පහසුව වෙසින් එන අපහසුව

rashi
By rashi
3 Min Read

සමාජයේ වැඩි දෙනෙකු සොයමින් සිටින්නේ අපහසුතා අවම දිවියක් අඛණ්ඩ ව ගත කිරීමේ උපායයන් ය. හැකිතාක් සුව පහසු ලෙස ජීවත් වීමේ මාර්ගයන් ය. එහෙත් ඇත්ත නම් පහසු දිවියක් අඛණ්ඩ ව ගත කිරීම යනු මුළාවක් බව ය. පහසු දිවියක් ගත කිරීම ස්ථිරසාර වූවක් නො වේ. සැම විට ම වෙනස් වීමේත්, පහසුව, සතුට හා සැනසුම අහිමි වීමේත් අවදානම එහි දැවටී පවතියි. පහසුවෙන් ජීවත් වීමට ගන්නා උත්සාහයන්හි දී එක් අපහසුවක් නැති කිරීමට ගොස් තව අපහසුතාවකට මුහුණ දීමට අපට සිදු වේ. සමහර විට අපේ අපහසුව නැති කරගැනීම හරහා තව කෙනෙක් හෝ පිරිසක් අපහසුතාවකට පත් වේ.

බුදු දහම ජීවිතයේ අපහසුතා නැති කරගන්නා නුවණැති ම මඟ පෙන්වා දෙයි. ඊට අනුව සිතනවා නම් අප දියුණුව පිණිස යැ යි සිතා මේ අනුගමනය කරන්නේ කෙතරම් අමනෝඥ ක්‍රියාපටිපාටියක් ද යන්න වැටහෙයි. දහම අවබෝධ වූවා නම් සිතන කියන කරන හැම දෙයක් ම අප කරනු ඇත්තේ අපේ ලෞකික සුබසිද්ධිය පමණක් ඉලක්ක කරගෙන නො වේ. කර්ම විපාක ගැන ද අප සැලකිලිමත් විය යුතු වේ. මේ දිවිය පහසු කරගන්නට ගොස් අප අපේ මතු භවයන්හි දිවිය මීටත් වඩා අපහසු කරගන්නවා විය හැකි ය. අප වෙහෙස විය යුත්තේ ඒ අවදානම දුරු කරමින් යා හැකි මඟ අනුගමනය කිරීමට ය.

සමහරුන් මේ සම්බන්ධයෙන් කෙතරම් අසංවේදී ද යත් කරන්නේ ම සසර දිවිය තව තවත් අඳුරේ හෙළාගන්නා ක්‍රියාකාරකම් ය. නිදසුනක් ලෙස ඔවුහු තම පහසුව, සුඛ විහරණය උදෙසා අනුන්ගේ සම්පත් කිසිදු තැකීමක් නො කර කොල්ලකති. තව කෙනෙකුට ලැබෙන්නට තිබෙන දෙයක් ලැබීම පවා වළක්වති. සමහරු ඒ සඳහා නිදහසට කරුණු ද කියති. අප කරන්නේ හොරකමක් වංචාවක් වුවත් ඒ උපයාගත් දෙයින් තව කී දෙනෙක් දිවි ගැටගසාගන්නවා දැ යි සමහරු තම හොර මැරකම් සාධාරණීකරණය කරති. වඩාත් හාස්‍යයට කරුණ නම් මේ අය ම, තවත් කෙනකු පොල් කෙන්දක තරම් වරදක් කළත් එය පොල් පරාලයක් තරම් විශාල ව දැක ඊට එරෙහි ව හඬ නැඟීම ය.

මේ එක න්‍යායක් වත් කර්ම විපාක න්‍යාය අබිබවා යෑමට සමත් නො වේ. තමන්ගේ පහසුව සඳහා වැරදි මාර්ග තෝරාගත් අය, අන් අය අමාරුවේ දැමූ අය ඊළඟ වතාවේ කටුක ප්‍රතිඵල භුක්ති විඳිනවා ඇත. ඒ ඊළඟ වතාව උදා වන්නේ අද ද, හෙට ද, අනාගතයේ යම් දවසක ද, මතු උපතක දී ද කියා නිශ්චිත ව කිව නොහැකිවා පමණි.

මේ ජීවිත ගමන සීරුවෙන් යා යුත්තකි. දහමට අනුව නම් සෙනග රැස් වී නටමින් සිටින එළිමහන් සැණකෙළි භූමියක උපරිමයට ම තෙල් පිරවූ පාත්‍රයක් දෑත දරාගෙන සෙනග අතරින් රිංගමින් තෙල් බිඳක් හෝ නො සැලෙන ලෙස යනවාක් තරම් සීරුවට යා යුත්තකි. ඒ උපමාවට අනුව මඳක් හෝ හැලහැප්පීමක් සිදු වී තෙල් බිඳක් හෝ ඉහිරුණ හොත් සෙවණැල්ල මෙන් පසුපසින් පැමිණෙන මාරයාගේ කඩු පහරට නියත වශයෙන් ගොදුරු වීමට සිදු වේ!

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *