සී.ආනන්ද ග්‍රේරු
මඟුලක් යන වචනය පවා ඇසීම සතුට, සොම්නස උපදවන්නට හේතු වෙයි. මිනිසුන් අතර ‘විවාහ මඟුල් ඉහළින් පැවැත්වීම සිරිතක්ව පවතියි. එය ආදියෙහි පැවත එන සිරිතකි. විවාහ මඟුල් සඳහා මිනිසුන්ගේ වත්කම, පොහොසත්කම, හැකිකම, සමාජයේ ඔවුනට ඇති තරාතිරම අනුව විය පැහැදම් කිරීම මත රඳාපවතින අතර ඒවා පවත්වන මට්ටම ද වෙනස් වෙයි. මෙ කල විවාහ මංගල උත්සව පැවැත්වීමට මහ හෝටල් ප්‍රයෝජනයට ගන්නා බව පෙනේ. බොහෝ විට පහසුව සඳහා පාර්ශ්කරුවනගේ සමාජ තත්ත්වය විදහා පෑමටත්, නවීන පන්නය අනුගමනය කිරීමටත් හෝටල්වල මඟුල් උත්සව පිළියෙල කිරීම සිදුවන බව පෙනෙන්නට ඇත. දුප්පත් කෙනකු වුවත් මඟුලක් ණය වී හෝ හැකි ඉහළින්ම කිරීම එදා සිට අද දක්වා පවතින සමාජ ක්‍රියාදාමයකි. එයට එක් විදිහකින් බලන විට දොස් පැවරිය නොහැකිය. එතරම්ම මඟුල් කටයුතු සමාජයේ තදින් මුල්බැස ගෙන තිබෙන හෙයිනි. කෙනකුගේ ජීවිතයේ ඉහළින් පවත්වන විවාහ මඟුලක් ඇති වන්නේ එක් වරෙකි. දෙවැනි වරටත් විවාහ වන අය සිටිති. එහෙත් බොහෝ විට දෙවැනි වර විවාහ මඟුල පළමු විවාහ මඟුල සේ ඉහළින් පවත්වන්නේ නැත. කෙසේ හෝ වේවා මඟුලක් සුබ කටයුත්තක් හැටියට පිළිගෙන කටයුතු කිරීම පැරණි කාලයේ සිටම පවතින චාරිත්‍ර ධර්මයෙකි.
බුදු දහම දෙසට හැරී විමසන විට පෙර සඳහන් මඟුල් අභිභවා යන මංගල කරුණු තිස්අටක් මංගල සූත්‍රයෙහි දක්නට ලැබේ. ඒවා මිනිසාගේ මෙලොව ජීවිතය ඉහළින්ම සාර්ථක කරගැනීම පිණිස බුදුන්වහන්සේ වදාළ බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. සැමදා සැම විට මෙම මඟුල් කරුණු මිනිස් ජිවිතයට බලපාන අතර ඒවා අනුව ජිවිතය සකස් කරගෙන මෙලොව ජීවත් වීම සොම්නස මෙන්ම සැනසීම ගෙනදීමට හේතු වන බව කිව යුතුය. මෙලොව ජීවිතය සාර්ථක අන්දමින් පවත්වා ගෙන යන විට පරලොව ජීවිතය පවා යහපත් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. මංගල සූත්‍රයෙහි සඳහන් මංගල කරුණු කිහිපයක් පමණක් අපි මෙහි ගෙන හැර දක්වමු.
‘ගරු කළ යුත්තනට ගරු කිරීම, නිරහංකාර බව, ලද දෙයින් සතුටු වීම, කළ ගුණ දන්නා බව, සුදුසු කාලයේ දහම් ඇසීම යන මේවා උතුම් මඟුල්ය.
මෙම මඟුල් කාරණා, විවාහ මඟුලක පවතින දේවලට වඩා බොහෝ සෙයින් වෙනස් ය. රසවත් ආහාර ගෙන මිහිරි සංගීතයකට සවන් දී මත්පැන් පානය කරන්නේ නම් එය ද පාවිච්චි කර සතුටු සාමීචි කතාවල යෙදී, මනාල යුවළට සුබපතා සතුටුවීම වැනි විවාහ මඟුලක පවතින සොම්නස ගෙන දෙන දෙයට වෙනස් වූ මඟුල් කරුණු කිහිපයක් පෙර දැක්වූ මංගල සුත්‍රයෙහි ඇති ගාථාවක සඳහන් කරුණුවලින් පැහැදිලි වෙයි.
සමාජයේ ජීවත් වන අප ගරු කළ යුත්තනට ගරු සරු දැක්වීම වැරදි ක්‍රියාවක් ද? සැබවින්ම නැත. එය මහාත්ම මෙන්ම උසස් මිනිස් ගතියෙකි. ආගමික වශයෙන්, ජාතික වශයෙන් සිටි, සිටින, උතුමන් හට මෙන්ම තමන්ගේ දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරුන් යන අයට ගරු කිරීම, හරසර දැක්වීම කොතරම් හොඳ දෙයක්ද? එය තමන්ට ලබාගත හැකි ඉහළ ආශීර්වාදයෙකි. සමාජයේ මනා පැවැත්මට ද එවැනි ප්‍රසන්න ක්‍රියාව බොහෝ සේ උපකාර වන්නේය.
නිහතමානිකම ද මඟුලක් හැටියට පෙන්වා දී තිබේ. බොහෝ මිනිස්සු ජාති, කුල, ගෝත්‍ර නිසා මානයක් ඇති කර ගනිති. එසේ මානය ඇති කර ගෙන අනෙකා තමාට වඩා පහත්ය යන හැඟීම සිත් තුළ රඳවා ගෙන කටයුතු කරති. එබඳු කටයුතු කරන අය පිරිහෙති. මිනිසා උසස් පහත් වන්නේ උපතින්, ජාතියෙන්, කුලයෙන් නොවේ. එය රඳාපවත්නේ ඔහුගේ යහපත් ක්‍රියා, අයහපත් ක්‍රියා මතය. පුහුමානය සිතෙන් බැහැරකොට යහපත් මිනිස් ගුණවලින් හෙබි තැනැත්තා නිහතමානී පුද්ගලයකු හැටියට හඳුන්වා දිය හැකිය. එබඳු උතුමන් දැකීම, ඔවුන් වෙත පැමිණ ඇසුරු කිරීම, ගරු කිරීම, ඔවුන් ආදර්ශයට ගැනීම සැබවින්ම මඟුලකි. මහත් සොම්නසක් ඇතිවනවා පමණක් නොව තමන්ගේ දියුණුව ද එයින් ළඟා කරගත හැකිය.
ලද දෙයින් සතුටු වීම ද මඟුලක් හැටියට පෙන්වා දෙයි. ධනය වේවා, වෙනත් ප්‍රයෝජනවත් දෙයක් වේවා, ලැබෙන්නට ලැබෙන්නට මිනිසා ඒවායින් තෘප්තියකට, සැහීමකට පත්වන්නේ නැත. තව තවත් ඒවා ලබාගැනීම සඳහා හේ වෙහෙසෙයි. ඒවා පිටුපස දුව යයි. ගමනේ කෙළවරක් ද නැත. සෑම විට හේ කනස්සල්ලෙන්, නොසෑහීමේ ගතියෙන් වෙසෙයි. ධනය, වස්තුව ආදිය කොපමණ තිබුණත් සිතේ සතුටක්, සෑහීමකට පත්වීමක් නැති විට ඇති ඵලය කිම? යමකුට මහන්සියෙන් දැහැමි අන්දමින් උපයන ලැබෙන දෙයින් සතුටට පත්විය හැකි නම් එය මඟුලක් හැටියට පෙන්වා දී තිබේ. සැහැල්ලු, චාම් දිවි පෙවෙතකට පුරුදු වන්නේ නම්, එමෙන්ම වස්තුව, ධනය වැනි දේට දැඩි ආසාව නැති කර ගන්නේ නම් ලද දෙයින් සතුටට පත්වන්නට බැරි කමක් නැත.
කෙළෙහිගුණ දැක්වීම ද මඟුලක් වන්නේය. එය සැබවින්ම සත් පුරුෂ ගුණයෙකි. තමන් හට තවත් පුද්ගලයකු කළ උදව්ව, උපකාරය, සේවාව නැවත නැවත සිහි කිරීමත්, අවස්ථාව ලද විට තමන්ගෙන් ඒ තැනැත්තාට කළ යුතු මෙහෙය සිදුකිරීමත් මෙම මඟුලට අයත් වේ. බොහෝ මිනිසුන් අතර දක්නට ඇති දෙයක් බවට පත්ව ඇත්තේ කළගුණය අබමල් රේණුවක් තරමටවත් ගනන් නොගැනීමයි. එබඳු තත්ත්වයකට මිනිසා පත්ව සිටින විට දෙමාපියනට, ගුරුවරුනට, වැඩිහිටි අයට, උපකාර කළ වෙනත් අයට කළගුණ දැක්වීමේ ක්‍රියා නොකර සිටීම පුදුමයක් ද? නැත. මේ නිසාම මිනිසා මෙන්ම සමාජය ද පිරිහේ. සුළු වුව කළ මෙහෙය, සේවාව අමතක කළ යුතු නැත. තමන්ට සෙවණ දුන් ගස කපන්නෝ කොතෙකුත් සිටිති. කළගුණය සිතේ රඳවාගෙන තමන්ට ද වාරය පැමිණි විට උදවු කළ අයට හැකි පමණින් හෝ උදවුවීම උත්තර මිනිස් ගතියක් වෙයි. එයින් ලබන සතුට මිල කළ නොහැක්කේය.
සුදුසු කාලයෙහි බණ ඇසීම උතුම් මඟුලක් හැටියට විස්තර කොට තිබේ. බණ ඇසීම නැතහොත් ධර්මය දෙසන විට එයට සවන් දෙන්නේ අප තුළ පවත්නා වැරදි, අයහපත් සිතිවිලි නැති කොට යහපත්, හොඳ සිතිවිලි ඇති කොට ජීවිතයේ මහා පෙරළියක් ඇති කර ගැනීම සඳහා ය. මිනිස් සිත කලකිරෙන, සන්තාපයට පත්වන අවස්ථා ඇත. ඇතැම් අය ප්‍රතිකර්මයක් හැටියට සිය දිවිනසා ගනිති. එබඳු මෝඩ, අනුවණ ක්‍රියා කළ යුතු නැත. සිත අසහනකාරී තත්ත්වයට පත් වූ කල සුදුසු දෙය ධර්මය දන්නා උත්තමයකු වෙත ගොස් සැනසීමක් ලැබීම සඳහා සුදුසු පරිදි ධර්මයට සවන් දීමයි. කෙබඳු අසහනයකට වුව ධර්මයෙහි ප්‍රතිකර්ම ඇත. එබඳු ධර්මය අසා සිත සනසා ගන්න. එය සැනසීමත්, ගෙනදීම පිණිස නිතැතින්ම හේතුවෙයි. එයත් උතුම් මඟුලක් බව සලකන්න. යටත් පිරිසෙන් බණ පොතක් හෝ කියවා සැනසීම ලබන්න.
පෙර දැක් වූ මඟුල් හැරෙන්නට මනා කොට හික්මුණු බව, සුභාෂිත වචන, ශිල්ප දන්නා බව, ඉවසීම, නිරවුල් කර්මාන්තවල යෙදීම සහ අටලෝ දහමෙහි කම්පා නොවූ සිත් ඇති බවද මඟුල් හැටියට මංගල සූත්‍රයෙහි විස්තර කර ඇත්තේය. මේවා ගැන ද සුළු වශයෙන් අපි විමසා බලමු.
මනාකොට හික්මුණු බව ඇතිවීම යනු කය වචන දෙක සංවර කර ගැනීමයි. එය ජීවිතයේ නිසි පාලනයක් ඇති කරගැනීම පිණිස හේතු වන්නේය. කය නැති නම් ශරීරය උපයෝගි කරගෙන සිදුකළ හැකි වැරදි තිබේ. මේවා ගැන අවබෝධයකින් යුතුව කටයුතු කොට සංවර භාවය ඇති කරගත යුතුයි. එමෙන්ම වචනය නිසා වන්නා වූ වැරදිවලින් මිදී ජීවිතය සකස් කර ගැනීමෙන් සිදුවන්නා වූ යහපත අපමණය. සුභාෂිත වචන යනුවෙන් අදහස් වන්නේ ප්‍රිය වචනයි. බොරු, කේලාම් කීම ප්‍රිය වචන හැටියට ගණන් නොගැනේ. කටින් පිට කරන වචනය හොඳට සිතා ඵලදායි, වැදගත් වචනයක්ම කතා කිරීම සැම අතින්ම සුදුසුය. කතා කරන්නට දෙයක් නැති නම් නිහඬව සිටීම වඩාත් හොඳය.
ශිල්ප දැනුම යනුවෙන් හඳුන්වන්නේ විවිධ කර්මාන්ත ශිල්ප මෙන්ම නොයෙක් ශාස්ත්‍ර පිළිබඳ දැනුම ලබා ගැනීමයි. කෙනකුගේ ජීවිතය සාර්ථක කරගැනීම පිණිස ශිල්ප ශාස්ත්‍ර දැනුම ඉතා අවශ්‍ය වෙයි. ඒවායේ නිපුණත්වය ලැබීම වඩාත් සාර්ථක ජීවිතයකට මඟ පාදයි. සාර්ථක ජීවිතයක් ගෙන යන විට ඉන් ලැබෙන සොම්නස ඉමහත්ය.
ඉවසීම ජීවිතයට අවශ්‍ය වන්නේය. බොහෝ ප්‍රශ්න ඉවසීමෙන් කටයුතු කිරීමෙන් විසඳාගත හැකිය. ඉවසීම බියසුලු ක්‍රියාවක් නොවේ. එය ආත්ම ශක්තිය තිබෙන බව පෙන්වයි. විවිධ අදහස් ඇති මිනිසුන් සමග ක්‍රියා කිරීමේදී ඉවසීමෙන් යුතුව කටයුතුවල නිරත වීම සහනය ළඟාකර ගැනීමකි. ඉවසීමෙන් සැනසීම විනා අවැඩක් සිදුනොවෙයි.
ජීවිතය පවත්වා ගෙන යෑම පිණිස රැකීරක්ෂාවල යෙදිය යුතුය. නිරවුල් කර්මාන්තවල යෙදීම යනු කරන රැකියාව දැහැමි, යහපත් එකක් වීමත්, නිසි වේලාවට සුදුසු පරිදි අනලසව, උනන්දුවෙන් සහ කැපවීමෙන් කිරීමත් ය. අවුල් තත්ත්වයට පත් නොකොට කරන රැකියාව, කර්මාන්තය මැනවින් සිදුකිරීම තමන්ගේ දියුණුවට හේතුවෙයි.
ලාභය – අලාභය, අයසය – යසසය, නින්දාවය – ප්‍රශංසාවය, සැපය – දුකය යන කරුණු අට, අටලෝ දහම හැටියට දහමෙහි පෙන්වයි. සෑම කෙනකුටම මේවාට මුහුණ දෙන්නට සිදුවේ. එය වැළැක්විය නොහැකිය. එසේ මුහුණ දෙන විට කම්පා නොවී නුවණින් යුතුව කටයුතු කිරීම ඉතා අවශ්‍ය වන්නේය. ලොව පවතින ධර්මතාවයට සම බරව මුහුණ දීමෙන් සැනසීම ළඟා කරගැනීමට පිළිවන.
මංගල සූත්‍රයෙහි සඳහන් මංගල කරුණු ගැන සලකා බලන කල මෙලොව දියුණුව ඉහළින්ම ඇතිකර ගැනීමට හේතුවන දෑ එහි දක්නට ලැබේ. ඒවා මෙකල වුව එදිනෙදා ජීවිතයේ පුරුදු පුහුණු කළ යුතු දේය. ජීවිතයෙහි සැමදා මඟුලක් නැතිනම් උත්තරීතර තත්ත්වයක් ඇති කර ගැනීම සඳහා මංගල සූත්‍රයෙහි සඳහන් මංගල කරුණු නිතැතින්ම ඉවහල් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
මඟුල යහපත්ය එය දන වෙත සතුට
ගෙන දෙයි මඟුල් උලෙළක් ඇති වූ කලට
අට තිස් මඟුල් බුදු දහමෙහි ඇති ලෙසට
ගෙන යනු දිවිය මඟුලක් වන්නට යසට

