දුකතං දුක්කතං සෙය්‍යා – පච්ඡා තපති දුක්කතං
කතංච සුකතං සෙය්‍යා – යං කත්වා නානු තප්පති
යමක් කිරීමෙන් පසුතැවීමක් ඇතිවන්නේ නම් එවැනි දෑ නොකළ යුතුය. යමක් කිරීමෙන් පසුතැවීමක් ඇති නොවන්නේ නම් එවැනි ක්‍රියාවන් කළ යුතුය. ගෞතම බුදුන් වහන්සේ විසින් දේශිත දහමකි.
තමන් උපමා කොට සිතන්න, කියන්න හැසිරෙන්න. ලෝකයට වධයක් කරදරයක් විනාශයක් නොකරන්න. යහපතම සුවසෙතම පතන්න ලොවට උදවු කරන්න.
අනෙක් අය සමග නිතර ආශ්‍රය කිරීමට ඇති සහජ ආශාව මානව සංහතියට පොදු වූ ලක්ෂණයකි. ජීවත්වීම සඳහා දරන ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස හැසිරීම නැතිනම් චර්යාව දැක්විය හැකිය. අපචාරී ගති ඇත්තෝ, එසේ නැතිනම් විනය, නීතිරීතිවලට පටහැනිව හැසිරෙන ඇත්තන්ගේ ජීවිතය සෙසු අයට වඩා දුක්බර තත්ත්වයක් උසුලයි. ඇතැමුන් ලොව තුළ හැසිරීමේ ක්‍රමයට – විරුද්ධව විනය නීතිරීති බිඳදමමින් හැසිරෙන හේතු ගණනාවක් තිබිය හැකිය. සිත, කය, වචනය නම් තුන්දොර අසංවර වූ ව්‍යාකූල වූ රාග, ද්වේෂ, මෝහයෙන් බරිත ලෝකයකයි අප ජීවත් වන්නේ. අද කාලේ නව මාධ්‍යය තුළ හොඳ දේවල් බොහෝ සේ පවතී. එහෙත් සමාජීය මාධ්‍යයේ බොරුව වංචාව, පච, කෙප්ප, කෙබර, ඕපාදූප රාශියක් පතුරවනු ලැබේ. අනුන්ට හිංසා පීඩා කරන අය පරපීඩාකාමයට අයත් වෙයි. තමන්ටම පීඩා කොට සතුටු වන අයත් සිටිත්. ඔවුහු ස්ව පීඩාකාමීහු වෙති. තමන්ටත්, පවුලටත්, ජනසමූහයාටත්, ප්‍රජාවටත්, මහජන සමාජයටත් අණවින, කරදර, හිංසා ලෙස ද හැසිරෙන අය බොහෝ තැන අපි දකිමු. අසමු. අවසානයේ බොහෝ විට ඔවුන් තම කටයුතු ගැන පසුතැවිලි වන්නටත් පුළුවන. එසේ නොවන්නටත් පුළුවන. පින් – පව්, කුසල් – අකුසල් නොදැන අයාලේ යන මංමුලාවැල් පෑගුණු, කාමරාග පහසේ වැටුණු, මෝහයෙන් මත්වූ ජන සමාජය ලෝකයට ගෙනදෙන්නේ විනාශයම පමණකි.
ජන සමූහයක් සෑදී තිබෙන්නේ සමාජ ආයතන හා සංවිධාන රාශියකිනි. ප්‍රධාන ආයතන කොටස් 8කට වර්ග කළ හැකිය. එනම්,
- ගෘහ – පවුල, ළමා, නිවාස
- අධ්‍යාපනික – පාසල, පුස්තකාලය
- ආගමික – දේවස්ථාන, කෝවිල, විහාර
- ක්‍රීඩා හා විනෝදය – ක්‍රීඩාපිටිය, රඟහල
- ආර්ථික – කම්හල, බැංකුව, සාප්පු
- ආණ්ඩුව – උසාවිය, පාර්ලිමේන්තුව, තැපැල් පළ, ප්‍රාදේශීය සභාව, පළාත් සභාව, නගර සභාව, සන්නිවේදන ආයතන
- සමාජ සුභසාධක – මහලු නිවාස, ප්‍රජා මණ්ඩල
- සෞඛ්‍යය – රෝහල, චිකිත්සාගාර
දරුවන්ගේ අධ්‍යාපනය වඩමින් යහපත් කුසලතා පිරි ගුණ නුවණින් හෙබි පුරවැසියකු බිහිකරලීමට නූතන රට කරවන ඇත්තන් විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා කර තිබේ. කලක පටන් මේවා ගැන සාකච්ඡා කෙරේ.
(STEM Education) විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, ගණිතය මෝදුවන නිපුණතා මතුකරන නුවණ වඩවන අධ්‍යාපනය ගැන ඔවුහු කතාබස් කරති. එයට කලාව සෞන්දර්යය ක්‍රීඩාව, ආධ්‍යාත්මික ප්‍රවර්ධනය ඊට එකතු වන්නේ නම් මැනැවි.

