ආදරෙයි…. නිවෙන්නට ද? ඇවිළෙන්නට ද?

cmadurawala
7 Min Read

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජ්‍ය මිරිස්සේ ධම්මික හිමි

“සබ්බා දිසා අනුපරිගම්ම චේතසා
නේවජ්ඣගා පියතර මත්තනා ඣචි
ඒවං පියො පුථු අත්තා පරේසං
තස්මා න හිංසෙ පරමත්තකාමෝති”

සියලු දිසාවන් සෙවීම් වශයෙන් සිතින් අනුව ගොස්, තමාට වඩා ප්‍රියයකු සොයන්නේ කිසි තැනකත් නොදක්නේය. මෙසේ සියලුදෙනාටම තමා තමාටම වඩා ප්‍රිය වේ. එහෙයින් තමාගේ සුව කැමැති තැනැත්තේ අන් අය නොපෙළන්නේය.”

ඛුද්දක නිකායේ උදාන පාළියේ, සෝණ වර්ගයේ අඩංගු රාජ සූත්‍රයෙහි ඇතුළත් උතුම් වූ ගාථා රත්නය සහ එහි අදහස ඉහතින් සඳහන් කළෙමි. සරල අදහසක් ලෙස දැනුණත් ඉතාම ගැඹුරු පරමාර්ථ ධර්ම කතාවක් මින් මතුකරගත හැකිය. මෙම ගාථා රත්නය දේශනා කිරීමට නිදානය වී ඇත්තේ දිනක් කොසොල් රජතුමා විසින් තම දේවිය වූ මල්ලිකා බිසවගෙන් අසන ලද ප්‍රශ්නයකට, මල්ලිකා දේවිය විසින් ලබා දෙන ලද පිළිතුර මුල්කොටගෙනය. අසන ලද ප්‍රශ්නය වී ඇත්තේ මල්ලිකාවෙනි, තමාට වඩා ප්‍රිය වූ කිසිවෙක් නුඹට ඇත්තේ ද? යන්නයි. මල්ලිකා දේවියගේ පිළිතුර වූයේ, “මහරජාණෙනි, මට මටම ප්‍රිය තරම් අන් කිසිවෙක් නැත්තේමය” යනුවෙනි. මල්ලිකා දේවිය විසින් එම ප්‍රශ්නයම කොසොල් රජුගෙන් පෙරළා අසන ලදුව, රජු ද එම පිළිතුරම ලබාදුන්නේ සැබෑ අවබෝධයකින් නොවේ. මල්ලිකාවගේ පිළිතුරට දෙවැනි විය නොහැකි නිසාය.

භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණෙන කොසොල් රජතුමා මෙම සංවාදය මෙසේ සඳහන් කළේය.

“භාග්‍යවතුන් වහන්ස, මම මල්ලිකා දේවිය සමග ප්‍රාසාදයෙහි උඩුමහල්තලයට පැමිණියෙමි. මල්ලිකාවන්ගෙන් මෙසේ ඇසීමි. එනම්, තමනට වඩා ප්‍රිය වූ කිසි අන් කෙනෙක් නුඹට ඇත්දැයි යනුවෙනි. දේවියගේ පිළිතුර වූයේ “මහරජාණෙනි, මට තමාට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් නැත්තේය යනුවෙනි. එතුමිය ද පෙරළා එම ප්‍රශ්නයම මාගෙන් ඇසූ විට මම ද “මල්ලිකාවෙනි, මටත් තමාට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් නැතැ”යි පැවසීමි.

මෙම මල්ලිකාවන්ගේ පිළිතුරත්, භාග්‍යවතුන් වහන්සේ විසින් එය අනුමත කරන ලද ගාථා රත්නයේ අදහසත් අපි විවරණය කර ගනිමු. මෙම භවය හෙවත් සත්ත්වයන්ගේ හටගැනීම සකස් වන්නේ අවිද්‍යාව හේතුකොටගෙනය. එම අවිද්‍යාව නම්, ඉතාමත් කෙටියෙන් සඳහන් කරන්නේ නම් පඨවි ආදී ධාතූන්ගෙන් සකස් වුණා වූ පණ ඇති හෝ පණ නැති සංඛත, සංඛාර වස්තූහු මම ය මාගේ ය නම් වූ දැක්මෙන් “ස්ථිරයි, සැපයි, මගේ කැමැත්තෙහි පවත්නේය” වශයෙන් සිතින් දැඩිව ගැනීමය. මෙහි ප්‍රතිඵලය වන්නේ තෘෂ්ණාව ඉපදීමය. මෙම අවස්ථාව “සක්කායදිට්ඨිය” ලෙස හැඳින්වෙයි. ධාතු ස්කන්ධ, ආයතනයන්ගෙන් සමන්නාගත මෙම පුඤ්ජයද, ධාතූන්ගෙන් සමන්නාගත අවිඤ්ඤාණක වස්තූන් ද “මම” කර ගනී. මෙම “මම” නම් වූ පුඤ්ජය හෙවත් ස්කන්ධ පඤ්චකය (රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ) අනිච්ච, දුක්ඛ, අනත්ත නම් වූ තිලක්ඛණයට යටත් කොට දැක ලෝභාදී කෙලෙස් හෙවත් කර්ම රැස්වීම සිදු නොවීමට මග නොදන්නා සත්ත්වයා නැවත නැවත සිත මුල්කොටගෙන තෘෂ්ණාව පහළ කර ගනී. “මම” නම් වූ එම අවිද්‍යා දැක්මෙන් යුතුව අරමුණු ගනී. ඔබ ජීවත් වෙනවා යයි පවසන්නේ මෙයයි. එනම් ඇසින් රූප ද, කනින් ශබ්ද ද, නාසයෙන් ආඝ්‍රාණ ද, දිවෙන් රස ද, කයින් ස්පර්ශ ද, මනසින් සිතුවිලි ද වශයෙනි. මෙහිදී තිලක්ඛණය පුරුදු නොකරන ලද අශ්‍රැතවත් පෘථග්ජන සිතේ ස්වභාවය නම් කුමක් ද? ප්‍රිය රූපයෙහි, ප්‍රිය ශබ්දයෙහි, ප්‍රිය ආඝ්‍රාණයෙහි ප්‍රිය රසයෙහි, ප්‍රිය ස්පර්ශයෙහි, ප්‍රිය සිතුවිල්ලෙහි, නිමිති, අනු නිමිති, ආකාර, ලීලාව (පෙනුම, හැඩරුව, අංග ප්‍රත්‍යංග, ලස්සන, අවලස්සන, ඉරියව්) වශයෙන් සිතින් දැඩිව ගෙන ඇලෙයි. කාමච්ඡන්දය උපදවා ගත් විඤ්ඤාණයෙන් අරමුණු හඳුනා ගන්නේ ඉටු වඩන, මන වඩන, ප්‍රිය දැයෙහි, කාමයෙන් යුත්, ඇලුම් කරන නම් වූ පඤ්ච කාම ගුණයන් ද පහළ කර ගනිමිනි. ප්‍රිය දැයෙහි, කාමයෙන් යුත්, ඇලුම් කරන නම් වූ පඤ්ච කාම ගුණයන් ද පහළ කර ගනිමිනි. ප්‍රිය අරමුණුවල රාගීව ඇලෙන්නට බැඳෙන්නට ද සිත් පවත්වන අශ්‍රැතවත් පෘථග්ජනයාට චපල සිත සමගින් එකම ආකාරයේ අරමුණු සමගින් රැඳෙන්නට නොහැකි වෙයි. ප්‍රිය හෝ කැමැති අරමුණු සොයන මෙම සිත අකැමැති අරමුණු ස්පර්ශ වීමේදී ගැටීමට පත්වෙයි. එය පටිඝයයි. තරහව, අකැමැත්ත, අරමුණු නොඉවසන බව, ආතතිය, දොම්නස බවට පත්වෙයි. මෙය සිතෙහි මෙසේ සකස් වෙන්නේ මෝහය හෙවත් මුළාව නිසායි. ඉහත සඳහන් කළ අයුරින් සියලු සංඛත, සංඛාර වස්තූහු අනිච්ච, දුක්ඛ, අනත්ත නම් තිලක්ඛණයට යටත් කොට අවබෝධයෙන් දැක “මම” පරමාර්ථ වශයෙන් දුරු කිරීමට නොහැකි බවයි.

තමා තමාටම ප්‍රිය බව සම්මා ප්‍රඥාවෙන් යුතුව අවබෝධ කරගන්නේ නම් කළ යුතු වන්නේ කුමක් ද? සර්වඥතා ඤාණය හෙවත් සියල්ල දත් නුවණින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සියලු සත්ත්වයෝම අතීත සසර ගමනේ වැඩිපුරම උපත ලබා ඇත්තේ සතර අපායේ බවය.

“දීඝ රත්තං වො භික්ඛවෙ දුක්ඛං පච්චනුභූතං” නුඹලා දිගු කාලයක් සසරෙහි අපමණව දුක් විඳ ඇති බවය. (අනමතග්ග සංයුත්තය) අප සියලුදෙනා විසින් අවබෝධයෙන් භාග්‍යවතුන් වහන්සේ සරණ යන්නේ නම් මෙම ඉගැන්වීම් කෙරේ බලවත් ලෙස සිත සහ සිහිය යොමු කළ යුතු වන්නේය. එනම් භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ත්ව අවධියේදී අධිෂ්ඨාන කළ ආකාරයෙන්ම සිත පැවැත්වීමය.

“බුද්ධෝහං බෝධයිස්සාමි
මුත්තෝහං මෝචයේ පරේ”

“බුදුවෙමි, අනුන්හට කරවමි අවබෝධ” යනුවෙනි. සසරගත වූ භයානක වූ දුකෙන් නිදහස් වීමට අවිජ්ජාවෙන් මුළුමනින්ම නිදහස් වෙන “යථාභූතං පජානාති” එනම් තතු, තතු ආකාරයෙන් දක්නා වූ ප්‍රතිපදාව අනුගමනය කොට මාර්ගඵල අවබෝධයයි. ඔබ ඔබට හැබෑවටම ප්‍රිය නම් කළ යුතු වන්නේ තාවකාලික සුවයක් ලබන ඇස ආදී රූපාරම්මණයන්ගෙන් පිනවා ලෝභ, දෝස, මෝහ ආදී කෙලෙස් රැස්වෙන වැඩපිළිවෙළ නොව, රාගාදී කෙලෙස් සන්සිඳවන පිළිවෙත් මඟට යොමු වීමය. තමා තමාට ප්‍රිය සේම සියලු සත්ත්වයෝම තමාටම ප්‍රිය ය. මේ නිසා ලෞකික වශයෙන් ප්‍රාණඝාතාදී පස්පව්වලින් තමනුත් පෙළී අනුන් ද පෙළීම සසරේ භයානක බව අවබෝධ කරගෙනම නතර කළ යුතුය. තමා ද සසරින් මිදී අන් අය ද සසරින් මිදෙන මඟට යොමු කළ යුතුය. භික්ෂුවගේ පිළිවෙත් මාර්ගයෙහි “චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය ලෝකානුකම්පාය” ලෙස එය දැක්විණි. උපාසක ස්වභාවය විස්තර කරන මහානාම සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ වදාළේ තමා ද ධර්ම මාර්ගයට යොමු වී අන් අය ද එහි සමාදන් කරවන ලෙසය. එනම් ධර්ම මාර්ගයෙහි පිහිටුවන ලෙසය. ලෞකික ලෝකයේ ඉගෙනීම වෘත්තිය, විවාහය, අඹු දරුවන්, ගේ දොර පවුලේ සහ සාමාජික යුතුකම සීලයෙහි පිහිටා සම්මුති ලෝකයේ ඔබ විසින් කළ යුතු වන්නේය. කෙසේ වෙතත් මේ සියල්ලම අනිච්ච, දුක්ඛ, අනත්ත නම් වූ පරමාර්ථ ධර්මයන්ට යටත් බැවින් සසරට බඳින සංයෝජනීය ධර්ම වන්නේය. මේ නිසා “උදයත්ථ ගාමිණියා පඤ්ඤා” නම් හේතූන් නිසා යමක් හටගන්නේ ද එම හේතූන්ගේ විසිර යෑමෙන් හටගත් ඵලය ද නැතිව යන්නේය” නම් වූ යථාවබෝධයම ප්‍රත්‍යක්ෂ කරගත යුතු වන්නේය. ඔබ වඩාත් ඔබටම කැමති ද? එසේ නම් සැනසුමේ මාර්ගය මෙයයි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *