පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමි
දෙවැනි කොටස
මානයෙන් හිටිය ඡන්න හාමුදුරුවන් වහන්සේට බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙ පළමු සංගායනාවේ දී බ්‍රහ්මදණ්ඩය පැණෙව්ව බව අපි දන්නව. එයින් පස්සෙ මානය බිඳහෙළා උන්වහන්සේ ස්ථවිර භික්‍ෂූන් වහන්සේලාගෙන් ඉල්ලාහිටිය, (සං: නි: 3, ඡන්න සූත්‍රය, 126 පිට) “ධර්මය දකින්න පුළුවන් විදියට මට අවවාද අනුශාසනා කරන්න” කියල. ඒ වෙලාවේ ස්ථවිර භික්‍ෂූන් වහන්සේලා රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන මේ ස්කන්‍ධ ධර්ම අනිත්‍ය බවත් අනාත්ම බවත්, සියලු ධර්ම අනාත්ම බවත් ප්‍රකාශ කළා. ඡන්න හාමුදුරුවන්ට ඒ ප්‍රකාශය ප්‍රමාණවත් වුණේ නෑ. ඒ හින්දා උන්වහන්සේ මෙහෙම කල්පනා කළා: “මමත් ඔය කාරණේ දන්නව. එහෙම දැන සිටියට මගේ සිත නිවනෙහි පැහැදෙන්නෙ නෑ. තැතිගැනුම් උපදිනව. උපාදානය උපදිනව. ‘මාගේ ආත්මය කුමක් ද’ කියන සිත නැවත නැවතත් ඇති වෙනව. දහම දකින කෙනකුට එහෙම වෙන්න බෑ. දහම දකින්නට පුළුවන් විදියට මට ධර්මය දේශනා කරන්නෙ කවුද?”
මේ වෙලාවෙ මට ඒ විදියට ධර්මයක් දේශනා කරන්න ආනන්‍ද හිමියන් සමර්ථයි කියල කල්පනා කරල ආනන්‍ද හිමියන් හොයාගෙන කොසඹෑ නුවර ඝෝසිතාරාමයට වැඩිය. ආනන්‍ද හිමියන්ට කියා හිටිය, තමන් වහන්සේ ස්ථවිර භික්‍ෂූන් වහන්සේලා ගෙන් අවවාද ඉල්ලාසිටිය බවත්, ස්කන්‍ධධර්ම අනිත්‍ය බව – අනාත්ම බව – සියලු ධර්ම අනාත්ම බව දේශනා කළ බවත්, එපමණකින් මගේ සිත නිවනෙහි නො පැහැදුණ බවත් කියා හිටිය. මට දහම දකින්න පුළුවන් විදියට ධර්මය දේශනා කරන්නෙ කවුද කියල මම කල්පනා කළා. ඒ වෙලොවෙ මට කල්පනා වුණා කොසඹෑ නුවර ඝෝසිතාරාමෙ වැඩ ඉන්න ආනන්‍ද හාමුදුරුවො ශාස්තෘන් වහන්සේ විසිනුත් වර්ණනා කළ කෙනෙක්. නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් බුහුමන් කරන කෙනෙක්. උන්වහන්සේ සමර්ථයි, මට දහම දකින්න පුළුවන් වෙන විදියට ධර්මය දේශනා කරන්න, කියල කල්පනා කරලයි මම ආවෙ. ඒ නිසා මට අවවාද කරන සේක්වා, කියල, ඉල්ලා හිටිය.
ඒ වෙලාවේ ආනන්‍ද හාමුදුරුවො, දහම් දෙසන්නට ඉස්සර වෙලා මානය බිඳහැරීම ගැන සතුට ප්‍රකාශ කරල, දැන් ඔබවහන්සේ කන් යොමු කරල දහම අසන්නට සුදුස්සෙක් කියල මතක් කළා. ඒ වචනෙ අහන කොට ‘දැන් මම දහම දැන ගන්න සුදුසුයි’ කියල ඡන්න හාමුදුරුවන්ට මහත් වූ ප්‍රීති ප්‍රමෝදයක් ඇති වුණා. ඉතින් මේ වෙලාවෙ කච්චානගොත්ත හිමියන්ට වදාළ දහමක් භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගෙන සිටි ආකාරයෙන් ඡන්න හිමියන්ට දේශනා කළා.
“කච්චාන, මේ ලෝකයා බොහෝ සෙයින්, ඇති බව හා නැති බව ඇසුරු කරනව. (එක්කෝ ‘ඇත’, නැත්නම් ‘නැත’ කියන අන්තවලට වැටෙන ගතිය) කච්චාන, ලෝකයේ සමුදය (මෙය ඇති කල්හි මෙය වෙයි යන සමුදය රටාව) වන හැටිය විදසුන් නුවණින් දකින කෙනාට ලෝකයේ නැති බවක් වේ නම් එය නො වෙයි. ලෝකයේ නිරෝධය (මෙය නැති කල්හි මෙය නො වෙයි යන නිරෝධ රටාව) වන සැටිය විදසුන් නුවණින් දකින කෙනාට ලෝකයේ ඇති බවක් වේ නම් එය නො වෙයි. මේ ලෝකයා ළං වීමට, අල්ලාගැනීමට, එහි වැදගැනීමට වැඩි වශයෙන් බැඳිලයි ඉන්නෙ. විදසුන් නුවණින් දකින කෙනා ‘මේ මාගේ ආත්මය ය’ යි කියල ළං වීමට, අල්ලාගැනීමට, සිතින් තහවුරු කරගැනීමට, වැදගැනීමට, අනුසය වශයෙන් ගැනීමට පත්වෙන්නෙ නෑ. ‘උපදින්නේ දුක් රැසක් ම උපදියි, නැති වන්නේ දුක් රැසක් ම නැති වෙයි’ යන්න ගැන ඔහුට සැකයක් නෑ; විචිකිච්ඡාවක් නෑ. මෙහි ලා අනුන් පිහිට කරගත්තෙ නැති ඤාණයක් ඔහුට ඇති වෙනව. කච්චාන මෙපමණකින් සම්මාදිට්ඨියෙන් යුක්ත වෙයි.”
දැන් මේ දේශනාවෙන් පැහැදිලි කරගන්න ඕන, සමුදය නිරෝධ පෙනෙන්නෙ නැත්නම් ‘ඇත’ කියල හිතා ගන්න එකත් වැරදි බව. විනාශ වුණාම ‘නැත’ කියල හිතාගන්න එකත් වැරදි බව. ඒ බව දන්නෙ නැති සාමාන්‍ය ලෝකයා ඉන්නෙ, ‘ඇත’ කියන අන්තයටත් – ‘නැත’ කියන අන්තයටත් වැටි වැටී. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කච්චාන හිමියන්ට මෙහෙමත් දේශනා කළා.
“කච්චාන, ‘සියල්ල ඇත’ කියන්නෙ එක අන්තයක්. ‘සියල්ල නැත’ කියන්නෙ දෙවෙනි අන්තය. මේ අන්ත දෙකට ම නො ගොහිල්ල තථාගතයන් වහන්සේ මධ්‍යයෙහි සිට ධර්මය දේශනා කරනව. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර වෙනව. සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වෙනව. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වෙනව. නාමරූප ප්‍රත්‍යයෙන් සළායතන වෙනව. සළායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙනව. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වින්‍දනය වෙනව. වින්‍දනය ප්‍රත්‍යයෙන් තණ්හාව වෙනව. තණ්හාව ප්‍රත්‍යයෙන් උපාදානය වෙනව. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙනව. භව ප්‍රත්‍යයෙන් ජාති වෙනව. ජාති ප්‍රත්‍යයෙන් ජරා – මරණ – සෝක – පරිදේව – දුක් – දොම්නස් – උපායාස ඇති වෙනව. මේ ආකාරයෙන් මුළුමහත් දුක් සමූහයේ ම සමුදය වෙනව.
අවිද්‍යාව ඉතිරි නො කොට නිරෝධයෙන් සංස්කාර නිරෝධය වෙනව. සංස්කාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වෙනව. විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වෙනව. නාමරූප නිරෝධයෙන් සළායතන නිරෝධය වෙනව. සළායතන නිරෝධයෙන් ඵස්ස නිරෝධය වෙනව. ඵස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය වෙනව. වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වෙනව. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය වෙනව. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙනව. භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙනව. ජාති නිරෝධයෙන් ජරා – මරණ – සෝක – පරිදේව – දුක් – දොම්නස් – උපායාස යන මුළුමහත් දුක් සමූහය ම නිරෝධය වෙනව.”
ඉතින් ඔය විදියට ආනන්‍ද හාමුදුරුවො ඡන්න හිමියන්ට උපාදානස්කන්‍ධවල අනිච්ච – දුක්ඛ – අනත්ත බව දැකීම පමණක් මදි නිසා පටිච්ච සමුප්පාද දේශනාව කළා. සමුදය – නිරෝධ ක්‍රියාවලිය තේරුම් කර දුන්න. ඇත – නැත කියන භාවිතා බිහි වෙන්නෙ මේ සමුදය – නිරෝධය නො දකින විට බව කියල දුන්න. ඒ කියන්නෙ අපි මේ දහම් ලිපි පෙළෙන් වරින් වර පැහැදිලි කරපු පච්චුප්පන්නය කියල දුන්න. පච්චුප්පන්නය දකිනව කියන්නෙ ප්‍රත්‍යයන්ගේ සමුදය දකිනව කියන එකයි. එතකොට අතීතය – අනාගතය හොයන්න වෙන්නෙ නෑ.
අතීතය කියන්නෙ එක අන්තයක්. අනාගතය කියන්නෙ දෙවන අන්තය. පච්චුප්පන්නය මැදයි. එතැනට වර්තමානය කියන වචනය යොදලත් නෑ; ඒ වචනෙත් තියෙන්නෙ පවතිනව කියන අදහස. පච්චුප්පන්නය කියල යොදපුවම ගැටලු ඇති වෙන්නෙ නෑ. අපි සළායතනික ව අත්දැකීම් ලෝකයක් මවා ගන්නෙ පච්චුප්පන්න වශයෙන්. අපේ කෙලෙස් මතු වෙන්නෙත් පච්චුප්පන්න වශයෙන්. ඉතින් අතීත සංස්කාර සටහන් සිහිපත් කරන්නෙත් නැත්නම්, අනාගතයේ ඒවා කැමති වෙන්නෙත් නැත්නම්, පච්චුප්පන්න වශයෙන් සමුදය වන අත්දැකීම්වල ඇලෙන්නෙත් නැත්නම් ඒ තමයි නිවීම. මේ ප්‍රතිපදාව තමයි අපිත් පුහුණු වෙන්න ඕන කරන්නෙ.
මේ විදියට ප්‍රඥාව මෙහෙයවන කොට තණ්හා – මාන – දිට්ඨි වශයෙන් අපි බලාපොරොත්තු වීම් වශයෙන්, පාරට්ටු කිරීම් වශයෙන්, හිතින් ගිලගැනීම් වශයෙන් ලෝකය අල්ලන්නෙ නැතුව යනව. තව විදියකින් කියනව නම් නිබ්බිදානුපස්සනාව වැඩෙන කොට, ඒ කියන්නෙ විඤ්ඤාණය මවල දෙන හරයක් නැති නාමරූප මායාවක් බව පැහැදිලි වෙන කොට කෙලෙස්වලින් මැඩෙමින් ඇති වන පෙලඹීම් ටිකෙන් ටික මැකිල යනව; දුරු වෙනව. “නිබ්බින්‍දං විරජ්ජති” කියන බණපදයෙන් කියැවෙන්නෙ ඒකයි. එහෙම මැකිල මැකිල කෙලෙස්වලින් මිදෙනව. “විරාගා විමුච්චති” කියන බණපදයෙන් කියැවෙන්නෙ ඒකයි. එහෙම මිදුණම ප්‍රතිපදාවෙහි නියැලෙන පුද්ගලයාට මිදුණ කියන ඥානය වෙනව. “විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති” කියල සඳහන් වෙන්නෙ ඒකයි.
රූප – වේදනා – සඤ්ඤා – සංඛාර – විඤ්ඤාණ යන උපාදානස්කන්‍ධ අනිත්‍ය වශයෙන් – අනාත්ම වශයෙන්, සියලු ධර්ම අනාත්ම වශයෙන් දැක්කට නිවනට සිත් යොමු නො වුණ ඡන්න හාමුදුරුවන් වහන්සේ ආනන්‍ද හිමියන්ගේ දේශනාවෙන් සෝවන් වුණා. ඒ කාරණේ ඡන්න හාමුදුරුවො සඳහන් කරන්නෙ මෙහෙමයි.
“ඇවැත් ආනන්‍දයෙනි, යම් කෙනකුන්ට අනුකම්පා කරන වැඩ සලසනු කැමති අවවාද කරන අනුශාසනා කරන සබ්‍රහ්මචාරීන් වහන්සේලා වැඩ ඉන්නව නම් ඒ ආයුෂ්මතුන් වහන්සේ වාගෙ අය තමයි. ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් වහන්සෙගේ මේ ධර්ම දේශනාව අහල මට ධර්මය අවබෝධ වුණා.” ඡන්න හාමුදුරුවො මේ සඳහන් කළේ මේ ධර්මය අහල උන්වහන්සේ සෝවන් වුණ බවයි. බුදුරජාණන් වහන්සේ ඇසුරු කළත් ඡන්න හිමියන් තුළ තිබුණ මානය නිසා ධර්මාවබෝධය කොතරම් නම් පසු වුණා ද? උන්වහන්සේට ආනන්‍ද හිමියන් කල්‍යාණමිත්‍රයෙක් වුණා. ශාසනයේ කල්‍යාණමිත්‍රත්‍වය කොතරම් වැදගත් ද යන්නත් මෙයින් පැහැදිලි වෙනව.
(බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවට අනුව මූලාශ්‍ර පිටු අංක යොදා ඇත.)