ජීවිතය අර්ථවත් කරන, සුන්දර ධර්ම කරුණු සොයා යන ගමනකදී විනය පිටකයට අයත් පරිවාර පාලියෙන් ද ලැබෙනුයේ නොමඳ ආලෝකයකි. මෙහිදී සාකච්ඡාවට ලක්වන්නේ එබඳු ධර්ම කරුණු කිහිපයකි.
පරිවාරපාලියෙහි ඒකුත්තරික කොටසෙහි භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කොට ගනිමින් දානය පිළිබඳව කියා ඇති කරුණු වර්තමානයේ අපේ ගිහි ජීවිතයට ද සම්බන්ධ කොටගත හැකිය. එහි සඳහන් වන පරිදි ලෝකයා විසින් පින් යැයි සම්මත නොකළ දාන පහකි.
‘පඤ්ච දානානි අපුඤ්චානි පුඤ්ඤසම්මතානි ලෝකස්ස, මජ්ජ දානං, සමජ්ජදානං, ඉත්ථිදානං, උසභදානං, චිත්තකම්මදානං’
යථෝක්ත පාඨයට අනුව මද්‍යය, නෘත්‍යය, ස්ත්‍රීන්, වෘෂභයන් සහ චිත්‍රකර්ම පුණ්‍යදායක දන් ගණයට අයත් නොවේ.
අද උපන්දින – විවාහ – අවමංගල ආදී විවිධෝත්සව අවස්ථාවන්හිදී පැමිණි අයට මද්‍යය දෙනු දක්නට ලැබේ. එය සිදුවන්නේ බෞද්ධ ගෙදරක නම් එය වඩාත් බරපතළය. මන්ද බෞද්ධ ජීවිතයට සපුරා පටහැනි ක්‍රියාවක ඔවුන් නිරත වන බැවිනි. සමජ්ජ දාන යන්නෙන් අදහස් කළේ නෘත්‍ය ගීත ආදියයි. මෙය පැවිදි ජීවිතය සම්බන්ධයෙන් නම් පැහැදිලිවම දානයක් නොවේ. එසේම ගිහි ජීවිතය තිබෙන තැනටත් වඩා පහළට හෙළන සුළු නෘත්‍යය වේවා ගීතය වේවා ඒවාද සැලකිය යුත්තේ අපුණ්‍යදායක දාන ලෙසයි.
ගැහැනිය යනු සිතු සිතූ පරිදි විකිණීමට හෝ දීමට ඇති ‘භාණ්ඩයක්’ නොවේ. එහෙත් වර්තමාන සමාජයේ අතීතයටත් වඩා ඇයගේ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මේ විකිණීම හෝ දීම සිදුවන බව පෙනේ.
ඊළඟ කරුණ වෘෂභ දානයයි. මේ කාර්යය සිදුවන්නේ ඒ සත්වයාගේ ජීවිතය සුරක්ෂිත වන පරිසරයක නම් එහි වරදක් නොපෙනේ. එහෙත් අප විසින් ඒ ගවයා ලබාදෙනු ලබන්නේ, ඌට හිංසා කරමින් වැඩ ගන්නා සහ ඒ වැඩ අවසන් වූ පසු මස් කඩයට දක්කන කෙනකුට නම් එතැන සිදුව ඇත්තේ ද අපුණ්‍යදායක දානයකි.
චිත්‍ර කර්මය ද ජීවිතය පහත් කිරීමට නොව උසස් කිරීමට යොදාගත හැකි මාධ්‍යයකි. පන්සලක වේවා වෙනත් තැනක වේවා දක්නට ලැබෙන චිත්‍රයක්, හොඳ ධර්ම දේශනාවක් මෙන් ජීවිතය උගන්වයි නම් එබඳු චිත්‍ර ප්‍රතික්ෂේප කිරීමට අපට නොසිතේ. අතීතයේ නොතිබූ වර්තමානයේ ඇති ඡායාරූප – ටෙලි – සිනමා කෘති ආදිය ද අපට මෙයට ම සම්බන්ධ කළ හැකිය. අපේ ජීවිත, ජීවිතයෙන් ඈත් කොට නොසන්සුන්කම හා අසහනය ඇති කරවන ඡායාරූපයක් වේවා, ටෙලිනාට්‍යයක් වේවා, සිනමා කෘතියක් වේවා එයට සමාන වෙනත් දෙයක් වේවා යමෙක් සමාජගත කරන්නේ නම් එය අපට දැනෙන්නේ අපුණ්‍යදායක එනම් පින් රැස් නොවන – පව් පිරෙන දානයක් ලෙසය.
දුරැලීමට දුෂ්කර උපන් කරුණු පහක් ගැන ද පරිවාරපාලිය සඳහන් කරයි. ඒ අනුව උපන් රාගය දුරුකරලීම දුෂ්කරය; උපන් ද්වේෂය දුරු කරලීම දුෂ්කරය; උපන් මෝහය දුරුකරලීම දුෂ්කරය; උපන් ප්‍රතිභානය දුරුකරලීම දුෂ්කරය; උපන් ගමික චිත්තය දුරුකරලීම දුෂ්කරය. එහෙත් කොතරම් දුෂ්කර වුවත් අප විසින් කළ යුතුව ඇත්තේ ද දුරුකරලිය යුතු දෙය දුරුකරලීමත් හදවතෙහි තහවුරු කොටගෙන ප්‍රකාශයට පත්කළ යුතු දෙය ප්‍රකාශ කිරීමත්ය.
රාග – ද්වේෂ – මෝහ යන කාරණා තුන නම් අනිවාර්යයෙන්ම දුරුකරලිය යුතු කාරණාය යන්න ගැන ගැටලුවක් නැත. ඒවා පුද්ගලයාගේ මෙන්ම ලෝකයේ සංවර්ධනයට ද එකසේ අනර්ථදායක කාරණා වන බැවිනි. පටිභාන හෙවත් ප්‍රතිභානය යනු වැටහීමයි, ඥානයයි, එළඹ සිටි සිහියෙන් යුක්ත වීමයි, අවබෝධයයි. එහෙයින් ප්‍රතිභානය යනු දුරුකරලිය යුත්තක් හෝ දුරුකරලිය හැකි තත්ත්වයක් නොවේ. ගමික යන වචනයට පාලි කෝෂ ග්‍රන්ථ දී ඇත්තේ ‘ආගන්තුක නොවන’ ‘නිත්‍ය වාසය ඇති’ ‘යෑමට සැරසුණු’ යන අර්ථයි. ඒ අනුව ගමික චිත්තය භාෂාත්මක අර්ථයෙන් අප විසින් වටහාගනු ලබන්නේ අනාගන්තුක චිත්තය, නිත්‍යවාසි චිත්තය, යෑමට සැරසුණු සිත යන අර්ථානුසාරයෙනි. මේ සම්බන්ධයෙන් වෙනත් කෙනකුට අපට වඩා පැහැදිලි අදහසක් තිබෙන්නට පුළුවන.
අංග පසකින් යුක්ත විනයධරයා බාලයකු ලෙස පරිවාරපාලිය දක්වයි. ඔහු විපත් – ඇවත් එනම් නොකළ යුතු දෙය පිළිබඳ මුල එනම් ආපත්ති ගැන නොදනියි; එයට ප්‍රතිපක්ෂ අනාපත්ති ගැන නොදනියි; ආපත්ති මූලය නොදනියි; ආපත්ති සමුදය එනම් ඇවැත් හටගැනීම නොදනියි, ආපත්ති නිරෝධය එනම් ඇවැත් වැළැක්ම නොදනියි. එසේම ඇවත් නතර කිරීම සඳහා වන පිළිවෙත එනම් ආපත්ති නිරෝධගාමිණී පටිපදාව නොදනියි.
මෙයින් විනයධර ප්‍රඥාවන්තයා වෙනස් වන්නේ ඔහු ආපත්තිය ද ආපත්ති මූලය ද ආපත්ති සමුදය ද ආපත්ති නිරෝධය ද ආපත්ති නිරෝධගාමිණී පටිපදාව ද මැනවින් දැන ප්‍රඥාවෙන් කටයුතු කරන බැවිනි.
පරිවාරපාලිය ආරණ්‍යගත වන්නන් ද කොටස් පහකට බෙදා දක්වයි. ඒ අනුව ඇතැමෙක් නුවණ මඳ බැවින්, මුළා බැවින් ආරණ්‍යගත වෙති. තවෙකෙක් ළාමක අදහස් ඇතිව ආරණ්‍යගත වෙති. තවත් අයෙක් උමතුවෙන්, චිත්ත වික්ෂේපයෙන් ආරණ්‍යගත වෙති. බුදුන් වහන්සේ මෙන්ම ශ්‍රාවකයන් වහන්සේලා විසින් වර්ණිත බැවින් තවත් පිරිසක් ආරණ්‍යගත වෙති. යට කී අවස්ථා හතරම අවබෝධාත්මක ආරණ්‍යගතවීම් නොවේ. එසේ නම් නිරවi ආරණ්‍යගතවීම කුමක්ද? එයට ඇති පිළිතුර වන්නේ අපිස් බව නිසාම සන්තුෂ්ටිය නිසාම කෙලෙස් ප්‍රහාණය සඳහාම විවේචකය උදෙසාම මෙහි අර්ථයක් ඇති නිසාම ආරණ්‍යගතවීමයි. වැදගත් වන්නේ මේ අවසනට සඳහන් කළ අන්දමේ ආරණ්‍යගතවීමයි.
මෙම කොටසෙහි ඇති තවත් වැදගත් ඉගැන්වීමක් වන්නේ අකුසල කර්ම ඇත්තා කෙරෙහි ආදීනව පහක් දක්වා තිබීමයි. ඒ පහත සඳහන් පරිද්දෙනි.
- තමා තමාට දෝෂාරෝපණය කරයි.
- නුවණැත්තෝ කරුණු විමසා ගරහති.
- ළාමක කීර්තිය එනම් අපකීර්තිය උස්ව නැඟෙයි.
- මුළාවෙන් යුතුව මරණයට පත් වෙයි.
- මරණින් මතු නිරයගාමී වෙයි.
එය එසේ වද්දී කුසලකර්ම ඇත්තන් කෙරෙහි වන පහත සඳහන් ආනිසංස ගැන පරිවාරපාලිය කියයි.
- තමා, තමාට දෝෂාරෝපණය නොකරයි.
- නුවණැත්තෝ කරුණු විමසා පසසති.
- සත් කීර්තිය පැතිරෙයි.
- සිහියෙන් යුතුව මරණයට පත්වෙයි.
- මරණින් මතු ස්වර්ගගාමී වෙයි.
නිවැරදි ජීවිතයක් ගත කරන තැනැත්තාට මා අතින් අසවල් වරද සිදුවිය; මෙදින මා අතින් මිතුරනට මේ වරද සිදුවිය ආදී වශයෙන් සිතා තමා ළතවීමට හෝ තමාට දෝෂාරෝපණය කිරීමට හෝ සිදුවන්නේ නැත. සජ්ජනයන්ගේ සද්ක්‍රියා ප්‍රඥාවන්තයන්ගේ ප්‍රශංසාවට ලක්වෙයි. ඔහුගේ යහපත් භාවය පිළිබඳ කීර්තිය පැතිරීම වළක්වාලීමට ද කිසිවකුට නුපුළුවන. ඔහු මරණයට පත්වන්නේ ද සිහියෙනි. මරණින් මතු ස්වර්ගගාමීවීම යනු විමුක්තිය ලැබීමය. බෞද්ධ විමුක්තිය වූ කලී අන් කිසිවක් නොව යළි හට නොගන්නා සේ නිවීයෑම ය. එබඳු නිවීයෑමක් පිළිබඳ වන උපරිම ප්‍රකාශයකින් මෙම ලේඛනය අවසන් කරන්නට සිතෙන්නේ නිවීයෑමට වඩා වැදගත් වූ අන් කිසිවක් බෞද්ධයනට නොමැති බැවිනි.
‘ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
විරත්තචිත්තා ආයතිකේ භවස්මිං
තේ ඛීණඛිජා අවිරුළහිච්ඡන්දාං
නිබ්බත්ති ධීරා යථායං පදීපෝ’
යම් කෙනකුගේ අතීතය අවසන් ද, අලුතින් හට නොගනී ද, නැවත වීමෙහි නොඇලුණු සිත් ඇත්තේ ද, ඒ ප්‍රහීණ කළ ක්ලේශ බීජ ඇති නැවත හට නොගැනීමේ කැමැත්ත ඇති ප්‍රඥාවන්තයෝ මේ පහන නිවෙන්නාක් මෙන් නිවෙති.