මහාචාර්ය වෑගම පියරතන හිමි
බුද්ධ කාලීන භාරත සමාජයෙහි පැවති බ්‍රාහ්මණ සමය සම්ප්‍රදායයන්ගේ ඉගැන්වීම්වලට අනුව සමස්ත මිනිස් සංහතියම ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ක්ෂුද්‍ර යනුවෙන් ස්තර හතරකට බෙදී තිබුණි. ලෝකය නිර්මාණය කළ බ්‍රහ්මයාගේ මුවින් බ්‍රාහ්මණයන් ද, දෙබාහුවෙන් ක්ෂත්‍රියයන් ද, දෙකලවායෙන් වෛශ්‍යයන් ද, දෙපතුලෙන් ක්ෂුද්‍රයන් ද ප්‍රභවය වූ බවත් එහෙයින් බ්‍රාහ්මණයන් සියල්ලන්ටම වඩා ශ්‍රේෂ්ඨ වන බවත් ඔවුන්ගේ ප්‍රධාන ඉගැන්වීම විය.
මෙම චතුර්වර්ණයට දිව්‍යමය ප්‍රභවයක් ආරෝපණය කළ බ්‍රාහ්මණයන් එහි නානත්වය ප්‍රදර්ශනය කිරීමේදී විවිධ උපක්‍රම යොදාගෙන ඇති බව වෛදික සාහිත්‍යයෙන් පෙනේ. ආර්ය – අනාර්ය වශයෙන් කොටස් කළ එම ජනතාව අතරෙන් ආර්යයන් ශෝභා සම්පන්න ශරීරවලින් යුත් කුලීනයන් ලෙස ද අනාර්යයන් දුර්වර්ණ වූ ශරීරවලින් යුත් කුලහීනයන් ලෙස ද සැලකූහ. ඒ අනුව ක්ෂුද්‍රයන් ජන්මයෙන්ම කුලහීනයන් වූ අතර බුද්ධියෙන් හා සදාචාරයෙන් ද පහත් තත්ත්වයට පත් කළහ. අන්‍යයන්ට දාසකම් කිරීමට සිදු වූ අතර සමාජයේ උසස් තත්ත්වයට පත්වීම සඳහා ඔවුන්ට කිසිදාක ඉඩක් නොලැබුණි. බ්‍රාහ්මණයන් විසින් ක්ෂුද්‍රයා තම ආගමික කටයුතුවලට සම්බන්ධ කර නොගන්නා ලදී. එපමණක් නොව ඔවුනට ආගමික වශයෙන් විමුක්තියක් හෝ ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් හෝ සලසාගත නොහැකි බව ද පවසා ඇත. එමෙන්ම වේදය ඉගෙනීම ද සම්පූර්ණයෙන්ම තහනම් විය. ක්ෂුද්‍රයකු බමුණකු ගේ නම කිවහොත් රත් වූ යකඩයක් හෝ උණු තෙල් මුඛයේ දමා ඔහුට දඬුවම් දිය යුතු බව මනු නීතියෙහි දැක්වේ. එබැවින් නිර්මාණවාදීන්ගේ මෙවැනි අසාධාරණ ඉගැන්වීම්වල ඇති නිස්සාරත්වය පැහැදිලි කිරීමට ක්‍රි.පූ. 6 වන සියවසෙහි දඹදිව පහළ වූ ගෞතම බුදුරජාණන් වහන්සේට සිදු විය.
මෙම චතුර්වර්ණයන් එක සමාන යැ’යි පැවසූ උන්වහන්සේ නොයෙක් අවස්ථාවලදී සමස්ත මානව වර්ගයාගේම ඒකත්වයක් විද්‍යාමාන වන බව සහේතුකව අවධාරණයෙන්ම පැවසූහ. ඒ සඳහා ඓතිහාසික, ජීව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක, ආර්ථික, දේශපාලනික, මනෝ විද්‍යාත්මක, ආචාර විද්‍යාත්මක හා ආධ්‍යාත්මික යන සෑම අංශවලින්ම කරුණු ගෙන හැර දක්වමින් මිනිස් සංහතියෙහි ඒකත්වය තහවුරු කළ විවිධ සූත්‍ර දේශනා මුල් බුදු සමයෙහි දක්නට ලැබේ.
- ඓතිහාසික වශයෙන් බලන විට භාරතයෙහි මූලික මනුෂ්‍ය ශිෂ්ටාචාරය ඇති වූ අවධියෙහි ආර්ය නමින් හඳුන්වනු ලැබූ පිරිස දඹදිවට සංක්‍රමණය වී ගංගා ආශ්‍රිතව පදිංචි වී ඇත. දීඝ නිකායෙහි අග්ගඤ්ඤ සූත්‍රයෙහි දැක්වෙන ලෝකෝත්පත්ති කතාවට අනුව සංවට්ටමාන යුගයේදී ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුත වී මෙහි පැමිණි සත්ත්වයන් විවට්ටමාන යුගයේදී සංකීර්ණත්වයට පත්ව පාලකයකුගේ අවශ්‍යතාව බලපවත්වන තත්ත්වයට පත් වී ඇත. මේ අනුව මිනිස් සමාජය ක්‍රමයෙන් පරිණාමයට පත්වීමෙන් සකස් වූ බව පැහැදිලි වෙයි. සමාජයෙහි සාමාජික සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වන විට එකිනෙකා අතර ඇති වූ ආරවුල්, නඩු හබ විසඳීම සඳහා පාලකයකු තෝරා ගැනීමට ඔවුනට සිදු විය.
නායකත්වයට පත් කර ගත් පිරිස ක්‍ෂේත්‍රයට අධිපති වූ හෙයින් ‘ක්ෂත්‍රිය’ නමින් හඳුන්වන ලදහ. ඔවුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ආගමික කටයුතුවල නිරත වූ පිරිස බ්‍රාහ්මණ නම් වූහ. වෙළහෙළඳාම, කෘෂිකර්මය, පශු පාලනය කිරීම් ආදියෙන් ධනවත් වූ පිරිස වෛශ්‍ය නම් වූහ. ඔවුන්ගේ වැඩ කර දෙමින් අසරණව ජීවත් වූ කම්කරු පිරිස ක්ෂුද්‍ර නම් වූහ. ධනයෙන් හෝ බලයෙන් හෝ යම්කිසි දෙයකින් දුර්වල වූ පුද්ගලයා පාගා වැඩ ගෙන, අන් අය උසස් තත්ත්වයට පත් වීමට වෑයම් කිරීම විශේෂයෙන් භාරත ජන සමාජයෙහි මුල් බැස ගත් ලක්ෂණයක් වී ඇත. සමාජය පරිණාමය වීමත් සමගම, යුගයෙන් යුගය ඔවුන් මුහුණ දුන් විවිධ අවශ්‍යතා මුල් කොට ගෙන ඇති වූ මේ බෙදීම් මත මිනිස් සමාජය කුල වශයෙන් සකස් වී ඇත. එම නිසා ඓතිහාසික වශයෙන් චතුර්වර්ණ ධර්මය දේව නිර්මිතයක් යැ’යි පිළිගත නොහැකි ය.
- ජීවවිද්‍යාත්මක වශයෙන් විවිධ වෘක්ෂලතා සහ සත්ත්ව ජීවිත අතර වර්ග භේද සහ ඒ ඒ වර්ගවලට අයිති විශේෂ ලක්ෂණ ද දක්නට ලැබෙන නමුත් මිනිස් ප්‍රජාව අතර එබඳු වර්ග භේදයක් හෝ ඒවාට අයිති සුවිශේෂ ලක්‍ෂණ හෝ දක්නට නොලැබේ. දිනක් බුදුරදුන් වෙත පැමිණි වාසෙට්ඨ නම් බමුණකු ජාතියෙන් කෙනකු බ්‍රාහ්මණයකු වේ දැ’යි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බුදුන් වහන්සේ විවිධ වෘක්ෂලතා හා සත්ත්වයන් අතර තුලනාත්මක විග්‍රහයක් කර ඇති අයුරු මජ්ඣිම නිකායෙහි වාසෙට්ඨ සූත්‍රයෙහි හෙළි වේ.
“තෘණ හා වෘක්ෂලතා අතර විවිධ ජාති ඇත. ඒ ඒ ජාතිවලට අයත් සලකුණු ද ඇත. ලෝකයෙහි විවිධ වර්ගයේ කුරා කුහුඹුවන්, කෘමීන්, ප්‍රාණීන් සිටින අතර ඔවුන්ගේ විවිධ ජාති හා ඔවුන්ට හිමි සලකුණු ද ඇත. උරගයන්, පක්ෂීන් හා මත්ස්‍යයන් අතර ද විවිධ ජාති ඇත. ඔවුන් එකිනෙකාට වෙන් වෙන් වශයෙන් හඳුනා ගත හැකි සලකුණු ද ඇත. එහෙත් එබඳු විවිධත්වයක් මානව වර්ගයා කෙරෙහි දක්නට නොලැබේ. ඇත් පාදය හා අශ්ව පාදය අතර වෙනස්කම් දක්නට ලැබේ. එහෙත් මිනිසුන්ගේ අත් පා, නිය, ඇඟිලි, ඇස්, හිස්, කන්, නාසා, ගෙල ආදී ශරීරාංග පිළිබඳ එතරම් වෙනසක් නොපෙනේ. සලකුණු හා පිහිටීම අනුව බොහෝ දුරට එක සමාන ය. එක් මිනිසකු තවත් මිනිසකුගෙන් වෙන් කොට හඳුනා ගන්නේ සංඥා නාමයෙනි. සිරුරෙහි ඇති රුධිරය හා අභ්‍යන්තර ඉන්ද්‍රිය පද්ධතිය අනුව ද වෙනසක් නොපෙනේ. ජාති භේදයට හේතු වන ප්‍රබල විශේෂත්වයක් විiමාන නොවේ. එනිසා සාර්වභෞමික වශයෙන් මුළු මහත් මානව සමාජයම එකම වර්ගයකට අයිති ය. එය ජාති, කුල, ගෝත්‍ර, වර්ණ ආදී වශයෙන් ප්‍රභේද කොට දැක්වීම හුදෙක් දෘෂ්ටි මාත්‍රයක් හෝ සම්මුතියක් පමණි.
තව ද අස්සලායන සූත්‍රයේදී අස්සලායන බමුණා බුදුරදුන් ඉදිරියේදී “බමුණෝ ශ්‍රේෂ්ඨ ය. ශෝභා සම්පන්න ය. බ්‍රහ්මයා විසින් නිර්මාණය කළ හෙයින් ඔහුගේ ඖරස පුත්‍රයෝ ය. අනික් වර්ණයෝ හීන ය. කෘශ්න වර්ණ ය අපිරිසිදු ය.” යනාදී වශයෙන් බමුණන්ගේ ශ්‍රේෂ්ඨත්වය වර්ණනා කර ඇත. බ්‍රාහ්මණයා වනාහි මහා බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රයකු බවත්, බ්‍රහ්මයාගේ මුඛයෙන් පහළ වූ බවත්, බ්‍රහ්මයා විසින් නිර්මාණය කළ බවත්, බ්‍රහ්මයා විසින් දෙන ලද දායාද ලැබී ඇති බවත් සඳහන් කර ඇත. මොවුන්ගේ ආගමික මෙහෙයෙහි එතරම් ප්‍රතිඵලයක් නොදුටු ක්ෂත්‍රියවරු ද ආගමික ජීවිත ආරම්භ කළහ. බ්‍රාහ්මණයන් අඹු දරුවන් ආරක්‍ෂා කරමින් ආගමික වතාවත් පවත්වන විට පමණක් දෙවියන් වෙනුවෙන් කැපවී සිටීමට මුල් වූ ශ්‍රමණ සම්ප්‍රදාය ගිහි බන්ධනවලින් තොරව ආගමික ජීවිතයක් ගත කර ඇත. එවිට බුදුරජාණන් වහන්සේ චතුර් වර්ණය දේව නිර්මාණයක් නොවන බවට සාක්ෂ්‍ය ඉදිරිපත් කරමින් ජීව විද්‍යාත්මක තර්ක පදනම් කරගෙන ඒ මතය ඛණ්ඩනය කර ඇත. විශ්වගත අනෙක් මිනිසුන්ගේ උපත සිදුවන පරිදි බමුණු ස්ත්‍රීන්ගේ ගැබ් ගැනීම, දරුවන් ප්‍රසූත කිරීම, කිරි පෙවීම ආදිය පෙනෙන්නට තිබියදී බමුණන් බ්‍රහ්මයාගේ මුඛයෙන් උපදින බව පැවසීම පිළිගත නොහැකි, අර්ථ ශුන්‍ය, හිස් ප්‍රලාපයක් බවත් එය බ්‍රහ්මයාට කරන නින්දාවක් බවත් වදාළහ. කුල සම්මිශ්‍රණයට ද කොතෙකුත් ඉඩ ඇති නිසා ජන්ම පාරිශුද්ධිය කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි ය. එහෙයින් ඒවා අන්ධානුකරණයෙන් ග්‍රහණය කරන දෘෂ්ටිමාත්‍ර පමණක් බවත් එම පිළිගැනීම ජීව විද්‍යාත්මක සිද්ධාන්ත පදනම් කර ගත් ඒවා බවත් පැහැදිලි කළහ.
දීඝනිකායේ අම්බට්ඨ සූත්‍රයෙන් පෙනෙන පරිදි බ්‍රාහ්මණයකුගේ මව්පිය දෙපාර්ශ්වයෙන් ඔවුන්ගේ අතීත පරපුර සොයාගිය විට එම පරපුරේ මුතුන් මිත්තන් ශාක්‍යයන්ගේ දාසියකගෙන් උපන් බව ප්‍රකට වනු ඇත. ක්ෂුද්‍ර වර්ණයට අයත් තැනැත්තියක බ්‍රාහ්මණයකුගේ දාසියකගෙන් උපන් බව ප්‍රකට වනු ඇත. ක්ෂුද්‍ර වර්ණයට අයත් තැනැත්තියක බ්‍රාහ්මණයකුගේ මව වූයේ නම් ඇගේ පුත්‍රයා බමුණකු බව පවසන්නේ කෙසේද? එමෙන්ම එම පරම්පරාව බ්‍රාහ්මණ පරම්පරාවක් බව කිව නොහැකි ය. මෙසේ බමුණන් මහත් ආඩම්බරයෙන් පැවසූ කුල පාරිශුද්ධිය ද අමූලික අසත්‍ය මිථ්‍යා ප්‍රලාපයක් බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ.
- සමාජ විද්‍යාත්මක වශයෙන් ද මිනිසාගේ ඒකත්වය තහවුරු කරන ලද ඉතා වැදගත් සාධක මජ්ඣිම නිකායේ මධුර සූත්‍රයෙහි දක්නට ලැබේ. මහා කච්චායන තෙරුන් හා අවන්ති රජු අතර පැවති සංවාදයක් ඇසුරෙන් එම කරුණු ඉදිරිපත් කර ඇත. චතුර් වර්ණය පිළිබඳව බමුණු ඉගැන්වීම් සියල්ල ව්‍යවහාර මාත්‍රයක් පමණක් බවත් සියලු මිනිසුන් පොදුවේ සමාන බවත් “ඉමෙ චත්තාරො වණ්ණා සමසමා භවන්ති” යනුවෙන් කච්චායන හිමියන් පවසා ඇත. මනු නීතියට අනුව ක්ෂුද්‍රයාට වෙනම විශේෂ වූ රැකියාවන් නීතියෙන්ම පනවා තිබුණි. එහෙත් ක්ෂුද්‍රයකුට සමාජමය වශයෙන් සෑහෙන ප්‍රමාණයක් ධන ධාන්‍ය රැස්කර ගෙන ධනවත් වූ විට බ්‍රාහ්මණයකු හෝ ක්ෂත්‍රියකු හෝ ස්වකීය දාසයකු බවට පත් කර ගත හැකි ය. ඒ අනුව අපට පැහැදිලි වන්නේ සමාජයේ කුලීනයකු වීමට අවශ්‍ය වන්නේ දිව්‍යමය ජන්මයක් නොව ධනය හෝ බලය බව යි.

