සුගත් වීරසූරිය
දුර ඈත මෙන්ම මෑත හැම තැනක් ම සරසා තිබුණු තාරකා පොකුරු විශාලා මහ නුවර අහසේ ද බොහෝ තැනෙක ම විසිර පැතිරී තිබුණේ ය. ඉන් ඇතැම් තරු පොකුරු නිවි නිවී දිලෙමින් තිබූ අතර සමහර තරු මල් වදුළු දෑස් දල්වා සිටි හැටියකින් ම හිටියේ ය. ඒ හැමට ම වඩා අහස් කුසයෙහි පායා, කැපී පෙනුණු වටකුරු සඳ පහන පොළොවේ කාටත් එක ම සෙයකින් එළිය බෙදුවේ ය. බෙදූ ඒ රිදී එළියෙන් ලෝකය ම එක ම සිරි විසිතුරක් ගනිද්දී ලිච්ඡවි මහ රජතුමා සිය රාජ මාළිගයේ සඳලු තලයට වී ඒ ඈත අහස දෙස බලා සිටියේ ය. ඔහුගේ සිත කොතෙක් නම් සැදැහැවත් බවකින් පිරී ඉතිරී තිබුණේ ද? එය පමණ කළ හැකි දෙයක් නො වී ය. තිලෝගුරු බුදුරජාණන්වහන්සේ මගේ ය. සදහම් රුවන මගේ ය. ආර්ය අරහත් මඟ මුණිවරුන් ද මගේ යැ යි කල්පනා කළ ඔහුට දානය හැම දා ම නිමා නො වූ පින් තොටක් වූවේ ය. දෙව් ලොවකින් පැමිණ පොළොව මත පිහිටි මහා ඉසුරු පුරවරක් බඳු වූ ඔහුගේ රජ මැඳුර විශල් බිම් තලාවක ඉදි කර තිබුණේ ය. එම මැඳුරු බිමෙහි ම කළ දාන ශාලා කිහිපය ගව් ගණනක් දිගට පැතිර ගිය බව එහි ආ ගිය කා හටත් දක්නට ලැබිණ. බුදු පාමොක් මහ සඟුන් වහන්සේලා බොහෝ විට එහි වැඩියේ උදෑසන දානය වළඳනු පිණිස ය.
බුදුන් හා සඟුන් මෙන්ම දුගී මගී යාචකයන්ට ද කිසිදු සීමාවක් නැති ව දන් දුන් මේ ලිච්ඡවි මහ නිරිඳුන් තුළ වූ සිල්වත් බව ද බෙහෙවින් ම අසිරිමත් ජීවන පැවතුමක් වී ය. හෙතෙම එක ම එක් දිනක් පමණක් සිල් සමාදන් වී ය. ඉක්බිතිව ඔහු හැම දාමත් කළේ සමාදන් වූ ඒ සිල් පද ආවර්ජනය කිරීම පමණි. හැම දාමත් එහෙම අපූරු හා අලුත් ම විදියකින් පන්සිල් සමාදන් වූ මෙම තරුණ ලිච්ඡවි මහ රජතුමා දිනක් සඳලු තලයට වී හුදෙකලාව සිටියේ ය. එය නිසංසල රැයක් වී ය. රාජ මාළිගයේ කොතැනකින් දෝ නැඟී ආ මිහිරි වීණා නාදයක් ඇසුණේ ය. මඳනලට මුසු ව ආ එය රජතුමාගේ සවන් යුග වැළඳ ගත්තේ ය. රජුගේ හිත කවදාක වත් නො වූ නිරාමිස සතුටකින් පිරිණ. මසැසින් නො පෙනුණත් ඔහු ඒ වෙණ වයන්නාට මනැසින් අපමණක් ප්‍රසංශා කළේ ය.
එදින සඳ මඬල බැස ගියේ ය. එයින් ඉක්බිති එළඹුණු නවමු දවසට, ඉර පොළොව මත දහසක් හිරු කිරණ විහිදවී ය. සිරි යහන් ගබඩාව වෙත කුරුලු කූජන ගලා එද්දී රජු නිදි ලොවින් පියවි ලොවට පැමිණියේ ය. ඒ වෙද්දීත් සිය රුසිරුබර බිසව ඔහුට පැන් ගෙන ඔහු අසල බලා හිටියා ය.
“බිසවුනි, මා අවදි වන්න පමා වූවේ නැහැ නේ ද? තවත් හෝරාවකින් පමණ මා කූටාගාර ශාලාව වෙත යන්න ඕනෑ. හෙට දහවල් දානයට කටයුතු සියල්ල සූදානම් ද? මා කූටාගාර ශාලාවට ගොස් බුදුරජාණන්වහන්සේ වෙත දානාරාධනාව කරන්න ඕනෑ.” යි කී ලිච්ඡවි රජතුමා ඉක්මන් ගමනකින් රාජ මාළිගයේ පහත මාලයට ආවේ ය. එහි තිබූ අලංකාර මේසය නොයෙකුත් වූ රාජ භෝජනවලින් පිරී තිබිණ. එහෙත් ලිච්ඡවි රජ තෙම ඒ භෝජනවලින් ඉතා ස්වල්පයක් පමණක් ආහාරයට ගත්තේ ය. එයින් පසු රාජාභරණවලින් සැරසුණ ඔහු රජ මැඳුරෙන් නික්මුණේ ය.
විසිතුරු පෙරහැරක් ඔහු පසු පසින් යනු දක්නට නො ලැබුණු අතර රජුගේ මහ සෙන්පති පමණක් ඔහු හා කූටාගාර ශාලාව වෙත ආවේ ය. එහි පිරිසක් නො සිටිය හ. බොහෝ තැන්වල වූ නුග ගස් හා උණ පඳුරු එම මහ අරම පිහිටි පින් බිම පුරාවට ම විශල් සිහිලසක් රැගෙන ආවේ ය. කූටාගාර ශාලාව වට කොට සිටුවා හෙවුණු මල් පිඳුරු සියල්ලෙහි ම නොයෙක් පැහැ ගත් මල් පිරී පිපී තිබුණේ ය. එය එසේ වුවත් රජු අතරමඟ නවතා ගැනීමට ඒ කිසිවකටත් හැකි නො වී ය. ඔහු තිලෝගුරු බුදුරජාණන්වහන්සේ වැඩ හුන් කුටිය වෙත ගමන් කළේ ය. බුදුරදුන් එහි වැඩ සිටිය හ. ලිච්ඡවි රජ තෙම හිස පැළඳ සිටි ඔටුන්න ගලවා පසෙක තැබී ය. දෙපයෙහි වූ මිරිවැඩි ද ගැලවී ය. මඟුල් කඩුව මහ සෙනෙවි අතට දුන් ඔහු බුදුන් අභිමුවට ගියේ ය. උන්වහන්සේ කුටියෙහි පද්මාසනය මත වැඩ සිටිය හ. බුදු මුව මඬල ඒ සදා සොඳුරු මඳ සිනහවෙන් සැරසී තිබුණේ ය. එමෙන්ම එහි කෙතරම් මහත් වූ කරුණා සයුරු දිය දහරක් එක් රැස් වී තිබුණේ ද? රජුට එය හිතා ගැනීම පවා අසීරු වී. ඔහු බුදු සිරි පා කමල් යුග ළඟ වැඳ වැටුණේ ය.
“මහ රජතුමනි, ඉදින් ඔබ සුව සේ සිටිනවා ද? ජනතාව හොඳින් ද? බුදුරජාණන්වහන්සේගේ අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්ම ස්වරය තම හිත ද සනසා බොහෝ දුරකට පැතිර ගියාක් සේ රජුට හැැඟුණේ ය.
“ස්වාමීනි, භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්ස, මා බොහෝ සුව සේ පසු වනවා. රටවාසී ජනතාව ගැන ද නිරන්තරයෙන් ම සොයා බලනවා.” ලිච්ඡවි රජතුමා බුදු පියාණන් වහන්සේ වෙත සැළ කර සිටියේ ය. බුදුරදුනුත්, නිරිඳුනුත් බොහෝ වේලාවක් ධර්ම කථෝපකථනයෙහි නිරත වී සිටිය හ. බුදුරජාණන්වහන්සේ දානාරාධනාව භාර ගත් හ. එයින් ඉක්බිති රජුත්, සෙන්පතිත් ආපසු රාජ මාළිගය බලා පැමිණිය හ. ඔවුන් මැඳුර වෙත එද්දී මුළු මැඳුරු බිම ම එක ම වැඩ බිමක් බවට පත් වී තිබුණේ ය. පසු දා දානයට එහි කෙනෙක් දන් හල සරසමින් හුන් හ. තවත් පිරිසක් දාන භෝජනවලට අවැසි දේ සකස් කරමින් සිටිය හ. මේ හැම දෙයක් ම සිදු වෙද්දී එදින හිරු හෙමින් සීරුවේ අවර ගිරගට ඇදුණේ ය. අනෙක් හැම දා ම මෙන්ම නිල් අහස පුරා තරු මල් පීදුණේ ය. සඳ නැඟිණ. හැන්දෑ හීතලය මහ පොළොවත් එහි ගහ කොළ හා ජීවයත් වැළඳගත්තේ ය. ලොව නිදි ගති. මහත් සේ ආලෝකවත් වූ රාජ මාළිගය ඈත සිට බලන්නකුට අපූරු දසුනක් සේ පෙනිණ. හෝරා ගණනාවක් පැවැති රෑ අඳුර ටිකෙන් ටික දිය වී යද්දී උදා වූ අලුත් දවසත් එක්ක ලිච්ඡවි රජ තෙම අවදි වුණේ ය. මුව දොවා, දිය නා පිරිසිදු වූ හේ කෙළින් ම දාන ශාලාවට ගියේ ය. එහි කිසිදු අඩුවක් පාඩුවක් නො තිබිණ. කාලය හීන් සීරුවේ ගැලී ය. තිලෝගුරු බුදුරජාණන්වහන්සේ ඇතුළු සිය ගණනකටත් වැඩි මහ සඟ රුවන දහවල් දානය පිණිස රජ මැඳුරට වැඩම කළ හ. දානය පූජා කිරීමේ කටයුතු සේවක සේවිකාවන්ට පමණක් දී බලා නො සිටි රජතුමා ඒ හැම දෙයක් ම සියතින් ම ඉටු කළේ ය. බුදුරජාණන්වහන්සේ ඇතුළු භික්ෂූහු දන් වළඳා අවසන් වූ හ. රජතුමාගේ සිත බොහෝ පහන් වන සේ බුදුරජාණන්වහන්සේ අනුමෙවෙනි බණ වදාළ සේක. ඒ බණ අසන පිරිස අතර ලිච්ඡවි රජතුමාගේ අග බිසව ද සිටියා ය. ඇය අග බිසව් වුවත් කිසිදු රූප සෞන්දර්යයකින් යුතු අයෙක් නො වූවා ය. ස්ථුල සිරුරකින් යුතු වූ ඇයට තිබුණේ ඊට ම සරිලන කාල වර්ණ සමකි.
“දන් වළඳා විහාරයට ගිය භික්ෂූහු ඒ ගැන කතා කළ හ.” ඒ තරම් රූප සම්පත්තියක් ඇති රජ කෙනෙක් මේ තරම් රුවින් අඩු බිසවක් සමග කෙසේ නම් සතුටින් සිටිනවා ද?” භික්ෂූන්ගේ මේ කතා බුදුරජාණන්වහන්සේට ද ඇසුණේ ය.” මහණෙනි, දැන් පමණක් නො වෙයි පෙරත් මේ රජු මෙබඳු ස්ත්‍රියක සමග බොහෝ සතුටින් කාලය ගත කළේ යැ යි වදාළ බුදුරජාණන්වහන්සේ එයට අදාළ අතීත කතාව ද දක්වා වදාළ හ.
ඈත අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනකු රාජ්‍යය විචාළේ ය. එක් දිනක් එතරම් රූප සොබාවක් නො තිබූ කාන්තාවක් මේ රජ මැඳුර අසලින් ගියා ය. ඇයගේ දේහ ලකෂණ දුටු රජතුමා ඇයව සරණ පාවා ගත්තේ ය. නොබෝ කාලයකින් ම ඇය රජුට දා ව සිත්කලු වූ මහ පිනැති කුමාරයෙක් බිහි කළා ය. ඔහු රජු ගෙන් පසු මහා සක්විති රජ කෙනකු බවට පත් වන බව රජ මැඳුරේ ප්‍රධාන පුරෝහිත වූ අප මහ බෝසතාණන් වහන්සේ රජතුමාට පැහැදිලි කර දුන් හ. එයින් බොහෝ සතුටට පත් රජතුමා එම රූපයෙන් අඩු බාහිය නම් බිසව දහසක් බිසෝවරුන් අතර අග තනතුරට ද පත් කළේ ය.
කොයි යම් අයුරකින් ඉපදුණ ද කුසලය, පින අතහැර නොම යන සෙවණැල්ලක් මෙන් තමන් පසු පස පැමිණ මිහිරි විපාක ලබා දෙන බව මෙම ජාතක කතාවෙන් විවරණය කෙරේ. එමෙන්ම කවරෙකුට වුවත් රූපත් හෝ විරූපී බවක් ලැබෙන්නේ ද ඔවුනොවුන් කරන කර්ම විපාකවලට අනුව ය.