බෞද්ධ ජීවන දර්ශනය

cmadurawala
7 Min Read

මහාචාර්ය කපිල අභයවංස

පුද්ගලයාගේ සංවර්ධනය උදෙසා වූ ක්‍රියාකාරිත්වය සඳහා බුදුදහමින් ඉදිරිපත් කෙරෙන දාර්ශනික පදනමක් තිබේ. ඒ වූ කලී පුද්ගලයාට පමණක් නොව මුළු මහත් විශ්වයටම පොදු වූ යථාතත්වය – ඇති සැටිය පිළිබඳ අවබෝධයකින් තොරව ගොඩනඟා ගන්නා ජීවන පැවැත්ම සාර්ථක නොවේය යනු බුදු සමයේ පිළිගැනීමයි. මිනිසා ඇතුළු විශ්වය වූ කලී හේතු ප්‍රත්‍යසමුත්පන්න ක්‍රියාකාරිත්වයකි යන්න බුදු දහමේ දාර්ශනික පදනම වෙයි. හේතු ප්‍රත්‍ය නිරෝධයෙන් සාක්ෂාත් කරගත යුතු නිර්‍වාණය තෙක් පුද්ගල පැවැත්ම යථෝක්ත සිද්ධාන්තය යටතේ ක්‍රියාත්මක වෙයි. එබඳු පැවැත්මක කැපී පෙනෙන ලක්ෂණය වන්නේ අනිත්‍ය දුක්ඛ හා අනාත්මීය බවයි. බෞද්ධ ජීවන දර්ශනය ආරම්භ වන්නේ පුද්ගලයා තුළ ඇතිවන යථෝක්ත ස්වභාවය පිළිබඳ අවබෝධය පාදක කොට ගෙනය.

බෞද්ධ ජීවිතයක් ගොඩනඟා ගැනීමට අදාළ මෙම පදනම තුළ කරුණු රාශියක් අන්තර්ගත වෙයි. හේතු විනාශ කිරීම තෙක් යමක පැවැත්ම වෙනස් වෙමින් අඛණ්ඩ ප්‍රවාහයක් ලෙස පවතී නම් තෘෂ්ණාව නමැති හේතුවෙන් ආරම්භව ඉදිරියට යැවෙන පුද්ගල පැවැත්ම එහි හේතුව විනාශ වනතෙක් මරණයෙන් අවසන් නොවී සාංසාරිකව පවතී යනු එහි අන්තර්ගත එක් කරුණකි. මේ යටතේ පුනර්භවය පිළිබඳව අදහසක් ඇති වෙයි. මරණය නිෂ්ඨාව නොවන බවත් සාංසාරික ජීවන ප්‍රවාහයක් තුළ රැඳී සිටීමට පුද්ගලයාට සිදුවන බවත් පිළිගැනීමෙන් ගම්‍ය වන්නේ තමා කරන ක්‍රියාවල හොඳ නරක සලකා බැලීමට පුද්ගලයාට සිදුවන බවයි. අනෙක් අතට තෘෂ්ණාව නමැති මුලහේතුව මගින් ක්‍රියාත්මක වන බලවේගයක් ලෙස පුද්ගල පැවැත්ම වටහා ගැනීමේදී අනිත්‍ය දුක්ඛ අනාත්මීය වස්තූන් දැඩි සේ ග්‍රහණය කිරීම මෙන්ම ඒවා කෙරෙහි ද්වේෂ කිරීමත් අර්ථශූන්‍ය හා අනර්ථකාරී තත්ත්වයන් ලෙස සැලකිල්ලට බඳුන් වෙයි. මේ නිසාම තමා හා අවට ලෝකය පිළිබඳව එබඳු පුද්ගලයකු තුළ ඇති වන්නේ මිත්‍රශීලී ආකල්පයකි. බෞද්ධ ජීවන ප්‍රතිපදාවට අදාළ මානසික පදනම සැකසෙන්නේ මේ අයුරිනි.

නියම බෞද්ධයකු තම ජීවන ගමන්මඟ සකසා ගන්නේ අරමුණක් හා ඒ අරමුණට යොමුවන පදනමක් සහිත පිළිවෙතකිනි. බුදුදහමින් හෙළි කරන පුද්ගලයා සහිත ලෝකයේ නියම තත්ත්වය හේතුප්‍රත්‍ය සමවායයෙන් යුක්ත ගතික ප්‍රවාහයක් ලෙස පිළිගන්නා විට තමා තුළ හෝ වස්තූන් තුළ සදාතනික ආත්මීය බවක් හෝ සම්පූර්ණ උච්ඡේදයක් නොමැති බව පැහැදිලි වන කරුණකි. මේ නිසා බෞද්ධයා තුළ වස්තූන්ගේ සදාතනික පැවැත්ම පිළිබඳව ශාශ්වත දෘෂ්ටියත් සම්පූර්ණ විනාශය පිළිබඳ උච්ඡේද දෘෂ්ටියත් නැතිවෙයි. හට ගැනීම (සමුදය) හා වැයවීම (නිරෝධය) ලෝකයේ ඕනෑම වස්තුවක් තුළ දක්නට ලැබෙන යථාතත්ත්වයයි. (යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධධම්මං) හේතු ප්‍රත්‍යයන් නිසා හට ගැනෙමින් විනාශ වෙමින් යළි හට ගැනෙමින් පවත්නා නිරන්තර ප්‍රවාහයක් වූ මෙම පැවැත්ම සහිත ලෝකයක සදාකාලිකත්වය හා සම්පූර්ණ උච්ඡේදය ප්‍රතික්ෂේප කිරීමට සිදුවෙයි.

වස්තූන් හා පුද්ගලයන් පිළිබඳ මෙම යථා තත්ත්වය වටහා ගැනීම එතරම් පහසු වූවක් නොවේ. එබැවින්ම ලෝකයේ මිනිස්සු බොහෝ කොට එක්කෝ සදාතනික අස්තිත්වය පිළිගන්නෝය. නැතහොත් සම්පූර්ණ නාස්තිකත්වය පිළිගන්නෝය. යථාර්ථය යටපත් කොට දක්වන මෙම අන්තවාදී පිළිගැනීම් දෙකම අනර්ථකාරිය. ඒවා සාවද්‍ය පිළිගැනීම් වන බැවිනි. වැරදි වැටහීම් ඇතිවිට ඒවා මත පිහිටා මිනිසා විසින් ගනු ලබන ක්‍රියාමාර්ගය ද අවැඩ පිණිසම පවතියි. එ බැවින් යථාර්ථය පිළිබඳව පැහැදිලි වැටහීමක් ජනතාවට ලබාදීම උදෙසා බුදුන් වහන්සේ තම සූත්‍ර ධර්‍ම රාශියකින් උත්සාහ දරා ඇත. සංයුක්ත නිකායේදී උන්වහන්සේ එය පැහැදිලි කොට ඇත්තේ මෙසේය. ලෝකයේ හටගැනීම යථාර්ථවත්ව නුවණින් බලන්නාට ලෝකයෙහි නාස්තිකත්වය පිළිබඳ අදහස නැති වෙයි. ලෝකයේ වෙනස්වීම යථාර්ථවත්ව නුවණින් බලන්නාට ලෝකයේ අස්තිත්වය පිළිබඳ අදහස නැති වෙයි. (ලොකසමුදයං ඛො කච්චායන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යා ලොකෙ නත්ථිතා සා නහොති. ලොක සමුදයං ඛො කච්චායන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යා ලෝකෙ අත්ථිතා සා නහොති) ලෝකය පිළිබඳ බුදුන් වහන්සේගේ මෙම දාර්ශනික විවරණය නොපිළිගන්නාට බෞද්ධයකු විය නොහැකිය. මානසික වශයෙන් එසේ ඇතිකරගනු ලබන අවබෝධයම බෞද්ධයාගේ ජීවන දර්ශනයට පදනම මෙන්ම අරමුණ සකසා දෙයි.

සදාතනික අස්තිත්වය පිළිගැනෙන බොහෝ ආගම් හා දර්ශනවලට අනුව පුනර්ජන්මය ද අවධාරණය වන බැවින් කර්‍මය පිළිබඳ විශ්වාසය ද ප්‍රතිග්‍රහණයක් වෙයි. එ බැවින් එබඳු දෘෂ්ටියක පිහිටන්නෝ සදාචාර විරෝධි නොවෙති. එහෙත් ලෝකයේ පැවැත්ම පිළිබඳ ඔවුන්ගේ දෘෂ්ටිය සාවද්‍යය. එබැවින් ඔවුන් ගොඩනඟා ගන්නා ජීවන පැවැත්ම ඔවුන්ගේ ආවසානික නිෂ්ඨාව පිළිබඳ අරමුණට කොතෙක් දුරට උපයෝගි වේදැයි ඔවුනටම අවිනිශ්චිතය. නාස්තිකත්වය පිළිගන්නෝ පුනර්භවය ප්‍රතික්ෂේප කරති. මෙලොව ජීවිතය හැකිතාක් සුවපත් කරගැනීම ඔවුන්ගේ අරමුණ වෙයි. එබඳු ජීවන පැවැත්මක් තුළ සදාචාරය අර්ථවත් වීමට අවස්ථාවක් නැත.

බුදුදහමට අනුව සාංසාරික පැවැත්ම වෙනස් වීමට හෙවත් අනිත්‍යතාවට යටත් වන්නකි. එබැවින් එය දුක්සහගතය. අනිත්‍ය සහ දුක්සහගත කිසිවක් ආත්මීය නොවේ. (යදනිච්චං තං දුකඛං. යං දුක්ඛං තදනත්තං) මේ තත්ත්වය යටතේ සාංසාරික දුකින් නිදහස් වීම බෞද්ධයාගේ ආවසානික අරමුණ වෙයි. මෙම අරමුණ සාධනය කරගැනීමට අදාළ ප්‍රතිපදාව කවරාකාරයකින් සකස් විය යුතුද? සාංසාරික දුක් නැති කිරීම අරමුණ නම් ඒ සඳහා පිළිවෙත දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාවක් විය යුතුය. වෙනත් අයුරකින් කිවහොත් සාංසාරික දුක ඇති කරන තෘෂ්ණාව ඇතුළු කෙලෙස් ධර්‍ම නිරෝධයට පත් කිරීමේ ප්‍රතිපදාවක් විය යුතුය. තෘෂ්ණා නිරෝධ සංඛ්‍යාත අරමුණ හා ඊට ප්‍රතිබද්ධ වූ දාර්ශනික පදනමෙන් මතුවන ප්‍රතිපදාව අතර තාර්කික විසංවාදිත්වයක් පවතින්නේදැයි විමසා බැලීම වැදගත්ය. එසේ නොගැළපීමක් වේ නම් එබඳු ප්‍රතිපදාවක් සාර්ථක විය නොහැකිය. මෙහිදී බෞද්ධ දාර්ශනික පදනම, අරමුණ හා ප්‍රතිපදාව යන කරුණු අප ඉදිරියෙහි ඇත. මේවා එකිනෙකට ගැළපී තිබේ නම් පමණක් අපේක්ෂිත ප්‍රතිඵල ලබාදෙනු ඇත. දාර්ශනික පදනමෙන් කියවෙන්නේ පුද්ගලයා හේතුප්‍රත්‍ය සමුත්පන්නව පවතින බවයි. හේතුප්‍රත්‍ය සමුත්පන්න හැම දෙයකම ලක්ෂණය වන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව හා හේතු විනාශය තෙක් ප්‍රතිඵලය පවත්නා බවයි. වස්තූන්ගේ යථා තත්ත්වය පිළිබඳව මෙම අවබෝධය බෞද්ධ ජීවන ප්‍රතිපදාවෙහි පදනම වෙයි. මෙබඳු මානසික පදනමක පිහිටන්නා තුළ මානසික ආකල්පයන්ගේ ද වෙනසක් සිදුවෙයි. වෙනස් වන දුක් සහගත අනාත්මීය වස්තූන් කෙරෙහි එබඳු පුද්ගලයකු තුළ තෘෂ්ණා සහගතව හෝ ද්වේෂ සහගතව බැලීමේ ආකල්පය නැති වෙයි. ඔහු තුළ වස්තූන් කෙරෙහි දැඩි ඇල්ම හෝ දැඩි ද්වේෂය නොපවතියි. ආශාව නොමැති බැවින් ඇතිවන අත්හැරීමෙන් (නෙක්ඛම්ම සංකප්ප) හා ද්වේෂයෙන් තොරවීමෙන් ඇතිවන අවෛරී බවින් (අව්‍යාපාද සංකල්ප) යුක්ත වනවිට එහි ප්‍රතිඵලය වන්නේ සෑම දෙයක් කෙරෙහිම දක්වන මිත්‍රශීලි (අවිහිංසා සංකප්ප) ආකල්පයයි. ආශාවෙන් හා ද්වේෂයෙන් තොරව මිත්‍රශීලී ආකල්පයෙන් කිසිවකු ක්‍රියාකරන්නේ නම් ඔහුගේ කායික හා වාචික ක්‍රියා පමණක් නොව ජීවනෝපාය ද ධාර්මික වෙයි. මෙසේ බෞද්ධ දාර්ශනික පදනමෙන් තාර්කික ගම්‍යතාවක් ලෙස උද්ගත වන මානසික වාචසික හා කායික ක්‍රියාකාරිත්වය තුළ දිවෙන ප්‍රධාන ලක්ෂණය වන්නේ ක්ලේෂ නිරෝධය නමැති අරමුණට යොමුව පවත්නා බවයි.

තමා පමණක් නොව අනුන් ද තමා වැනිවූම ප්‍රතීත්‍යසමුත්පන්න වූ පැවතුම් ඒකකයන් ලෙස පිළිගැනීමේ ආකල්පය මත ගොඩනැඟෙන බෞද්ධ ජීවන දර්ශනයේදී තමා පමණක් සුවපත්ව අනුන් පෙළීමේ අභිලාෂයන් ඉස්මතු නොවෙයි. එකිනෙකා අතර කෝපකරවීම් රහිතව (නපරොපරං නිකුබ්බෙථ), කිසිවකුට කිසි තැනකදී අවමන් නොකොට (නාතිමඤ්ඤෙථ කත්ථචි නං කංචි) දූෂ්‍ය වූ සිතින් ඔවුනොවුන්ගේ අයපත නොපතන (බ්‍යාරොසනා පටිඝසඤ්ඤා නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය) ඔවුනොවුන්ගේ සුවපත්භාවය පතන (සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා) සමාජ සංවිධානයක් ගොඩනැඟිය හැකි වන්නේ යථෝක්ත පරිදි ජීවන දර්ශනයක් මිනිසුන් තුළ පිහිටන්නේ නම් පමණි.

බෞද්ධ ජීවන දර්ශනයේදී මනුෂ්‍ය සමාජයේ භේදයට තුඩු දෙන සියලු ආකාර වර්ගීකරණ ප්‍රතික්ෂේප වෙයි. තමා හා අනුන් යනුවෙන් සමාජය වෙන්කොට සැලකීමට මිනිසුන් පුරුදු වී ඇත්තේ ලෝකයේ යථාර්ථය පිළිබඳ අවබෝධය නොමැති බැවිනි.

මතුසම්බන්ධයි

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *