පරම්පරා ගැටුම

cmadurawala
8 Min Read

ආචාර්ය කිරින්දේ ධම්මානන්ද නාහිමි

පවුල්වල හා සමාජයේ නොයෙකුත් ප්‍රශ්නවලට තවත් හේතුවන් නම් තරුණ හා වැඩිහිටි පරම්පරාවන් අතර ඇති විරසක ය. මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමා වුණු ප්‍රශ්නයක් නොවේ. එමෙන් ම වර්තමානයට පමණක් ද සීමා වුණ එකක් නොවේ. සෑම දියුණු, නැත්නම් දියුණු වන සමාජයක ම අනාදිමත් කාලයක සිට පැවත එන මේ ගැටුම විවිධ හේතූන් නිසා වර්තමානයේ වඩාත් ඉස්මත්තට පැමිණ ඇත.

තරුණ හා වැඩිහිටි අය අතර අදහස් අතින් පරතරයක් තිබීම පුදුමයකට කරුණක් නොවේ. තරුණයෙක් වැඩිහිටියකු ලෙස සිතයි නම්, වැඩිහිටියෙක් තරුණයකු ලෙස සිතයි නම්, එය පුදුමයට මෙන් ම සැලකිල්ලට ද යොමු විය යුතු තත්ත්වයකි. එය විපරීත සමාජයක ලක්ෂණයකි. මත ගැටුම් සමාජයේ දියුණුවට ද හේතු වන බව අප වටහා ගත යුතුය. එහෙත් මත ගැටුම් සමාජ ප්‍රගතියට බාධාවක් බවට පරිවර්තනය වීමට ද ඉඩ ඇති බව අමතක කළ යුතු නැත.

තමන් දරන මතය පමණක් හරිය, සෙසු මත සියල්ල වැරදිය යන ආකල්පය සමාජ විනාශකාරී බලවේගයක් බවට ද පරිවර්තනය විය හැකිය. මෙම පරම්පරා ගැටුම වැඩදායක සමාජ බලවේගයක් බවට පෙරළා ගෙන, එය නිසි අයුරු මෙහෙයවීමේ වගකීම වැඩි වශයෙන් පැවරෙන්නේ වැඩිහිටියනට ය.

වැඩිහිටියෝ වනාහී මුහුකුරු බවට පත්වූවෝ ය. ජීවිතයේ අත්දැකීම්වලින් මනාව පන්නරය ලැබුවෝය. තරුණ විය භුක්තිවිඳ එයින් ද ලත් අත්දැකීම්වලින් පෝෂණය වූවෝ ය. එනිසා තමන්ගේ පරිණතභාවය මුහුකුරුභාවය උපයෝගී කොට ගනිමින් තරුණ මනස්, සිතුවිලි, ගති, පැවතුම්, අදහස් උදහස් තේරුම් ගැනීමට උත්සුක විය යුත්තෝය. තාරුණ්‍යය හා වෘද්ධත්වය පරස්පර විරෝධී, ප්‍රතිවාදී අවස්ථා දෙකක් නොව එකම ජීවිතයේ අවස්ථා දෙකක් බව තේරුම් ගත යුතු ය. තමන් තරුණ කල තම අදහස්වලට වැඩිහිටියන් දැක්වූ ආකල්පයත්, ඒවායේ හරිවැරදි බවත්, එවිට තමන් දැක් වූ ප්‍රතික්‍රියාවනුත් මෙනෙහි කිරීමෙන් වර්තමාන පරම්පරා ගැටුම්වලට මුහුණ පෑමට අවශ්‍ය පුළුල් මානසික ආකල්පයක් වර්ධනය කර ගැනීමට වැඩිහිටියන්ට පුළුවන.

යල්පැනගිය අදහස්වල එල්බී, වෙනස්වන ලෝකය තේරුම් ගැනීම ප්‍රතික්ෂේප කරමින් තම මතයන් නිවැරදිය යන විශ්වාසය මත පිහිටා එම මතයන් එලෙස ම තරුණයින් මත පටවන්නට යෑම, මතගැටුම අවිගැටුමක් දක්වා වුවත් වර්ධනය කිරීමට හේතුවන්නට බැරි නැත. වැඩිහිටියෝ නිතරම සංවරය, සංයමය, ප්‍රගුණ කළ යුත්තෝ ය. සහනශීලීබව ජීවිතයේ අංගයක් කර ගත යුත්තෝ ය. තරුණයින්ගේ සිත් – සතන් තේරුම් ගැනීමට තමන් බැඳී සිටින බව, එය තමන්ගේ භාරදූර වගකීම බව මනාව තේරුම් ගත යුත්තෝය. බලයෙන්, වැඩිහිටි බව ආයුධයක් කර ගනිමින් තම ආධිපත්‍යය පැතිරවීම නොව, ඔවුන් විසින් කළ යුත්තේ අවබෝධයෙන්, ඉවසීමෙන්, සහනශීලීබවෙන් තරුණ සිතුම් – පැතුම් සොයා බලා වටහා ගෙන, තරුණ පිරිසේ ආදරය, ගෞරවය, විශ්වාසය දිනා ගෙන කටයුතු කිරීමය. මෙය තරුණයින්ට යටත්වීමක් ලෙස සැලකිය යුතු නැත. සුඛනම්‍ය බව ප්‍රගතියට, සාමයට, සුහදතාවට අත්‍යවශ්‍ය ය. තරුණයින්ගේ සියලු ම සිතැඟි

පිළිගැනීම, ඒවාට අවනතවීම මෙයින් අදහස් කෙරෙන්නේ නැත. අවශ්‍ය වන්නේ පවුලේ, සමාජයේ, රටේ ප්‍රගතියට ඉවහල්වන අර්ථ සහිත අදහස්, යොවුන් නැවුම් අදහස් පිළිගෙන තරුණයින්ගේ ද පූර්ණ සහයෝගය ඇතුව එම අදහස් ක්‍රියාත්මක කිරීම ය.

තරුණ පිරිස් ද එබඳු ම ආකල්පයකින්ම ප්‍රතික්‍රියා දැක්විය යුතු ය. වැඩිහිටියන් තම ප්‍රතිවාදීන් ලෙස නොව, තම අනුග්‍රාහකයින් ලෙස සැලකිය යුතුය. ඔවුනගේ අභිලාෂය තමන් පතන අනාගතය අහුරාලීම ට නොව, එය වඩාත් දීප්තිමත් කොට සපුරාලීම බව තරුණ අය තේරුම් ගත යුතු ය. යම් යම් අවස්ථාවලදී වැඩිහිටියන් විරුද්ධ ව නැගී සිටින්නේ තමන්ට අහිතක් කිරීමේ අදිටනින් නොව හුදෙක් ම හිතකාමීත්වයෙන් මෙහෙයවනු ලැබීමෙන් බව තරුණ පිරිස් තේරුම් ගත යුතු ය.

පරම්පරා ගැටුම සමාජ පරිවර්තන බලවේගයක් බවට පත්කර ගැන්මට අවශ්‍ය වන්නේ සහනශීලී බව හා අන්‍යොන්‍ය විශ්වාසය ය. ඒ ගුණාංග පාදක කොට ගෙන පරම්පරා ගැටුම යහ මඟට යොමු කළ හැකිය. වැඩිහිටියන් තරුණයින් තේරුම් ගෙන ඔවුන්ගේ සිතැඟි තේරුම් ගෙන තම වැඩිහිටි ගෞරවය රැකෙන පරිදි කටයුතු කළ යුතු ය. තරුණ පිරිස් ද වැඩිහිටියන් ට ඇහුම්කන් දී, ඔවුන්ගේ මුහුකුරු බවට ගෞරව කරමින් ඔවුන් කෙරෙහි විශ්වාසය ඇතිකර ගෙන කටයුතු කිරීමට පුරුදු විය යුතුය. මෙය මව්පිය දූ-දරු වැඩිහිටි – තරුණ කොටස් අතර සුසංයෝගයක් ඇති කිරීමට සමත් වනු ඇත. මේ මගින් පවුලේ, සමාජයේ, රටේ සාමයට සංවර්ධනයට විශාල පිටිවහලක් ලැබෙනු ඒකාන්ත ය.

වෙනස්වන ලෝකය හා සම්ප්‍රදාය

ආසියාතික රටවල් ඉතා දැඩිව සම්ප්‍රදායයන් ගරු කරන බව ප්‍රසිද්ධ කරුණකි. ශ්‍රී ලංකාවත් සම්ප්‍රදායයන් ගරු කරන රටකි. සම්ප්‍රදායයන් රටක, ජාතියක, අනන්‍යතාව තහුවරු කරන ගුණාංගයන්ය. වැඩිහිටි ගෞරවය, ගුරු ගෞරවය, පූජ්‍ය පක්‍ෂය කෙරෙහි දක්වන ගෞරව, පුරස්කෘත භක්ත්‍යාදරය, ආගන්තුක සත්කාරය ආදිය ශ්‍රී ලංකාවාසීන් තුළ දක්නට ඇති ප්‍රකට සම්ප්‍රදායයන් ය. මීට අමතරව විවිධ විශේෂ අවස්ථාවල්වල අනුගමනය කෙරෙන නොයෙකුත් සම්ප්‍රදායයන් ද වේ.

සම්ප්‍රදායයන් අනුගමනය කිරීම, ආරක්ෂා කිරීම සමාජයේ. දේශයේ එකමුතු බවට, සාමයට, සුහද බවට බෙහෙවින් බලපායි. සම්ප්‍රදායයන් අනුගමනය කිරීම බුදුදහමින් ද අනුමත කෙරේ. ඇත්ත වශයෙන් මෙය බෞද්ධ සංස්කෘතියේ එක් සුවිශේෂ ලක්ෂණයකි. වජ්ජිවරුන්ගේ ශක්තියට, බලයට, තේජාන්විත බවට හේතුවුණු එක් කරුණක් නම් ඔවුනගේ මේ සම්ප්‍රදායයන් ගරු කිරීමේ ලක්ෂණයයි. මේ බව දීඝනිකායේ මහාපරිනිබ්බාන සූත්‍රයේ සප්තඅපරිහානිය ධර්මය ගැන කෙරෙන විස්තරයෙන් ප්‍රකට වෙයි. එහෙත් සම්ප්‍රදායයන් ගරුකිරීම හා සම්ප්‍රදායයන්ට වහල්වී ඒවා අන්ධ භක්තියෙන් අනුගමනය එකම නොවේ. සම්ප්‍රදායයන්ට වහල්වීම නම් බුදුදහමින් කිසිසේත් අනුමත කෙරෙන්නේ නැත. සියලු සම්ප්‍රදායයන් පූජනීයත්වයෙන් සලකා ඒවා කරපින්නා ගෙන ඒවාට යට වී සිටීම ප්‍රතිගාමී ලක්ෂණයක් සේ බුදුදහම මගින් සැලකේ.

එලෙස ක්‍රියා කරන්නෝ හණ මිටිකාරයෝය. ඔවුහු වනාහී වෙනස්වන ලෝකයට නොගැලපෙන සංවර්ධනයට, ප්‍රගතියට පිටුපාන සමාජ බාධකයෝය. සියලු ම සම්ප්‍රදායයන් එකහා සමාන අගයන්ගෙන් යුක්ත නොවේ. අනික සියලු ම සම්ප්‍රදායයන් සාර්වත්‍රික, සර්වකාලීන වටිනාකම්වලින් යුක්ත ඒවා ද නොවේ. බොහෝ සම්ප්‍රදායයන් ජාතීන්ට, දේශයන්ට, සමාජවලට ආවේණික වූ ඒවාය. කාලානුරූපව වෙනස් වන ඒවා ය. එනිසා සම්ප්‍රදායයන් ආරක්ෂා කිරීමේ දී අනුගමනය කිරීමේ දී ඒවායේ ඇති වටිනාකම් ප්‍රයෝජනවත් ය,

ප්‍රායෝගික බව, ප්‍රගතිය සඳහා එයින් වන යහපත ආදිය ගැන සලකා බැලීම ඉතා අවශ්‍යය. සම්ප්‍රදායයන් ආරක්ෂා කළ යුත්තේ අනුගමනය කළ යුත්තේ මෙලෙස ඒවා ඇගැයුමකට ලක් කිරීමෙනි. දීඝනිකායේ පායාසි සූත්‍රයේ එන හණමිටිකාරයා පිළිබඳ කථාවෙන් මේ බෞද්ධ ආකල්පය මනාව පැහැදිලි වේ.

එක් කලෙක මිතුරෝ දෙදෙනෙක් වූහ. ඔවුන් විසූ රට මහත් ව්‍යසනයන්ට ගොදුරු වූ හෙයින් ඔවුන් සතු ධනය විනාශ විය. නැවත ධනය රැස් කරන්නට රිසි වූ ඔවුහු දෙදෙන ධනය සොයා වෙනත් රටකට ගියෝ ය. අතර මග ඔවුනට හණ ගොඩාක් ඇස ගැසුණි. ඔවුහු දෙදෙන අතිශයින් සතුටුව හණ විකුණා මුදල් ලබා ගන්නා අටියෙන් හණ මිටි දෙකත් බැඳගෙන කරපිට තබා ගෙන ගමන් ඇරඹූහ. මෙසේ එන අතරමගදී ඔවුනට හණ නූල් ගොඩක් හමුවිය. සුද්ධකර කටින ලද නූල් අමු හණවලට වඩා වටිනා හෙයින් හණ මිටිය ඉවත ලා නූල් මිටියක් ගෙන යෑම නුවණට හුරු යයි සිතූ එක් අයෙක් අනෙකාට ඒ බව කීය. “අනේ මෙච්චර දුර කර පින්නා ගෙන ආ හණ මිටිය කොහොම විසිකරන්නද? මට නම් බෑ. මං මේ හණ මිටිය ම ගෙනියනවා”යයි ඔහු පිළිතුරු දුන්නේය.

එය ඇසූ අනෙකා හණ මිටිය ඉවත ලා ගෙන යන්නට හැකි පමණ විශාල නූල් මිටියක් කරට ගත්තේය. දෙදෙනා ම ගමන ඇරඹුහ. එසේ යන විට ඔවුන දෙදෙනාට පිළිවෙළින් හණ රෙදි, කපු නූල්, කපුරෙදි, තඹ, රිදී හා අවසානයේ රන් ගොවඩල් හමුවිය. මේ හැම අවස්ථාවකදී ම එක් මිතුරෙකු කරපින්නා ගෙන ආ මිටිය ඉවත දමා වටිනා දෙයක් ඇති මිටියක් කරට ගත්තේය. මෙසේ අවසානයේ ඔහු විශාල රත්රන් මිටියක් ගත් අතර, අනෙකා ගෙදර ගියේ කරෙන් ගත් හණ මිටිය බිම නොතබා ම ය. රත්රන් රැගෙන ආ තැනැත්තාගේ පවුලේ උදවිය සතුටු වුණු අතර, හණමිටිකාරයාගේ පවුලේ උදවිය මහත් කනස්සල්ලට පත් වූහ.

මතුසම්බන්ධයි

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *