සී. ආනන්ද ග්‍රේරු
ජීවිතය පවත්වා ගෙන යෑමේදී විවිධ බාධකවලට මුහුණ දෙන්නට සිදුවන අවස්ථා බොහෝය. ඉන් එක බාධකයක් හැටියට සතුරු උපද්‍රව ගැන සඳහන් කළ හැකි වන්නේ ය. නා නා හේතූන් මත සතුරෝ ඇතිවෙති. සතුරකු නැති පුද්ගලයකු සොයා ගැනීම පවා අසීරු දෙයකි. බුදුන් වහන්සේට, ක්‍රිස්තුස් වහන්සේට වැනි ආගමික උතුමන් වහන්සේලාට පවා සතුරන් ගෙන් ඇති වූ උපද්‍රව පැවතිණ. එය ලොවේ පවත්නා ස්වභාවයක් හැටියට හඳුන්වා දියහැකිය. ප්‍රශ්නය වනනේ සතුරන් සිටින නිසා, සතුරු උපද්‍රව නිසා, අපගේ කටයුතු අඩාල කරගෙන එයින් පසු බැසීම ද, නැතිනම් ඒවායින් කම්පා නොවී, අභීතව සිහිනුවණින් එයට මුහුණ දී ජීවිත ගමන ඉදිරියට ගෙන යෑම ද යන්න නිගමනයකට එළඹීමට ගන්නා වූ නිගමනය අනුව කටයුතු කිරීම භාර වන්නේ අන් අයකුට නොව ඔබටය.
අප පුරුදු වී සිටින්නේ බාහිර සතුරන් ගැන සහ ඔවුන් ගෙන් ඇතිවන්නා වූ උපද්‍රව, ගැහැට ගැන සිතන්නට ය. එහෙත් බාහිර සතුරා ගැන සිතීමට පෙර ඔබ තුළම වසන සතුරා ගැන සිතීමට ඔබගේ සිත යොමු කරන්නේ ද යන්න විමසා බැලීම ඉතා ප්‍රයෝජනවත් මෙන් ම විශාල යහපතක් වන්නේ ය. තමන් ගේ ම ආකල්ප සිතුවිලි අනුව තමන් තුළ සතුරකු ඇති කරගැනීමට හැකිකම තිබේ. ඒ සතුරා බාහිර සතුරාට වඩා දරුණුය. තමන්ට වින කරන සතුරා මහත් භයානක සතුරකු හැටියට හඳුන්වා දියහැකිය. එසේ වුවත් මෙම අභ්‍යන්තර සතුරා ගැන නොසිතන, කිසිදු සැලකිල්ලක් නොගන්නා බොහෝ මිනිස්සු සිටිති. ඔවුහු බාහිර සතුරාට දොස් පවරති. දොස් තබති. ඔවුන් සමග සටනට පවා යති. බාහිර සතුරා විවිධ උපක්‍රමවලින් පරාජය කිරීමෙන් පසුවත් බොහෝ දෙනා සතුරු උපද්‍රවලින් නිදහස් නොවෙති. මෙයට හේතු කිම?
එයට වැදගත්ම හේතුව වන්නේ තමන් තුළ පවතින සතුරා මර්දනය නොකිරීමයි. එවැනි සතුරකු සිටිනවා ද යන්න ගැන පවා ඔවුහු නොදනිති. එය ඔවුන් ගේම වරදය. පළමුව තමන් තුළ වසන සතුරා ගැන විපරම් කිරීමත්, පරීක්ෂා කිරීමත් කළ යුතුව තිබිණ. එසේ වූවා නම් තමන් ගේම සිතෙහි උපදින වැරැදි, අහිතකර, දරුණු සිතුවිලි ගැන නිසි අවබෝධයක් ඇති කරගන්නට හැකියාව තිබිණ. තමන්ගේ සිතේ ක්‍රියාකාරීත්වය ගැන සොයා බැලිය යුත්තේමය. බොහෝ විට නොකරන්නේ ද එයයි. වැරදි, නපුරු, අයහපත් සිතුවිල්ලක් සිතට නැඟී ආ විට ඒ ගැන විමසා බැලීමක් සිදුකොට එය ක්‍රියාවට පරිවර්තනය කිරීම සුදුසු ද යන්න තීරණය කිරීම අවශ්‍ය වෙයි. එබඳු විමසීමකින් තොරව සිතේ පහළ වූ අදහසට ඉඩ දුනහොත් එහි ප්‍රතිඵලය වන්නේ අයහපත් ක්‍රියාවක් එළි දකින වගයි. ඒ ක්‍රියාව හේතු කොට මුහුණ දෙන්නට වන අසීරු අමාරුකම්, දුක් ගැහැට අපමණ වන්නේය. බාහිර සතුරකු ගේ උපද්‍රව නිසා නොව ඔබේම නොමඟ ගිය සිතේ පහළ වූ සිතුවිල්ලක් ක්‍රියාවට නැංවීම නිසා සිදුකරගත් විපත් අපමණය.
සිත තරම් මිනිසාට වැදගත් වන, ඉතාම ඉහළ වස්තුවක් නැත. සිත තනා ගැනීම කළ යුත්තේය. සිත දියුණු කර ගන්නවාය යනුවෙන් හඳුන්වන්නේ මෙයයි. විවිධ විෂයයන් පිළිබඳ විශාරද බවත් සිත වර්ධනය කිරීම හේතු කොට ලද හැකිය. ඒ එක් අන්දමකින් සිත දියුණු කිරීමයි. එහෙත් සිතේ නිතරම පාලනයක් තිබිය යුතුය. එබඳු පාලනයකින් තොරව සිත වෙනත් විෂයයන්, ගෙන් මහත් දියුණුවක් ලබාතිබුණත් එය සිතේ සැබෑ වර්ධනය හැටියට සැලකිය නොහැකිය. සිතේ පාලනය නැති වූ විට එය යොමුවන්නේ කුමන අංශයකට, දෙසකට, පැත්තකට ද කියා දැන ගැනීමට නොහැකිය. නපුරට, නරකට, පහසුවෙන් සිත පෙළඹෙයි. නොදැනුවත්වම නපුරු, වැරදි ක්‍රියාවක යෙදෙන්නට පුළුවන. ඒ නිසා ඇතිවන අනිටු ප්‍රතිඵලවලට මුහුණ දෙනවිට තමන් කරගෙන ඇත්තේ මහත් අනුවණ දෙයකැයි සිතට දැනෙයි. පසුතැවිලි වනවිට වියයුතු දේ සිදු වී අවසන්ය. ඔබම ඔබට සතුරා වී වැටී ඇති තත්ත්වය අවබෝධ වන්නේ සියල්ල සිදු වූ පසුය. එහෙත් ඒ ගැන සිතන්නට තිබුණෙත් සිතේ සිතුවිල්ල හටගත් මුල් අවස්ථාවේදීය. එසේ සිතා සිතත් සමග සටනක් කොට වැරදි, නපුරු සිතුවිල්ලට පහර දී සිතින් ම පහ කළ යුතුය.
බාහිර හේතූන් නිසා සතුරන් ඇති වීම්ද සිදුවේ. ඇතමුන්ට තවත් කෙනකු ගේ දියුණුව දකින්නට නොහැකිය. එය දෙ-ඇසින් බැලීමට පිළිවන් කමක් නැත. වැදගත් හේතුව වන්නේ තමන්ට නොලද නැති සම්පත් වෙනත් කෙනකුට ලැබී ඇතිවිට එයට ඊර්ෂ්‍යා කිරීමයි. සම්පත්, යස ඉසුරු ලද පුද්ගලයා ඒවා ලබාගෙන ඇත්තේ පහසුවෙන් එමෙන්ම එක් දිනකින් නොවේ. මහත් පරිශ්‍රමයකින්, උනන්දුවකින් සහ දුර දක්නා නුවණින් යුතුව ජීවිත සටනක යෙදීම හේතුවෙනි. එය දැක තමන් ද එබඳු මඟක ගොස් දියුණුව ලබන්නට උත්සාහ ගැනීම වෙනුවට දියුණු පුද්ගලයාට වින කරන්නට යෑම කිසි අයුරකින් සුදුසු, අනුමත කළ හැකි යහපත් මිනිස් ගුණයක් නොවේ. එසේ ද වුව ලොවේ මිනිසුන් අතර පවතින ස්වභාවය එයයි. එබඳු තත්ත්වයනට ජීවත්වන තාක් අපට මුහුණ දෙන්නට සිදුවේ. ඒ ගැනද සිතේ අවධානය යොමු කිරීම සුදුසු ය. ලොවේ එකම අන්දමේ අදහස් ඇති මිනිස්සු වාසය නොකරති. අදහස් අතින් මිනිස්සු විවිධය. එබඳු මිනිසුන් අතර ජීවත්වනවිට බලාපොරොත්තු නොවූ නොයෙක් උපද්‍රවවලට මෙන් ඔවුන්ගේ අයහපත් ක්‍රියාවල ප්‍රතිඵලවලට මුහුණ දෙන්නට සිදුවේ. එයින් කලකිරීමට පත් වන්නට, පසු බැසීමට ලක් වන්නට, සිත දුබල කරගන්නට සුදුසු නැත.
කළ යුත්තේ උපක්‍රමශීලීව පවතින, විය හැකි උපද්‍රවවලින් නිදහස් වන්නට හැකි ක්‍රියාවල යෙදීමයි. මෙහිදී වැදගත් වන්නේ තමන්ගේම සිත මේ පිළිබඳ යොමුකොට ඇති වී තිබෙන තත්ත්වයෙන් මිදෙන්නට හෝ ඇතිවිය හැකි තත්ත්වයකින් කල්තියාම නිදහස් වන්නට හෝ හැකි ක්‍රියාමාර්ග ගැන සිතා අවශ්‍ය පියවර ගැනීමයි. ඒ ඒ බැරෑරුම් තත්ත්වයනට මුහුණ දෙන අයුරු එක හා සමාන නොව විවිධ වේ. සුදුසු ක්‍රියාමාර්ගය මැනවින් සිතා තීරණය කළ යුත්තේ ඔබමය.
ඇතැම්විට තමන්ට හිතවත් කෙනකුගේ උපදෙස් ලබාගත්තාට වරදක් නැත. එහෙත් වෙන අය දෙන උපදෙස් ද තමන් හොඳින් සලකා සුදුසු පරිදි අඩු වැඩි කොට තමන්ට සුදුසු ක්‍රියාමාර්ගය තෝරාගෙන බාහිර සතුරාට මුහුණ දෙන්න.
නයාට පහර දී ඌ කුපිත කරනවාට වඩා වෙනත් පැත්තකට ඇදී යෑමට සැලැස්වීම නුවණට හුරුය. ‘නයා සාක්කුවේ දාගෙන’ යැයි ගැමියන් අතර කියමනක් තිබේ. මෙයින් අදහස් වන්නේ සතුරා තමන් වැලැඳ ගෙන නැතිනම් තමන් ඉතා සමීපයට ගෙන සිටීමයි. එසේ වූ කල නයා නැතිනම් තමන් ඉතා සමීපයට ගෙන සිටීමයි. එසේ වූ කල නයා ගෙන් විපත් සිදුවීම පුදුමයක් ද? නැත. සතුරා ගැන මනා අවබෝධයක් ලැබ ඔහුගෙන් ප්‍රවේසම් විය හැකි මාර්ග සකස් කරගත යුතුය. ඇතැම්විට අතේ දුරින් නැති නම් ප්‍රමාණයකට ඔහු සමග වුව ඇසුරු කරන්නට සිදුවේ. ඊයේ ඇසුරු කරනවිට ඉතා අවදිමත්ව, අවශ්‍ය ප්‍රමාණයට කළ යුතුය. අවස්ථාවේ හැටියට, සතුරාගේ බල මහිමය, කටයුතු ගැන ලබාගත් අවබෝධය අන්දමට ගතයුතු ඉතාම සුදුසු ක්‍රියාමාර්ගය තෝරාගෙන, ඇතැම්විට යම්, යම් ඒවායේ ද වෙනස්කම් සිදුකරමින් එඩිතර සිතින් ඔහුට මුහුණ දෙන්න. සතුරන් නැති ලොවක නොව විවිධ අංශයේ සතුරන් සිටින ලොවක ජීවත්වන බව සිතන්න. එහෙත් එයින් කම්පා නොවන්න.
තමනට තමන් සතුරකු – වන්නට ඉඩක් නොතබා
තම සිත නිසි අයුරු – පාලනය අත නොහැරා
බාහිර සතුරු උවදුරු – මඬින අයුරු ද දැන
නොබියව එයට මුහුණ දී – දිවි සටන ගෙන යනු මැන

