිර්ලජ්ජීච කුලාඬගනා

යන ශ්ලෝකයේ අර්ථය සිහියට නඟන හාස්‍යොත්පාදක අවස්ථාවකි. විශේෂයෙන් ධර්මාසනාරූඪව දහම් දෙසන තරුණ උපාධිධාරි භික්ෂුන් මෙහිලා සැලකිලිමත් විය යුතුය.

ධර්ම දේශනයකත්, ශාස්ත්‍රීය දේශනයකත්, දේශපාලන කතාවකත් අතර ඇති වෙනස නොසලකා ධර්ම දේශනා ශෛලිය බැහැරලා දහම් දෙසුමක් පවත්වතොත් එය ධර්ම දේශනා ගණයට නොවැටේ. ධර්ම දේශනාව සඳහා සම්මත ආකෘතියක් ඇත. එය සැකෙවින් මෙසේය.

  1. ධර්ම දේශකයන් වහන්සේ ගරු සරු සහිතව ධර්මශාලාවට වඩමවා ගෙන ඒම.
  2. පා සේදීම සහ සැදැහැවතුන් නැඟිට සාධුකාර පවත්වා පිළිගැනීම.
  3. දේශකයන් වහන්සේ අසුන් ගත් පසු පිරිස බද්ධ පර්යාංකය බැඳගෙන බිම වාඩිවීම.
  4. දායකයා විසින් දැහැත් වට්ටියක් පිරිනමා ධර්ම දේශනාව පැවැත්වීමට ආරාධනා කිරීම.
  5. ගිහි පිරිස තිසරණ සහිත පඤ්ච සීලයෙහි පිහිටුවීම.
  6. දේවතාරාධනය වරක් කීම.
  7. කාලඝෝෂණය තෙවරක් කීම.
  8. තෙවරක් නමස්කාර කීම.
  9. බුද්ධ වචනයක් මාතෘකාව වශයෙන් ප්‍රකාශ කිරීම.
  10. පිරිස ඇමතීම.
  11. අරමුණ සැකෙවින් ප්‍රකාශයට පත් කිරීම.
  12. ධර්මශ්‍රවණානිශංස සැකෙවින් ප්‍රකාශ කිරීම.
  13. මාතෘකාව හඳුන්වා දීම.
  14. මාතෘකාව වශයෙන් ප්‍රකාශ කළ පාලි පාඨයේ අර්ථය සරල සිංහලයෙන් කීම.
  15. නිදාන කතාව ඉදිරිපත් කිරීම.
  16. මාතෘකා පාඨයට අදාළ කරුණු – අටුවා – ටීකා – බණ කතා ඇසුරෙන් විස්තර කිරීම.
  17. මාතෘකාවට අදාළ ධර්මෝපදේශ ජීවිතයට සම්බන්ධ කිරීම හා දේශනයෙහි සාරාංශය ප්‍රකාශ කිරීම, පුණ්‍යානුමෝදනාව, දෙවියන්ට පිං පැමිණ වීම.

ඉහත දැක් වූ ආකෘතිය යටතේ ධර්ම දේශනයක් පවත්වන්නට මනා පුහුණුවක් තිබිය යුතුය. එසේම/ ධම්ම කුසලතාව, (ත්‍රිපිටක ධර්මය පිළිබඳව මනා දැනීම) අත්ථ කුසලතාව (තමා උගත් ධර්මය පිළිබඳව පදාර්ථ, සම්බන්ධාර්ථ, අන්වයාර්ථ, භාවාර්ථ දැනීම) 3. කාය සංවරය (තැන්පත්, සංවර, ප්‍රසන්න ඉරියව් පැවැත්ම) ආදිය ධර්ම දේශකයා තුළ තිබීම අවශ්‍යය.

ධර්ම දේශකයකු තම ධර්ම දේශනයේදී අනවශ්‍ය අන්දමින් පුද්ගලයින් වර්ණනා කිරීම, දේශපාලන ප්‍රචාර කිරීම, විරුද්ධවාදීන්ට පහර ගැසීම ආදිය සඳහා කාලය කැප කරත් නම් ඒ ධර්මයට කරන නිග්‍රහයෙකි. එසේම එය ශ්‍රාවකයින්ගේ සිත් සතන් කෙළෙසන්නකි.

සාර්ථක ධර්ම දේශනයක් බවට පත්වන්නේ ‘දෙසෙථ භික්ඛවේ ධම්මං ආදි කල්‍යාණං, මජ්ඣෙ කල්‍යාණං, පරියෝසාන කල්‍යාණං, සාත්ථං, සබ්‍යඤ්ජනං, සුවිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙථ’ යන බුද්ධාවවාදය මත පිහිටා ගෙන ලාභ, කීර්ති, ප්‍රශංසාවත් අපේක්ෂාවකින් තොරව කරුණා මෛත්‍රියෙන් යුතුව කරනු ලබන ධර්ම දේශනාවකි. ධර්ම දේශනාව අවසානයේ පුද්ගල චර්යාවේ සැබෑ වෙනසක් ඇතිවිය යුතුය.

ක්‍රි.පූ. 3 වන සියවසේදී මිහිඳු මාහිමියන් සිරිලකට වැඩම කර දෙවන පෑතිස් රජුට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කරමින් ආරම්භ කළ ධර්ම දේශනා වැඩපිළිවෙළ සිංහල බෞද්ධ හදවත් තුළ පරපුරින් පරපුරට ලේ උරුමයක් බවට පත්ව ඇත. උගත් නූගත් කොයි කවුරුන් වුවත් දහම් දෙසුමකට සවන් දීමෙන් අපේක්ෂා කරන්නේ බුද්ධ භාෂිතයක්, ශ්‍රාවක භාෂිතයක්, දේව භාෂිතයක්, නැතහොත් ජාතක කතාවක් සවිස්තරව අසා දැන ගැනීමටය. ඒවා අටුවා ටීකා සහිතව සරල බසින් විස්තර කරන ධර්ම දේශනා ඇසීමෙන් ජනතාව ලබන්නේ බුද්ධාලම්බන ප්‍රීතියෙකි. එම ප්‍රීතිය ලබමින් ජනතාව සඟමොක් මඟෙහි යොදවාලිය හැක්කේ ත්‍රිපිටකය මැනවින් හදාළ භික්ෂුවකට පමණි. එමගින් භික්ෂුව ලබන්නේ නිරාමිස ප්‍රීතියකි. ත්‍රිපිටකය ඇතුළු විවිධ විෂයයන්, විවිධ භාෂා, විවිධ ආගම් මැනවින් හදාළ තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජයන් වහන්සේ ඒ නිරාමිස ප්‍රීතිය පඤ්චිකා ප්‍රදීපයේ මෙසේ සටහන් කරමින් පැරකුම්බා රජුට ද ආසිරි පතති.

‘සත්ථන්තරේච විවිධෙ විසයන්තරේච
භාසන්තරේච සකලේ පිටකත්තයේ ච
ආචේර භාවමුපගම්ම භජාමි පීතිං
දීඝං ස ජීවතු පරක්කමබාහු රාජා’

ඉහත දැක්වූ කරුණු සැකෙවින් සටහන් කළේ ධර්ම දේශනා පුහුණුව ලබන නවක – තරුණ භික්ෂූන්ට ප්‍රයෝජන වෙතැයි සලකා ගෙනය. දහම් දෙසීම සම්බන්ධව ලියැවුණු උපදෙස් ඇතුළත් අගනා ග්‍රන්ථ කිහිපයක් දැනට මුද්‍රණයෙන් නිකුත් වී ඇත. රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය වරකාගොඩ සීලරතන නාහිමියන්ගේ ‘සදහම් දෙසීම හෙවත් බුදු බණ කියන හැටි’ ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය අත්තුඩාවේ රාහුල මහ නාහිමියන්ගේ පොහෝදා වත හා පොහෝදා ධර්ම දේශනා පූජ්‍ය පණ්ඩිත කුඹල්වෙල පියතිස්ස නා හිමියන්ගේ ධර්ම දේශනා පුහුණුව හා හිතට දැනෙන බණ යන පොත් නවක – තරුණ ධර්ම දේශකයන් වහන්සේලාටත්, සැදැහැති ගිනි පැවිදි හැමදෙනාටමත් ඉතා ප්‍රයෝජනවත්ය. ආදර්ශ ධර්ම දේශනා ද මෙම ග්‍රන්ථවල ඇතුළත් කොට තිබේ. එසේ ම විවිධ බෞද්ධ සංවිධාන, විහාරස්ථාන, ග්‍රන්ථ ප්‍රකාශන ආයතන ආදිය මගින් ප්‍රකාශිත ධර්ම දේශනා සංග්‍රහ රාශියක් ද ඇත. එම ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් ධර්ම දේශනා ක්‍රමය පිළිබඳ අවබෝධයක් හා ධර්ම ඥානයන් වඩා වර්ධනය කරගත හැක.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *