නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්)
හෝමාගම පුරාණ විහාරාධිපති හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක
මාදෝවිට වජිර බුද්ධි නාහිමි
අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර චරිතය විනිවිද දැකීමට ත්‍රිපිටක සාහිත්‍යය උපයෝගි කරගත හැකිය. සුද්ධෝදන මහ රජුගේ සහ මහමායා දේවියගේ පුත්‍රයා ලෙස සිද්ධාර්ථ කුමාරයා මිනිස් ලොව ජයගත හැකි අති උතුම් සම්බුද්ධත්වය අවබෝධ කරගෙන ලෝක සත්ත්වයා ද සංසාර දුකින් මුදාලීමට ක්‍රියා කළහ.

ලොව දෙව් මිනිසුන්ට හිතසුව පිණිස ක්‍රියා කරන එක පුද්ගලයකු පහළවන බවත් ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවත් බුදුරදුන් වදාළ පුවතක් අංගුත්තර නිකායේ සඳහන් වේ. සිද්ධාර්ථ කුමාරයා එකුන් විසිවන වියේදී (19) අභිනිෂ්ක්‍රමණය කරන්නේ කුසලය කුමක් දැයි ( කිං කුසල ගවේසී) සෙවීම පිණිසය. ආලාරකාලාම. උද්ධකාරාමපුත්ත වැනි එකල විසූ අභිඥාධ්‍යානලාභී මුනිවරුන් සරණ යාමෙන් සිදුහත් බොසත් තුමා අපේක්ෂා කළ විමුක්ති සුවය නොලැබෙන බව එතුමා දැන ගත්තේය. කෂාය වස්ත්‍ර පොරවා කෙස් රැවුල් බා තබා මව් පියන් හඬා වැලපෙද්දී තමන් ගිහි ගෙයින් නික්ම පැමිණියේ ආ© පරියේසනය පිණිසය. ජාති ජරා ව්‍යාදි මරණ සෝක පරිදේව දුක් දොම්නස් අතර දෝලනය වන සත්ත්වයා එම දුකින් මුදා ගැනීම පිණිස ක්‍රියා කරන පිළිවෙත ආ© පරියේසන නම් වන බව මජ්ඣිම නිකායෙ අරිය පරියේසන සූත්‍රයේ සඳහන් වේ. සතර පෙර නිමිති දැක ගෘහ වාසයෙන් නික්ම ගිය පුවත එම සූත්‍රයේ සඳහන් නොවීමද විශේෂත්වයකි.
බුදුරජාණන් වහන්සේ උත්තරීතර මනුෂ්‍යයෙකි. දෙවියෙකු බ්‍රහ්මයකු හෝ වෙනත් බලවේගයක් නොවේ. සාමාන්‍ය මිනිස් සිතක පැන නගින අකුසල පාපක සිතුවිලි බුදුවරයෙකුගේ සිතක පහල නොවේ. සියලු කෙලෙස් මල දුරු කර ප්‍රභාශ්වර සිතකින් යුතු නිසා බුද්ධ නම් වේ. මේ බව පැහැදිලි වන්නෙ බුද්ධ කාලයේ විසූ ද්‍රෝණ බ්‍රාහ්මණයා හා බුදුරදුන් අතර ඇති වූ සංවාදයක් නිසාවෙනි. ඔබ වහන්සේ දෙවියෙක්ද.? බ්‍රාහ්මණයෙක් ද.? ගාන්ධර්වයෙක් දැයි දිනක් ද්‍රෝණ බ්‍රාහ්මණයා බුදුරදුන්ගෙන් විමසීය. දෙව් බ්‍රහ්ම ආදී පිරිස් තුළ විද්‍යමාන රාග, ද්වේෂ, මෝහ ආදී සිතිවිලි තමන් තුළ පහළ නොවන නිසා තමන් මිනිසුන් අතර උත්තරීතර මිනිසෙකු බව අවධාරණය කළ බුදුරදුන් මඩගොහොරුවක හටගන්නා පියුම් මඩෙහි නොගැටී මඩෙහි නොඇලී උඩට ඉස්මතුවන්නාසේ සමාජය නමැති මඩගොහොරුවේ උපන් තමා ද එහි නොඇලී සිටින නිසා සම්මා සම්බුදුවරයකු ලෙස දකින ලෙස ද්‍රෝණ බ්‍රාහ්මණයාට පැවැසූ ආකාරය අංගුත්තර නිකායේ ද්‍රෝණ සූත්‍රයේ සඳහන් වේ.
ද්‍රෝණ බ්‍රාහ්මණයාට දුන් අවවාදය ඔස්සේ පෙනීයන්නේ බුදුරදුන් මහ සමාජයෙන් අපේක්ෂා කළ පද්මාකාර සමාජයක් දායාද කිරීමය. සමාජය නම් මහ මඩ ගොහොරුවකි. බුද්ධකාලීන සමාජයේ බොහෝ ධනවත් පිරිස් පංච ඉන්ද්‍රියන් පිනවමින් කාමසුඛල්ලිකානුයෝගී ජීවිතයක් ගත කළහ. බුදුරදුන් අපේක්ෂා කළේ මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් පිරි මානව සමාජයක් දායාද කිරීමය. බුදු දහමේ විශේෂත්වය අන් ආගම් දහම් තුළින් වෙනස් වන්නේ මිනිස් සිත පිළිබඳ මනා විග්‍රහයක් කර තිබෙන නිසා සිත සහ සිතිවිලිවල ඇති ක්‍රියාකාරිත්වය සිත සහ මිනිසා පාරිශුද්ධතාව හෝ දූෂණය වීම කෙරෙහි බලපාන ආකාරය පළමුවරට ලොවට දේශනා කරන ලද්දේ බුදුරජාණන් වහන්සේ විසිනි. කිලිටි වූ මල හටහත් වස්ත්‍රයකට රජකයකු විසින් නිල් කහ හෝ රන්වන් පාට මදටිය පාට පිණිස යම් භාජනයක දමා තබන්නේ නම් එම වස්ත්‍රයෙහි පාට මනාව රඳා නොපවතින බවද එයට හේතුව අදාළ වස්ත්‍රය අපිරිසිදු නිසාවෙන් බවද මජ්ක්‍ධිම නිකායේ වත්ථුපම සූත්‍රයේ සඳහන් වේ.
බුදු දහම හේතු-ඵලවාදී දහමකි. සිත කිලිටිවන හේතු කාරණා ද බුදු හිමියෝ පැහැදිලි කළසේක. ලෝභ, දෝෂ, මෝහ යන ප්‍රධාන අකුසල මූල තුනට අමතරව ක්‍රෝධය බද්ධ වෛරය (උපනාහි) ගුණමකු බව ( මක්ඛි ) විවාදයට කරුණු සෙවීම ( පලාසි ) ඉරිසියාවට මසුරුකම සට කපටිකම මායාව හිරිඔතප්ප හෙවත් ලැජ්ජාව-භය නොමැති කම සිත දූෂණය වීම සඳහා ප්‍රබල ලෙස බලපාන බව අභිධර්ම පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණයේ සඳහන් වේ.
බුධ බොධනේ ධාතුවෙන් නිපන් බුද්ධ ශබ්දයේ අර්ථය නම් “අවබෝධය” යන්නයි.
සිද්ධාර්ථ කුමරු නේරංජනා නදී තීරයේ බෝධි මණ්ඩපයේදී කුමක් අවබෝධ කරගත්තේ ද යත් උතුම් ආර්ය සත්‍යය සතර අවබෝධ කරගත් බැවින් බුද්ධ නම් විය. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග ඵල නම් වූ මෙම චතුරාර්ය සත්‍යය ධර්මය සම්බුදු දහමේ හදවත වැන්නේය. බුදුන් දැක්ම යනු ධර්මය දැක්ම වේ. තෙල් මල් පහන් සුවඳ දුම් පුදා බුදුරදුන් දැකිය නොහැකිය. “යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” යමෙක් ධර්මය දකී ද ධර්මය නුවණින් අවබෝධ කර ගනී ද හෙතෙම බුදුරදුන් දක්නා බව මජ්ක්‍ධිම නිකායේ මහා හත්ථිපදෝපම සූත්‍රයේ සඳහන් වේ.
සම්බුදුරදුන් අවබෝධ කරගෙන දේශනා කළ ධර්මයේ සඳහන් වන්නේ පුද්ගලයා සංසාරගත දුකට සහ සමාජ දුකට භාජනය වෙන ආකාරයයි. එම දුක ජනිත වන්නේ තණ්හාව නිසාවෙනි. මිනිසා බහුල වශයෙන් කාම තණ්හාවට ගිජු වී වාසය කරයි. පංච ඉන්ද්‍රියන් පිනවීමට ඇබ්බැහිවීම තුළ සදාකාලිකව ජීවත්වීමට කල්පනා කරයි. මේ නිසා භව තණ්හාවේ ගොදුරක් බවට සත්වයා පරිවර්තනය වේ. මෙම සසර දුකින් මිදීමේ අභිප්‍රාය තහවුරු වන්නේ නිර්වාණය අවබෝධ කරවීමෙනි. නිබ්බාන යනු දුක්ඛ නිරෝධ සත්‍යයයි. බුදු දහමේ ඉගැන්වෙන පරම නිෂ්ටාව වූ නිවන අවබෝධ කරගැනීමට අදාළ මාවත ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වේ. මෙම මාවත සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවෙන් සමන්විත වේ. ඉහත සඳහන් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන එය මහා කරුණාවෙන් ලෝක සත්ත්වයාට දේශනා කොට සංසාර දුකින් මිදෙන මාවත හෙළි කළ නිසා බුද්ධ නම් වන බව පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණයේ සඳහන්වේ.
ත්‍රිපිටකයෙන් හෙළිවන අපේ බුදුහාමුදුරුවෝ මුල මැද අග යහපත් ධර්මයක් දේශනා කළ සේක. මහා සමුද්‍රයේ ජලය කවර තැනකින් ගෙන බැලුවද එකම ලවණ රසයෙන් යුක්ත වේ. එපරිදි සම්බුදුරජුන් විසින් දේශනා කරන ලද ධර්මය එකම විමුක්ති රසයෙන් යුක්ත වේ. එසේම තමන් වහන්සේ විසින් අවබෝධ කරගත් ධර්මය ගැඹුරුය, ශාන්තය, ප්‍රණීතය, පණ්ඩිතයන් විසින් දැකිය යුතු දහමක් බවද මජ්ක්‍ධිම නිකායේ අරිය පරියේසන සූත්‍රයේ සඳහන්වේ.
ලෝකෝත්තර ධර්ම විෂයෙහි බුදුරදුන්ට විශේෂ ගුරුවරයකු නොවීය. දෙවි මිනිසුන් සහිත ලෝක විෂයෙහි තමන් හා සමාන කෙනෙකුද නොවීය. සියලු කෙලෙස් ගිනි නිවා දමා අරහත් ඵලය සාක්ෂාත් කළ තමන් වහන්සේ නිරුක්තවූ ශාස්තෘවරයා වන බවත් මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ කුමාර සූත්‍රයේ සඳහන්වේ.
බුදුරදුන් දැකීමට ශ්‍රද්ධා චෛතසිකය ඉස්මතු විය යුතුය. එයද අමූලිකා ශ්‍රද්ධාව නොව ප්‍රඥාව සමග මිශ්‍ර වූ ආකාරවතී ශ්‍රද්ධාව විය යුතුය. බුදුරදුන් පන්සාලිස් වාර්ෂයක් (45) මුළුල්ලේ දේශනා කළ ධර්මය අද වන විට ත්‍රිපිටකය ලෙස භාවිත වේ. සූත්‍ර පිටකය. විනය පිටකය. අභිධර්ම පිටකය. යන ත්‍රිපිටකය තුළ විද්‍යමාන වන්නේ බුදුරදුන් වදාළ ධර්මයයි. අසූහාර දහසක් ධර්මස්කන්ධ වලින් හෙළිවන්නේ ද අපේ බුදු හාමුදුරුවන්ගේ උත්තරීතර සම්බුද්ධ ඥානයයි.
ඇස, කන, නාසය, දිව ශරීරය යන පංච ඉන්ද්‍රියන් දමනය කළ බුදුරදුන් අන් අයටද ඉන්ද්‍රිය දමනය පිණිස දම් දෙසූ සේක. කෙලෙස් බර දුරුකළ සංසාර බර බහා තැබූ අභිමතාර්ථ සාධනය කරගත් බුදුරදුන් අන් අයගේ ශාන්තිය සැනසීම පිණිස දම් දෙසූ සේක. සැබවින්ම අප ගෞතම බුදුරදුන් යථාවාදී තථාකාරී නම් වන සේක. කරන දේ කියන කියන දේ කරන මෙම යථාවාදී තථාකාරී ගුණය බුද්ධ නාමය ලෝක පූජිත වීමට ඉවහල් විය. බුදුවරු ධර්ම මාවත දේශනා කරන සේක. එහි ගමන් කිරීම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ වගකීම වේ. ඒ බව “ තුම්මේහි කිච්චං ආතප්පං අක්ඛාතාරෝ තථාගතෝ” යන පෙළ පාඨයෙන් හෙළිවෙයි. අප්‍රමාදය සහ කල්‍යාණ මිත්‍ර සේවනය තුළින් බුදුරදුන් වදාළ මාර්ග බ්‍රහ්මචරියාවේ ගමන් කළ හැකි බව බුදුරදුන් වදාළ සේක. මාවත විවරවී ඇත. මෙලොව සුභසිද්ධිය මෙන්ම පරලොව ජයගෙන සංසාර දුකින් නිදහස් වීමට තිලොවග බුදුරදුන් සම්බුද්ධත්වය අවබෝධ කරගැනීම සහිත තෙමඟුල් සිහිපත් කරන පින්බර වෛශාඛ සමයේ සියල්ලෝ අධිෂ්ඨාන කර ගත යුතුය.

