බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ගම්පහ ජාත්‍යන්තර සාම මහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය තලංගල්ලේ සෝමසිරි නාහිමි
සාකච්ඡා සටහන: ආර්.ඒ. නයනානන්ද
බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයාගේ විමුක්තිය උදෙසා දේශනා කළ ධර්මය අයත් වන්නේ ආගමකට වඩා දර්ශනයකටය. බුද්ධ දේශනාව ආගමක් වශයෙන් ගතහොත් ලොව පවතින ආගම් අතරින් බුදුදහමට සුවිශේෂී තැනක් හිමිවෙයි. බුදුදහම ප්‍රඥාව හා ශ්‍රද්ධාව (පැහැදීම) යන කරුණු දෙක මත පිහිටියකි. ශ්‍රද්ධාව ආමිස පූජාවන් කෙරෙහි ද ප්‍රඥාව ප්‍රතිපත්ති පූජාවන් කෙරෙහි ද පවතී. පුද්ගලයාගේ සංසාරික විමුක්තිය උදෙසා ආමිස පූජාවන් මෙන්ම ප්‍රතිපත්ති පූජාවන් ද අවශ්‍ය වේ.
ආමිස පූජාවන් යනු දන් දීම, බුදුරජාණන් වහන්සේ උදෙසා විවිධ පුද පූජාවල නිරතවීම, එනම් ආහාරපාන, ගිලන්පස පූජා, මල් පූජා, පහන් පූජා, පිරිකර පූජා, කඤ්චුක පූජා ආදිය පැවැත්වීමයි. බෝධි පූජා පැවැත්වීම ද ආමිස පූජාවකි. ප්‍රතිපත්ති පූජාවන් යනු ප්‍රතිපත්තිගරුකව ජීවත් වීමයි. ඒ සඳහා සිල් සමාදන් වීම, භාවනා කිරීම ආදිය උපයෝගි කරගත හැකිය.
දාන, සීල, භාවනා යනු බුදුදහමෙහි සඳහන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවෝය. තමන් සතු දෙය පරිත්‍යාග චේතනාවෙන් යුක්තව දීම දානයයි. කයත් වචනයත් සංවර කර ගැනීම සීලයයි. භාවනාව යනු පිරිසිදු සිතුවිලි දියුණු කර ගැනීමයි. ඇති සැටි අවබෝධ කර ගැනීමෙන් ඒ ගැන නැවත නැවත සිතීමයි. දානයෙන් සිත තුළ පවත්නා ලෝබය, මසුරුකම, ආශාව තාවකාලිකව යටපත් කෙරේ. වැරදි ක්‍රියාවලින්, වැරදි කතාබසින් ඈත්ව මනා හැසිරීමක් ඇති කර ගැනීම සීලයෙන් අපේක්‍ෂා කෙරේ. සිත හික්මවා ගැනීමටත්, ප්‍රඥාව දියුණු කරගැනීමටත් භාවනාව උපකාරි වේ.
වර්තමානයේ බොහෝ බෞද්ධයෝ මෙම ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතරින් ආමිස පූජාවට අයත් දාන පින්කම් සඳහා නැඹුරු වී සිටිති. ඒ බව වෙසක්, පොසොන් පොහෝ සමයන්හි සංවිධානය කරන්නා වූ දන්සල් සාක්‍ෂි දරයි. ආහාරපාන පමණක් නොව ඇඳුම් පැලඳුම්, පොත්පත්, ලිපිද්‍රව්‍ය මෙන්ම නූතන තාක්‍ෂණික සේවාවන්ට අදාළ දුරකථන කාඩ්පත් (phone card), අන්තර්ජාල කාඩ්පත් (data card) ආදිය පිළිබඳ දන්සල් පවා පැවැත්වේ.
බුදුරජාණන් වහන්සේ වඩාත් අගය කළේ ආමිස පූජාව නොව ප්‍රතිපත්ති පූජාව ය. පහත දැක්වෙන අවස්ථා දෙකෙහිදීම බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශ ඊට නිදසුන් වේ.
බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වස (අවසන් වස් කාලය) බේලුව නම් ගමෙහි ගත කොට සැවැත්නුවරට වැඩම කොට සිව් මසකින් පිරිනිවන් පාන බව වදාළහ. එය ඇසූ බොහෝ භික්‍ෂුහු උන්වහන්සේ පිරිවරා ගෙන සිටියහ. පෘථග්ජන භික්‍ෂුහු කඳුළු සලමින් ඇවිද්දහ. රහතන් වහන්සේලාට ධර්ම සංවේගය පහළවූහ. සෙසු භික්‍ෂුහු ශෝකාකූලව සිටියහ. නමුත් ධර්මාරාම භික්‍ෂුව බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීම රහත්වීමට උත්සාහ කළහ. ධර්මාරාම භික්‍ෂුව ධර්මය මෙනෙහි කරමින් භාවනා කරන්නට වූහ. මෙය දුටු අනික් භික්‍ෂුහු බුදුරජාණන් වහන්සේ හමුවී “ධර්මාරාම භික්‍ෂුව ඔබවහන්සේට ඇල්මක් නැත”යි කීහ. උන්වහන්සේ ධර්මාරාම භික්‍ෂුව කැඳවා මේ ගැන විමසා භාවනා කරනු අසා සාදු කාර දී මෙසේ වදාළ සේක.
“මහණෙනි, මට සෙනෙහෙ ඇත්නම් ධර්මාරාම භික්‍ෂුව මෙන් විය යුතුය. මල් සුවඳ ආදී ආමිස පූජාවෙන් පූජා කරන්නෝ මට නිසි ලෙස පුදන්නෝ නොවෙති. ධර්මානුකූල ප්‍රතිපත්තියෙහි යෙදුණු තැනැත්තෝ මා පුදන්නෝ වෙති.”
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මඤ්චකයෙහි සිංහ සෙයියාවෙන් සැතපුණු කල්හි දෙව් බඹුන් සුවඳ මල් ආදියෙන් පුදන්නට පටන් ගත් කල්හි ආනන්ද තෙරුන්ට මෙසේ වදාළ සේක.
“ආමිස පූජාව මා හට කරනු ලබන නියම පූජාව නොවේ. නව ලොව්තුරා ධර්මයට අනුව ප්‍රතිපත්ති පුරන තැනැත්තා උතුම් පූජාවෙන් මා පුදන්නා වෙයි.”
බියෙන් තැති ගත් බොහෝ මිනිස්සු පර්වතයන් ද වනයන් ද ආරාමයන් ද ගස්කොළන් ද චෛත්‍යයන් ද සරණ යන බව ධම්මපදයේ බුද්ධ වග්ගයේ මෙසේ සඳහන් වේ.
බහුං වේ සරණං යන්ති
පබ්බතානි වනානි ච
ආරාම රුක්ඛ චේතියානි
මනුස්සා භය තජ්ජිතා
අනතුරුව ධම්මපදයේ බුද්ධ වග්ගයේ සඳහන් වන ගාථා ධර්මයන්හි මෙකී සියලු සරණය, උතුම් නොවන බවත් ඉන් දුකින් මිදීමට ද නොහැකි බවත් දැක්වේ. යමෙක් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ ගොස් චතුරාර්ය සත්‍ය මනාකොට විදර්ශනා නුවණින් දකින්නේ නම් එම සරණ ඉතා උතුම් බවත් සසර දුකින් මිදීමට ද හේතු වන බවත් තවදුරටත් එහි සඳහන් වේ.
වර්තමානයේ බොහෝ බෞද්ධයෝ පින්දම්හි නියැළී ප්‍රාර්ථනා කරන්නේ මෙතේ (මෛත්‍රිය) බුදුන් දැක නිවන් දැකීමට ය. නිර්වාණාවබෝධයට (සසර දුකින් මිදීමට) මෛත්‍රී බෝධිසත්වයෝ බුදුවන තෙක්ම සිටිය යුතුද? නැත. සත්‍ය වශයෙන්ම නිවන් දැකීමට ජීවමාන බුදු කෙනකු සිටීම හෝ ජීවමාන බුදු කෙනකුන් දැකීම හෝ අවශ්‍ය නොවේ.
“යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති” (යමෙක් ධර්මය දකී නම් හෙතෙම මා දකී) යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සේක. මෙහි ධර්මය දැකීම යනු වෙන කිසිවක් නොව ප්‍රතිපත්තියට (ධර්ම මාර්ගය) අනුව ජීවත් වීමය.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට මොහොතකට පෙර “මාගේ ඇවෑමෙන් නුඹලාට ධර්ම විනය දෙක ශාස්තෘන් වන්නේය” යැයි වදාළ සේක. මෙහි ධර්ම විනය දෙකෙහි ඇතුළත් වන්නේ ප්‍රතිපත්ති කරුණු හෙවත් ප්‍රතිපත්ති පූජාවය.
සියලු බෞද්ධයෝම නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරති. ප්‍රාර්ථනාව පමණක් ප්‍රමාණවත් නැත. ඒ සඳහා යා යුතු මාර්ගයක් ද වේ. එය ආර්ය අෂ්ටාංගික මාර්ගය වේ. සම්මා දිට්ඨි (යහපත් දැකීම), සම්මා සංකප්ප (යහපත් සංකල්පනාව), සම්මා වාචා (යහපත් වචන), සම්මා කම්මන්ත (යහපත් කර්මාන්ත), සම්මා ආජීව (යහපත් දිවිපැවැත්ම), සම්මා වායාම (යහපත් උත්සාහය), සම්මා සති (යහපත් සිහිය), සම්මා සමාධි (යහපත් සිතේ එකඟකම) යන අංග අට ආර්ය අෂ්ටාංගික මාර්ගය වේ. මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමට නම් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ප්‍රතිපත්ති පූජාවෙහි නියැළිය යුතුය. එනිසා උදාවූ නව වසරේ ඔබගේ ප්‍රාර්ථනා අතරට ප්‍රතිපත්ති පුජාවෙහි නියැළීමටත් අදිටන් කරගන්න. ප්‍රතිපත්ති පූජාවෙහි නියැළීම ඔබ නිර්වාණාවබෝධය පිණිස යොමු කරවයි.

