මහාචාර්ය නන්දසේන රත්නපාල
නිතර නිතර මාගේ ඇස යන පොතක් ලෙස ‘ජාතක පොත’ හැඳින්විය හැකිය. එහි එන කතා අතරින් වර්තමාන සමාජයට අර්ථවත් කතා දෙකක් හැටියට ගණ්ඩතීන්දු හා තෙසකුණ ජාතක හැඳින්වීමට මම කැමැත්තෙමි. රටක් පාලනය කරන රජවරුන්ට හෝ පාලකයන්ට, නිලධාරීන්ට මෙන්ම පාලනය කරනු ලැබූ සාමාන්‍ය ජනතාවට මේ ජාතක දෙකෙන් උගත හැකිදේ බොහෝය.
ගණ්ඩතීන්දු ජාතකය ආරම්භ වන්නේ කම්පිල්ල රජ උත්තර පඤ්චාල නම් රජු “අගතියට ගොස් අධර්මයෙන් රට පාලනය කරන” ආකාරය විස්තර කරමිනි. “ඒ රජ්ජුරුවන්ගේ යුවරජ සෙනවිරත් ආදීහු අධර්මයෙහි නිරතව දනවු වැසි සත්ත්වයන්ගෙන් අපමණ බදු පඬුරු ගෙන පීඩා කරන්නාහ. එකල්හි රාජ්‍යවාසී සත්ත්වයෝ ඒ රාජපුරුෂයන් කෙරෙහි බයෙන් තමන්ගේ අත දරුවන් රැගෙන වල්වැද ඒ ඒ තන්හි ඇවිදිනාහ. එකල පෙර මනුෂ්‍ය වාස තැන් අමනුෂ්‍ය වාස කොට සත්ත්වයෝ ඒ ඒ තැන පැල් ගහගෙන ඉඳිනාහු රාජ පුරුෂයන් කෙරෙහි බයින් දාවල් දවස් එහි වසන්ට නොපොහොසත්ව තමන්ගේ පැල් වටකොට කටුගසා අසුරාවලට වැද එහිත් සොරුන් බයින් රෑ දවස අවුත් ගෙයි ලැග පාන්වූ කල්හි අඹුදරුවන් ඇරගෙන වල් වදිනාහ. මෙසේ වසන්නාවූ සත්ත්වයන් දාවල් රාජ සේවකයෝ අල්වාගෙන අතමිට තිබූ දෙය උදුරාගෙන තලාමරා බොහෝ ගැහැට කරන්නාහ. රාත්‍රියෙහි සොරහුද සත්ත්වයන් උන් තැනින් තැන බලා අල්වාගෙන බොහෝ ව්‍යසනයට පමුණුවන්නාහ.”
අපේ රටටත් කාලයක පෙර මෙවන් අත්දැකීමක් විඳගන්නට ලැබිණ. දකුණේ ත්‍රස්තවාදය, සොරබිය හා වෙනත් උපක්‍රමවලින් මතුවන භීෂණය අපි දුටුවෙමු. උතුරේ ත්‍රස්තවාදය නිසා එය අත්විඳගන්නට තවත් අවස්ථාවක් ළඟාවිය. මේ කතාන්තරය අප මේ කලකට පෙර විඳගත්, උතුරු හා නැඟෙනහිර පළාත්වල තවමත් විඳගන්නා තත්ත්වය සිතුවම් කරයි.
රජ්ජුරුවන් හා ඔහුගේ පාලකයන් මෙසේ රට විනාශ කරද්දී ඒ බව දුටු රජුගේ පූජාවට ලක්වූ දිව්‍ය පුත්‍රයා රජු ඉදිරියෙහි පහළ විය. එසේ පහළ වී තමන් ගෙනයන පාලනය අධර්මිෂ්ඨ බව රජුට පෙන්වා දුන්නේය. මෙහි ඇත්ත නැත්ත දැනගැනීමට දිව්‍ය පුත්‍රයා රජුට උපායක් කීය. වෙස්වළාගෙන අප්‍රසිද්ධ වේශයෙන් රටේ ඇවිද මිනිසුන් කරන කියන දෑත් මිනිසුන් මුහුණදෙන ප්‍රශ්න ගැනත් අවබෝධ කරගන්න යැයි හෙතෙම රජුට අවවාද කළේය.
රජවරුන්ගේ ඉෂ්ට දේවතාවා පැරණි කතාවල නිතර එයි. හැම රටකම කුමන අන්දමේ හෝ දේවතාවෙක් රජු බලාගත්තේය. රජ නරකට ගමන් කරන විට ඉදිරියට විත් රජුට අවවාද කළේ මොවුන්ය. චක්‍රවර්ති සිහනාද සූත්‍රයේ චක්‍රරත්නය අහසෙහි පිහිටියේය. රජ නරකට රට පාලනය කරන විට අහස්හි පිහිටි චක්‍රරත්නය එහා මෙහා යයි. පාලනය ඉතාමත් නරක නම් අතුරුදහන් වෙයි.
ප්‍රජාතන්ත්‍රවාදී රටක ඉෂ්ට දේවතාවාගේ හෝ චක්‍රරත්නයේ තැන ලැබිය යුත්තේ මහජන සන්නිවේදන මාර්ග හා උපක්‍රමවලටය. පුවත්පත්, ගුවන්විදුලිය, රූපවාහිනිය අද නරක ඉෂ්ට දේවතාවන්ය. ඒවා රජය විසින් පාලනය විය යුතු නැත. ධනපතියන් සතුවීම ද භයානකය. ඒවා අයිති විය යුත්තේ මහජනයාටය. ඒ අතරම ඒවා ගෙනියන්නෝ ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරන, රජයට මග පෙන්වන, මහජන මතය හැඩගස්වන, වගකිවයුතු කාර්යභාරය මනාව ඉෂ්ට කරන පුද්ගලයන් විය යුතුය.
අපේ රජවරු පවා වෙස්වළාගෙන රටපුරා ඇවිදින්නට පුරුදු කර ගත්තේ මේ සාම්ප්‍රදායික චර්යා රටාව නිසා බව සිතාගත හැක. දුටුගැමුණු, පරාක්‍රමබාහු ආදී රජවරු වෙස්වළාගෙන ගිය හැටි ඉතිහාස පොත්වල සඳහන් වන්නේය. ගජබා රජ එසේ යනවිට මහලු ස්ත්‍රියකගේ හැඬීම අසා සොලීන් මේ රටට කළ විනාශය දැනගත්තේ. මෑත යුගයේ දෙවැනි රාජසිංහ රජු ද මෙසේ වෙස්වළාගෙන රටපුරා ගිය බව ජනකවිය අපට කියාදෙයි.
අපේ ජාතක කතාවේ එන පඤ්චාල රජතුමා වෙස්වළාගෙන රටපුරා ඇවිදින්නේ තනිවම නොවේ. එසේම වෙස්වළාගත් තම හිතවත් පුරෝහිත බ්‍රාහ්මණයාත් සමගය. එසේ යන ඔවුන්ට පළමුවෙන්ම හමුවන්නේ පිටිසරබද මහලු පුරුෂයෙකි. දහවල් දොරපිටින් හයා බැඳ තමාගේ බිරින්දෑ සමග වළට වැද සවස රාජ පුරුෂයන් ගෙවල් ඇරගිය කල්හී තමාගේ ගේ දොරකඩ බැන්දා වූ කටු කොහොල් ඇද දමන විට ඔහුගේ පයේ කටුවක් ඇනිණ. කටුව ඇනුණ විටම හෙතෙම කළේ කුමක්ද? රටේ රජුට ශාප කිරීමය.
“මම මේ කටුව ඇනී දුක් වේදනා ලදිම් ද එපරිද්දෙන් පඤ්චාර දේශවාසී රජද සංග්‍රාම භූමියෙහි සතුරන්ගෙන් පැරද තියුණු වූ හීයෙන් විදිනා ලදුව මා සේම දුක් අනුභව කෙරෙත්වා”, මේ අසා පුරෝහිත බමුණා ඒ මිනිසාගෙන් මෙසේ ප්‍රශ්න කරයි.
“මහලු පුරුෂය, මේ කටුව තොප ඇනගත්තේ රජුගේ වරද නිසා නොව තොපේ ඇස නොපෙනෙන නිසාය. රජ්ජුරුවන් තොප එන පාරේ කටු දැම්මේ නැත.”
මහලු පුරුෂයා මෙහිදී ඔහුට ප්‍රතිඋත්තර දෙන්නේ මෙසේය.
“බ්‍රාහ්මණය, අධර්මිෂ්ඨ වූ රජු විසින් අනුශාසනා කරන ලද මේ රාජ්‍යය විචාරයක් නැති බව හේතු කොට ගෙන අධර්මිෂ්ඨයෙන් ගන්නා කරවුවරයෙන් (බදුවලින්) පෙළෙන කල, රාජ්‍යවාසීන් දවල් දවස රාජසේවකයන් විසින් බොහෝ වධව්‍යසනයට පමුණුවන ලද්දා වූ රාත්‍රියෙහි ද හොරුන් විසින් කොල්ලකා නොයෙක් ව්‍යසනයට පමුණුවනු ලැබූ පසු මෙසේ දුක්විඳ ගෙදර විත් කටු ගලවන විට, ඇසේ කටුව ඇනුණේ රජුගේ අධර්මිෂ්ඨ පාලනය නිසාමය; රජ්ජුරුවන් මෙහෙම අධර්මිෂ්ඨව පාලනය කරන්නේ නැතිනම් අපට වල්වදින්නට වුවමනාවක් නැත; ගෙදොර ආරක්ෂා කරන්නට ද කටුගසන්නට ද වුවමනාවක් නැත; එවිට මෙසේ ඇනෙන්නේත් නැත.”
ඊළඟට වෙස්වළාගත් රජුට හා බ්‍රාහ්මණයාට හමුවන්නේ වයෝවෘද්ධ ස්ත්‍රියකි. මේ මහලු ස්ත්‍රියට දීග දෙන වයස ඉක්මවූ දූවරු තිදෙනෙක් ඇත. ඇය ඉතා දුප්පත් තැනැත්තියකි. ඕ වනාන්තරයෙන් දර ගෙනවිත් ඒවා විකුණා දූවරු රැකගත්තාය. එසේ දර ගෙනෙන්නට වළට ගිය ඕ වරක් ලිස්සා වැටුණාය. ඒ හා සමගම ඇය ශාප කළේ රට පාලනය කරන රජුටය. ඊට හේතු ඇසූවිට ඕ වෙස්වළාගත් රජතුමාට හා පුරෝහිතයාට මෙසේ උත්තර දෙන්නීය.

“රටේ රජු අවිචාරාත්මකව බදු ගන්නේ නම් ඉන් අප පෙළෙයි. ඔහුගේ අවිචාරාත්මක පාලනය නිසා රෑට සොරබිය පැන නඟියි. රටේ තත්ත්වය මෙසේ වූ විට අපේ සිතට, ගතට සතුටක් කොයින්ද? එබඳු රටක පවුල් ජීවිතයේ ඇලෙන පිරිමියා කව්ද? මගේ දූලාට විවාහ යෝජනාවක් නොකෙරෙන්නේ මේ නිසාය. අපට පුළුවන් හැටියටත් යමක් උපයාගෙන ජීවත්වීමට මේ අධර්මිෂ්ඨ පාලනය ඉඩ නොදෙයි.”
මේ ආකාරයටම අතරමගදී හමුවන ගොවියෙක් රටේ රජුට ශාප කරයි. ගොවියා සීසාන විට නඟුල ගැස්සීමෙන් ගොනාගේ පය තුවාල විය. “මට වුණ මේ ආකාරයටම අපේ අධර්මිෂ්ඨ රජුගේ කකුලත් තුවාල වේවා’යි හෙතෙම ප්‍රාර්ථනා කරයි.
වෙස්වළාගත් බ්‍රාහ්මණයා ඔහු අමතයි. “උඹේ කකුල තුවාල වුණේ මහරජු නිසා නොවේ. නුඹේ අත්වැරැද්දෙනි. ඒ ගැන මහ රජුට දොස් කියන්නේ ඇයි?
“මම විතරක් නොවෙයි. මේ රට වැසියෝ කව්රුත් ඔය අධර්මිෂ්ඨයාට ශාප කරති. ගොනා පය තුවාල කරගත්තේ කේන්ති ගිය නිසයි. මම කේන්ති ගිහින් නඟුලට පයින් ගැහුවා. මට කේන්ති ගියේ වෙනදා බත ලැබෙන වෙලාවට කෑම ටික නොලැබුණ නිසයි. මගේ බිරිඳ කෑම රැගෙන එනවිට මගදී රාජ සේවකයෝ එය ඇගෙන් උදුරාගත්තා, ඇය ආපහු ගෙදර ගිහින් අලුතින් බත් උයාගෙන ආවා. කෑම ප්‍රමාද වුණේ ඒකයි. මේ සියල්ලටම මුල රජුගේ අධර්මිෂ්ඨ පාලනයයි.
මින් ඉක්බිතිව කිරි දොවමින් සිටින ගොපල්ලෙක් මේ දෙදෙනාට හමුවන්නේය. ගොපල්ලා කිරි දොවන අතර එළදෙන කිරි මුට්ටියට පයින් ගැසුවාය. කිරි බිම වැගිරිණ. ගොපල්ලා රටේ රජුට ශාප කළේය. ඔහුගේ ශාපය කෙසේවීද? “මේ රජුහු යුද්ධ භූමියෙහි තියුණු මුවහත් ඇති කඩුවකින් දෙකට කැපේවා!”
මෙසේ කියා ශාප කරන්නේ ඇයි දැයි වෙස්වළාගත් බ්‍රාහ්මණයා ප්‍රශ්න කළ විට ඔහු මෙසේ කියයි: “මේ රටේ රජ ඉතා අධර්මිෂ්ඨයෙකි. රාජ සේවකයෝත් එවැනිම අධර්මිෂ්ඨයෝය; දුර්ජනයෝය. ඔවුහු මගෙන් බලෙන් කිරි ඉල්ලති. මා ඔවුන්ට ඇති බිය නිසා කෙසේ හෝ කිරි දිය යුතුය. එසේ කිරි ගැනීම සඳහා එළදෙනට වධදිදී කිරි දෙව්වෙමි. එළදෙන මට පයින් ගැසුවේ එවිටය. ඉතින් වැරදිකාරයා කවුද? රජු නොවේද? ඔහුගේ අධර්මිෂ්ඨ පාලනය නොවන්නේද?”
අතරමගදී හඬහඬා යන එළදෙනක් ඔවුන්ට හමුවෙයි. එළදෙන පසුපස කොල්ලෝ රජුට ශාප කරමින් යති. ඊට හේතුව ඇසූවිට කොල්ලෝ මෙසේ උත්තර දුන්නාහුය.
“අනුන්ගේ දේ ඉවක් බවක් නැතුව කොල්ලකෑමට පුරුදු වූ රාජ පුත්‍රයෝ වස්සෙකු දැක ඌ මරා මස් කෑහ. උගේ හමද ගලවා ගත්තෝය. හම රැගෙන යන රාජපුරුෂයන් පිටිපස එළදෙන හඬමින් යන්නීය. මේ දුක හා බය එළදෙනට ළඟා වූයේ රජුගේ අධර්මිෂ්ඨ පාලනය නිසාය.”
ධර්මිෂ්ඨ අන්දමින් රට පාලනය කිරීමේ වැදගත්කම රජුටත්, බමුණාටත්, දැන් මනාව අවබෝධ විය. “දශරාජ ධර්මයෙන් රාජ්‍ය කරන්නේ වී නම් මේ රාජ්‍යය වස්ත්‍රාභරණ ධනධාන්‍යාදියෙන් සමෘද්ධ වන්නේය. ශස්‍යයෙන් යුක්ත වන්නේය. සියලු වැව් පොකුණු හෝ කඳු රැලි ආදිය ප්‍රසන්න ජලයෙන් පිරී යන්නේය.”
රජු අධර්මිෂ්ඨ වනවිට ක්‍රමක්‍රමයෙන් ලොක්කන්ගෙන් පටන්ගෙන පොඩ්ඩන් දක්වා රට අධර්මිෂ්ඨ කමට නතුවෙයි.
රජුන් අදමිටු වත්
වෙති මැතිඳෝ ද එපවත්
දැක උන්ගේ පවත්
බමුණු ගහපතියෝද එගනිත්
මේ අධර්මිෂ්ඨ තත්ත්වය ඉන් නොනැවතී රටේ පරිසරය, ගහකොළ, දේශගුණය, සතා සිව්පාවා පමණක් නොව මනුෂ්‍ය අමනුෂ්‍ය කා කෙරෙහිත් ව්‍යාප්ත වන්නේය. ඉන්පසු රටේ හටගන්නා ආහාර භෝග පවා මනුෂ්‍යයාට විස වෙයි.
ඒ අතර කන බොන
දනහට එයින් වෙන වෙන
රෝ දුක් වන බැවින
ලොවට වැඩ අවැඩ නිරිඳුන් ගෙන
තෙසකුණ ජාතකය රජෙකු විසින් රටක් පාලනය කළයුතු ධර්ම මාර්ගය අපට පෙන්වාදෙයි. කතාව ආරම්භ වන්නේ පක්ෂි බිජු තුනක් රැකීමෙන් පක්ෂීන් තිදෙනෙකු බිහිවීමෙනි. ඒ පක්ෂීහු රජුට අනුශාසනා කරති. පළමු වැනි පක්ෂියාගේ අනුශාසනය මෙසේය.
“රජ්ජුරුවන් විසින් පළමුකොට බොරු දුරු කටයුත්තේය. මුසාවාදයෙන් යුතු රජ දරුවන්ගේ රාජ්‍යයෙහි තෘණ වෘක්ෂලතා දියෙහි ඕජා නැතිවන්නේය. ගොයම් ආදී වූ ශස්‍යයෙන් කරන්නාවූ භූමියෙහි ඕජාවද සත් රියනක් පහත බසින්නේය. එකල සත්ත්වයන් අනුභව කරන්නාවූ ආහාරයෙහිද තෙල්, මී සකුරු ආදියෙහි ද ඖෂධයෙහි ද ඕජාවද ආනුභාව ද නැත්තේය. එසේ ඕජා රහිත වූ භෝජනය අනුභව කළාවූ සත්ත්වයෝ බොහෝ ව්‍යාධි ඇතිවන්නාහ.”
අධර්මය ස්වභාවධර්මයට පවා බලපායි. යම් කිසිවෙක් දුෂ්ට ක්‍රියාවන් නොකළ යුත්තේ ඒ නිසා මතුවන දුර්විපාක සලකාගෙනය. නිදර්ශනයක් හැටියට බොරුවක් කීම අරගනිමු. මින් සිදුවන්නේ තව කෙනෙකු රැවටීම පමණක් නොවේ. ස්වභාව ධර්මයට ද ඒ ක්‍රියාව බලපාන්නේය. පරිසරය අපද්‍රව්‍යවලින් දූෂණය වන්නා සේ දුෂ්ට ක්‍රියාවෙන් ගහකොළේ ඕජය පසේ සාරවත් බව, කාලගුණයේ හිතකර බව ක්ෂයවී යන්නේය.
පාලකයා හෝ රජතුමා බොරුකීම ආදී දුෂ්ට ක්‍රියාවල යෙදේ නම් සිදුවන්නේ දියෙන් ගොඩින් උපදින වස්තුව නැතිවීමයි. ඒ නිසා රජ්ජුරුවෝ දිළිඳු බවට පත් වෙති. වස්තුව නැති නිසා රජුට අනුන්ට නිසි පරිදි සංග්‍රහ කළ නොහේ. ඒ නිසා ඔහුට අනුන්ගේ සහයෝගය නැතිවන්නේය.
පාලකයා කෝපයෙන් දුරුවිය යුතුය. ඒ මන්ද? රජුට හෝ පාලකයාට වචන පවා ආයුධ වැනිය. නිකම්ම කිපී වචනයක් කී පමණින් අන්‍යයෙකු විනාශ කළ හැකිය. ඒ නිසාම රජු්ගේ පාලකයා සැමවිටම කෝපයෙන් දුරුවී හැකිතාත් ධාර්මික විය යුතුය. රජු හෝ පාලකයා වුවමනාවට වඩා ක්‍රීඩාවෙහි ඇලිය යුතු නැත. රටේ කටයුතු විචාරන්නට නම් ඒ ඒ ආලම්බනයන්හි ඇලුණු සිතක් තිබීම බාධාවකි. ක්‍රියාව මෙන්ම කාමාශාවද එසේමය. රාගයෙන් හෝ මානයෙන් හෝ දෝෂයෙන් මත්ව රජු විසින් කිසිදු අනර්ථකාරී ක්‍රියාවක් නොකළ යුතුය.
පළමු වැනි පක්ෂියා මෙසේ අවවාද කළාට පසු රජුට ඊළඟට අවවාද කළේ කුණ්ඩලී නම් ලිහිණියකි. ස්ත්‍රිය පහත් තැනකට හෙළා ඇතැයි අපි අපේ පැරණි පත පොතට දොස් කියමු. කුණ්ඩලී නමැති මේ ස්ත්‍රී පක්ෂි ධේනුවට ජාතක කතාවේ ලබාදී ඇත්තේ ඉතා ඉහළ තැනකි. ගැහැනියක වුවත් නුවණ ඇතිවිට පිරිමියා පරදවන බව බුදුන් වහන්සේ දේශනා කොට ඇත. කුණ්ඩලී නමැති ලිහිණිය දෙන අවවාදවලට අනුව රජ හෝ පාලකයා කාරණා දෙකක් ගැන උනන්දු විය යුතුය. නොලබන ලද ලාභයාගේ ලැබීම හා ලබන ලද ලාබය නැසිය නොදී පරිහරණය කිරීම මේ කාරණා දෙකයි. මේ කාරණා ඉෂ්ට කිරීමට රාජ්‍ය භාණ්ඩාගාරය වැනි ස්ථානයක් පාලනය කිරීමට ඉතා සුදුසු පුද්ගලයන් පත්කළ යුතුය. සුරාපානයට, සූදුවට ලොල් වූවන්ගෙන් ඈත්විය යුතුය.
යහපත් පාලකයෙකු තුළ පිහිටිය යුතු තවත් ගුණාංගයක් නම් ‘අනුන්ගේ බස් නොඇසීමය.’ (කේළාම් පිළිනොගැනීමයි) කවුරුන් කනට කෙඳිරිගෑවත් ඒ කියන කාරණා වග විභාග කොට, තක්සේරුකොට පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම උදාර පාලකයකු සතු ගුණාංගයකි. දුර්වල පාලකයා තමාට ආවඩන කපටින්ගේ වචනවල හිරකාරයෙක් වෙයි. ‘නුඹ වහන්සේගේ නියෝගයෙන් ඒ ඒ තැන්හි කාර්යසාධක ධුරයෙහි සිටිනා රාජපුරුෂයෙක් අල්ලස්ගෙන හිමියන් අහිමි කොට, අහිමියන් හිමි කොට අධිකරණ යුක්තිය නැතිකොට නුඹ වහන්සේගේ වස්තුවත්, රටත් නොනසත්වා”
යුක්තිය විචාරණ විට කවරදාකවත් කෝපයෙන් චංචලවීම, නුවණැති පාලකයාට යෝග්‍ය නැත. අනුන්ගේ වරදක් දුටු තැන වුවද ළය සිහිල් කොට වරද වටහාගෙන ඒ තැනැත්තාට සුදුසු පරිදි දඬුවම් පැමිණවිය යුතුය. “සිත කෝපයෙන් රළුව තිබුණු කල්හි කැකෑරිය පැනින් මුඛ නිමිත්ත නොවෙන්නාක්හු මෙන් කාරණා’ කාරණ නොපෙනෙන්නේය.” එමෙන්ම පාලිත ජනතාව කාය වාක් දුශ්චරිතයෙහි නෙයොදවා රැකගැනීම රජුගේ කාර්යභාරය විය යුතුය.
ලිහිණි ධේනුවට ඉක්බිතිව රජුට අවවාද කරන්නේ ජම්බුක නමැති පක්ෂියාය. ඒ පක්ෂියා ‘බල’ පහක් ගැන සඳහන් කරයි. ‘බලය’ යනු කුමක්දැයි විග්‍රහ කරන අපට යම් ‘පංච බලය’ ඉතා වැදගත්ය. එනම්; කාය බලය, භෝග බලය, පිරිස් බලය, ජාති බලය හා ප්‍රඥා බලයයි. මේ බල පහෙන් ජීවිතය අර්ථවත් කරන්නේ ප්‍රඥා බලයයි. එය නැති තැන අනිත් බල හතරම වැදගත් නැත.
“මහ රජ්ජුරුවන් වහන්ස, සියලු විශ්වාසයන් හා අමාත්‍යයන් අවශේෂ වූ සියලු සත්ත්වයන්ට දාන, ප්‍රිය වචන, අර්ථචර්යා, සමානාත්මතා යැයි කියන ලද සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කරමින් මටසිලිටු වූ ප්‍රිය තෙපුල් බෙණෙමින් පරුෂ වාග් නොකීමෙන් මුසාවදාදී වූ චතුර්විධ දුශ්චරිතයෙන් සියලු ජනයා නොඝටා ඔවුන් කෙරෙහි ධර්මයෙහි හැසිරුන මැනවි.”
“… හස්ත්‍යශ්වාදී වාහනයන්ට හා සේනාවට දියයුතු වැටුප් වියදම් ආදී වූ සියල්ල දීමෙන් සද්කාර සම්මාන කිරීමෙන් ද හස්ත්‍යශ්වාදීන් වෘද්ධ අවස්ථාවෙහි කර්මාන්තයෙහි නොයොදා ඔවුන් කෙරෙහි ධර්මයෙහි හැසුරුන මැනව. ගම් නියම්ගම් වාසීන්ට තාඩන පීඩනාදීවූ මර්දනය හා නොමඳ අය පඬුරු ගැනීම් ආදියෙන් පීඩා නොකරන්නාවූ නුඹවහන්සේ ගම්නියම්ගම් වැස්සන් කෙරෙහි ධර්මයෙහි හැසිරුන මැනව… රාජවාසීන් හා ජනපද වාසීන්ට නිෂ්කාරණයේ පීඩා නොකොට සියලු සත්ත්වයින් කෙරෙහි මෛත්‍රී පතුරුවන්නාවූ රටවැසියන් හා දනව් වැසියන් කෙරෙහි ධර්මයෙහි හැසිරුන මැනව… ධාර්මිකව ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට චීවර පිණ්ඩපාත ගිලානප්‍රත්‍යයයි කියන ලද චතුර්විධ ප්‍රත්‍යය දීමෙන් ඔවුන් කෙරෙහි ධර්මයෙහි හැසිරුන මැනවි.”
ජාතක පොතේ මේ කතා දෙකින් රට කරන පාලකයන්ට මෙන්ම පාලිතයන් වන අපට ද උගන්නට පුළුවන් කාරණා බොහෝය. අප අද ඒ පැරැණි කතාන්තර හැදෑරිය යුත්තේ නූතන යුගයේදී ඒවායින් අපට ලබාගත හැකි ඵල ප්‍රයෝජන ගැන සිත තබාගෙනය. ජාතක පොත වැනි පැරණි ග්‍රන්ථ හදාරන්නට අලුත් ප්‍රයෝජනවත් මාර්ගයක් මේ ක්‍රමයෙන් මතුකර ගන්නට හැකිය.

