හැකියාවයි උවමනාවයි

cmadurawala
2 Min Read

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගච්ඡන් පිඵීලිකෝ යාති යෝජනානාම් ශතාන්‍යපි
අගච්ඡන් වෛනතේයෝ’පි පදමේකං න ගච්ඡති

(යන්න උවමනා නම් කූඹියාට වුවත් යොදුන් සිය ගණනක් ගිය හැකිය. යන්නට උවමනා නැත්නම් ගුරුළාට එක පියවරක්වත් යා නොහැක.)

අපි හුඟක් වෙලාවට වැඩ සැලසුම් කරමු. වැඩ කිරීමට ද සිතමු. වැඩ පටන් ගැනීමට ද සිතමු. වැඩය කොට නිම වූ පසු ලැබෙන ලාභ හා පාඩු ද තක්සේරු කරමු. එහෙත් ලේසියකට වැඩ පටන් නොගනිමු. පටන්ගන්නා වැඩ නිම නොකරමු. ඉබ්බාගේ හාවාගේ කතාව මතක ඇති නේද? වේගයෙන් දුවන හාවා පැරදුණේ හිමින් යන ඉබ්බාටය.

එකම හේතුව දුවන්නට උවමනාව තිබීම හා උවමනාව නැතිකමය. වැඩක් කරන්නට පුළුවන් වුණාට වැඩක් නැත. ඕනෑකම තිබීම අවශ්‍යම ය. දුවන්න පුළුවන්කම තිබුණාට හාවාට වැඩක් වුණේ ද නැත. දුවල දිනන්න පුළුවන් වුණේ දුවන්න බැරි ඉබ්බාටය. ඕනෑකම තියෙනවා නම් අනිත් මොන නෑකම නැතත් කමක් නැත. ඉගෙන ගන්න පුළුවන් වුණාට වැඩක් නැත. විභාග සමත් වන්නට උවමනාව තිබිය යුතුය.

කූඹියා කුඩා සතෙකි. ගුරුළා ඒ වාගේ නොවේ. ඌ බලසම්පන්නයි. කූඹියාට කුඩා දුරක් වුවත් යන්නට පැය ගණනක් ගතවේ. ඒත් ගුරුළාට විනාඩි ගණනකින් සැතපුම් ගණන් යා හැක. යන්ඩ ඕනෑ නැත්නම් ඒ පුළුවන්කමෙන් වැඩක් නැත.

ඌ එක තැනම සිටී. පුළුවන්කම ජයග්‍රහණයට හේතුවක් නොවන්නේ ඒ ආකාරයට ය. කූඹියාට කළ හැක්කේ කුමක්ද? ඌ ඉතා කුඩා සතෙකි. කඩිසර කූඹියා සැතපුම් ගණන් යෑමට හැකියාව ලබයි. උගේ පුංචිකම හැකියාවට බලපා නැත. එහෙයින් හැකියාව තිබුණ ද උවමනාව නැත්නම් කාර්යය ඉටුවන්නේ නැත. හැකියාව අඩු වුණත් උවමනාවක් තිබේ නම් අරමුණු ඉටුකර ගන්න හැකි වේවි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *