පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමවාසී, පූජ්‍ය
ආචාර්ය කුකුල්පනේ සුදස්සී හිමි
කර්මය අභිබවා යන මහේශාක්‍ය බව
අනාපානසතිය උදව් වෙනවා
ඒ නිසා ආවේග හමුවේ දී තමන්ගේ කය සංවර කරගන්නට පාලනය කර ගන්නට, පුරුදු පුහුණු කරනවා නම් එය කාය භාවනාවයි. මෙය පුහුණු කරන්නට ආවේග ඇති වන අවස්ථාවන්හි දී ඒ පිළිබඳව සිහි කල්පනාවෙන් කය සිත සංවර කිරීමත් අවශ්‍ය වෙනවා. ඒ වගේ ම කෙනෙකුට ආනාපාන සති භාවනාව උපකාර කර ගන්නටත් පුළුවන්. ආනාපානය හෙවත් ආශ්වාස ප්‍රශ්වාසය කය ක්‍රියාත්මක වීමේ මූල ශක්තිය හැටියටයි දක්වන්නේ. ඒ නිසා එය කාය සංඛාර යන විශේෂ නමකින් හඳුන්වනවා. කාය සංඛාර කියන්නේ කය පැවැත්වීම පිළිබඳ මූලික සාධකය. ඒ නිසා යම්කිසි කෙනෙක් ඒ ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව සිහිය පිහිටුවාගෙන දවසකට ටික වෙලාවක් හෝ ඒ පිළිබඳව ඒකාග්‍රතාවය පුහුණු කරනවා නම්. ආශ්වාස ප්‍රශ්වාසය ගැඹුරින් අවබෝධ කරගන්නවා නම්, කලක් එය පුහුණු කරද්දී තමන්ගේ ගතසිත සැණෙකින් සංවර කරගන්නට සමත් වෙනවා. අවශ්‍ය තැන ක්‍රියාත්මක කරන්නට අනවශ්‍ය තැන නිශ්ක්‍රිය කරන්නට ඒ තැනැත්තා යම් පුහුණුවක් ලබනවා. ඒ නිසා ගැඹුරින් කාය භාවනාව පුරුදු පුහුණු කරන තැනැත්තාට ආනාපානසතිය ඒ සඳහා විශේෂයෙන් උපකාර කර ගන්නට පුළුවන්. යම්කිසි කෙනෙක් මේ කවර ආකාරයකින් හෝ අවැසි තැන අවැසි විදිහට කය හසුරුවා ගන්නට පුරුදු පුහුණු කරනවා නම් එය කාය භාවනාවයි.
මෙයින් අදහස් කරන්නෙ භාවනා කරද්දී සුදුසු ලෙස කය පාලනය කර ගැනීම පමණක් නො වෙයි. කවර කටයුත්තක් වුනත් සාර්ථක කර ගන්නට මේ කය පිළිබඳ පුහුණුව අත්‍යවශ්‍ය වෙනවා. අධ්‍යයන කටයුතුවල නිරත වෙන කෙනෙක් නම් උදාසීන නො වී කය ප්‍රබෝධවත් ව පවත්වා ගැනීමට සරල ව්‍යායාම, සරල සංයම අභ්‍යාස වැනි දේත් සරල භාවනා ක්‍රමත් උදව් කර ගන්න පුළුවන්. කය උදාසීන ව නිශ්ක්‍රිය වීම වළක්වා ගන්නත් ඕන. ඒ වගේම අධික ලෙස වෙහෙස වීමෙන් වෙන විකෘතිය සමනය කර ගන්නත් ඕන. ඒ දෙක ම නිසි පරිදි පවත්වා ගන්නා තරමට අධ්‍යයන කටයුතු වඩා පහසුවෙන් සාර්ථක ව සිදු කර ගන්න පුළුවන්.
ක්‍රීඩා කිරීමේ දී, කර්මාන්ත කිරීමේ දී, රාජකාරිවල නිරත වීමේ දී, මෙන්ම දෛනික කටයුතු නිසි ලෙස පවත්වා ගැනීමටත්, නීරෝගී බව පවත්වා ගැනීමටත් විශේෂයෙන් කාය භාවනාව උපකාර වෙනවා. ඒ කාය භාවනාවෙන් යුක්ත තැනැත්තා ඇතැම් කර්ම විපාක පවා අභිබවා යන්නට තරම් මහේශාක්‍ය භාවයක් ඇති කරගන්නවයි කියලා තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේ දී දේශනා කරනවා.
ශික්‍ෂණය හා සංවරය
ඊළඟට දෙවෙනි කාරණය ශීල භාවනාව. ශීලයයි කියන්නේ කය වචනය පිළිබඳව ඇති කර ගන්නා සංවරයයි. අපි මුලින් කාය සංවරය පිළිබඳව කතා කළා. මෙතන දි දක්වන්නේ කය වචනය දෙක ම සංවර කර ගැනීම. කය වචනය දෙක සංවර කරද්දී සිත සංවර නො කොට බලහත්කාරයෙන් එය කිරීම ප්‍රමාණවත් නෑ.
ශීලය කොටස් දෙකකින් යුක්තයි. ශික්‍ෂණය සහ සංවරය කියලා. ශික්‍ෂණයයි කියන්නේ සිතුවිලි වශයෙන් නොයෙකුත් කෙලෙස් ධර්ම පාප ධර්ම මතු වෙනවා. නමුත් වචනයෙන් සහ කයෙන් ක්‍රියාත්මක වෙන්නට නො දී බලහත්කාරයෙන් පාලනය කරනවා. ඒකට කියනවා ශික්‍ෂණයයි කියලා. හැබෑ සංවරය යි කියලා කියන්නේ මනස තුළින් එන පාපකාරී චේතනා හටගන්නේ කොහොම ද, ඒ විකෘතිය, ඒ නොසන්සුන් බව අසංවර භාවය පහළ වෙන්නේ මොන මොන හේතු නිසා ද කියලා නුවණින් තේරුම් අරගෙන අභ්‍යන්තරයෙන් ම එය සමනය කරගෙන කාය වාග් මනඃසංවරය ඇති කර ගන්නට පුළුවන් නම් එය හැබෑ සංවරයයි. හැබෑ ශීලයයි. මෙහි ශීල භාවනාව කියලා කියන්නේ මේ ආකාරයෙන් සිත කය වචනය පිළිබඳව ඇති කර ගන්නා සංවරය නැවත නැවත පුරුදු පුහුණු කිරීමයි.
යම්කිසි කෙනෙක් ශීල භාවනාව මැනවින් පුහුණු කළොත් ඒ තැනැත්තා මහේශාක්‍ය භාවයට පත් වෙනවා. යම්කිසි කෙනෙක් ශීල භාවනාව පුරුදු පුහුණු නො කරනවා නම් ඒ තැනැත්තා හීන දීන වූ අල්පේශාක්‍ය පුද්ගලයෙක් වෙනවා. තමන්ගේ කර්ම විතරක් නෙමෙයි අනුන්ගේ කර්මත් ඔහු යට කොට ගලා යනවා. අපි මුලින් කිව්ව නෙ මිටි තැනින් වතුර බහිනවයි කියලා. ඒ මිටි තැනින් කාලයක් වතුර බැහැගෙන යනකොට එතැන සෝදා පාළුවට ලක් වෙලා කලක දී ටිකෙන් ටික කානුවක් වගේ ගැඹුරට හෑරෙනවා. එක ම තැනින් වතුර බැහැලා එය ටිකෙන් ටික හෑරිලා කානුවක් බවට පත් වුණහම අහල පහල තියෙන කුණු කාණුවල වතුර ඔක්කෝම එතනින් බැහැලා යන්නට පටන් ගන්නවා. අහල පහල තියෙන සියලු ම ජලය එතනින් ගලා බැහැලා අවට සියල්ල විනාශ කරගෙන යනවා. එබඳු මහ විනාශයක් වුණේ කුමක් නිසා ද? මිටි තැනක් වූ නිසයි.
අනුන්ගෙ කරුම තමන්ගෙ පිටින්
අන්න ඒ වගේ තමයි යම්කිසි කෙනෙක් ශීල භාවනාවෙන් යුක්ත නො වෙනවා නම්, ශීලයෙන් පිරිහෙනවා නම් ඒ අල්පේශාක්‍ය බව නිසා තමන්ගේ කර්ම විතරක් නෙමෙයි අහල පහල ඉන්න අන්‍ය මනුෂ්‍යයන්ගේ, අන්‍ය සත්ත්වයන්ගේ කර්මත් තමන් හරහා ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. ඇයි එහෙම සඳහන් කළේ? මේ කුසලාකුසල කර්මයන් පුද්ගලයෙක් වෙත ක්‍රියාත්මක වෙන මාධ්‍ය තුනක් මේ ලෝකය තුළ විද්‍යමාන වෙනවා. එක්කෝ තමන්ගේ මනස හරහා තම කර්ම වේගය ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ කර්ම වේගය අන්‍ය පුද්ගලයෙකුගේ මනස හරහා තමන් වෙත ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එහෙමත් නැතිනම් තමන්ගේ කර්ම වේගය සොබා දහම හරහා තමන් වෙත ක්‍රියාත්මක වෙන්නට පුළුවන්.
පළමුවැනි මාධ්‍යය තමයි තමන්ගේ මනස. දෙ වැනි මාධ්‍යය තමයි අනුන්ගේ මනස හරහා ක්‍රියාත්මක වීම. තුන් වැනි මාධ්‍ය ය තමයි සොබා දහම හරහා ක්‍රියාත්මක වීම. අපි මේ කාරණය උදාහරණයකින් පැහැදිලි කළොත්; අපි හිතමු යම්කිසි කෙනෙක් පෙර සසරෙහි ප්‍රාණ ඝාත අකුසලයක් සිද්ධ කරලා තියනවා. ප්‍රාණඝාත අකුසල කර්මයෙහි ප්‍රකට විපාකය තමයි අකල් මරණය. අකල් මරණයකට ගොදුරු වෙන්නට තරම් හේතු වන ප්‍රබල ප්‍රාණඝාත අකුසල කර්මයක් යම්කිසි කෙනෙක් සිද්ධ කරලා තියනවා නම්, ඒ කර්මය තමන්ගේ මනස හරහා මතු වෙන්නේ, තමන්ගේ මනස දුර්වල නම් පමණයි. අපි මුලින් ම සඳහන් කළා මනසින් දුබල වූ හීන දීන පුද්ගලයාගේ චිත්ත සන්තානය හරහා තමයි මේ අකුසල කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ. තමන්ගේ මනස දුර්වල නම් ඒ කර්මය තමන්ගේ මනස හරහා ම මතු වෙනවා. එතකොට මවුපියො සමග ගැටිලා, බිරිඳ සමග ගැටිලා, සැමියා සමග ගැටිලා, ලෝකයේ අන් අය සමග ගැටිලා, ඒ අයට හොඳ පාඩමක් උගන්වන්ට කියලා තමන් දිවි නසා ගන්නට පෙලඹෙනවා. අන් අය සමග සිත් නොහෙඳකම් ඇති වෙලා තමන්ගේ බලාපොරොත්තු සඵල කරගන්නට අන් අය ඉඩ නො දෙන නිසා ඒ අයගෙන් පළිගන්නට, ඒ අයට පාඩමක් උගන්වන්නට කියලා තමන් තමන්ගේ ජීවිතය විනාශ කර ගන්න තැනට පෙළඹෙනවා. අන් අය පාඩමක් ඉගෙන ගැනීම කෙසේ වෙතත් තමන්ගේ කර්මය තමන්ගේ දුර්වල මනස තුලින්ම මතුවෙලා තමන්ගේම ජීවිතය අහෝසි කරලා විපාකත්වයට පැමිණෙනවා.
ද්වේශ සහගතව සිය දිවි නසා ගැනීම අනුන්ගේ ප්‍රාණය විනාශ කරනවාටත් වඩා බරපතලයි කියා කිව යුතුයි. එයින් අදහස් කරන්නේ අනුන්ගේ දිවි නැසුවට වරදක් නැහැ කියන එක නෙමෙයි. අනුන්ගේ ජීවිතය විනාශ කරනවා නම් ඒක බරපතල අකුසල කර්මයක්. නමුත් ඒක අවුරුදු සීයක් හෝ දහසක් හෝ ආත්ම දහසක් හෝ ආත්ම දසදහසක් හෝ කල්ප දහසක් හෝ විපාක දීලා විපාක දීලා ටිකෙන් ටික අඩුවෙලා ක්‍ෂය වෙලා අහෝසි වෙලා යනවා. නමුත් යම්කිසි කෙනෙක් ද්වේශ සහගතව තමන්ගේ ජීවිතය විනාශ කර ගන්නවා නම් එහි ඇති බරපතලකම තමයි ලැබූ මනුෂ්‍යත්වය ප්‍රතික්‍ෂෙප කිරීම නිසා නැවත මනුෂ්‍යාත්ම භාවයකට එන්නට තියන ඉඩකඩ ඇහිරී යාම. යම් කර්මයක් නිසා මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණුනා වුනත් ඒ නියමිත ආයු කාලය එනවිට පෙර භවයේ හුරුව නිසා නැවත දිවි නසා ගන්නට ඒ තැනැත්තාට සිතුවිලි පහළ වීමේ ඉඩ කඩ වැඩියි. ඒ නිසා සුළු ගැටුමකදි වුනත් නැවත දිවි නසා ගන්නට පෙළඹෙනවා. ඊලඟ ආත්මභාවය වෙනකොට ආත්ම දෙකක හුරුව නිසා වඩාත් පහසුවෙන් දිවි නසා ගන්නට පෙළඹෙනවා. ඊලඟ ආත්මභාවය වෙනකොට ආත්ම තුන හතරක හුරුව.
මෙහෙම එන්න එන්නම ඒ ඇබ්බැහිය දිගින් දිගට වර්ධනය වෙලා, ඒ කර්මයත් එන්න එන්නම වර්ධනය වෙනවා විනා ක්‍ෂය කරන්න අඩු කරන්න පහසු වෙන්නේ නෑ.
අනුන්ගේ ජීවිත නැති කිරීම සුදුසු නැහැ. ඒක බරපතල අකුසල කර්මයක්. නමුත් ඊටත් වඩා මහා හානියක් ඇති කරනවා ද්වේශ සහගතව යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ ජීවිතය විනාශ කර ගන්නවා නම්. නමුත් ඔය විදිහෙන් සිය දිවි නසා ගනිමින් තමන්ගේ මනස හරහා ඒ අකුසල කර්මය විපාක දෙන්නට ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ මනස දුර්වල නම් පමණයි. මනුෂ්‍යත්වයේ අරුත තේරුම් ගන්නට පුළුවන්නම්, මේ ජීවිතයේ වටිනාකම, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය, සද්ධර්මය අසද්ධර්මය, කර්මයේ විපාකය වැටහෙනවා නම් එබඳු ශක්තිමත් මනසක් තුලින් අර විදිහේ අකුසල කර්ම විපාකයක් මතු වී එන්නෙ නැහැ. එහෙම වෙනකොට මේ කර්ම වේගය අන් අයගේ මනස හරහා අපි වෙත ක්‍රියාත්මක වෙනවා. නොයෙක් ආකාරයෙන් අන් අයට සිතුවිලි ඇති වෙනවා අපිව විනාශ කරන්න. තමන් ජය ගත්තා කියලා ඒ අය තෘප්තිමත් වුනාට අවසානයේ කුමක්ද සිදු වෙලා තියෙන්නේ? අපේ කර්මය විපාක දෙන්නට ඒ අය අතකොළුවක් බවට පත් වෙලා. මාධ්‍යයක් වෙලා. නමුත් අපේ කර්මය විපාක දුන්නය කියලා ඒ අය කර්මයෙන් නිදහස් වෙන්නේ නෑ. ඒ අය අපේ ජීවිත විනාශ කිරීම නිසා ඇති කර ගන්නා අකුසලය දීර්ඝ කාලයක් විඳවන්නට මග හදා ගන්නවා.
මුගලන් මහරහතන් වහන්සේට හොරු තැලීමේදී මෙබඳු තත්වයකුයි ඇති වුනේ. උන්වහන්සේ මවුපියන්ට තලලා ඇති කර ගත් කර්මය තමන් වහන්සේගේ මනස හරහා මතු වී එන්නට ඉඩක් නෑ මනස ශක්තිමත් නිසා. ඒ නිසා ඒ කර්ම වේගය අහල පහල හිටිය මිථ්‍යාදෘෂ්ඨිකයින්ගේ මනස හරහා මතු වෙලා උන්වහන්සේගේ ජීවිතය විනාශ කරන්නට පෙළඹුනා. තමන්ට අවශ්‍ය දේ කර ගත්තයි කියලා ඒ අය තෘප්තිමත් වුනාට අවසානයේ කුමක්ද සිද්ධ වුනේ? මුගලන් හාමුදුරුවන්ගේ කර්මය විපාක දීලා අහෝසි වුනා. අර මිනිස්සු මහා ආනන්තර්ය පාපකර්මයක් සිදු කරගෙන ආත්ම බොහෝ ගණනක්, කල්ප බොහෝ ගණනක් දුක් විඳින්නට මග හදා ගත්තා.
මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන්, මේ කර්මය මොනතරම් අසාධාරණයිද කියලා. අනුන්ගේ කර්මය ඇයි මේ තව කෙනෙක් හරහා ක්‍රියාත්මක වෙන්නේ කියලා. අන්න ඒකයි මම මුලින්ම සඳහන් කළේ ඒ අය ශීල භාවනාවෙන් යුක්ත වුණානම්, ප්‍රාණ ඝාතයෙන් වළකින්නට අදත්තාදානයෙන් වළකින්නට සත්ව හිංසාවෙන් වළකින්නට තමන් සංවර කර ගත්තා නම්, කවදාවත් අනුන් නසන්නට පෙළඹිලා අනුන්ගේ කර්මය තමන් හරහා ක්‍රියාත්මක වෙන්නේ නෑ. අනුන්ගේ කර්මයෙන් ඔවුන් නිදහස් කරලා, කර්මය තමන් දෝතට අරගෙන සසරේ විඳවන්නට මග සලස්වා ගත්තේ ශීල භාවනාව නැති නිසයි. ශීල භාවනාවෙන් පිරිහුනොත් තමන්ගේ කර්ම විතරක් නෙමෙයි අනුන්ගේ කර්මත් තමන් මතින් ගලායනවයි කියලා මම මුලින් සඳහන් කළේ ඒ නිසයි.
මිටි තැනින් වතුර බහින කොට අහල පහල තියන කුනු කානු වල වතුරත් එතනින් ගලා බහින්නට කලකදී යොමු වෙනවයි කියලා මම සඳහන් කළේ ඒ නිසයි. පව්කම් වලින් වළකින්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපා ගත වෙන නිසා විතරක් නෙමෙයි. මනුෂ්‍යයෙක් හැටියට ඉපදිලා තමන්ගේ කර්මත් ලෙහා ගන්නට කටයුතු කළයුතු මේ ආත්ම භාවය, තමන්ගේ කර්ම වලත් පැටලිලා අනුන්ගේ කර්මත් පටලවා ගෙන ඒ සියල්ල තමන්ගේ දෝතට අරගෙන විඳවන්නට මග හදා ගන්නව නම් එහි ඇති මනුෂ්‍යත්වය කුමක්ද?
මනුෂ්‍යයා කියන්නේ උසස් මනසක් ඇති කෙනෙක්.
උසස් මනසක් ඇත්නම් ඒ තැනැත්තාට හැකිවිය යුතුයි අනුන්ගේ කර්ම දෝතට නොගෙන තමන්ගේ කර්මත් ලෙහාගෙන මේ සසරින් නික්මෙන්නට මග හදා ගන්නට. එහෙම කළ නොහැකි වෙන්නේ තමන් ශීල භාවනාවෙන් පිරිහිලා හීන දීන වෙන නිසයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශීල භාවනාව යම්කිසි කෙනෙක් ප්‍රගුණ කළොත් තමයි ඒ තැනැත්තා කර්ම ශක්තිය අභිබවා යන්නට හැකි මහේශාක්‍ය භාවය ඇති කර ගන්නේ.