සුගත් වීරසූරිය
හෙමිහෙමින් හමා ආ සුළඟ, බරණැස් පුරවරය වෙත ඈත ගම් දනව්වල වූ මිහිරි මල් සුවඳ රැගෙන ආවේ ය. හදිසියේ ආ වැහි මන්දාරම සුළං රළට හසු වී ය. එයින් ඉක්බිති නිල්වන් අහස යළිත් පුරවරයට පෙනුණේ ය. ලෝකය ම නිහඬතාවක ගිලුණු අරුණෝදයකි. සිරිසිරිය වන් ගලා හැළුණු මීදුමෙන් මිහි මඬල තවමත් වැසී පැවතිණ. කඳුවැටිවලත්, එයින් එහා වූ නිල් මිටියාවත්වලත් නිසොල්මන් ව හුන් පඳුරුවල මල් ගොමු ඇස් අරිද්දී බරණැස් නුවර ද එක් වර ම විශල් නින්දකින් ඇහැරුණාක් මෙන් ඇවිස්සී ගියේ ය. කිසිවකුටත් ජීවිතය ජීවත් කරවීමේ සටන වෙනුවෙන් බැහැර නො යා හිටින්නට බැරි විය. දවස කාටත් වැඩ පැවරුවේ ය.
බරණැස් රජ බවට පත් ව හිටියේ “ඒක රාජ” ය. ඔහු බුද්ධියෙන් හෝ නුවණින් මුහුකුරා ගිය අයෙක් නො වී ය. එහෙයින් ම නන්විධ වූ කම්කටොලු අතරින් ජන ජීවනය ඉදිරියට ඇදුණේ ය. ඒකරාජගේ පුතකු වූ “චන්ද්‍ර” කුමරුට එරට යුවරාජ තනතුර ලැබී තිබිණ. බරණැස් පුරවරයෙහි ම ජීවිතය ගත කළ කා හටත් කිසියම් ම වූ ජීවන අස්වැසිල්ලක් ලැබුණේ ද, ඒ යුවරජ චන්ද්‍ර නිසාවෙන් ම ය.
අලුත් දවසකට ඉර අරුණ උදා කළ එදින චන්ද්‍ර රජ මැඳුරෙන් නික්මී එක් වීදියක කිසියම් ගමනක නිරත වී හිටියේ ය. ගහ කොළ මල් මෙන්ම මිනිසුන් ද පසු කරමින් ගිය ඔහුට එක් ලොකු ගහක් යට කිසිවෙකු දෝතින් මුහුණ වසා සිටිනු පෙනුණේ ය. සිය ගමන බාල කළ යුව රජ තෙම ඒ ගහ යට නතර වුණේ ය. හේ ගහමුල හිටියහුට ළං වුණේ ය. ඔහු හිටියේ ඉකිබිඳිමින් ය. දෝත මුහුණෙන් ඉවතට ගත් ඔහු යුවරජු දෙස බලා සිටියේ ය. මුළු මහත් ලෝකයක අසරණකමකින් මේ දුක්ඛිත මිනිසාගේ වුවන වැහී තිබෙනු යුව රජු දුටුවේ ය. ඊළඟ මොහොතේ දී ඔහුගේ දෑත් එකට එක් වී ය. යුව රජුට දෑත් එක් කොට ආචාර කළ හෙතෙම නැඟී සිටින්නට අමාරුවෙන් වෑයම් කළේ ය. ඔහුගේ සිරුර තුළ පමණක් නො ව ජීවිතය පුරාවෙහි ම වූ දහසක් දුක් වේදනා ඔහු අත පය නැඟූ සැටියෙන් යුවරජු හඳුනාගත්තේ ය.
“කමක් නෑ. නැඟිටින්න වුවමනා නෑ. ඔහොම ඉන්න. ඇයි ඔබ හඬන්නෙ?පවසන්න මට එය.” යුවරජු මේ අන්ත දු:ඛිත මිනිසාට කරුණාවේ සොඳුරු හස්තය දිගු කළේ ය. “ස්වාමීනි” අසරණ මිනිසා හීන් සීරුවේ ස්වකීය වූ කඳුළු කතාව පිරුවේ ය. පෙර දා අධිකරණ ශාලාවේ විභාග කෙරුණේ ඔහුගේ නඩුවයි. ඔහු එහි පැමිණිලි කාරයා වී ය. නඩු විභාගය සිදු කර ඔහුට දී තිබුණේ අපූරු තීන්දුවකි. එයට අනුව නඩුවේ විත්තිකරුවා වූයේ ද මේ දිළිඳු මිනිසා ම ය. එයින් ඉක්බිති මොහුට නො ලැබී ගියේ යුක්තිය පමණක් නො වේ. උන්හිටි තැන ද නැති වී ගියේ ය. ඔහු ඒ හැම දෙයක් ම යුවරජ චන්ද්‍ර කුමාරයාට කීවේ ය.
“කවුද නඩුව විභාග කළේ?” යුවරජ තෙම ඇසී ය.
“ස්වාමීනි, ඛණ්ඩහාල් පුරෝහිත තුමා තමයි මගේ නඩුව විභාග කළේ.” යි ගොත ගැසූ මිනිසා තම දෑස බොඳ කළ කඳුළු පිසිමින් කී ය.
“ඛණ්ඩහාල්” යි තමාට ම මුමුණාගත් කුමරු කල්පනා කළේ ය. ඛණ්ඩහාල් තම පිය මහරජුගේ අග්‍ර පුරෝහිතයා ය. එයට මුවා වී ඔහු තරම් අල්ලස් ගන්නෙක් බරණැස් පුරවරයේ ම තවත් නො හිටියේ ය. ඒ ගැන මහරජුට කෙතෙක් කරුණු කීවත් ඇති වැඩක් ද නො වී ය. යළිදු පියවි ලොවට ආ යුවරජු හඬා වැටෙන මිනිසාට කතා කළේ ය.
“ඔබ හෙට උදේ ම රාජ සභාවට එන්න. මා විත්තිකරු කැඳවන්නම්. ඔබට යුක්තිය ඉටු කර දෙන්නම්” යි කී යුවරජු එතැනින් නික්ම යන්ට ගියේ ය.
පෙර දා දවස මියැදී රෑ අඳුර පැමිණී ආලෝකයේ දෑස වසා දැම්මේ ය. එතෙක් සසල වැ තිබූ ලෝකය ම ගැඹුරු නිහඬතාවයක ගිලී නිදිගත්තේ ය. හෝරාවෙන් හෝරාව ගෙවිණ. අලුත් දවස ආවේ ය. අයුක්තියෙන් වේදනාවට පත් ව සිටි මිනිසා බරණැස් රාජ
මාළිගයට පියනැඟුවේ ය. යුවරජු විසින් නඩුව යළි කැඳවන ලදී. දිළිඳු මිනිස් තෙම යුක්තිය ලද්දේ ය. බරණැස්වාසීහු ඔල්වරසන් දෙන්නට පටන්ගත් හ. ඔවුනොවුන්ගේ ප්‍රීති ඝෝෂාවන් ගෙන් නුවර ඇලලිණ. බරණැස් මහ රජුට ද එය දැන ගන්නට ලැබුණේ ය. එයින් දැඩි සොම්නසට පත් ඔහු යුවරජුට අධිකරණය භාර දී ඔහු එහි ප්‍රධාන විනිසකරුවා බවට පත් කළේ ය. ඛණ්ඩහාල් පුරෝහිතයාගේ අත්තටු බිඳිණ. එතැන් පටන් ඔහු වෙත ගලා ආ මහ අල්ලස් ගඟ ද නැවතුණේ ය. ඛණ්ඩහාල්ට ඉවසුම් නැති වී. හෙතෙම යුවරජු කෙරෙහි වෛර බැන්දේ ය. ඔහු මරා ඔහු ගෙන් පලි ගැනීමේ අවස්ථාවක් සොයමින් හිටියේ ය.
කාලයේ මහ දිගු ගඟ හෙමි හෙමින් ගලා යද්දී බරණැස් මහ රජු ඉමහත් වූ අමන්දානන්දයට පත් කළ දෙයක් රජමැඳුරේ සිදු වුණේ ය. නින්දට ගිය රජතුමා තව්තිසා දෙව් ලොව සිහිනයෙන් දුටුවේ ය. එහි වූ නිමාවක් නැති දෙව් සිරි දුටු ඔහුට එහි යෑමේ දැඩි ආශාවක් ඇති වුණේ ය. එහි ලා කළ යුත්තේ කුමක් ද? ඔහු නො දත්තේ ය. රජු වහා ම ඛණ්ඩහාල් පුරෝහිතයා කැඳවී ය. පුරෝහිතයාට එය හැර වෙන සතුටක් නො වී ය. මේ පැමිණියේ තමා බොහෝ කාලයක් තිස්සේ සොයමින් සිටි කදිම අවස්ථාව නො වේ ද? ‘යුවරජතුමනි, දැන් ඉතින් ඔබේ කාලය අවසානයි.’ තමාට ම මුමුණාගත් ඛණ්ඩහාල් මහ රජුට කවදාක වත් නො තිබුණු ගෞරවයකින් කතා කළේ ය.
“මහ රජතුමනි, ඕකට කරන්න ඕනෑ විශේෂ යාගයක් තියෙනවා. නො මැරිය යුත්තන් සියල්ලෝ ම මරා දමා ඒ යාගය අවසන් කළ පසු එයින් සිදු වන කුසල් බලයෙන් ඔබට තව්තිසා දෙව් ලොවට යන්න පුළුවන්.” ඛණ්ඩහාල් කීවේ ය. “පුරෝහිත තුමනි, මේ නො මැරිය යුත්තන් කවුරුන් ද? වහා පවසන්න. මට එය. මා කඩිනමින් ඔවුන් යාගපළට කැඳවන්නම්.” රජු නො ඉවසිල්ලෙන් කතා කළේ ය.” මහ රජතුමනි, ඔබේ පුත්‍රයන් සතර දෙනා, අගමෙහෙසියන්, නුවර පුරා සිටින මහසිටුවරුන් හා මඟුල් ඇතා ද මරා දමා මේ යාගය කළ යුතු වෙනවා. පුරෝහිත කී ය. රජතුමා යාගයට අවසර දුන්නේ ය. යාග බිමත් එහි සැකසුණු දං ගෙඩියත් ඛණ්ඩහාල් ගෙන් මරණ වරෙන්තුව ලද හැමෝ ම එනතෙක් බලා හිටියේ ය. රාජකුමාරවරුත්, අග්‍ර මහේෂිකාවන් හා සෙසු බිසෝවරුනුත් මරණ භයෙන් තැති ගෙන හඬද්දී රට වාසීහු ද වැළපුණ හ. මේ මහා අපරාධය නො කරන්නැ යි සියල්ලන් ම ආයාචනා කරද්දී බරණැස් මහ රජතුමාගේ ළය මඬල උණු වී ය. එහෙත් ඒ මොහොතකට පමණි. යළිත් රජු හමු වූ ඛණ්ඩහාල් එය වෙනස් කළේ ය. එයින් ඉක්බිති රජතුමා පෙරටත් වඩා දරුණු වූවේ ය. තවත් කරන්නට කිසිවක් ඉතිරි වී නො තිබිණ. යුව රාජ චන්ද්‍රගේ අග්‍ර මහේෂිකා තොමෝ අනාථ ව අසරණ ව ගිය හිතින් දෙවියන් යැද්දා ය. ඒත් එක්ක ම සක් දෙවියන්ගේ පඬුපුල් අසුන උණු වී ගියේ ය. දෙව් රජ තෙම මනුලොව දෙස බලද්දී හැම දෙයක් ම පෙනිණ. දිලිසෙන යකුලක් ගෙන බරණැස් රජු ඉදිරියට ආ ශක්‍ර දේවේන්ද්‍රයෝ රජුගේ හිස පලා දැමීමට සැරසුණේ ය. හෙතෙම හොඳට ම බය වුණේ ය. යාගය වහා නවතා දැමීමට නියෝග කළේ ය. ඒත් සමගම රජ මැඳුරට ආ මහජනතාව ඛණ්ඩහාල් පුරෝහිතයාට ගල් ගැසූ හ. පැය ගණනාවක් ගල් මුල් වැදුණු ඉක්බිති ඛණ්ඩහාල් සිටි තැන ඉතිරි වූයේ ඇට කටුකැඩී බිඳී ගිය සිරුරක ලේ විලක් පමණෙකි. බරණැස් රජු ද රටින් චණ්ඩාල ගමකට නෙරපා දමද්දී යුවරජු චන්ද්‍ර එරට අග රජු බවට පත් කෙරිණි. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන්වහන්සේ මේ ඛණ්ඩහාල් ජාතකය දේශනා කොට වදාළේ දෙව්දත් තෙරුන් කළ පළිගැනීමක් අරභයා ය.
සිත නම් මහත් පුදුමාකාර වූ ප්‍රපංචයකි. දහම ඔස්සේ සංවර නො කළ එහි ඇති වන භයානක කෙලෙස් අපමණෙකි. වෛරය හා පලිගැනීම එම කෙලෙස් දහරාවන් ගෙන් කිහිපයක් පමණි. එය බොහෝ විට අන්‍යයන්ගේ ජීවිත දුක් තැවුල්වලින් වසා දමයි. එනමුදු එය පාරාවළල්ලක් වූ විට වෛර කරන්නාට මෙන්ම පළිගැනීම්වල යෙදෙන්නාට ද අනන්ත දුක් තැවුල් රැගෙන පැමිණේ. ඛණ්ඩහාල් ජාතකය ඒ බව විදහා දක්වන අපූරුතම කැටපතක් වැන්න.