පඤ්ච නීවරණ ධර්ම 02
කාමච්ඡන්ද නීවරණය.
පඤ්ච නීවරණ ධර්මයන්ගේ පළමුවැන්න වන්නේ කාමච්ඡන්ද නීවරණයයි. මෙය දස සංයෝජන ධර්මය ලෙස “කාමරාග” සංයෝජනය නමින් සඳහන් වේ. ධම්මචක්ක පවත්තන සූත්‍රයේදී දුක්ඛ සමුද්‍රය ආර්ය සත්‍යය ලෙස දක්වන්නේ තණ්හාවයි. එහි ප්‍රභේද තුනක් ඇති අතර පළමුවැන්න “කාම තණ්හා” නම් වේ. මේ කාමච්ඡන්ද, කාමරාග, කාමතණ්හා, යන පද තුනෙන්ම ප්‍රකට කරන්නේ එකම අදහසකි.
(කාම+ඡන්ද = කාමච්ඡන්ද, කාම+රාග=කාමරාග, කාම+තණ්හා =කාම තණ්හා) මෙසේ මේ පද විග්‍රහකර බැලීමේදී ඡන්‍ද, රාග, තණ්හා යන පද තුනේම අර්ථය කැමැත්ත, ඇලීම, බැඳීම බව පැහැදිලි වේ. කාම වස්තු පිළිබඳව ඇති කැමැත්ත මෙයින් අදහස් කෙරේ.
කාමයෙහි ප්‍රධාන ප්‍රභේද දෙකක් ඇත. 1. වත්ථු කාම 2.ක්‍ලෙෂකාම යනු ඒ දෙකයි. වත්ථුකාමයෙහි ප්‍රභේද පහක් දක්නට ලැබේ. ඒවා නම්,
- රූපකාම 2. සද්දකාම 3. ගන්‍ධකාම 4. රසකාම 5.පොට්ඨබ්බකාම
යනු එම ප්‍රභේදයි. (පඤ්චකාම)
ඛුද්දක නිකායට අයත් සුත්තනිපාතයේ “කාමසුත්තක”ය විග්‍රහකරන සැරියුත් මාහිමියෝ “කාමං” යන පදයට දීර්ඝ විස්තරයක් මහා නිද්දේසපාළියේ ඉදිරිපත් කොට ඇත. එම විග්‍රහයන් සියල්ල එක්කොට ගත්කල කැමතිවීම, බලාපොරොත්තු වීම යන අදහස ලැබේ.
මුලින් දැක්වූ ප්‍රභේදයන්ට අනුව වත්ථුකාම යනු රූප, ශබ්ද ආදී කාමයන් ඉපදීමට වත්ථු (හේතු) වන චක්‍ඛු, සෝත ආදී ඉන්‍ද්‍රියන් සහ කාමයන් ලබා ගැනීමට උපකාරී වන ඇත්, අස්, ගව, මහිස, රන්, රිදී, මසු, මුතු, මැණික්, වතු පිටි ආදී භෞතික සම්පත් ය.
ක්ලේශ කාම යනු ඉහතකී රූප ශබ්ද ආදී කාමයන් නිසා උපදින රාග, දෝස, මෝහ, ආදී කෙලෙස් සමූහයයි.
මෙසේ දක්වන මේ රූපාදී කාමයන් සෙවීම දුකක් බව මජ්ක්‍ධිම නිකායේ මහා දුක්‍ඛන්‍ධ සූත්‍රයේදී පෙන්වා දී ඇත. එහිදී කාමයන්ගේ ආදීනව සතක් පෙන්වා දී තිබේ.
- කාමය සඳහා භෝග සම්පත් අවශ්‍ය වේ. ඒවා උපයා ගැනීමේදී විඳීමට සිදුවන දුක් පීඩා,
- එසේ විවිධ දුක් පීඩා විඳ භෝග සම්පත් අපේක්‍ෂා කළ ද ඒවා නොලැබීයාම නිසා විවිධ කායික, මානසික දුක් පීඩා විඳීමට සිදු වේ. එය තවත් ආදීනවයකි.
- උපයා ගත් භෝග සම්පත් විවිධ හේතූන් නිසා විනාශයට පත්වූ විට ද දුක් උපදී. එය කාමයේ තවත් ආදීනවයකි.
- කාමය නිසාම, මාපිය දූදරුවන් අතර, සහෝදර සහෝදරියන් අතර, හිතවතුන් අතර ගැටුම් ඇති වේ. එය තවත් ආදීනවයකි.
- කාමය නිසා රටවල් අතර යුද්ධ කෝලාහල ඇති වේ. එයද ආදීනවයකි.
- කාමය මුල්කොට සොරකම, පරදාරය, මුසාවාදය, වැනි විවිධ අපරාධ ඇති වේ. එය ආදීනවයකි.
- කාමය නිසා විවිධ අපරාධ සිදුකොට මරණින් පසු දුගතිගාමී වේ. එය ද කාමයේ ආදීනවයකි.
මේ හැරෙන්නට බොහෝ සූත්‍රවල විවිධ වූ උපමා මාර්ගයෙන් කාමයේ ආදීනව දේශනා දක්නට ලැබේ.
කාමයෝ ඇටසැකිල්ලක් බඳුය. (පිළිකුල් සහගතය, නිසරුය) කාමයෝ මස් වැදැල්ලකට සමානය. (මස් කැටිය කවර තැනක තැබූව ද එය එතැන ඇලී සිටී. උඳුනක තැබූ කබලක් මත මස්කැටිය තැබූවද එහි ඇලේ. කබල රත්වුවද මස්කැටිය
නොගැළවේ. එය ඉවත් නොකළහොත් දැවී පිළිස්සී යයි.) කාමයෝ තණසුලක් බඳුය. ( වහා ඇවිලී විනාශයට පත්වේ. එය අත නොහළේනම් අතද දැවෙයි.) කාමයෝ ගිනි අඟුරු වළකට සමානය. (ගිනි අඟුරු දිළිසෙයි, බබලයි, එහෙත් වැටුනහොත් එහිම දැවී විනාශයට පත්වේ. ගොඩ ඒමක් නැත.) කාමයෝ සිහිනයකට සමානය. (කාමයන් දකිනතාක් එය සත්‍යය යැයි සිතයි. සිහිනයේදී කිසියම් වින්දනයක් ලැබූවද එය සැබෑ වින්දනයක් නොවේ. අවදි වූ විට හිස් බව වැටහේ) කාමයෝ පිරුවටයකට සමානය. (පිරුවටය නම් ඉල්ලාගත් ඇඳුමකි. එය තාවකාලික පරිහරණයකි. එපමණක්ද නොවේ, සෑම මොහොතකම එම ඇඳුමට හානියක්, කිළුටක් වේදැයි බියෙන් පසුවිය යුතුයි. තමාගේම ඇඳුමකින් ලබන සතුට එයින් ලැබිය නොහැක. කාමයෙන් ලබන්නේ ද තාවකාලික සතුටකි.) කාමය ගසක ඇති ගෙඩියකට සමානය. (කවර මොහොතක වැටේද? විනාශ වේදැයි කිව නොහැක.) කාමයෝ මස් කපන කඩුවකට හා කොටයකට සමානය. (කොපමණක් මස් කැපූවද කඩුවට හෝ කොටයට මස් රස නොදැනේ. කඩුවටත්, කොටයටත් ඇත්තේ පීඩාවක් පමණි.) කාමය අඩයටියකට සමානය. (අඩයටිය යනු හෙල්ලයයි. එය සිරුරක් පසාරුකරගෙන යයි. ජීවිත හානියක් විනා වෙනත් සුවයක්, ආස්වාදයක් කොයින් ද? හෙල්ලයෙන් ඇන ආපසු ගත්විට බාහිර තුවාළයක් නොපෙනේ. එහෙත් අනතුර ඉතා භයානකය. කාමයේ අනතුරද පිටතට නොපෙනෙතත් දරුණුය.) කාමයෝ සර්ප හිසකට සමානය. (සර්ප විෂ ඇත්තේ දත්වලය. සර්ප හිසකින් සිදුවන්නේ අනතුරක්මය.) මෙසේ කාමයේ ආදීනව බොහෝ සූත්‍රවල දක්නට ලැබේ.
මාපිය දෙපාර්ශ්වයෙන් විශාල ධනයකට හිමිකම් කියූ රට්ඨපාල තරුණයා ඒ සියල්ල අතහැර පැවිදි ිවූයේ කාමයේ ආදීනව දැකීම නිසාය. ඒ බව රට්ඨපාල තෙරුන් වහන්සේ ම දේශනා කළ ආකාරය මජ්ක්‍ධිම නිකායේ රට්ඨපාල සූත්‍රයේ සඳහන් වේ.
සංයුක්ත නිකායේ එන සමිද්ධි සූත්‍රයේ ද රූමත් තරුණ සමිද්ධි තෙරුන් වහන්සේට එක්තරා දෙව්දුවක් කාමයේ ගුණ පවසමින් කාමය සඳහා කිසියම් පෙළඹවීමක් කරද්දී උන්වහන්සේ එම දෙව්දුවට ඉහත සඳහන් කළ කාමයෝ ඇටසැකිල්ලක් බඳුය ආදී වශයෙන් ආදීනව පවසා ඇය භාග්‍යවතුන් වහන්සේ වෙත යොමු කළහ.
මජ්ක්‍ධිම නිකායේ “චාතුමා” සූත්‍රයේදී පඤ්ච කාමයන් හඳුන්වා දී ඇත්තේ “ආවට්ට බිය” නමිනි. ආවට්ට යනු දිය සුළියයි. දියට බසින අයෙකුට ඇති බිය සතරක් එම සූත්‍රයේ සඳහන් වේ. ඉන් එකක් ආවට්ට බියයි. දිය සුළියකට අසුවුවහොත් ඉන් ගැලවීමක් නැත. පඤ්ච කාමයෝ එසේමය.
රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්පර්ෂ යන මේ පඤ්ච කාමයන් ගෙන් එක් එක් කාමයකට ගරුක පුද්ගලයෝ ඇත. කෙනෙක් රූප ගරුකයෝය, තව කෙනෙක් ශබ්ද ගරුකය. මේ නිසාම භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර දහයක් මඟින් කළ දේශනාවක් අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ දක්නට ලැබෙන අතර එයට අටුවාව සපයන බුද්ධඝෝෂ හිමියෝ අනුරාධපුරයේ සිදුවූ සිදුවීම් උදාහරණ ලෙස දක්වමින් පැහැදිලි කරදී ඇත. සූත්‍ර දහයක් දේශනා කර ඇත්තේ ස්ත්‍රියකගේ සිතත් පුරුෂයාගේ සිතත් ක්‍රියාකරන ආකාරය දැක්වීම සඳහාය.
කාමය පිළිබඳව සතුල්ලපකායික දෙවියෙකු කළ ප්‍රකාශයක් සංයුක්ත නිකායේ “නසන්ති” සූත්‍රයේ දක්නට ලැබේ.
“ලෝකයෙහි විචිත්‍ර ස්වරූපයෙන් කාමයෝ පවතී. එහෙත් කාමයෝ නම් පුද්ගලයා තුළ පවත්නා වූ ඡන්‍දරාගය යි.”
“නතෙ කමායානි චිත්‍රානිලෝකෙ – සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ ” මෙම ප්‍රකාශයේ ගැඹුරු දහමක් ඇතුළත් වේ. විෂ භාග වූ රූපය හෝ ශබ්දය හෝ යම් අරමුණක් කෙනෙකුට කාමය ඉපදීමට හේතුවේ. ඒ එම පුද්ගලයා තුළ පවත්නා ඡන්‍ද රාගය පවතී නම් පමණකි. තවත් අයෙකුට එම අරමුණ කලකිරීමට හේතුවක් වීමට ද ඉඩ ඇත.
දත් පෙන්වා සිනා වූ කාන්තාවකගේ දත් දුටු භික්‍ෂුවක් අට්ඨික සඤ්ඤාව වැඩූ කතා පුවතක් ධර්මයේ සඳහන් වේ.
● කාමච්ඡන්‍දය ඇතිවන්නේ කෙසේද?
චක්‍ඛු සෝතාදී ඉන්‍ද්‍රීය මාර්ගයෙන් ලබාගන්නා අරමුණු ශුභ වශයෙන් ගෙන එම සුභ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් බැලීම නිසා කාමච්ඡන්‍දය උපදී. අයෝනිසෝ මනසිකාරය නම් අරමුණු නිත්‍ය, සුඛ, ආත්ම වශයෙන් බැලීමයි. (අනිච්ච නිච්චන්ති මනසිකරෝති, දුක්‍ඛ සුඛන්ති මනසිකරෝති, අනත්තො අනත්තන්ති මනසිකරෝති.)
රූපාදී අරමුණු සියල්ල අනිත්‍යය. අනිත්‍ය නිසාම දුක් සහගත වේ. යමක් අනිත්‍ය වේ නම්, දුක් සහගත වේ නම් එය අනාත්ම වේ. එහෙත් මේ යථා ස්වභාවය නොසලකා අරමුණු නිත්‍ය, සුඛ, ආත්ම වශයෙන් සැලකීම අයෝනිසෝ මනසිකාරයයි.
● කාමච්ඡන්‍දය ප්‍රහාණය කරන්නේ කෙසේද?
ඉහත සඳහන් කළ පරිදි රූප, ශබ්දාදී අරමුණු අසුභ වශයෙන් ගෙන යෝනිසෝ මනසිකාරයෙන් බැලීමෙන් කාමච්ඡන්‍දය ප්‍රහාණය කළ හැක.
යොනිසෝ මනසිකාරය නම් අරමුණු අනිත්‍ය, දුක්‍ඛ, අනාත්ම වශයෙන් බැලීමයි. (අනිච්චේ අනිච්චන්‍ති, දුfක්‍ඛ දුක්‍ඛන්‍ති, අනත්තේ අනත්තන්‍ති මනසිකරෝති) මෙසේ බැලීමෙන් ආදීනව මෙනෙහි වේ. මිට පෙර සඳහන් කළේ කාමයන්ගේ යථා ස්වභාවයයි. එක් රැයකට කහවණු දහසක් අය කළ සිරිමා නගර ශෝභිනියගේ දින තුනක් ගතවූ මළ සිරුර නොමිලයේ ගෙන යාමට හෝ කෙනෙක් නොවිණි. ඇයගේ රූපය නිසා රාගයෙන් උමතුව සතියක් පුරා ආහාර නොගෙන සිටි භික්‍ෂුවක් එදා එම මළ සිරුර ඉදිරියේ තබා ගෙන භාග්‍යවතුන් වහන්සේ කළ ධර්ම දේශනයෙන් සෝවාන් ඵලයට පත්විය. එම භික්‍ෂුවගේ කාමච්ඡන්‍දය ප්‍රහාණ වූයේ මුලදී ශුභ වශයෙන් ගත් අරමුණ අශුභ වශයෙන් ගෙන යොනිසෝ මනසිකාරයෙන් බැලීම නිසාය. ධම්මපදයේ 147වැනි ගාථාව මෙහිදී දේශනා කොට ඇත.
අනුරපුර උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝරඳුන් අභියස “සන්නිපාත ශාලාවේ” සෑම පුර පසළොස්වක පෝදාකම පස්වරුවේ ගිහි පැවිදි උගත් පඬිවරුන් එක්ව සිදුකරන දහම් සාකච්ඡාවේ දී පඤ්ච නීවරණ ධර්ම පිළිබඳව විශ්‍රාමික ගුරු උපදේශක, ශාස්ත්‍රපති, ධර්මාචාර්ය වඩුගේ කරුණාරත්න සූරීන් විසින් පැවැත්වූ දේශනය අලළා බුදුමඟට යොමු කළේ
● සෙනරත් පොන්නම්පෙරුම
(සෙවනගල මහගම ජනපදය උප තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිව සේවය කළ, දැනට සත් වසරකට පෙර අභාවප්‍රාප්ත වූ වයලට් වේවැල්වල මහත්මියට අජරාමර නිවන් සුව පතා අනුරාධපුර උතුම් රුවන්වැලි සෑරදුන් සහ ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස පෙහෙවස් සමාදන් වූ උපාසක පිරිසක් වෙත මැදින් පොහෝ දින බුදුමඟ ධර්ම ශාස්ත්‍රීය සංග්‍රහය ධර්ම දානයක් ලෙස බෙදා දෙනු ලැබිණි.)

