අනුබුද්ධ මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ විසින් බුදුදහම හඳුන්වාදීමෙන් පසු ලාංකික කුල පුත්‍රයන්ගේ ශාසන ප්‍රවේශයත් සමග ශ්‍රී ලාංකික සම්බුද්ධ ශාසනය ආරම්භ වෙයි. ලක්බිම තුළ සම්බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනය වීම ලාංකික කුල දරුවන් සසුන්ගත වී ශාසනික ක්‍රියා ආරම්භ වීමෙන් පසු සිදුවන්නක් බවට මිහිඳු හිමියන් විසින් කරන ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ බුදු සසුන භාරතයෙන් පැමිණියත් එය පරදේශීයත්වයෙන් නොසලකා ස්වීයත්වයෙන් පිළිගැනීමට ලාංකිකයන් පෙලඹීමෙහිලා එම ක්‍රියාමාර්ගය ප්‍රබල සාධකයක් වන බවයි. බුදු සසුන පිළිබඳ සම්පූර්ණ වගකීම එසේ ලාංකික භික්‍ෂූන් වෙත පැවරීමෙන් පසු එහි ආරක්‍ෂාව, පෝෂණය හා සංවර්ධනය තමන්ගේම වගකීමක් කොට සලකා අධිෂ්ඨානශීලීව එම අරමුණු ඉටු කිරීමට ලාංකික භික්‍ෂූන් වහන්සේ මෙන්ම ගිහි ජනතාව ද එකසේ සැදී පැහැදී ක්‍රියාකළ බවට ශ්‍රී ලාංකික ශාසනවංශ කතාව සාක්‍ෂ්‍ය දරයි.
බුදු සසුන පිහිටුවීමෙන් පසු එය බෙහෙවින් ජනප්‍රිය වෙමින් ඉතා කෙටි කලක් තුළදීම මුළු මහත් දිවයින පුරා ව්‍යාප්තවී ගිය බවට සාධක තිබේ. බුදු සසුන පිහිටුවීමට අනුග්‍රහය දැක්වූ දෙවන පෑතිස් රජුගේ රාජ්‍ය සමයට සමගාමීව අනුරාධපුරයෙන් ඈත පිහිටි කැලණිය, රෝහණ ජනපදය වැනි ප්‍රදේශවල ද බෞද්ධ වෙහෙර විහාර ඉදිවී තිබීමෙන් පෙනී යන්නේ ලංකාව තුළ වූ බුදු සසුනේ ශීඝ්‍ර ව්‍යාප්තිය යි. එසේ දිවයින පුරා ව්‍යාප්ත වූ බුදුසසුන යනු ශ්‍රී ලාංකික බෞද්ධ ගිහි පැවිදි සමස්ත ජන සමාජයේ සියල්ල බවට පත්වීම ශාසනයේ මූලාරම්භයට පසුබිම සැපයුණු භාරතය තුළදී වත් දක්නට නොලැබෙන විශේෂ ලක්‍ෂණයකි. ලංකාවේ ආගම, භාෂාව, සංස්කෘතිය, සාරධර්ම, කලාශිල්ප, සාහිත්‍යය, ආර්ථිකය, රාජ්‍යපාලනය ආදී සියලු සමාජාංග බුදු දහම හා බුදු සසුන සමග බැඳෙමින් පෝෂණය වූ බැවින් බුදු සසුනත්, සිංහල ජන සමාජයත් දෙකක් නොව එකක් බවට පත්වීම අපූර්වතම සිද්ධියකි.
බුදු සසුන මත පිහිටා, බුදු සසුන හා අනන්‍ය වූ ජනසමාජයක් ලක්බිම තුළ ගොඩනැඟීමේ ව්‍යාපාරයෙහි නියාමකත්වය ගෙන ක්‍රියා කළාහු ලාංකික භික්‍ෂූන් වහන්සේයි. බුදු සසුන රැකිීම යනු ලාංකික බෞද්ධ සමාජය ආරක්ෂා කිරීමය යන අදහස ජන ජීවිතය තුළ තහවුරු වූයේ ලාංකික භික්‍ෂූන්වහන්සේගේ ආගමික හා සමාජ කාර්යයන්හි ප්‍රතිඵලයක් වශයෙනි. සසුන රැකීමත්, රට රැකීමත් දෙකක් නොව එකක් බවට පැමිණවීමට තරම් භික්‍ෂූ කාර්යභාරය ප්‍රබල විය. දුටුගැමුණු රජු රට එක්සේසත් කිරීමේ ව්‍යාපාරයේ දී ස්වකීය ආදර්ශ පාඨය කරගත්තේද මාගේ මේ ව්‍යායාමය රට රැකගැනීමට හෝ රජ සැපත සඳහා නොව “හුදෙක් සම්බුද්ධ ශාසනයාගේ චිරස්ථිතිය සඳහාය” යන්නයි. මෙය ඇත්ත වශයෙන්ම රාජ්‍ය පාලකයකුගේ ප්‍රකාශයකට වඩා බෞද්ධ භික්‍ෂුවකගේ ප්‍රකාශයක් ලෙස බැලූ බැල්මට පෙනීයයි. මෙයින් පැහැදිලි වන ඉතා වැදගත් කරුණක් වන්නේ ශ්‍රී ලාංකික භික්‍ෂුව රාජ්‍යත්වයට පවා කෙතරම් දැඩිලෙස බලපා සිටියේ ද යන්නයි. අනුරාධපුර යුගය තරම් ඈත අතීතයෙහි රාජ්‍යත්වයට ඇතුළත් වූ යථොක්ත පරමාදර්ශය නූතන රාජ්‍ය ව්‍යවස්ථාව තුළ පවා ප්‍රතිමූර්තිමත්වීම ශ්‍රී ලාංකික සමාජය හා සම්බුද්ධ ශාසනය ඒකාබද්ධ කිරීමට භික්‍ෂූන් වහන්සේ දෑරූ ව්‍යායාමයෙහි ප්‍රතිඵලයකි.
ශ්‍රී ලාංකික බෞද්ධ ජන සමාජය භික්‍ෂූන් වහන්සේ ගේ සම්පර්කය මගින් නිර්මාණය වූවක් බැවින් සමස්ත සමාජයේම රක්‍ෂාවරණ ගෝපනය සඳහා භික්‍ෂූන් වහන්සේගේ කැපවීම බෙහෙවින් ප්‍රකටව කැපී පෙනෙයි. ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතිය සැකසීමේ ව්‍යාපාරයෙහි පුරෝගාමී වූවෝ භික්‍ෂූන් වහන්සේය. ස්වකීය පෞද්ගලික ශුභසාධනයට වඩා සමාජ ශුභසාධනයෙහි කැපවීම භික්‍ෂුවගේ ප්‍රවේණිගත වගකීමක් වන තරමට භික්‍ෂූන් වහන්සේ බෞද්ධ සමාජ පුරුෂාර්ථ සාධනයට හවුල් වූහ. මේ නිසාම පැවිදි සමාජය හා ගිහි සමාජය අතර පැවතුනේ දැඩි අන්‍යෝන්‍ය සුහද සම්බන්ධයකි. රජ පවුලේ පටන් සමාජයේ සෑම අංශයකම ජනතාව ස්වකීය ජීවන සෞභාග්‍යය සඳහා භික්‍ෂුවගේ මග පෙන්වීම අපේක්‍ෂා කරන තරමට ගිහි පැවිදි සම්බන්ධය වර්ධනය විය. දුටුගැමුණු හා ඔහුගේ සොහොයුරා අතර පැවති අභ්‍යන්තර සටන සමථයකට පත් කීරීමට ගොධදත්තතිස්ස ස්ථවිරයන් ඉදිරිපත් වූ විට දුටුගැමුණු පැවසුවේ “සාමණේර නමකට පවා මේ සටන නවත්වන්නට තිබුණු බවයි”. මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ භික්‍ෂුව හා සමාජය අතර කවර තරමේ සුහද සම්බන්ධතාවයක් ගොඩනැඟී පැවතුනේ ද යන කරුණයි. බුද්ධකාලීන භික්‍ෂු පරමාදර්ශයන් ඉක්මවා යමින් භික්‍ෂු ජීවිතය තුළට නව පරමාර්ශයන් ඇතුළත්වීමට තරම් ගිහි පැවිදි සම්බන්ධතාව ඉස්මතු විය. භික්‍ෂූන් වහන්සේ සමාජ ශුභ සාධනය සඳහා අසීමිත වූ වගකීම් රැසකට මැදිහත්වීම නිසා ඇතැම් වියතුන් “බුදුසසුන ආගම අතින් ද දේශපාලනය අතින් හා සමාජය අතින් ද රාජකාරි රැසක් කරට ගත් පූජක සංවිධානයක් බවට කෙමෙන් කෙමෙන් පෙරළී ගියේ යැයි” පැවසීමට පෙලඹෙන තරමට භික්‍ෂු කාර්යභාරයේ පෘථුල බවක් ලාංකික සම්බුද්ධ ශාසන ඉතිහාසය තුළ පැවිතිණි.
ශ්‍රී ලාංකික භික්‍ෂූන් වහන්සේ භික්‍ෂු පරමාදර්ශයන්ගෙන් ඉවත්වෙමින් කෙමෙන් පූජක තත්ත්වයට පරිවර්තනය වූවෙකැයි යන මතය සාවද්‍යය. ලාංකික භික්‍ෂු සංස්ථාව සමස්තයක් වශයෙන් ගත්විට එබඳු ප්‍රකාශයක් සාධාරණීකරණය කිරීමට තරම් ප්‍රමාණවත් සාධක අතීත ශාසනවංශ කතාව තුළින් ලබාගැනීම දුෂ්කරය. ශාසන වංශ කතාවේ අතිශය දුර්භාග්‍ය සම්පන්න අවස්ථා කිහිපයක දී හැරෙන්නට අන් සෑම විටකම භික්‍ෂූන් වහන්සේ පූජ්‍යත්වය ආරක්‍ෂාකර ගනිමින් ලෝක ශාසනික උන්නතිය සඳහා ක්‍රියා කළහ. බුදු දහමින් පැසසෙන පූජ්‍යත්වයේ උපරිමය නොවූවත් අවමයවත් ආරක්‍ෂාකර ගැනීමේ ක්‍රියාකාරකම් වලින් භික්‍ෂුව ඈත් වූයේ යැයි පැවසේ නම් එය අමූලික චෝදනාවක් වෙයි. භික්‍ෂූත්වයේ පූජ්‍යත්වය පිළිබඳ ආකල්ප ගිහි සමාජය තුළ තහවුරු කළේ ද භික්‍ෂූන් විසින්මය. බුද්ධකාලීන භික්‍ෂු සමාජයේ පරමාදර්ශය වූයේ අර්හත්වය යි. එහිදී සිදු වූයේ සාංසාරික දුඃඛයෙන් ඉවත්වීම සඳහා සීල, සමාධි, ප්‍රඥාවන් වඩමින් කෙලෙස් මුලිනුපුටා දැමීමේ ස්වාර්ථ සාධනයයි. ප්‍රඥා පරිපාකයේ මුදුන්පෙත්තට නැගී සිටි අතළොස්සකට හැරෙන්නට එම ස්වාර්ථ සාධනමය ක්‍රියාකාරීත්වය ඉක්මන් ප්‍රතිඵල ලබා දුන්නක් නොවේ. ඒ සඳහා බොහෝ දෙනෙකුට සමාජ සම්පර්කයෙන් ඈත්ව ඒකාකාරී ජීවිතයක රැඳෙමින් බොහෝ කලක් අදාළ ප්‍රතිපදාවන්හි නියැළීමට සිදුවෙයි. එබැවින් භික්‍ෂුව සමාජයෙන් ඈත් වූ සමාජයට අනවශ්‍ය පුද්ගලයකුගේ තත්ත්වයට පත්වනු නොවැළැක්විය හැකිය. භාරතයේ දී පවා අරහත් සංකල්පය පිරිහෙළී බෝධිසත්ව සංකල්පය ඉස්මතු වූයේ එබැවිනි. එහෙත් ලාංකික ථේරීය භික්‍ෂුව අරහත් තත්ත්වය ආදර්ශ පාඨය ලෙස තබා ගනිමින් අඩුම තරමින් අරහත් ප්‍රතිපත්ති මාර්ගයෙහි පහළම පියවරෙහි හෝ රැඳී සිට පූජ්‍යත්වය ආරක්‍ෂාකර ගැනීමටත් ශාසනය සමාජයට අනවශ්‍ය අංගයක් නොවන පරිද්දෙන් පමණක් නොව එය සමාජයේ අත්‍යවශ්‍ය අංගයක් වන පරිද්දෙන් ගිහිපැවිදි සම්බන්ධතාව ආරක්‍ෂාකර ගැනීමටත් කැපවීමෙන් ක්‍රියාකළ බවට සාධක කොතෙකුත් ලැබේ.
භික්‍ෂූන් වහන්සේ හා වගකීම්
පැවිද්දේ අරමුණ සියලු දුක් නැති කොට නිවන් පසක් කොට ගැනීමයි. සබ්බදුක්ඛ නිස්සරණ නිබ්බාණ සච්ඡිකරණත්ථාය යන්නෙන් පැවසෙන්නේ එයයි. මූලික පරමාර්ථය මෙය වුවද භික්‍ෂු ජීවිතය හා බැඳුණු වෙනත් අරමුණු ද නැත්තේ නොවේ. යථොක්ත පරමාර්ථය සමග පමණක් බැඳුණු භික්‍ෂු ජීවිතය පැවතුනේ කෙටි කලකි. ධර්මයම ප්‍රමාණ කොටගෙන භික්‍ෂු ජීවිතය සැකසුණු එම යුගය පඨමාභි සම්බෝධි යුගය ලෙස සැලකෙයි. මෙය බුද්ධත්වයේ සිට අවුරුදු විස්සකට පමණක් සීමා වූ කෙටි කලක් ලෙස පිළිගැනෙයි. අනතුරුව ධර්මයට අතිරේකව විනය ද භික්‍ෂු ජීවිතයට ඇතුළත් වෙයි. බුද්ධකාලීනවම ධර්ම විනය යටතේ භික්‍ෂු ජීවිතය හැඩගැසුණු අයුරු පැහැදිලි කරුණකි. ධර්මය මගින් පෞද්ගලික වූ අභිමතාර්ථ සාධනය අර්ථවත් වූ අතර, විනය මගින් භික්‍ෂු සංස්ථාවේ මනා පැවැත්ම අවධාරණය කෙරෙයි. මේ අනුව භික්‍ෂුව හුදු පෞද්ගලික ඒකකයක් පමණක් නොව සාමූහික ඒකත්වයක් ද නියෝජනය කරන්නෙකි. එබැවින් ආදි යුගයේ සිටම ස්වාර්ථය සඳහා උත්සුකවීමේ කාර්යභාරයත් සංස්ථාවේ ප්‍රගතිය හා මනා පැවැත්ම සඳහා වූ කාර්යභාරයත් යන ද්විත්ව ක්‍රියාකාරීත්වය භික්‍ෂු ජීවිතය තුළ අර්ථවත් විය. පරමාදර්ශී භික්‍ෂු ජීවිතය ලෙස පිළිගැනුණේ මෙම ද්විත්ව ක්‍රියාකාරීත්වයෙන්ම පරිපූර්ණ වූ භික්‍ෂු ජීවිතය යි. මෙහිලා පෞද්ගලික මට්ටමින් පැවති විශේෂතා ද දක්නට ලැබේ.
මතුසම්බන්ධයි

