මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ
මේ ලිපියට මූලාශ්‍රය වන්නේ විනය පිටකයට අයත් පාචිත්තිය පාළියේ භික්ඛුවිභ`ඩ්ගයේ භික්ඛුනෝවාද වග්ගයෙහි එන ඕවාද සික්ඛාපද නම් කොටස යි. භාග්‍යවතුන් වහන්සේ සැවත්නුවර ජේතවනයේ අනාථපිණ්ඩිකාරාමයෙහි වැඩ වෙසෙන කල වූ සිදුවීමක් මෙය දේශනා කිරීමට හේතු වී තිබේ. එහි භික්ෂුන් වහන්සේලා භික්ෂුණින් වහන්සේලාට අවවාද දීම ගැන සඳහන් වෙයි. එකල පිළිවෙතින් නොසරු ෂඩ් වර්ගීය එනම් ඡබ්බග්ගීය භික්ෂුන් වහන්සේලා ද අවවාද දෙන ස්වරූපයෙන් මෙහෙණන් වෙත එළඹ දහම් කථා මඳ වශයෙන් ද තිරශ්චීන කතා වැඩි වශයෙන් ද කළ බව සඳහන්ය. බුදුන් වහන්සේ ඒ දන ඔවුනට ගරහා, භික්ඛුනෝදක බවට එනම් අවවාද දීමට සුදුසු භික්ෂුවකට තිබිය යුතු සුදුසුකම් විස්තර කළහ. බුදුන් වහන්සේ වදාරන මේ සුදුසුකම් ගිහි සමාජයට ද අදාළ ය.
අවවාද දීමට සුදුසු පළමු කරුණ ලෙස දක්වා ඇත්තේ සිල්වත් භාවයයි. සිල්වත් බව පැවිදි වේවා, ගිහි වේවා චරිතයක් ඔපවත් කරන භූෂණයකි. ඒ අනුව සික්ඛාපද සමාදන් ව ඒ තුළ ජීවත්වන තැනැත්තා හෝ තැනැත්තිය ම අවවාද දීමට සුදුසු වෙයි. මේ වූ කලී සීලවා ගුණය යි.
ඒ සිල්වත් බවත් සමග තවත් ගුණයක් එකතු වෙයි. එනම් වජ්ජේසු භයදස්සාවී හෙවත් වරද කිරීමෙහිලා බිය දකිනසුලු බවයි. යහපත් තැනැත්තා බිය වන්නේ අන් කිසිවකට නොව වරද කිරීමටයි. එය කාගේවත් අවවාදයක්, ඉල්ලීමක් නිසා වන්නක් නොව තමාගේ ම අභ්‍යන්තරයෙන් එන අව්‍යාජ හඬට සවන් දීමකි. මේ වූකලී අවවාද දීමට සුදුසු චරිතයක තිබිය යුතු දෙවන ගුණය යි.
කලින් ද සඳහන් කළ පරිදි ශික්ෂා පදයන්හි සමාදන් වීම, ශික්ෂණය වීම එනම් හික්මීම ද ඉතා වැදගත්ය. අනික් අයට හික්මෙන්නැ යි කියා කිවහැක්කේ හික්මුණු කෙනාටයි. “සික්ඛති සික්ඛාපදේසු” යනුමෙයි. මෙම ශික්ෂාපද ඇත්තේ වරින්වර පුනරුච්චාරණය කිරීමට වඩා ඒ තුළ ජීවත්වීමට ය. මේ ඕවාදදායකයා තුළ තිබිය යුතු තෙවන ගුණය යි.
පංච ශික්ෂාපද ගතහොත් ඒවා නැවත නැවතත් කීම වරදක් නොවේ. එහෙත් වඩා වැදගත් වන්නේ ඒවා කියන අතරම එහි අරුත ධාරණය කොට ගෙන ජීවිතයෙන් ප්‍රකාශයට පත්වීමට ඉඩ හැරීම ය. සතුන් මැරීම වරදක් නම්, ඊට කුමන හෝ ආකාරයකින් අනුබල දීම වරදක් නම්, අප විසින් කළ යුත්තේ සත්ත්ව ඝාතනයට තුඩුදෙන කිසිදු ක්‍රියාවක නිරත නොවීම යි. අපේ බත්පතට එකතු කර ගනු ලබන මස හෝ මාළුව ඍජු ව හෝ වක්‍ර ව ජීවිතයක් අහිමිවීමට බලපා ඇත්නම් එබඳු හිංසකත්වයට අනුබල දෙන ආහාර වර්ජනය කිරීම ද ප්‍රථම ශික්ෂාපදය ශක්තිමත් කිරීමකි. අනෙකුත් සිල්පද සම්බන්ධයෙන් කිව යුත්තේද මෙයට සමාන කරුණු ය.
අනතුරුව කියැවෙන්නේ අවවාද දීමට යන තැනැත්තා බහුස්සුත හෙවත් බහුශ්‍රැතයකු වියයුතු බවයි. මෙයින් අදහස් වන්නේ උගත් කරුණු ප්‍රඥාවන්ත ලෙස සමාජගත කිරීමට දන්නා තැනැත්තාය. අනෙක් අයට කරුණු කියා දීමට නම් පළමු ව ඒ තැනැත්තා අදාළ කරුණු මැනවින් දැන සිටිය යුතුය.
බහුශ්‍රැතභාවය යනු මොනවා හෝ දැන සිටීම නොවේ. නිදසුනක් ලෙස කෙනකුට රටක ආරම්භයේ සිට මේ දක්වා වන රාජ නාමාවලිය කට පාඩමින් කීමට හැකියාව තිබෙනවා විය හැකිය. තව කෙනකුට තමන්ගේ රටේ ජීවත්වන සියලුම නළු නිළියන්ගේ නම් හා ඔවුන් කෑමට කැමැති ආහාර වර්ග සියල්ල මතක තිබෙනවා විය හැකිය. එහෙත් එබඳු වූ මතකය කෙනකුගේ බහුශ්‍රැතභාවය හා බැඳුණු ප්‍රඥාව හෙළි නොකරයි.
එසේම සිය බහුශ්‍රැත භාවය හෙළි කරන කරුණුවල මුල ද යහපත් වියයුතුය. මැද ද යහපත් වියයුතුය. අවසානය ද යහපත් වියයුතු ය. පිරිසිදු ශාසන බ්‍රහ්මචර්යය ප්‍රකාශ කරන්නක් ද වියයුතුය. අවවාදයක් සම්බන්ධයෙන් මෙය වඩාත් ගැළපෙයි. මේ අනුව බුදුන් වහන්සේ වදාරන බහුශ්‍රැතභාවය යනු බොහෝ දේ ඇසීම පමණක් නොවේ. ඒ ඇසූ දේ දරා ගැනීමටත් හැකිවිය යුතුය. දරාගත් දෙය වචනයෙන් පුහුණු කිරීමටත් සිතින් කොටස් වශයෙන් ගෙන තවදුරටත් දෘෂ්ටියෙන් මනාසේ සුපිරිසිඳ දැනීමටත් හැකිවිය යුතු ය. මේ වූකලී අවවාදදායකයා තුළ තිබිය යුතු තවත් සුදුසුකමකි.
“බහුස්සුතෝ හෝති සුතධරෝ හෝති සුතසන්නිචයෝ යේ තේ ධම්මා ආදිකල්‍යාණ මජෙඣකල්‍යාණ පරියෝසානකල්‍යාණා සාත්ථං සබ්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති. තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති. ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා.”
ධර්ම කරුණු මැනවින් දැන සිටීම මෙන්ම ඒවා කොටස් වශයෙන් බෙදා විග්‍රහ කරන්නට හැකි වීම ද භික්ෂුවක හෝ භික්ෂුණියක වෙත පමණක් නොව හොඳ ගිහියකු තුළ ද තිබිය යුතු තත්ත්වයකැයි හැඟේ. එහෙත් වඩාත් වැදගත් වන්නේ ඒ කරුණු යහපත් වචනයෙන් විස්තර කළ හැකි වීමයි. මෙයිනික්බිති කියැවෙන කල්‍යාණවාචෝ යන්නෙහි අදහස එයයි. කෙනකුට අවවාද දියයුත්තේ, හෙළා තලා දැක නොව ඔහු හෝ ඇය වරදින් මුදවා ගැනීම පිළිබඳ වන පිවිතුරු චේතනාවෙනි. එහිදී අවවාදදායකයා විසින් භාවිත කළ යුත්තේ යහපත් වචනයි.
අපට වැටහී ඇති ප්‍රමාණයේ තරමට “කල්‍යාණවාචා” යනු යහපත සිදුකරන සුළු යහපත් වචන මිස ඒ වචනවල බැලූ බැල්මට රැඳි ඇති මුදු බව හෝ රුදු බව නොවේ. බුදුන් වහන්සේ යහපත උදෙසා ඇතැම් විට මුදු වචන ද ඇතැම් විට දැඩි වචන ද භාවිත කළ බව සඳහන්ය. එහෙත් හැම විටෙකම උන්වහන්සේගේ අභිප්‍රාය වී ඇත්තේ යහපත උදෙසා ක්‍රියාත්මක වීමය. එහෙයින් භාවිත සමාජ අර්ථයෙන් ගත්විට ඒ වචන මුදු වුවත් රුදු වුවත්, ඒ භාවිත කෙළේ සදර්ථයෙන් නම් ඒවා “කල්‍යාණවාචා” ම වෙයි. මන්ද ඒ වචන කරුණාමූලයෙන් පිට වූ වචන ම වූ බැවිනි.
“පටිබල” හෙවත් “ප්‍රතිබල” යනු අවවාද දීමට ඇති පොහොසත් භාවය යි. ශක්තිමත් භාවය යි. මෙහිදී පොහොසත් වීම යනු ධනධාන්‍යයෙන් ආඪ්‍ය වීම නොවේ. ශක්තිමත් වීම යනු ශරීර ශක්තියෙන් යුක්තවීම ද නොවේ. මේ අවවාද දීම සඳහා සුදුසු ධර්මඥාන බලයකින් හා චරිත ශක්තියකින් “සන්නද්ධ ව” සිටීමයි. මෙහි සඳහන් වන පරිදි භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූ කහවත් දරන්නියන් කෙරෙහි ගරු ධර්මයනට නොඅවන් කෙනෙක්, විසි විය ඇත්තෙක්, අතිරේක විසි වයස් ඇත්තෙක්, අවවාද දීමට සුදුසු ය යන කරුණු අපට අපැහැදිලිය. වැදගත් වන්නේ සීලය නම්, ස්ත්‍රී පුරුෂ භාවය හෝ භෞතික වයස මිනුම් දණ්ඩක් ලෙස ගැනීම යෝග්‍ය ද යන ගැටලුව අප තුළ ඇති වෙයි. ඒ අපගේ පෘථග්ජන භාවය නිසා අතිවන ගැටලුවක් විය හැකිය. ඒ කෙසේ වෙතත් මෙහි අවසන කී කරුණු පැවිදි ජීවිතය සමග කෙසේ වෙතත් ගිහිජීවිතය සමග ගැළපීම නම් දුෂ්කරය.
අපගේ වැටහීමේ තරමට විවාදාපන්න වන එක කරුණක් ඇතත් මෙම දේශනා ධර්මයේ මුඛ්‍යාර්ථය වන්නේ අවවාද දීමට යන තැනැත්තා ඒ සඳහා සුදුසු විය යුතු බවය. පැරණි සිංහල කවියා, කාව්‍යමය ආප්තෝපදේශයක් ලෙස සමාජගත කෙළේ ද මේ කරුණ මය.
“ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට”
මේ ප්‍රකාශය, පමණක් මෙහිලා උද්ධෘත කොට ගත්තේ “දුසිරිත් දනන් දෙන ඔවා වැද්දන් කියන බණ වැනි” යන ප්‍රකාශය අතීතයට කෙසේ වෙතත් වර්තමානයට නම් නොගැළපෙන බැවිනි. මන්ද, වැදි ජනතාව අතර සතුන් දඩයම් නොකරන, සත්ත්ව මාංස අනුභව නොකරන, සතුනට ආදරය කරන චරිත අපට මුණ ගැසී ඇති බැවිනි. “බුද්ධිල ඇත්තන්” ලෙස ගෞතම බුදුන් වහන්සේ ගැන ඉමහත් ගෞරවයකින් කතා කරන දඹානේ වත්මන් වැදිනායක “වන්නිල ඇත්තෝ” ඉන් එක් චරිතයකි. කොළඹ සරසවියේ ආදි විiාර්ථියකු වන වැදි සනුහරයට අයත් දඹානේ ගුණවර්ධන නම් ගුරුවරයා – ලේඛකයා තවත් චරිතයකි. මේ අය අපට කියා සිටියේ සතුන් මරා මරවා, ගිනි මැළ ගසා ඒ සත්ත්ව මාංස පුච්චා, යකඩ කූරුවල දවටා අනුභව කිරීමේ කාර්යය දැන් කරන්නේ වැද්දන් නොව නාගරික සමාජයේ සම්භාවනීය ලෙස පෙනී සිටින මිනිසුන් ම බවය. “බාබකි්‍යු” යනු ඒ මහා පාපයට දී ඇති “ගෞරවණීය” නාමයයි. එබඳු පව් කරන්නෝ අවවාද දීමට නම් සුදුසු නොවෙති.
අපි බුදු බණ අනුව ජීවත් වන ගිහි-පැවිදි උතුමන්ගේම
අවවාද අසමු:
ඒවා දරා ගනිමු:
ඒවා තුළ ජීවත් වෙමු.

