බෞද්ධ අධ්‍යාපනය දියුණු ද?

cmadurawala
3 Min Read

ප්‍රසිද්ධ ග්‍රන්ථකතුවරයෙක් වූ වී.ඩී. ද ලැනරෝල් මහත්මා විසිනි

මම මගේ මිත්‍රයකුගෙන් මේ ප්‍රශ්නය ඇසීමි. ඔහු මට එකවරම දුන් උත්තරය නම් මෙබඳු මෝඩ ප්‍රශ්න නෑසිය යුතු බවයි. මගේ ප්‍රශ්නයට “ඔව්” හෝ “නැත” හෝ යන උත්තරය නොදී එය මෝඩ ප්‍රශ්නයක් යැයි කීම ගැන මම මගේ මිත්‍රයා කෙරෙහි එරෙහි වුණෙමි. “මෝඩයකු සේ උත්තර නොදී ලබන මේ වර්තමාන බෞද්ධ අධ්‍යාපනය දියුණු ද නැද්දැ”යි ප්‍රකාශ කරන ලෙස මම නැවතත් ඔහුට කීවෙමි.

“නැති දෙයක් දියුණු ද කියා ඇසීම මෝඩ ප්‍රශ්නයක් නොවේදැ”යි මිත්‍රයා මට නැවතත් පිළිතුරු දුන්නේය. ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයක් නැතැයි කීම ගැන මම කල්පනා කරන්නට වීමි. නොබෝදා බෞද්ධ පාඨශාලා – ඉංග්‍රීසි පාඨශාලා පමණක් ලංකාවේ ඒ ඒ පෙදෙස්වල, කොළඹ අතහැර විසිහතරක් පිහිටුවා තිබෙන බව මම ප්‍රවෘත්ති පත්‍ර මාර්ගයෙන් දුටිමි. එතරම් ඉංගිරිසි පාඨශාලා ගණනකුත්, සිංහල පාඨශාලා බොහෝ ගණනකුත් බෞද්ධ අධ්‍යාපනයක් නැතැයි මගේ මිත්‍රයා ප්‍රකාශ කිරීමට හේතුව කුමක් දැයි මම කල්පනා කෙළෙමි.

මේ ගැන වැඩිදුර කල්පනා කිරීමෙන් මට ද වැටහුණේ ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය පවත්වනු ලබන්නේ නමින් පමණක් බවයි. බෞද්ධයන් විසින් පවත්වනු ලබන නිසා මේ පාඨශාලා වනු මිස ඒ පාඨශාලා මගින් බෞද්ධයන්ට විශේෂ වූ අධ්‍යාපනයක් පවත්වන බවක් නොපෙනේ. උදයට පන්සිල් ගෙන පාඨශාලාව ආරම්භ කිරීම හැර මේ පාඨශාලා මගින් බෞද්ධ යැයි කිවයුතු අන්‍ය කිසිම අධ්‍යාපනයක් සිදුනොවේ. ආණ්ඩුවේ පාඨශාලාවක අධ්‍යාපනයෙහිත් බෞද්ධ පාඨශාලාවක අධ්‍යාපනයෙහිත් වෙනසක් තිබේනම් ආණ්ඩුවේ පාඨශාලාවේ අධ්‍යාපනය බෞද්ධ පාඨශාලාවේ අධ්‍යාපනයට වඩා මඳක් සැලකිල්ලකින් පවත්වනු දකින්ට ලැබීම පමණක් බව මට කල්පනා වේ.

බෞද්ධ අධ්‍යාපනයක් යැයි කිවයුතු බෞද්ධ ප්‍රතිපත්ති පිට බෞද්ධ ශිෂ්ටාචාරය දියුණුවන අන්දමේ අධ්‍යාපනයක් වියයුතුයි. බෞද්ධ යැයි කියන ඉංගිරිසි පාඨශාලා හෝ සිංහල පාඨශාලා හෝ කීයකින් එබඳු බෞද්ධ අධ්‍යාපනයක් දෙනු ලැබේ යැයි කිව හැකිද? ඇතැම් බෞද්ධ පාඨශාලා කිසිම බෞද්ධ ප්‍රතිපත්තියක් ගරු නොකරන සත්ත්ව ඝාතනය, මද්‍යපානය, ධූමපානය, දූකෙළිය ආදී දුශ්චරිතයන්හි ගැලුණු ආචාර්යවරයන්ගෙන් යුක්ත බව කරුණු පරීක්ෂා කිරීමෙන් දැනගත හැකිය. ඇතැම් බෞද්ධ ඉංගිරිසි පාඨශාලාවන්හි ආචාර්ය මණ්ඩලයෙහි ක්‍රිස්තියානිහුද වෙත් ආණ්ඩුවේ අධ්‍යාපන පරිපාටිය අනුව ඉගැන්වීමට කොයි ආගමේ ගුරුවරයකුට වුවත් බැරිකමක් නැත. අධ්‍යයන පරිපාටියක් අනුව ඉගැන්වීමට නම් විශේෂයෙන් බෞද්ධ ආචාර්ය මණ්ඩලයක් යෙදවිය යුතුය. එහෙයින් බෞද්ධ ප්‍රතිපත්ති පිට පවත්වනු නොලබන බෞද්ධ යැයි කියනු ලබන පාඨශාලාවල ඉගැන්වීමට ක්‍රිස්තියානි ගුරුවරුන් යෙදීමේ කිසි වරදක් නැත.

බෞද්ධ අධ්‍යාපනයෙහි ප්‍රමුඛයන් ලෙස ගැනෙන බොහෝදෙනා බෞද්ධ අධ්‍යාපනය අතට ගෙන සිටින්නේ බෞද්ධ ප්‍රතිපත්ති පිට බෞද්ධ අධ්‍යාපනයක් දෙන අදහසින් නොව, මිල මුදල් සැපයීමේ අදහසිනි. එසේ නොවේනම් බෞද්ධ පාඨශාලාවක් මගින් පවත්වනු ලබන ශිෂ්‍ය නිවාසයක මත්ස්‍ය මාංශ භක්‍ෂණයට අනුබල ලැබේද? ශිෂ්‍ය නිවාසය භාරකාරයෝ මද්‍යපානයෙහි නිරතවෙත්ද? අශ්ව රේස් සහ තවත් නොයෙක් ධූර්ති ක්‍රීඩාවන්හි යෙදෙත්ද? එබඳු ආචාර්යවරයන් යටතේ ඇති දැඩිවන ශිෂ්‍යයන් නියම බෞද්ධ ශිෂ්ටාචාරයක් අනුගමනය කිරීම බලාපොරොත්තු විය හැකිද?

බෞද්ධ අධ්‍යාපනයක් යනුවෙන් අප විසින් බලාපොරොත්තු වියයුතු ජාතික අධ්‍යාපනයකි. එහෙයින් බෞද්ධ පාඨශාලාචාර්යවරයන් විසින් ස්වකීය ශිෂ්‍යයන්හට ජාතික සිරිත් විරිත් , ජාතික ගුණ ධර්ම, ජාතික ශිල්ප ශාස්ත්‍ර ආදිය පුහුණු කරවිය යුතුය. සිංහල ජාතියට නොගැළපෙන බටහිර සිරිත් විරිත් ආදියට අනුබල නොදිය යුතුය. නමුත් දැනට බෞද්ධ ඉංගිරිසි පාඨශාලාවක හෝ ක්‍රිස්තියානි ඉංගිරිසි පාඨශාලාවක හෝ ඉගෙන ගන්නා ශිෂ්‍යයා කිසිම වෙනසක් නැතිව කළු ඉංගිරිසිකාරයෙක් වන්නේය. “මේ බෞද්ධ අධ්‍යාපනය දැයි මම අසමි.

ළමා හඬ මාසික සඟරාවේ

1942 පළ වූ ලිපියකි.
සංස්කරණය ඒ.ඩී.ජී. මාතුපාල

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *