ගුණතිලක මැටියගනේ
සත්ත්වයා නිර්මාණය වී ඇත්තේ ගත සහ සිත යන ප්‍රපංචද්වය සුසංයෝග වීමෙන්. ගත නම් අපට බාහිර මෙන්ම අභ්‍යන්තර (අජ්ජත්තික) වශයෙනුත් දැකගත හැකියි. ඒත් සිත? සිත අදෘශ්‍යමානයි. එයා මේ සිරුර සිසාරා හැංගෙමින් කොකන් කරන හැංගිමුත්තෙක්. ඒත් බලන්නකො මේ අදිසි බලවේගය විසින් සංසාරය ඔස්සේ කවර කවර ප්‍රතිසන්ධිවල සත්ත්වයා ගෙන ගොස් එල්ලා දමනවා ද කියා.
සිතට මනස, මානසිකය, චේතසිකය, විඤ්ඤාණය ආදී වශයෙන් නානා ප්‍රකාර ඇඳුම් අන්දවා හැඩ බල බල සිටිය හැකියි.
සිතේ බලශක්තිය කෙතරම් වේගවත් දැ යි තක්සේරුවක් කර ගන්නට අපි මෙහෙම උපමාවක් යොදා ගත්තොත්… ඔබ වරක් දඹදිව වන්දනාවක යෙදෙන විට සැවැත්නුවර දෙව්රම් වෙහෙර පරිශ්‍රයෙහි ශේෂ වූ ‘මේ බුදුන් පැන් වැළඳූ පොකුණ, මේ බුදුන්ගේ ගඳකිළිය, මේ දම් සභා මණ්ඩපය…’ යැ යි ඒ ඒ පූජනීය ස්ථාන ශ්‍රද්ධාවෙන් දැක බලා ගන්නවා. පෙරළා සිය රට පැමිණි ඔබට ඇසිල්ලකින් මනසින් එතැනට යා හැකි වනු නො වේ ද? ඉදින්, එවන් වූ චිත්ත බල ශක්තියක් යොදාගෙන අපේ පසිඳුරන් හීලෑ කරගෙන උත්සාහයෙන් ලෝකෝත්තර අධිගමයකට පත් වීමේ හැකියාව නොමැත්තේ ද?
ගත විච්ඡේදනයට ලක් කොට සෛලයක් සෛලයක් ගානේ සොයා බැලුවත් සිත දැකගත නොහැකි වූවාට, තථාගත දේශනාව තුළ සිත සැඟව සිටින ස්ථානය පිළිබඳව හෝඩුවාවක් සඳහන් වෙනවා. ඒ අනුව පුද්ගල සිරුරෙහි දෙතන මධ්‍යයේ මඳක් වම් පසට වන්නට පිහිටි හෘද මාංශය (ගුහාව) මැද දොඹ ඇටයක් පමණ වූ වළක් ඇති බවත්, එහි අඹ පතක් පමණ වන ලේ ධාතුව නේවාසික කොටගෙන සිත පවතින බවත් කියැවෙනවා.
මේ බැව් ප්‍රකට කරවන ගාථා ධර්මය නම්,
‘දුරංගමං ඒකචරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා’
‘බොහෝ දුර ගමන් යන (දුර ඇති අරමුණු ක්‍ෂණයෙන් තමා ළඟට ගත හැකි), තනි ව හැසිරෙන, සිරුරක් නැති, ගුහාවෙහි වෙසෙන මේ සිත යම් කෙනෙක් සංවරයෙහි පිහිටුවා ද, ඔහු මාර බන්ධනයෙන් මිදෙන්නේ ය.’
බුදුන් දවසැ සත් හැවිරිදි වියෙහි දී ඒ චිත්ත ශක්තිය මෙහෙයවා උතුම් අර්හත් ඵලයට පත් ‘පොඩි’ උන්නාන්සේලාත් වැඩ සිටි බව දන්නවා නොවැ. ඒ පසුතලයෙහි ම සැවැත් නුවර වැසි එක්තරා කුල පුත්‍රයෙක් බුදුන් ගෙන් බණ අසා පැවිදි උපසම්පදාව ද ලබා සංඝරක්ඛිත නමින් ප්‍රකට ව සිටියා. නොබෝ කලකින් ම සියලු කෙළෙසුන් නසා රහත් ඵලයට පත් උන්වහන්සේ තම කුල පරම්පරාවට පහන් වැටක් මෙන් වූයේ සැබැවින් ම හතර වරිගයක් ම නිවන් දක්වන්නට තරම් පුණ්‍ය මහිමයකින්. උන්වහන්සේගේ නැඟණියක් තම පුතුට ද ඒ නම ම තැබුවා, භාගිනෙය්‍ය සංඝරක්ඛිත. පසුව නිසි කලට ඔහු පැවිදි සස්නටත් භාර කළා.
උපසම්පදාව ලත් තරුණ භික්‍ෂුව වස් වසනු පිණිස ගැමි පෙදෙසක වන අරණක් තෝරා ගත්තා. තෙමසක වස් පවාරණයේ දී උන්වහන්සේට වස් වාසික ලාභ පිරිකර වශයෙන් සත්රියන් ඉණ කඩක් හා අටරියන් වස්ත්‍රයක් පූජා කරනු ලැබුවා. මේ පුද පඬුර අරභයා නිතැතින් ම උන්වහන්සේට සිහිපත් වූයේ තම මයිලනුවන් වන සංඝරක්ඛිත මාහිමියන්.
සත්රියන් සාටකය තම ප්‍රයෝජනයට තබාගෙන අටරියන් වස්ත්‍රය උන්වහන්සේට පුදන අරමුණින් උපාධ්‍යායන් වහන්සේ වසන විහාරයට වැඩියා.
එවෙලේ මහ නාහිමියෝ පිණ්ඩපාතය පිණිස වැඩම කරලා. තරුණ භික්‍ෂුව එතැන ඉටු විය යුතු සියලු වතාවත් ඉටු කොට නායක හිමියන් වඩින පෙරමඟට ගොස් පා සිවුරු පිළිගෙන අවුත් අසුනක වඩා හිඳුවා විජිනිපතින් පවන් සලමින් දාහය නිමවා තමන් ගෙනා පූජා භාණ්ඩය පිළිගන්වා සිටියා.
ලොකු හාමුදුරුවෝ අතිශය සරල අල්පේච්ඡ චරිතයක්. “සංඝරක්ඛිත, බුද්ධ නියමය අනුව අපට තුන් සිවුරු සම්පූර්ණයි. දැනට අපට එය සෑහෙයි. නුඹ ම එය ප්‍රයෝජනයට ගනුව” යි උපදෙස් දුන්නා.
“අනේ ස්වාමිනි, මේ පිරිකර මා’තට පත් වන විට ම මා තුළ හටගත් පළමු සිතිවිල්ල නම් ‘මෙය මාගේ ඥාති උපාධ්‍යායන් වහන්සේට පූජා කරමි’ යන්නයි. එසේ හෙයින් මට අනුකම්පා කොට මෙය පිළිගන්නා සේක් වා.”
ඒ ඉල්ලීම දෙවැනි තුන්වැනි වරට ද ප්‍රතික්‍ෂේප වීමෙන් තරුණ භික්‍ෂුවගේ සිත නෝක්කාඩුවට පත් වුණා. ‘ගිහි කල මා මුන්වහන්සේගේ බෑනා. ශාසනයේ දී සද්ධිවිහාරිකයා. එසේ තිබිය දීත් මා කෙරෙන් පූජාවන් ඉවසා වදාරන්නට නිහතමානී නො වෙයි. මට මෙවන් මහණ කමකින් පලක් නැති, මම සිවුරු හරිමි යන තීරණයකට එළැඹියා. “ගිහි ජීවිතේ ලේසි නෑ. ජීවිකා මාර්ගයක් සකසා ගත යුතු නෙව, මම මේ අටරියන් සාටකය විකුට එළු දෙනක මිලදී ගනිමි. එළිච්චියන් හනි හනික පැටවුන් වදනා බැවින් උන් විකුණා මුදල් උපයමි.” පොඩි නම මේ මනෝ රාජ්‍යය ගොඩනඟන්නේ ලොකු හාමුදුරුවන්ට පවන් සලන අතරේ මයි. ‘අතමිට සරු වෙන කොට පෙළවාසියක් කරගන්නත් අපහසු වන්නේ නෑ.’ මතක් කර ගන්නකො අපේ ජනප්‍රවාදයේ එන කිරි වෙළෙන්දියගෙ කතාව. ඈත් කිරිමුට්ටිය හිසේ තබාන කඩපිලට යන ගමන් මනෝ රාජ්‍යයේ කිරුළු පැළඳමින් ගොස් ‘මට ජෝඩු දාන්න එන පිරිමින් එබිකම් කරද්දී මට උන්ට මගේ ආඩම්බරය පෙන්වන්නෙ මෙහෙමයි’ කියා හිස ගස්සා දැමීමෙන් කිරිමුට්ටිය බිම වැටී ගඟේ ගිය හැටි.
ඕන් ඊළඟට අපට කොලු පැටියෙකුත් ලැබෙනවා. බෑනජ්ජගෙ හරිහපන්කම පෙන්වා සිටින්නට අපි පුත්‍රයාත් රැගෙන රථයකින් ලොකු හාමුදුරුවන් බැහැදකින්න යනවා. මාමණ්ඩිට ගෞරවයක් වෙන්ට පුතාටත් ඒ නම ම තියනවා.’
මේ ගොල්ල යන්නෙ රථයකින් (මනෝ රථයකින්) රථය ගැස්සෙන බැවින් කිරිපුතා මා අතට දෙන්නැ යි බිරිඳට කියනවා. වැඩි පරෙස්සමට ‘නෑ හිමියනි, මම පුතා තදින් අල්ලාගන්නම්. ඔබ පරෙස්සමින් රථය පදවාගෙන යන්ට.’ ඒත් ඇගේ සුළු ප්‍රමාද දෝෂයකින් පුතා රථයෙන් බිමට වැටී රියසකට යට වෙනවා.
“අයියෝ තිගේ පණ්ඩිතකම. මට පුතා වඩාගන්න දුන්නෙත් නෑ. තී පරෙස්සම් කර ගත්තෙත් නෑ. මෝඩ ස්ත්‍රිය” යි කියමින් අත ඇති කෙවිටෙන් ම ඈට පහර පිට පහර දෙන්ට තියා ගත්තා. පොඩි නම මේ පහර දෙන්නෙ කාට ද? තම උපාධ්‍යායන් වහන්සේගෙ මුඩු හිසට වටාපත් මිටෙන්. පරසිත් හඳුනන නුවණින් සපිරි රහත් හිමියො සියල්ල දැක “සංඝරක්ඛිතයෙනි, ප්‍රමාදදෝෂී ගෑනුන් මැරිය නො හී ද මා වැනි මාල්ලන් මරන්න හදන්නේ?” යි විමසනවා.
තමා සිතන සිතන සියල්ල උන්වහන්සේ දකින්නේ බැවින් දැඩි සේ ලැජ්ජාවට හා ආත්මානුකම්පාවට පත් තරුණ භික්‍ෂුව සිවුර උනා තබා විහාරයෙන් පිටමං ව යන්න ගන්නා සූදානම සෙසු භික්‍ෂූන් විසින් බුදුන්වහන්සේට සැළ කරනවා. තරුණ භික්‍ෂුව සියලු පවත් බුදුරදුන් ඉදිරිපිට පාපොච්චාරණය කරනවා.
“මහණ, උකටලී නොවව, සිතේ ස්වභාවය එහෙම තමයි. නුඹ විසින් ගොඩනැඟූ මනෝ රාජ්‍යය අරුමයක් නො වේ” ය යි අප මුලින් කී ගාථා ධර්මය සහිත ව පහදා දුන් ධර්ම කරුණුවලින් අනතුරු ව භාගිනෙය්‍ය සංඝරක්ඛිත තෙරණුවෝ සෝවාන් ඵල අවබෝධයට පත් වෙනවා.