බාලේ වෙසක් කාලේ

cmadurawala
9 Min Read

උපාලි බණ්ඩාර වීරසේකර

බක් මාසයට පස්සේ එන්නේ වෙසක් මාසය. එදා ඒ කියන්නේ එක්දාස් නවසිය හැට ගණන් වල. මගේ ළමා කාලයේ. බක්මහ සැණකෙළි උනත් අපේ ගම්වල අද වගේ සුලබව දකින්නට තිබුණේ නැහැ. අපි කළේ චක්ගුඩු පැනීම, තාච්චි පැනීම, කජු ගැසීම, කැට ගැසීම වගෙ සෙල්ලම්. ක්‍රිකට් ගහන එකත් නොතිබුණාම නොවේ. ලොකු පොල්වතු මැද්දේ හරි ගොයම් කපලා මාප්පිඩි ටික කමත්වලට අරන් කොළේ ගහලා ඉවර වුණාම කුඹුරු ටිකේ ඉපනැල්ලේ ඕනෙ තරම් ඉඩ තිබ්බා සෙල්ලම් කරන්න.

ඉන් පස්සේ කුඩා අපේ එකම බලාපොරොත්තුව වෙසක් මංගල්‍යයට සූදානම් වෙන එක. වෙසක් කූඩු හදන්න උණ කෝටු කපා ගන්න එක ලොකු කරදරයක් වෙන්නේ නෑ. මොකද අවුරුද්දට බොහෝ ගෙවල්වල උණ බම්බුවලින් උණ වෙඩි හදන සිරිතක් තිබුණා. ඒ වෙඩි හඬ ගමටම ඇහෙන තරම්. රතිඤ්ඤාවලට වඩා කොල්ලෝ කුරුට්ටෝ කැමැති වුණේ උණ වෙඩි හදලා වැඩිම සද්දෙට වෙඩි පත්තු කරලා ඒ ආඩම්බරේ පෙන්වන්න. ඉතින් ඒ උණ කොටය පළල අටපට්ටම් හා තරු කියන හැඩයේ වෙසක් කූඩු හදන්න අහළ පහළ අයත් එක්ක මේ කෝටු බෙදා ගත්තා. වෙසක් කියලා පේන්නේ අටපට්ටම් කූඩුවලින්. මව් කූඩුවත් ලොකුවට හදලා පැටව් කූඩු ටික එල්ලුවාම තමා ඒකේ ලකේ තියෙන්නේ. හවස්වෙද්දි ඉටිපන්දම් හෝ වෙනත් දේවලින් හෝ පහන් කූඩු ආලෝක මත් කරලා ගේ ළඟම ගහක අත්තක එල්ලා ගන්න උදව් කරන්නේ අප්පච්චිලා. එහෙම නැත්නම් කවුරු හරි වැඩිහිටියෙක් උදව් කරනවා. වෙසක් කාලෙට මේ වෙසක් පහන් හදන්න එල්ලන්න හැඩ බලන්න කවුරුත් කැමැතියිනෙ. වෙසක් මංගල්‍යය ඇඟට දැනෙන එක් දෙයක් තමා මේ වෙසක් කූඩු සෑදීම. එයිනුත් අටපට්ටම තමා වෙසක් බව ගම්‍ය කරවන්නේ.

බෞද්ධ කොඩියක් එල්ලන එක කළේ කලාතුරකින් ගෙදරක. මොකද නගරයේ රැකියා කරන කෙනෙක් දෙන්නෙක් තමා බෞද්ධ කොඩි ගේන්නෙ. අපේ ගමේ පන්සල වළගම්බා රජ සමයේ කරවන ලද රාජමහා විහාරයක්. නාගොල්ලේ පුරාණ රජමහා විහාරය. ගල්පඩි පේළියක් නැගලා ගියාම ඉස්සෙල්ලාම පහළ විහාර ගේ හම්බ වෙනවා. විශාල ගලක් යට ලෙන් විහාරයක් ලෙස තිබෙන මෙහි මිළ කළ නොහැකි රත්තරන් පිළිමය තිබෙනවා. මේ පිළිමය හොරකම් කරන්න හොරු දෙසරයක් උත්සාහ කළා. එක් වරක් පන්සල් වත්තේ උයාගෙන කාලා ඔත්තු බලලා ලෑස්ති වුණත් ඒක කරන්න බැරි වුණා. පුස්කොළ පොත් ඇති පෙට්ටගම තිබෙනවා. මේ පෙට්ටගමේ සිතුවම් ඇතුළත් කරලා තැපැල් මුද්දරයකුත් නිකුත් කළා පසු කාලෙක. ඒ වගේම බණ මඬුවත් පහළ මළුවෙදි හම්බ වෙනවා. ඊට පස්සේ තවත් පඩි පේළියක් නැග්ගාම සැතපෙන පිළිමය තියෙන ලෙන් විහාරය හම්බ වෙනවා. ඒ වගේම චෛත්‍යය සහ බෝධිය තියෙන්නෙත් උඩ මලුවෙ. පුරාණ සිතුවම් සහිත ලෙන් එහෙමත් තියෙනවා.

වෙසක් දවසට ළමා අපිවත් කැන්දා ගෙන අම්මලා තාත්තලා උදේම පන්සලට යන සිරිතක් තිබුණා. උදේම යන්නේ බුද්ධ පූජාවට ලැහැස්ති වෙන්න. ඒ යද්දි ගිලන්පසට දානයට යමක් වගේ ම තෙල් මල් හඳුන්කූරු ආදියත් අරන් යනවා. ගමම වගේ පන්සලට එන වෙලාවක් තමා උදේ ඒ කරන පූජාව.

වැඩිහිටියො කිහිප දෙනක් පහළ මලුවෙදි මේ පූජා භාණ්ඩ ආහාරපාන මල් ආදිය පිළිවෙළකට වට්ටිවල හෝ සුදුසු බඳුන්වල තැම්පත් කරලා හදනවා. පන්සලට ආව හැමෝම පඩිපෙළ දිගේ පේළියට උන්නාට පස්සේ අන්න අර හැදුව සියලු පූජා වට්ටි ආදිය එකින් එක අතින් අත ඉහළ විහාරය තෙක් යවනවා. නායක හාමුදුරුවෝ; ඒ කාලේ හිටියේ කුඹල්පොල සුමංගල හාමුදුරුවෝ උන්නාන්සේ අර දේවල් සැතපෙන පිළිමය ඉදිරිපිට තිබෙන දිග පළල විශාල මල් ආසනය මත පූජා කරනවා. ඉන් පස්සේ පන්සිල් අරන් දවසේ ඒ කටයුත්ත නිමා කරනවා.

ඊට පස්සේ ගෙදර දුවගෙන එන්නේ වෙසක් කූඩුවල වැඩට. මට මතකයි එක සැරයක් මමයි ලොකු මල්ලියි චූටි මල්ලියි ගෙදර සාලෙ තියාගෙන ලොකු අටපට්ටමක් හැදුවා. හරිම උනන්දුවෙන් බොහොම අමාරුවෙන් ලස්සනට හැදුවා. අපේ ගේ තිබ්බේ වෙල් යායකින් වටවෙලා හින්දා ඈතට කූඩු ලස්සනට පේනවා. ඉතින් දිග උණ ගහක් ගෙනල්ලා ළිං කණුවට හේත්තු කරලා බැඳලා මුදුනේ ඉහළට පහළට අදින්න පුළුවන් විදියට ලණුවකුත් ගැට ගහලා තිබුණේ. ඔන්න දැන් කූඩුව එළියට ගන්න සූදානම් වුණා. අවාසනාව කියන්නේ දොරෙන් කූඩුව එළියට ගන්න බෑ. මොන විදියෙන්වත් බෑ. අප්පච්චිත් ආවා අම්මාත ආවා උපදෙස් දුන්නා මොන විදියකින්වත් ඒක කරන්න බෑ. චූටිමල්ලි කේන්තියටය දුකටයි ලැජ්ජාවටයි අඬන්න ගත්තා. පැනපු ගමන් කොළ ටික ඉරාගෙන ඉරාගෙන ගියා. මෙහෙම අකරතැබ්බ අපිට විතරක් නෙවේ වෙලා ඇත්තේ ඒක විශ්වාසයි. මොකද ළමා කාලේ හිතන්නේ ලස්සනට වෙසක් කූඩු හදන එක විතරයිනෙ.

ඒ අවුරුද්දේ ඔන්න වෙසක් කූඩු නැතිව බකට්වලින් සෑහීමකට පත් වෙන්න සිද්ධ වුණා. බකට් කියන්නෙත් අද වගේ නානාප්‍රකාර හැඩයේ චීන බකට් නෙවේ. බාල්දි හැඩේට රතු කහ කොළ නිල් සුදු ආදී බෞද්ධ කොඩියේ පාට බකට් තමා එදා බහුලවම තිබුණේ. අනික අදටත් වෙසක් කියන හැඩය එන්නේම ඒ ආකාරයේ බකට් පත්තුකළාම කියලයි මට නම් හිතෙන්නේ.

වෙසක් සුබ පැතුම් පත් යවන එකත් ඒ කාලේ සතුට ගෙන දෙන කාරණයක්. අපිට වෙසක් පතක් ලැබුණාම ඒක හරි ලොකු දෙයක්. අපේ වෙසක් කාඩ් අපිම හදාගන්නවා. පොස්ට් කාඩ් ප්‍රමාණයට තමා මේවා හදන්නේ. බුද්ධ රූපයක් ඇඳලා හරි මුද්‍රිත එකක් හරි හොයා ගෙන ඒකේ බුදුන් වහන්සේගේ හැඩය එන්න බ්ලේඩ් එකකින් කප කපා හදා ගන්නවා. ඊට පස්සේ ඒක පොස්ට් කාඩ් එක උඩින් තියලා තීන්ත පෑනෙ තලේ ගාවට පිඹිනවා. ඒ කාලේ කටු පෑනෙන් හෝ තීන්ත පෑනෙන් තමා අකුරු ලිව්වේ. ඉතින් ස්ප්‍රේ කළා වගේ හීනියට තිත් තිත් අර කපපු හිඩැස් අතරින් පෝස්ට් කාඩ් එකට වදිනවා. අපිම අතින් කවියකුත් ලියනවා. එහෙම තමා යාළුවන්ට සුබපැතුම් යවන්නේ.

අපේ ගමට එන පාර ධර්මපාල මාවත. කොළඹ කුරුණෑගල ප්‍රධාන පාරේ වඳුරාගලින් තමා මේ පාර පටන් ගන්නේ. අන්න ඒ හන්දියේ වෙසක් දන්සලක් දුන්නා. කුරුම්බා දන්සලක්. කුරුම්බාවලට අමතරව කවුරු හරි ඉඳුනු කෙසෙල් කැනක් ඒ වගේම අන්නාසි ආදියත් ගෙනත් දෙනවා. විශේෂයෙන්ම වන්දනාකාරයන්ට දෙන්නේ කුරුම්බා. ඕන තරම් පොල්වතු තියෙන හින්දා දන්සලට කිව්වාම කුරුම්බා වලු දෙක තුනක් ලෝබ නැතිව කපා ගන්න දෙනවා. ගොන් බැඳි කරත්තෙක දාගෙන ඒවා දන්සල ගාවට අරන් එනවා.

අනුරාධපුර, පොළොන්නරුව, දඹුල්ල, සීගිරිය, සෝමාවතිය වගේ පූජනීය ස්ථානවලට ලොරිවල නැගලා එහෙම නැත්නම් වන්දනා නඩ රැගත් බස්වල නැගලා පිරිස් එනවා. අපි ඈත තියාන දන්නවා වාහනේ ඉස්සරහ බොනට් එකේ පොල් මලක් පුවක් මලක් ගහලා තියෙද්දි ඒ වන්දනා නඩයක් තමා කියලා. ඉතින් කොළඹ පැත්තේ ඉදන් එන වන්දනා නඩවලට වැඩිහිටි තරුණ පිරිස් ලහි ලහියේ මේ කුරුම්බා දෙනවා. පිරිසකගේ වැඩේ ගෙඩි කපන එක. පිරිසක් ඒවා දෙනවා. ඒ කාලෙ ඔය උරන බට තිබ්බෙ නෑ. ඒ වගේම තමා කුරුම්බා ගෙඩියක් කට තියාගෙන බොන්න බැරි අය හිටියෙත් නෑ. ඉස්මොල්ලෙ එහෙම යන්නේ නැති වෙන්න ඒක දරුවන්ටත් පොවා ගන්න වැඩිහිටියන්ට පුළුවන් කම තිබ්බා.

ඔය දන්සල් වලින් අවට ගම්වල අය කන්නේ බොන්නෙ එහෙම නෑ. ඒක අවලස්සන වැඩක් කියලා තමා මතය වෙලා තිබ්බේ. මොකද පිනට දෙන්න පිනට ලැබුණු දේවල් කන බොන සිරිතක් ගම්වල මිනිස්සුන්ගේ තිබ්බෙ නෑ. ළමා අපිටත් ඒක හුරුවෙලා තිබුණා. දන්සලේ වැඩ කරන මහන්සි වෙන අයට වෙනම තේ ටික කන්න ටික ලැබුණා. අද කාලෙ නම් දන්සලක් දෙනවා කිව්ව ගමන් පෝලිමට එකතු වෙන්නේ ‘දන්සල් වදින්න’ එන ගමේම අය. ඒ වගේම තමා අද වගේ දන්සල් සුලබ ලෙස තිබ්බෙත් නෑ. මේ නිසා අපහසුවක් නැතිව කුරුම්බා ටික දීගන්න පුළුවන් වුණා.

හවස් වෙද්දි ගෙදර දුවන්නේ ඊළඟ කටයුත්තට. ඒ තමා අපිවත් වන්දනාවෙ එක්ක යනවා. ගමේ බොහෝ දෙනෙක් තම තමන්ට ඇති හැකි විදියට මේ වන්දනා ගමන යොදා ගන්නවා. මොකද වෙසක් දවසෙ රාත්‍රියේ ගමේ පන්සලට යන පිරිසෙන් ටික දෙනෙක් අඩු වෙන්නේ මේ වන්දනා ගමන හින්දා.

වයඹ පළාතේ ප්‍රසිද්ධ රාජමහා විහාර ගණනාවක්ම තියෙනවා. ඒ අතරින් ඇත්කඳ විහාරය එකක්. වත්හිමිකුමාරයා ගැන කතාවටත් සම්බන්ධ විහාරයක් මේක. ඊළඟට අංගංගල විහාරයේ දිග සැතපෙන පිළිමයක් තියෙනවා. ඉබ්බාගල තියෙන්නෙත් ලෙන් විහාරයක්. විල්බාව රාජමහා විහාරයත් තියෙන්නෙ කුඩා කන්දක් උඩ. ඒකට නම් අපි යන්නේ වැලි පාර දිගේ පයින්ම. සුප්‍රකට බලවත් පත්තිනි දේවාලය තියෙන්නෙත් විහාරය පහළ. ගල්පඩි කීපයක් නැගලා එතෙන්ට යන්න ඕනේ. කුවේණිය ගැනත් කතා පුවතක් මේ පත්තිනි දේවාලයට සම්බන්ධව තියෙනවා. දේවාලේ දිය කපන පෙරහැර බොහොම ප්‍රසිද්ධ එකක්.

කුරුණෑගලට මේ වගේ දවස්වලට එන බොහෝ දෙනෙක් ඇතුගලට යන්නත් අමතක කරන්නේ නෑ. අපේ බාල වියේදී මේ ගල මුදුනේ යකඩවලින් හැදුව බුද්ධ රූපයක් තිබුණා. ඒක හැඩ කරලා තිබුණේ විදුලි බල්බ් වලින්. නගරයේ ඈතින් ඈතට මේ බුද්ධ රූපයට ලයිට් දැම්මාම ලස්සනට පේනවා. ඉතින් ඕනෙ කෙනෙක්ට ළඟට ගිහින් බලන්නත් හිතෙනවා. ඒත් ඉතින් ළඟට ගියාම යකඩ සැකිල්ලක් විතරයි පේන්නේ. මේ ස්ථානයේ අතිවිශාල පිළිමයක් හදන්න කියලා ටවුමේ බෝගහ යට කුටියක් හදලා තිබ්බා අධාර එකතු කරන්න. ඒ ආධාර මුදලුත් ගසා කාපු කතා තිබ්බා. හැබැයි ඉතින් දිනපතා සල්ලිත් හම්බ වුණා. ඔය බුද්ධ ප්‍රතිමාව හදන්න මුල් වුණේ කුරුසයක්. ඇතුගල පාමුල තියෙනවා ක්‍රිස්තියානි පල්ලියක්. මේ පල්ලියට සම්බන්ධ පිරිසක් ගල උඩ කුරුසයක් සවි කරන්න ගිහින්. මේක දැක්ක නගරයේ ටැක්සි රියදුරන් බුදු පිළිමයක් ගල උඩ ගිහින් තියලා. වත්මන් බුද්ධ ප්‍රතිමාව හදන්න මුල පුරලා තියෙන්නේ ඔය විදියට. කොහෙම නමුත් ඇතුගලට යන අයට ගල මුදුනේ ආරණ්‍යට යන්න පුළුවන්. ඒ වගේම ලස්සන දර්ශනයක් නරඹන්න පුළුවන්.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *