ගුණපාල කාරියවසම්
‘දූතයා’ යනු පණිවිඩකරුයි. යම්කිසි හොඳ පණිවිඩයක් ගෙන එනු ලබන්නේ කවරෙක්ද හෙතෙම දේවදූතයා ලෙස සැලකිය හැකියි. අපේ ජීවිතයේ මෙලොව පරලොව දියුණුව හෝ පිරිහීම ළඟාකරන සෑම ගතිලක්ෂණයකම අඩු වැඩි වශයෙන් අප ජීවත්වන මේ සමාජ ක්රමය තුළම පවතී. එහෙත් අපි ඒවා අපේ ජීවිතයට ආදේශ කරගෙන ඈඳාගෙන යහපත් මිනිසෙකු වීමට උත්සාහ නොගැනීම අපේම අවාසනාවකි. ඒ නිසා මිනිස් ජීවිතය ලබා උපන් අපි බොහොමයක් දෙනා මරණින් පසු නැවත මහගෙදරටම යනබව බුදුන් වහන්සේ දේශනා කර ඇත. බුදුන් වහන්සේ දේශනා කරන මහගෙදර යනු නිරයයි. එය බොහෝ දුක් ගෙනදෙන, දුක්විඳින බොහෝ ආයුකාලයක් ජීවත්වන අති භයංකාර තැනකි. ගැලවීමක් නැති තැනකි.
එසේ නිරයේ උපත ලබන පිරිස හා එයට හේතුව බුදුරජාණන් වහන්සේ විසින් සැවැත්නුවර ජේතවනාරාමයේදී භික්ෂු – භික්ෂුණි, උපාසක – උපාසිකා යන සිව්වනක් පිරිසට දේශනා කළ ඉතා වටිනා සූත්ර දේශනාවකි. මජ්ක්ධිම නිකායේ ඇති ‘දේවදූත’ සූත්රය එහි ඇති කරුණු හොඳින් වටහා ගන්නේ නම් අවබෝධ කරගන්නේ නම් අපි සෑම කෙනෙකුටම මහගෙදර හෙවත් නිරයට නොගොස් ප්රවේශම් විය හැක. නිරයට යන පිරිස එහි යන්නේ වෙනත් බාහිර පුද්ගලයෙකුගේ හෝ කිහිපදෙනෙකුගේ මග පෙන්වීම නිසා නොව තමන්ගේම දින චර්යාව නිසා බව මෙම සූත්රයේදී මනාව පෙන්වාදී තිබේ. නිරයට ගිය පසු ඒ ගිය පුද්ගලයාගෙන් එහි අධිපති ‘යමරජු’ විසින් කරනු ලබන ප්රශ්නාවලියක් ඔස්සේ මේ දේවදූත සූත්රය විග්රහ වේ. ‘යමරජු’ ඉතා සාධාරණ පුද්ගලයෙකි. පගාව හෙවත් අල්ලස් දී ඔහුගෙන් බේරී යෑමට නොහැක. ඒ වගේම තමන් වෙත ආ පමණින්ම දඬුවම් ලබාදීමට කලබල නොවෙයි. අසනු ලබන ප්රශ්නවලට දෙන පිළිතුරු අනුවයි දඬුවම් නියම කරනුයේ. නිදහස් කරන අවස්ථා ද නැත්තේ නොවේ. නිරයට පැමිණි සැණින් දඬුවම් කරනවා වෙනුවට ඔහු හෝ ඇයගෙන් ප්රශ්න අසා ඒවා සිදුවූයේ තමා විසින්ම බව පැහැදිලි කරදෙයි. බුද්ධ දේශනාව අනුව යමරජු වෙත පැමිණි අයෙකුගෙන් අසනු ලබන ප්රශ්න හා ඒවාට ලැබෙන පිළිතුරු ගැන කෙටියෙන් සලකා බලමු.
“එම්බා නරය, නුඹ කිනම් ලොවක සිට මෙහි පැමිණියේද?”
“ස්වාමීනි මම මනුලොව සිට පැමිණියෙමි”
“මෙම නිරයට ඒමට තමන් කළ වරද කුමක් දැයි ඔබ දන්නවාද?”
“අනේ නැහැ ස්වාමීනි”
“එහෙනම් උඹ දැකල තියෙනව ද උඹ දන්නව ද පළමු දේවදූතයා කවුද කියලා”
“අනේ ස්වාමීනි මම දන්නෙ නැහැ”
“උඹ පළ වෙනි දේවදූතයා දැකල නැහැ”
“එහෙමයි ස්වාමීනි”
“උඹ මිනිස් ලෝකයේදී දැකල නැද්ද?”
“උඩුබැලි අතට ඉඳගෙන හඬමින් සිටින කුඩා දරුවන් ඇඟපත පුරා මලමුත්ර විසුරුවා ගනිමින් සිටින කුඩා දරුවන් උඹ දැකල නැද්ද?”
“දැකල තියෙනවා”
“ඒ තමයි පළ වෙනි දේවදූතයා. ඉතින් උඹ හිතුවෙ නැද්ද කවද හරි මේ කුඩා දරුව පව් කරල මෙතැනට ඒවි කියල.”
“ස්වාමීනි මම හිතුවෙ නැහැ”
“එය උඹගේ වරදක් මිස උඹගේ අම්ම තාත්ත හෝ වෙනත් කාගෙවත් වරදක් නොවෙයි. උඹේම වරදක්. ඒ නිසා ඊට දඬුවම් විඳිය යුත්තේත් උඹමයි.”
හොඳයි උඹ දෙවෙනි දේවදූතයා දැකල තියෙනවද? මේ ප්රශ්නය යොමු කළ යමරජු ඔහුගෙන් පෙර පරිදිම ප්රශ්න කර පිළිතුරු ලබාදෙනවා. ලිපිය දිග වැඩිවන නිසා එසේ අසන ලද ප්රශ්න හා පිළිතුරු කෙටියෙන් මෙහිදී දක්වනවා.
උඹ වෙනි දේවදූතයා දැක්කෙ නැතිනම් දෙවෙනි දේවදූතයා දැකල තියෙනවද කියා යමරජු ඔහුගෙන් ප්රශ්න කළවිට “නැහැ ස්වාමීනි” යි පිළිතුරු දෙනවා. එවිට යමරජු “උඹ මිනිස් ලෝකයේ දී වයසට ගිය තමන්ගේ කටයුතු තනිවම තමන්ට කරගත නොහැකි, සමහරවිට හැරමිටි වාරුවෙන් ගමන් කරන වාඩි වුණොත් නැඟිටගන්න බැරි සමහරවිට දෑස් නොපෙනෙන, කන් නොඇසෙන අය දැකල නැද්ද? ඔවුන් තමයි දෙවෙනි දේවදූතයා. එහෙම අය දැකල තිබුණ නම් උඹ හිතුවෙ නැද්ද කවදහරි මමත් වයසට යනව පව් වැඩ කරල වැරදි වැඩ කරල මැරුණොත් නිරයට යන්න වේවි කියල හිතුවෙ නැද්ද?” කියල යමරජු ප්රශ්න කරනව. “ඒ ගැන ඒ තරම් හිතුවෙ නැහැ” කියල ඔහු පිළිතුරු දුන් පසු “එහෙනම් උඹ මෙතැනට ආවෙ කාගෙවත් වරදකින් නොවෙයි උඹේම වරදින්” යැයි යමරජු පවසනවා. එහෙනම් උඹ කළ වැරදිවලට උඹටම විපාක විඳින්න සිදුවේවි” දැන් ඊට සූදානම් වෙයන්.
ඊට පසු යමරජු ඔහුගෙන් තුන්වෙනි දේවදූතයා මිනිස් ලොව දී දුටුවේ නැද්දැ’යි විමසයි. අනේ ස්වාමීනි මම දැකල තිබුණෙ නැහැ’යි පවසයි. උඹ මිනිස් ලොව ජීවත්ව සිටියදී ලෙඩවී දුක්විඳින, කෑමක් බීමක් ගතනොහැකිව සිරුර වැහැරී ගිය, කතාකර ගත නොහැකිව සිටින බෙහෙත් නිසාම ජීවත්වන අසරණ රෝගීන් දැකල නැද්ද? ඒ අය දැකල අනේ මමත් කවදහරි ලෙඩ වේවි. ලෙඩ වුණාම යමක් කරගන්න බැහැ. ඊට පෙර පින්දහම් කරගත යුතුයි කියල හිතුවෙ නැද්ද? එහෙම නොසිතුවා නම් උඹේ දෙමව්පියන්ගේ හෝ වෙනත් කිසිවෙකුගේ වරදක් නොවෙයි. උඹේම වරද යැයි යම රජු පවසයි.
නුඹ මනුලොවදී හතරවෙනි දේවදූතයා දුටුවේ නැද්ද’යි අසන යමරජු හතරවෙනි දේවදූතයා ගැන පැහැදිලි කරදෙයි. කරන ලද වැරදිවලට දඬුවම් විඳින පිරිස තමයි හතර වෙනි දේවදූතයා. පස් පව් දස අකුසල් කරන අයට මරණින් පසු දඬුවම් විඳීමට පෙර මිනිස් ලොවේදීම දඬුවම් ලැබෙනවා. ඉතින් උඹ ඒව ගැන හිතල පස්පව් දස අකුසල් නොකර සිටියා නම් මෙතනට එන්න වෙන්නේ නැහැ” යැයි යමරජු පවසයි. වැරදි කරන අයට දිට්ඨධම්මවේදනීය වශයෙන් මෙලොවදීම ඒවාට දඬුවම් ලැබෙන බව ඔබ හොඳින්ම දන්නා කරුණක්. වරදකරුවන් අසුවූ විට මුලින්ම ඔහුට හොඳ හැටි ගුටි බැට දෙනවා. ඉන්පසු රජු වෙත දැන් කාලයේ හැටියට පොලිසියට භාරදෙනවා. එතැනදීත් දඬුවම් ලැබ පසුව අධිකරණයට ඉදිරිපත් කොට සිරගත කරනවා. එහෙදීත් අනෙක් සිරකරුවන්ගේ තාඩන පීඩනවලට ලක්වෙනවා. සමහරවිට මරණයටත් පත්වෙනවා. ඒ නිසා වැරදි නොකර සිටිනවා නම් මේවායින් ගැලවෙනවා. ඒ නිසා හතරවෙනි දේවදූතයාගෙන් බේරී සිටීමට ඔබ අපි කවුරුත් වගබලාගත යුතුයි.
ළදරුවා, වයසට ගිය අය, ලෙඩවූ අය හා දඬුවම් විඳින අය යන දේවදූතයන් සතරදෙනා පිළිබඳව මනුලොවින් නිරයට ගිය පුද්ගලයාගෙන් ප්රශ්න අසා පිළිතුරු ලබාදුන් යමරජු ඊළඟට පස්වෙනි දේවදූතයා ගැන මෙහෙම පැහැදිලිකර දෙනවා. “පස්වෙනි දේවදූතයා උඹ දැකල ඇති. ඔහු තමයි මැරුණු අය හෙවත් මළ මිනිය. එදිනම මැරුණු අය මැරී දින දෙක තුනක් ගතවී පණුවන් දමා ගඳ ගහන, සැරව විහිදෙන මළ මිනී උඹ දැකල ඇති. ඒව දැකල අනේ මමත් මැරෙනව නේද කියල හිතාගෙන පස් පව්, දස අකුසල්, වැරදි වැඩ නොකළා නම් උඹ මෙතැනට එන්නේ නැහැ. දැන් ඉතින් මට කරන්න දෙයක් නැහැ. මේ සියල්ලටම මුල නුඹමයි. නුඹගේ අම්මගෙ තාත්තගෙ වරදක් හෝ නෑදෑ හිතවතුන්ගෙ වරදක් නොවෙයි. ලැජ්ජා භය තිබුණා නම් නුඹ ඕවා කරන්නෙ නැහැ. එහෙත් නුඹට මිනිස් ලෝකයේදී ලැජ්ජා බය තිබුණේ නැහැ. ඒවා හොඳ දේවල් කියලයි හිතුවෙ. මම නුඹට දඬුවම් නියම කරනවා” යැයි යමපල්ලන් ගෙන්වා ඔවුන්ට භාර කළහ.
යමරජුගේ ප්රශ්නවලට බයෙන් උත්තර දුන් මේ පුද්ගලයාට ලොකු බඩගින්නක් හා පිපාසයක් ඇතිවී ‘මට බඩගිනියි’ යමපල්ලන්ට පැවසුයෙන් නැවත උඹට ‘බඩගිනි දැයි’ අසා රත්වූ යකඩ ගුලි කිහිපයක් ඔහුගේ කට ඇතුළට දමයි. රත්වූ ගිනියම් වූ එම යකඩ ගුලි කට, උගුර, නහර, බඩවැල් පුලුස්සා දමමින් කුස තුළ තැන්පත් වේ. ඉන්පසු තිබහයි, පිපාසයයි කියූ විට රත්වී පෙණනගමින් යකඩ හැළියක තිබෙන ලෝදිය කට තුළට දමයි. ඉතා සවිස්තර දේවදූත සූත්රයේ කෙටි අදහස මෙයයි. මේ දේවදූත සූත්රය පිළිබඳව තවත් කරුණු දැනගෙන ඔබේ දහම් දැනුම වැඩිකර ගන්න.
මෙම සූත්රයේ ඇති වැදගත්කම ගැන කෙටියෙන් විමසා බලමු. ලිපියේ මුලදී සඳහන් කළ පරිදි මේ දේවදූත සූත්රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සැවැත් නුවර ජේතවනාරාමයේදී. ඒ සමගම මහින්දාගමනයෙන් දින කිහිපයකට පසු අප රටේදී දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිසට මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූවෙත් මේ සූත්ර දේශනාවයි. උන්වහන්සේ විසින් තෝරාගනු ලැබූ සූත්ර දේශනා ඉතා ක්රමානුකූලව ජනතාවට කරුණු වටහා දීමටයි එම සූත්ර දේශනා තෝරාගනු ලැබුවේ. මිනිසා පව් කරනුයේ පවට ඇති බය හා ලැජ්ජාව නැති නිසයි. මේ නිසා ඒ බව හොඳින් අවබෝධ කරදීමටයි මේ සූත්ර දේශනාව තෝරාගෙන ඇත්තේ. ලැජ්ජාව හා බය තිබේ නම් පව් නොකරන බවත්, ලැජ්ජාව හා බය ඉවත දමා පව් කරන්නේ නම් ඔවුන් නිරයට වැටී ඉතා දුක්ඛිත ජීවිත ගත කරන බවත් පෙන්වාදී පස් පවින් දස අකුසල්වලින් වැළකී සිටීමට කරුණු වටහා දීමටයි මිහිඳු මහරහතන් වහන්සේ මේ සූත්ර දේශනාව තෝරාගෙන ඇත්තේ. පවට ලැජ්ජාව හා බය නැති අය කරන ලද පව්කම්වල විපාක වශයෙන් නිරයට යනවා. නිරයේ යම රජු ඔවුන්ගෙන් ප්රශ්න අසා පිළිතුරු ලබාගෙනයි දඬුවම් නියම කරනුයේ. නිරයේ නොයෙකුත් වධ දෙනවා. ගිනි වතුර හෙවත් ලෝදිය පොවනවා. රත්වූ යකඩ ගුලි බඩගින්නට කෑමට දෙනවා. ඒ වුණත් ඔවුන් මැරෙන්නෙ නැහැ. කරන ලද පව්කම්වලට වැරදි වැඩවලට තවත් දුක් විඳිය යුතු නිසයි නොමැරෙන්නේ. එදා බුදුරජාණන් වහන්සේ මෙන්ම මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටේදීත් මේ සූත්ර දේශනාවෙන් ධර්මය දේශනා කර ජනතාවට කරුණු වටහාදීම නිසාත් මේ සූත්රය අපට වැදගත් වෙනවා.
ඒ වගේම තවත් කාරණයක් නිසා මේ සූත්ර දේශනාව වැදගත් වෙනවා. මිනිස් ලොව ඉපිද සිටින අපි වාසනාවන්තයන්. එයිනුත් අඳ, ගොළු, බිහිරි බව නොලබා සිටින අය වඩාත් වාසනාවන්තයි. එහෙත් ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, දඬුවම් විඳීම, මරණයට පත්වීම යන කාරණා පොදු ධර්මතාවයන්. අපට මේ කාරණා දිනපතාම අත්දැකීමට හැකිවෙනවා. මේ දේවදූතයන් සිටිනුයේ අප අතරමයි. අප සමාජය තුළමයි. අඳ, ගොළු, බිහිරි නැති සෑම අයෙකුටම මේ කාරණා පිළිබඳව හොඳට පේනවා වගේම අවබෝධයක් ලබනවා. ඒ වගේම කවදා හෝ අපිටත් මේ තත්ත්වය උදාවිය හැකි බව වැටහෙනවා. සමාජයේ ගැවසෙන අපි කොතරම් බිලිඳුන් දැක තිබෙනවාද? කොතරම් වයසක අය දැක තිබෙනවාද? කොතරම් ලෙඩුන් දැක තිබෙනවාද? සිර ගෙදරකට නොගියත් සමාජය තුළදී වැරදි වැඩකරන පුද්ගලයන්ට ගහනවා, බනිනවා, වධ දෙනවා, අතපය කපා දමනවා, වෙඩි තියනවා, මරා දමනවා දැක තිබෙනවාද? නැතහොත් අසා තිබෙනවාද? මරණය ගැන කියනුම කවරේද? ජනවහරේ කියවෙන පරිදි හිසේ කෙස් ගණනට මළ ගෙවල්වල යන්න ඇති. මළ මිනී දකින්න ඇති. ඒ නිසා මේ දේවදූත සූත්රයේ සඳහන් වන පරිදි මේ දේවදූතයන් පස්දෙනා නොදුටු අය සිටී නම් ඔහු අන්ධ අයෙකු පමණි. එහෙත් ඔහු ඔවුන් ගැන අසා තිබෙනවා නේද?
මිහිඳු මහ රහතන් වහන්සේ අප රට තුළ දේශනා කළ සූත්ර තුළින් නිරයේ උපත ලැබීම ගැන බොහෝ තොරතුරු හෙළිකර දුන්හ. නිරයේ දුක් පීඩා ගැන ජනතාව දැනුවත් කළා. ඒ නිසා අපේ රටේ ජනතාව බොහෝ දුරට පව් කිරීමට, වැරදි වැඩ කිරීමට බය වුණා. ලැජ්ජා වුණා. එහෙත් දැන් බලන විට ඒ තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා. ඒ නිසා මේ දේවදූත සූත්රයේ අන්තර්ගතය ආගම් භේදවලින් තොරව සියලුම ජනතාවට යළි යළිත් වටහා දියයුතු කාලය එළැඹී තිබෙනවා. එය ගිහි පැවිදි කාගේත් වගකීම වෙනවා. පොතපත පරිශීලනය කිරීමෙන් හෝ ධර්මය ශ්රවණය කිරීමෙන්, ධර්ම සාකච්ඡා කිරීමෙන් මේ දේවදූත සූත්රය පිළිබඳව මනා අවබෝධයක් ලබාගෙන අන් අයටත් කියාදෙන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.

