ආචාර්ය කුකුල්පනේ සුදස්සි හිමි
මේ ලිපියෙන් ආඝාත පටිවිනය සූත්‍රයේ දැක්වෙන ද්වේෂය දුරුකරන ප්‍රතිපදාවයි පැහැදිලි කරන්නෙ. අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ ආඝාත වර්ගයේ සඳහන් වෙන මේ සූත්‍රය සැරියුත් මහ රහතන් වහන්සේගේ දේශනයක්. අන්‍ය පුද්ගලයන්ගේ නොමනා හැසිරීම ගැන අපේ සිතේ ඇතිවන ද්වේෂය දුරුකරන ක්‍රම පහක් පිළිබඳවයි මේ සූත්‍රයේ පැහැදිලි කරන්නේ.
දිනක් සැරියුත් මහරහතන් වහන්සේ භික්‍ෂූන් අමතා දේශනා කරනවා ‘පංචිමේ ආවුසො ආඝාත පටිවිනයා’
ඇවැත්නි, ආඝාත පටිවිනය සඳහා කරුණු පහක් තියෙනවා.
මොකක්ද ආඝාත කියෙන්නෙ? මොකක්ද පටිවිනය කියන්නෙ?
ආඝාතයයි කියන්නෙ ද්වේෂය, පටිවිනය කියන්නෙ දුරු කිරීම, ද්වේෂය දුරු කරන ක්‍රම බොහොමයක් තියෙනවා. ඒ අතරින් කාටත් පහසු සරල ක්‍රම පහක් පිළිබඳවයි මේ සූත්‍රයෙන් විස්තර වෙන්නෙ. සැරියුත් හාමුදුරුවො මෙහිදී පැහැදිලි කරන්නේ කවර ආකාරයෙන්ද කවර පුද්ගලයන් පිළිබඳව ද අපි ද්වේෂය දුරු කළ යුත්තේ කියලා.
කරුණු දහයක් නිසා ද්වේෂය ඇතිවෙනවා
බුදුරජාණන් වහන්සේ ආඝාත වස්තු සූත්‍රයේ දේශනා කරනවා කරුණු දහයක් නිසා අපට ද්වේෂය හට ගන්න බව. ඒක අමුතු දෙයක් නෙවෙයිනෙ. අප හැමදෙනාටම බොහොම හුරු පුරුදු දෙයක්නෙ තරහව. ද්වේෂය නැතිනම් කෝපය. මේ කවර නමකින් හැඳින්වුවත් එකම ධර්මතාවක් තමයි අරමුණු වෙන්නේ. අරමුණෙහි ගැටෙන ස්වභාවයයි. ඇසින් කණෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් කියන මේ ඉන්ද්‍රියන්ගෙන් ගන්නා අරමුණු සමග මනස ගැටෙනවා. ඒවා ප්‍රතික්ෂේප කරනවා. ඒ ස්වභාවය තමයි ද්වේෂය ආදි නම්වලින් හැඳින්වෙන්නේ.
ද්වේෂය උපදින අවස්ථා දහයක් පිළිබඳව, නැතිනම් හේතු දහයක් පිළිබඳව ආඝාත වස්තු සූත්‍රයේදී බුදුහාමුදුරුවො පැහැදිලි කරනවා. එක් පුද්ගලයෙකු අරමුණු කරගෙන.
● මේ පුද්ගලයා මට පෙරත් වරද කළා.
● දැනුත් වරද කරනවා.
● අනාගතයේ වරද කරාවි කියලා තමා මුල් කරගෙන තුන් ආකාරයකින් ද්වේෂය උපදවා ගන්නවා.
● මේ පුද්ගලයා මගේ මිතුරන්ට පෙරත් නපුර කළා.
● දැනුත් නපුර කරනවා.
● අනාගතයටත් නපුර කරාවි කියලා තමන්ගේ මිතුරන් සම්බන්ධ කරගෙන තුන් ආකාරයකට ද්වේෂය උපදවා ගන්නවා.
● මේ පුද්ගලයා මගේ සතුරන්ට පෙරත් පක්‍ෂපාතීව කටයුතු කළා.
● දැනුත් පක්‍ෂපාතීව කටයුතු කරනවා.
● අනාගතයටත් පක්‍ෂපාතීව කටයුතු කරාවි කියලා තමන්ගේ සතුරන් සම්බන්ධ කරගෙන තුන් ආකාරයකින් ද්වේෂය උපදවා ගන්නවා. එතකොට නව ආකාරයයි.
● අනිත් එක තමයි අස්ථාන ක්‍රෝධය, අස්ථාන ක්‍රෝධය කියන්නේ ක්‍රෝධය ඉපද විය යුතු නැති තැන්වල ක්‍රෝධය ඉපදවීමයි.
දැන් අපි මේ කරුණු දහය පිළිබඳව කෙටියෙන් විස්තර කරගන්නට උත්සාහ කරමු. යම්කිසි පුද්ගලයෙකු අරගෙන මේ පුද්ගලයා මට පෙර මේ මේ විදියේ නපුරුකම් කරලා තියෙනවා කියලා හිතනවා. ඒ ද්වේෂය උපදින එක් ආකාරයක්. මොහු මට දැනුත් මේ විදියට වරද කරනවා නපුරුකම් කරනවා. මේ ද්වේෂය උපදින තවත් ආකාරයක්. මොහු අනාගතයෙත් මට මේ විදියට නපුර කරාවි. මේ ද්වේෂය උපදින තවත් ආකාරයක්.
මෙයින් අදහස් වෙන්නෙ මේ කියන ලද වචනවලට අනුවම හිතලා ද්වේෂය ඇතිවෙනවා කියන එක නෙවෙයි. ඔබට කවදාවත් මතක නැතිව ඇති කිසිම පුද්ගලයෙකු පිළිබඳව ඔය විදියෙන් හිතුවා. මතක තියෙනවද? ඔහොම හිතල ද්වේෂය ඇතිකර ගන්නව මතකයක් නැතිව ඇති. මේ වචනවලින් විස්තර කරන විදියෙ එක්තරා හැඟිමක් අපේ මනසේ තැන්පත් වෙනවා.
අප්‍රසන්න බවක්!
‘අසවල් මනුෂ්‍යයා පෙර දවසක මට දොස් කිව්වා.’ මෙන්න මේ කාරණය තමන්ගේ හිතේ තැන්පත් වෙනවා. තැන්පත් වුණාට පස්සේ මේ කාරණා හිතේ තියෙන තාක්කල් ඔහු දකින දකින වාරයක් පාසා තමන්ගේ හිතේ මොකක්ද ඇතිවෙන්නෙ අප්‍රසන්න හැඟීමක්. මේ අර ඉහත කියපු පළමුවෙනි ක්‍රමයට ද්වේෂය හටගැනීම. එවේලේ ඇතිවන හැඟීම පැහැදිලි නෑ. මොහු මට පෙර මෙහෙම බැන්නා. මොහු මට පෙර ද්වේෂ කළා. ඒ මොකුත් මතුවෙලා එන්නේ නෑ. නමුත් දකිනකොටම එක්තරා අප්‍රසන්න බවක් ඇති වෙනවා. ඒ අප්‍රසන්න බව ඇතිවීමේ මූලික සාධකය මොකක්ද? පෙර දවසක මොහු මට දොස් කිව්වා කියන සංඥාව. ඒ අදහස උපාදාන වෙලා තියෙනවා. ඒ උපාදානය පවතින තෙක් නැවත නැවතත් ඔහු දකින, ඔහුගේ කටහඬ ඇසෙන, ඔහු සිහිකරන, ඔහු ගැන කතා කරන සෑම මොහොතකම තමන්ගේ මනස ඔහු සමග ගැටෙනවා. අපි හිතමු ඔහුගේ නම, කොලේක ලියලා තිබුණයි කියලා මේ කොලේ ලියලා තියෙන අකුරු ටික දකිනකොටත් අපේ සිත ගැටෙනවා. ඇයි? අපේ මනස එසැණින්ම අර පුද්ගලයා අරමුණු කරනවා. රූපයෙන් ඔහු අරමුණු කරනවා. කටහඬින් නැතිනම් හැසිරීම් ආකාරයෙන් අරමුණු කරනවා. තමන්ට බැන්න හැටි සමහරවිට අරමුණු කරනවා.
අර අකුරු ටික දිහා බලාගෙන මේ සියලුම චිත්ත රූපයන් මනසේ මවාගෙන අපි ගැටෙනවා. කෙනෙක් ඔහු පිළිබඳව කතා කරන කොටම අර මුලින් ඔහු අපට කළ අපහාසය උපහාසය සිහිකරගෙන එයින් චිත්ත රූප මවාගෙන අපි ඔහු සමග ගැටෙනවා මනසින්. මෙන්න මේ විදිහටයි මොහු අතීතයේ මට නපුර කළා කියලා අපි මිනිසුන් සමග ගැටෙන්නෙ. ඊළඟට මොහු දැනුත් මට නපුර කරනවා කියලා අපි ඒ ඒ මොහොතේ ඔහු කරන කියන දේවල් පිළිබඳව ගැටෙනවා. ඒ මොහොතේදීත් අපි කල්පනා කරනවා එදත් මට මෙහෙම කළා. දැනුත් ඔහු මා සමග හිතවත් කමක් නෑ. මේ විදියෙන් ද්වේෂය උපදවා ගන්නවා. ඊළඟට මේ කරුණු දෙක අනුසාරයෙන් අපි එක්තරා සංකල්පනාවක් ගොඩනඟා ගන්නවා අනිවාර්යයෙන් මේ මනුෂ්‍යයා අනාගතයෙත් මට දොස් කියනවා. මොහු ඊළඟ දවසෙත් මට විරුද්ධව කටයුතු කරනවා. මේ විදියෙන් අපි එක්තරා සංකල්පනාවක් ගොඩනගා ගන්නවා. මේ තුන්වෙනි අවස්ථාව.
අපේම සිතුවිලි සමගයි ගැටෙන්නෙ
අතීතයේ සිදු වූ දේ අරමුණු කරගෙන ද්වේෂය උපදවා ගන්නවා. වර්තමානයේ කෙරෙමින් පවතින දේ අරමුණු කරගෙන ද්වේෂය පවත්වා ගන්නවා. මේ දෙකම පදනම් කරගෙන අනාගතයටත් එසේ ඇතිවේවි කියන සංකල්පනාව ඇති කර ගන්නවා. මේ සංකල්පනාව සිතුවිල්ලක් පමණයි. එහෙම දෙයක් තවම සිදුවෙලා නැහැ. අපි හිතනවා සිදුවේවි කියලා. අපේම සිතින් මතු කරගන්නා මේ සිතුවිල්ල පදනම් කරගෙන අපිම ගැටෙනවා. එහෙම නම් මොකක්ද මේ ගැටීම? සිතුවිලි සමග ගැටීමයි. දැන් අපි මේ අනාගතය පිළිබඳව ගැටෙන්නේ පුද්ගලයන් එක්කද? අපේම සිතුවිලිත් එක්ක අපි ගැටෙනවා. එහෙමනම් ඔය විදියටම තමයි වර්තමානයේ සහ අතීතයෙත් අපි ගැටෙන්නේ. අපට අතීතයේ මෙහෙම කළාය කියලා ගැටුම ඇති කරගන්නේ පුද්ගලයා සමග නෙවෙයි. අපේ සිතේ ඔහු අරමුණු කරගෙන ඇතිවෙන සිතුවිලි සමගයි. වර්තමානයෙත් එහෙමයි. එහෙමනම් මේ සියලුම ගැටලු පවතින්නේ අපි සිතින් අරමුණු කරන ආකාරය අනුවයි. එහෙම නොසිතනවා නම් එවැනි තත්ත්වයක් ඇතිවෙන්නේ නෑ. ඒ පුද්ගලයා අරමුණු කරමින් ඔහු සමග ගැටෙන ස්වභාවයේ සිතුවිලි උපදවා ගන්න තුරු අපේ මනසේ ද්වේෂය හටගන්නවා.
මානසික ලෝකයක්
ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකය මානසික නිර්මාණයක් බව. එය සිතුවිලිවලින් හටගන්නවා මෙන්ම සිතුවිලි නිසා රැඳී පවතින බව. “යම් තාක් කල් සිතයි ද අරමුණු කරයි ද අරමුණු රඳවා පවත්වා ගනී ද, ඒ තාක් කල් ලෝකයට බැස ගැනීම වේ. උපාදානය වේ. පැවැත්මට හේතු වේ. ”මේ මුළු ලෝකයම බුදුහාමුදුරුවො ඔය වචන ටිකෙන් පැහැදිලි කළා.
මේ ලෝකය සිතුවිලි නිසා හට ගත්තා කියලා කීවොත් ඔබ ඊට එකඟද? මේ ගොඩනැඟිලි හැදුණෙ කොහොමද? මේ යාන වාහන හැදුණෙ කොහොමද? සිතුවිලිවලින්.
මිනිසුන් සිතුවා මෙසේ කළ යුතුයි කියලා. ඔවුන් එසේ කළා. ඒ නිසා දැන් තියනවා. එසේ නොසිතුවා නම්? එහෙම දෙයක් නෑ. අපි හිතමු මේ වත්තේ මල් පැළ හදලා තියනවා. ඔය මල් පැළ ඔය විදියට සිටුවිය යුතුයි කියලා යමෙක් සිතුවා හිටෙව්වා. දැන් තියනවා. එසේ නොසිතුවානම් එහෙම මල් වවාපු වත්තක් නෑ. මේ පන්සල මෙතැන හදන්න මේ ඉඩම් කොටස පූජා කළ යුතුයි කියලා අතීතයේ හිටපු පින්වතුන් පිරිසක් සිතුවා. ඒ හිතුව නිසා පූජා කළා. ඒ නිසා දැන් පන්සලක් තියනවා. ඔවුන් එසේ නොසිතුවා නම් අද මෙතැන පන්සලක් තියනවාද? මෙහෙම පන්සලක් අද නෑ.
පළමුව සිතින්, දෙවනුව ගතින්
එහෙමනම් මේ මුළු ලෝකයම අපි සිතින් නිර්මාණය කරනවා. පළමුව සිතින් නිර්මාණය කරනවා. දෙවනුව වචනයෙන් හා කයින් නිර්මාණය කරනවා. පළමුවෙන් මනසේ ඇතිවන චිත්ත රූපය දෙවනුව කයින් ක්‍රියාවට නැගෙනවා. බලන්න චිත්‍රයක් අරගෙන. ඒ චිත්‍රයෙ සායම්වලින් වර්ණවත් කරලා තියෙන්නේ මොනවද? චිත්‍ර ශිල්පියාගේ සිතුවිලි. අපි ඒකට කියනවා චිත්‍රයක් කියලා. තව හොඳ මූර්ති ශිල්පියෙකුට ඒ සිතුවිලි ධාරාව ඇතිවුණොත් ඔහු මොකද කරන්නේ? ඔහු සිමෙන්තියෙන් හෝ හුණු බදාමෙන් හෝ ගල්වලින් හෝ අර සිතුවිලි භෞතික තත්ත්වයෙන් කැටයම් කරනවා. දැන් මොකද වෙලා තියෙන්නේ. මේ හුණු බදාමය තුළ මේ ගල්කැටයම තුළ මොනවද තියෙන්නෙ? මිනිසාගේ සිතුවිලි. එහෙම නම් ඒ නිර්මාණය කුමක්ද? සිතුවිලිවල නිර්මාණයක්. ඒ නිසා බුදුහාමුදුරුවො දේශනා කරනවා මේ ලෝකය සිතිවිලි නිසා හටගත්තා කියලා. සිතිවිලි නිසා රැදී පවතිනවා. ඒ සිතිවිලිවලින් හටගත්ත ලෝකය සිතිවිලි නිසාමයි අපි පවත්වන්නේ. ඒවා හැදූ පමණින්ම ඒවා පවතින්නෙ නැහැ. විනාශ වෙනවා. අපට ඒවා පවත්වන්නට ඕනෑ වෙනවා. ඒ නිසා අපි ඒවා නඩත්තු කරනවා. නැවත නැවත ඒවා අරමුණු කරමින් අපේ මනසේ ඒ සඤ්ඤාවන් පවත්වනවා. ඒ නිසා අපි ඒ තුළ ජිවත් වෙනවා.

