ගුණපාල කාරියවසම්
එදින, බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනාරාම විහාරස්ථානයේ ය. එදින, ගොම්මන් වෙලාවේ එහෙම නැත්නම් ඉර බැසයමින් පවතින හා සඳ නැඟඑමින් තිබූ කාලය උදාවුණා. මේ වෙලාවේ කාළුදායි මහ රහතන් වහන්සේ නිස්කලංක පරිසරයක ගසක් මුල භාවනානුයෝගීව වැඩසිටියා. බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවන් වහන්සේ මේ සිද්ධිය දුටුවා. එම වේලාවේම සැවැත් නුවර ජේතවනාරාමයට දිනපතා දෙතුන් වතාවක් පැමිණෙන කොසොල් මහ රජතුමාත් පැමිණියා. සර්‍වාභරණයෙන් සැරසී සිටි රජතුමාත් ඉතා අලංකාර ලෙස බබළනවා. මේ කාරණා දෙක එනම්, කාළුදායි මහ රහතන් වහන්සේ භාවනානුයෝගීව කල්ගත කිරීමත් කොසොල් මහ රජතුමා සර්‍වාභරණයෙන් සැරසී සිටීමෙන් බබළන අයුරුත් ආනන්ද හාමුදුරුවන් දුටුවා. උන්වහන්සේ මේ බැබළීම් දෙක ගැන ටික වේලාවක් කල්පනා කරමින් සිට බුදුන් වහන්සේ වෙත වැඩියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ ධර්මාසනය මත. උන්වහන්සේත් සවණක් රැස් බුද්ධ රශ්මි මාලාවෙන් බබළනවා.
මේ සියල්ල දුටු ආනන්ද හාමුදුරුවන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරනවා. ස්වාමීනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, දහවල් කාලයේදී සූර්යයා නිසා අහස බබළනවා. රාත්‍රී කාලයේදී චන්ද්‍රයා නිසා අහස බබළනවා. ස්වර්ණාභරණයෙන් සැරසී සිටින රජු ඒ ස්වර්ණාභරණ නිසා බබළනවා. සමාධිගතව භාවනානුයෝගීව වැඩසිටින මහ රහතන් වහන්සේ ඒ නිසාම බබළනවා. ධර්‍මාසනයේ වැඩසිටින ඔබ වහන්සේත් ඒ නිසාම බබළනවා. හරිම පුදුමයි. හරිම ආශ්චර්යයයි” යනුවෙන් ප්‍රකාශ කළා.
“පින්වත් ආනන්දය, ඔබ කී මුල් කාරණා නිවැරදියි. දහවල් කාලයේදී සූර්යයා නිසාත් රාත්‍රී කාලයේදී චන්ද්‍රයා නිසාත් අහස බබළනවා. ස්වර්ණාභරණ නිසා රජු බබළනවා. භාවනානුයෝගීව වැඩසිටීමෙන් රහතන වහන්සේත් ඒ පරිසරයත් බබළනවා. නමුත් බුදුවරයෙක් බබළන්නේ ධර්‍මාසනයේ වැඩසිටින නිසාම නොවෙයි. බුදුවරයෙක් බබළන්නේ කරණා පහක් නිසයි. උන්වහන්සේලාගේ සීල තේජස, ගුණ තේජස, ප්‍රඥා තේජස, කුසල තේජස හා ධර්‍ම තේජස නිසයි බබළන්නේ” යනුවෙන් බුදුන් වහන්සේ පහදා දුන්නා.
මේ කාරණා පහ පිළිබඳව මේ වැදගත් පොහොය දිනයේ කරුණු ටිකක් සොයා බලමු. සීමිත ඉඩකඩක් තුළ ඉතා කෙටියෙන් කරුණු ඉදිරිපත් කරන නිසා තවදුරටත් පොතපත කියවා බලා, ධර්‍ම දේශනාවන්ට සවන්දීමෙන් ඔබේ දැනුම වැඩිදියුණු කරගන්න.
සීල තේජස
බුදුන් වහන්සේනමක් ගසක් මුල වැඩසිටියත් ගලක් මත වැඩසිටියත්, අමු සොහෙනක වැඩසිටියත් බබළනවා. ඒ උන්වහන්සේලා තුළ තිබෙන සීල තේජස නිසයි. සීලය ඇති අය අතරත් සීලය නැති අය අතරත් වෙනසක් නොමැතිව බබළනවා. බුදු කෙනකුගේ සීලය මෙතෙකැයි කියා වචනයෙන් කියා නිම කළ නොහැකියි. අනන්තයි. අප්‍රමාණයි. එය උපමා කළ හැක්කේ තවත් බුදුවරයකුගේ සීල තේජසට පමණි. උන්වහන්සේලා දිවා – රාත්‍රී දෙකේදී වෙනසක් නොමැතිව බබළනවා. බුදුන් වහන්සේ නමක් පුරුදු පුහුණු කරන ලද සීලය අනුපමේයයි. ගෞතම බුදුන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තුළම සීලය පුරුදු පුහුණු කළා. සීල පාරමිතාව, පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී වශයෙන් වැඩුවා. මේ නිසා ධර්‍මාසනයේ වැඩසිටියත් කොතැනක වැඩසිටියත් තේජසින් බබළනවා.
ගුණ තේජස
ගුණ ඇති – නැති දෙපිරිස අතරම බුදු කෙනෙක් බබළනවා. බුදුවරයකුගේ ගුණ අනන්තයි. අප්‍රමාණයි. කියා නිම කළ නොහැකියි. කෝටියක් මව්වරුන්ගේ හා කෝටියක් පියවරුන්ගේ ගුණ එක පිඬක් කළ ද එය එක් බුදුවරයකුගේ ගුණ අතර අබ ඇටයක් හා සමානය. එක් බුදුවරයකුගේ බුද්ධ ජීවිතය තුළම බුදුවරයකුගේ ගුණ ප්‍රකාශ කළ ද අවසන් කළ නොහැකි බව පොතපතෙහි සඳහන් වේ. සාමාන්‍ය ලෝකයා හට අනන්ත බුදුගුණස්කන්ධය පිළිබඳව එක්තරා ප්‍රමාණයකට දැනුමක් ඇති කරගත හැකි වනු පිණිස තථාගතයන් වහන්සේ විසින් බුද්ධ ගුණයත් නව කොටසකට බෙදා පද නවයකට සකල බුද්ධ ගුණස්කන්ධය ඇතුළු කොට බුදුගුණ පාඨයක් වදාරා ඇත. එය, ඔබ – අපි කවුරුත් දන්නා “ඉතිපිසෝ…” ගාථාවයි.
ප්‍රඥා තේජස
බුදුවරයෙක් තරම් ප්‍රඥාවන්තයෙක් මුළු තුන් ලෝකයේම නැත. උන්වහන්සේගේ මුවින් පිටවන එක වචනය පවා සදාකාලික වටිනාකමක් තිබෙනවා. එයින් අන් අයට පිහිටක් ලැබෙනවා. එය මෙලොව පරලොව දෙකම සඳහායි. ප්‍රඥා පාරමිතාව තුන් ආකාරයකින් කල්ප ගණනක් තිස්සේ පුරුදු පුහුණු කරලයි එම ප්‍රඥාව ලබාගෙන ඇත්තේ. බුදුරජාණන් වහන්සේ සමග වාද කර උන්වහන්සේ පරාජය කරමියි වහසි බස් දොඩමින් වාදයට පිවිසි බ්‍රාහ්මණ, ගෘහපති, සේලක, අසේලක, පරිබ්‍රාජික ආදී පඬිවරුන් උන්වහන්සේ ඉදිරියේ වාද නොකරම මුනිවත රැකි අවස්ථා රැසක්ම බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. උන්වහන්සේගේ ප්‍රඥා මහිමයේ තරම හෙවත් ප්‍රඥා තේජස එයින්ම අපට වටහාගත හැකිය.
කුසල තේජස
බුදුවරයෙක් තරම් කුසල් එක්රැස් කරගත් වෙනත් අයෙක් මේ තුන් ලෝකයේම නැත. ඒ විතරක් නොවෙයි. කුසලයෙහි ආනිශංස පවා හොඳින් දන්නවා. බුදුන් වහන්සේලාගේ අවවාදය වන්නේ ‘සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා’ යන්නයි. ඒ නිසා පව් දුරු කර කුසල් රැස් කරගැනීම අතින් බුදුන් වහන්සේලා ශ්‍රේෂ්ඨයි. ගෞතම බුදුන් වහන්සේ පිරිනිවන්පා වසර 2568 ක් ගතවී ඇතත් අදටත් උන්වහන්සේ වෙනුවෙන් වැඳුම් පිදුම් කරනවා. කුටි ආවාස පූජා කරනවා. ප්‍රතිමා නිර්මාණය කරනවා. ඒ උන්වහන්සේගේ කුසල තේජස නිසයි. උන්වහන්සේ පිරිනිවන් පෑවත් කුසල තේජස තවම පවතිනවා. ජීවමානයි. ලොව පුරා විසිරී පවතින උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා ඊට සාක්ෂි දරනවා. කුසල යන වචනයේ අර්ථය කුසලතාවය හෙවත් දක්ෂතාවය යන අර්ථයෙන් ගත් කල ද බුදුන් වහන්සේ තරම් දක්ෂතාවයන්ගෙන් පිරිපුන් අයෙක් මේ තුන් ලෝකයේ මෙන්ම දස දහසක් සක්වළ තුළම නැත. ඒ කුසල තේජස නිසා බුදුන් වහන්සේ බබළනවා.
ධර්‍ම තේජස
සියල්ල දත් ශ්‍රේෂ්ඨ උත්තමයන් වන්නේ බුදුන් වහන්සේලා පමණයි. උන්වහන්සේලා ප්‍රකාශ කළ දේ ධර්‍මයයි. ගුරූපදේශ රහිතවයි ඒවා දැන ගත්තේ. උන්වහන්සේගේ ගුරුවරයා ලෙසින් තෝරා ගත්තේ ද එම ධර්මයමයි. ත්‍රිපිටකය ලෙසින් අසූහාර දහසක් ධර්‍මස්කන්ධය එහි අන්තර්ගතව ඇත. සතර අපාය, සදෙව් ලොව මෙන්ම සියලු බ්‍රහ්ම ලෝක ගැනත් උන්වහන්සේ අතෙහි තිබෙන නෙල්ලි ගෙඩියක් ලෙසින් උන්වහන්සේ මනාව දක්වනවා. මේ ලෝක තල 31 ගැන කරුණු පහදා දුන්නේ බුදුන් වහන්සේයි. එදා දේශනා කළ පිරිතේ බලය අදත් පවතිනවා.
ඉහත කෙටියෙන් දැක්වූ සීල තේජස, ගුණ තේජස, ප්‍රඥා තේජස, කුසල තේජස හා ධර්‍ම තේජස නිසා බුදුරජාණන් වහන්සේ කවර ස්ථානයක කවර ආකාරයකින් වැඩසිටියත් අනෙකුත් සියලු භෞතික වස්තූන් හා පුද්ගලයන්ට වඩා බුදුන් වහන්සේ බබළනවා. මේ නිසා පොතපත පරිශීලනය කරමින්, ධර්‍ම දේශනාවන්ට සවන් දෙමින්, ධර්ම සාකච්ඡා පවත්වමින් තව තවත් බුදුන් වහන්සේගේ තේජස පිළිබඳව කරුණු අවබෝධ කරගන්න. එය මහා කුසලයක්.

