කපිල පීරිස්
සත්වයා යනු සංසාරගත නාම රූප ක්‍රියාවලියයි. ඉන්ද්‍රියානු බද්ධ ප්‍රසාද රූප ආශ්‍රිත නාම ධර්ම මගින් මෙය ක්‍රියාත්මකය. මේ ක්‍රියාවලිය ස්වාභාවිකව සිදුවන්නේ නාමධර්මයන්හි අඩංගු වේදනා චෛතසිකය නිරතුරුවම සොම්නස් ලෙස තබා ගැනීම වෙනුවෙන්ය (පටිච්ච සමුප්පාදය යනු මෙයයි). සමස්ත ලෝකයම අවසාන වශයෙන් ක්‍රියාත්මක වන්නේ මේ වෙනුවෙන්ය. නාම ධර්මයන්හි අන්තර්ගත අකුසල චෛතසික ගොන්න මේ සඳහා මූලිකත්වය ගනී. සොම්නස-නන්දිය කැමැත්ත තීරණය කෙරෙන දිට්ඨි සංඛාර පොදියක් අපේ සිත්වල ඇත. මේවා වෙනුවෙන් රාගයෙන් ආශාවෙන් හා ඒවා නොලබන විට ද්වේශය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ තණ්හාවය. මේ සොම්නස අරුත් ගන්වන්නේ මම-සක්කාය දිට්ඨියකට සාපේක්ෂකවය. එක් එක් කෙනාගේ කැමැති අකැමැතිකම් සහිතව දිට්ඨි සංඛාර ගොඩනැගෙන්නේ එක් එක් කෙනාගේ “මම ට” සක්කාය දිට්ඨියට සාපේක්ෂකවය. මෙහිදී සමස්ත ක්‍රියාවලියෙන් කොටසක් මගේ ලෙස ගෙන එය මට ඕනෑ ලෙස මගේ කැමැත්ත සතුට පරිදි පැවැතිය යුතුය ලෙස ගැනේ. ඇත්තටම සක්කාය දිට්ඨිය යනු මේ දිට්ඨි සංකාර පොදියයි. මේ සක්කාය දිට්ඨිය ලෙස ගැනෙන සංඛාර දිට්ඨි පොදිය සෑම විටම පොරකන්නේ වේදනා චෛතසිකය සොම්නස් කිරීමටය. එහෙත් මේ දිට්ඨි සංඛාර පොදියට කෙලෙසකවත් සිතේ සොම්නස, සහනය දිගුකාලීනව ඇති කළ නොහැකිය.
සංඛාර – දිට්ඨි සහිත සිතේ නිරතුරුව අරමුණු පැන නගින අතර, ඒවා පෙරළා මේ සංඛාර- දිට්ඨිවල ගැටෙන විට (මනෝ ධම්ම ලෙස) වේදනාව හට ගනී. මේ වේදනාව ඇති නැති වන්නකි. මේ සංඛාර – දිට්ඨි වලට සාපේක්ෂව විටෙක සොම්නස් සහගත අරමුණක් ඇති වී සිතේ යම් සතුටක් – සහනයක් ඇති වුවත්, එය වහා වෙනස් වී යයි. දුකක් හට ගනී. දොම්නස් සහගත අරමුණක් ඇති වුවහොත් එය එකෙණෙහිම ඇති කරන්නේ දුකය. එවිට ඒ සමග ගැටී එම දුක තවත් වැඩි කර ගමු. මේ සංඛාර – දිට්ඨි අප කවර ආකාරයකට ගොඩනගා ගත්තද ඒ ඔස්සේ පැන නගින අරමුණු මේවා සමග ගැටීම, එනම් අරමුණු – සංඛාර නමැති අනිත්‍ය චක්‍රය අනෙකක් නොව දුකය.
අප (සක්කාය දිට්ඨිය) සොම්නස වෙනුවෙන් මේ දිට්ඨි – සංකාර ගොඩනගන අතර ඒ ඔස්සේ ඇතිවන අරමුණු පෙරළා මේ සංඛාර දිට්ඨිවල ගැටීම තුළ නිරතුරුවම ක්‍රියාත්මක වන්නේ සොම්නස් /දොම්නස් චක්‍රයයි. එයයි දුක. අප බාහිර ලෝකයේ යම් දෙයකින් හෝ තත්වයකින් සතුටුවීම පිණිස සංකා /දිට්ඨි සකසාගෙන ඇතැයි සිතන්න. එසේ ගොඩනැගූ විගස (ඒ බාහිර දේ එලෙසම පැවැතියද) ඒ සංඛාර මත ගොඩනැගෙන විවිධ අරමුණු මේ සංඛාරයේම ගැටීම තුළ සොම්නස් – දොම්නස් චක්‍රය ක්‍රියාත්මක වේ. එය කිසිදා සොම්නස් තත්වයේම පවත්වාගත නොහැකිය. මේ අනිත්‍ය චක්‍රය අපේ වසගයේ නැත. මේ සංඛාර – දිට්ඨි අරමුණු චක්‍රයේ අනිත්‍යය තමයි දුක.
මේ සංකාර – දිට්ඨි පොදිය අනිත්‍ය වනවා පමණක් නොව හරසුන්ද වේ. එනම් අපේ වේදනා චෛතසිකය දිගටම සොම්නස් කිරීමේ හැකියාවක් මීට නැත. මේ සංඛාර – දිට්ඨි පොදිය කෙසෙල් කඳක පතුරු බඳුය. මේවා එකින් එක ගැලවෙන විට අවසානයේ අභ්‍යන්තරයේ කිසිදු හරයක් නැත. මේ සංඛාර – දිට්ඨි පොදිය ගැලවී යන විට එය කරණකොටගෙන නිමැවී තිබූ සක්ඛාය දිට්ඨිය ද ඉබේම අහෝසි වී යයි. සක්ඛාය- දිට්ඨිය දුරු කිරීමට ප්‍රථමයෙන්ම උත්සාහ ගැනීම වෙනුවට සක්ඛාය දිට්ඨිය පෝෂණය කරන එක් එක් දිට්ඨි සංකාර වල හරසුන්භාවය සහ අනිත්‍ය ප්‍රකට කර ගනිමින් මේ සංඛාර එකිනෙක පිළිවෙළින් බැහැර කළ හැකි නම් අවසානයේ සක්ඛාය දිට්ඨියද ප්‍රහාණය කළ හැකි වේ.
අප සසර පුරා පුරුදු වී ඇත්තේ විවිධ සංඛාර – දිට්ඨි ඔස්සේම සිත පිනවීමටය – සොම්නස් කිරීමටය. මේ සංකාර – දිට්ඨි ගොඩනගත්ම ඒ සමගම ඇති වන විවිධ අරමුණු ඒවායේ ගැටීම තුළ කවර දොම්නස් තත්වයක් ඇති වුවද අප නිරතුරුවම පෙළඹෙන්නේ නැවත නැවත දිට්ඨි – සංඛාර ගොඩනගමින් (එනම් විවිධාකාරයට තර්ක කරමින්, සිතමින්) සිත සොම්නස් කර ගැනීමටය. මේ සංඛාර – දිට්ඨි – අරමුණු චක්‍රය පාලනය කිරීමට උත්සාහ ගැනීමෙන් මොහොතක් හෝ වැලකී සිටීමට අපට සිතෙන්නේම නැත. දුක් සහගත අරමුණුවල ගැටෙමින් (අදාළ සංඛාර සමග) සොම්නස් අරමුණුවල ඇලෙමින් මේ චක්‍රය කෙසේ හෝ සොම්නස් තත්වයේ දිගටම පවත්වා ගැනීමටමය අපගේ උත්සාහය වන්නේ. මේ චක්‍රය සමග පොර බැදීමෙන් මොහොතක් හෝ ඈත්වීමට අප පෙළෙඹෙන්නේ නැත. භාග්‍යවතුන් වහන්සේ නිරතුරුව පෙන්වා වදාරන්නේ මේ චක්‍රය සමග පොර බැදීමෙන් මිදීමෙන් මිස අපට සහනයක් ලද නොහැකි බවයි. සිත පාලනය, සිත එක අරමුණක තබා ගැනීම (මේ සඳහාය සිහිය වැඩිය යුත්තේ) චිත්ත සමාධිය අවශ්‍ය වන්නේ මේ සඳහාය. මේ දුක් චක්‍රය පිළිබඳව මනා අවබෝධයක් ඇතිව එනම් එය දැනීමෙන් අනතුරුව එය දැකීමට යොමුවීමය වැදගත්.
ඇත්තටම අප කළ යුත්තේ මේ සංඛාර – දිට්ඨි- අරමුණු චක්‍රය එලෙසම ක්‍රියාත්මක කිරීමට ඉඩහැර (Let it go) අපගේ මේ මොහොතේ වැඩකටයුතු කරගෙන යාමය. අපට යම් සිහියක් සහ මේ පිළිබඳව අවබෝධයක් ඇති නම්, (සති සම්පජඤ්ඤය) මේ දුක්ඛිත චක්‍රය සමග පටලැවීමට නොගොස් අපේ වැඩ කටයුතු කරගෙන යා හැකයි. මේ චක්‍රය නවත්වාලිය හැකි එකම මග එයයි. මෙය සිතීමෙන් තර්ක කිරීමෙන් කළ හැක්කක් නොවේ. සසර පුරා ලබා ඇති අත්දැකීම් මගින් අත්දැකීම් වලින් මිදුණු තත්වය කෙලෙස නිශ්චය කරන්නද? සිතීම, තර්ක කිරීම යනු ඒ දුක්ඛිත චක්‍රය තුළට පිවිස නැවතත් ඒ අනිත්‍යවූ අපේ වසඟයේ තබා ගත නොහැකි ඒ චක්‍රය තුළ තැලී පොඩිවී යාමය.
සක්කාය දිට්ඨිය මේ සංඛාර – දිට්ඨි – අරමුණු “මගේ“ කරගෙන ඇත. අප සොම්නස් කර ගැනීමට වලිකන වේදනා චෛතසිකය දොම්නස් කරන්නේම (දුක ඇති කරන්නේ) මේ චක්‍රය බව නොදැනීමය අවුල (මෝහය)
මේ සැබෑ අවබෝධය ඇති කිරීමට බාධාවක් වන්නේ විචිකිච්ඡා චෛතසිකයයි. මේ සැකය අපව මේ දුක්ඛිත චක්‍රයෙන් මිදීම වලකාලයි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරණ සදා සැනසීම ඇති කරන මග වැඩීමට යොමු වීම වලකාලන්නේ මෙම විචිකිච්ඡාවයි. එනම් මේ මග වැඩීමෙන් (මුලික වශයෙන් අප සොම්නස සොයන ඒ සංඛාර – දිට්ඨි- අරමුණු චක්‍රයෙන් මිදීමෙන්) සදා නිවීම අත්වන බවට සපථ කෙරෙන භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ඇති සැකයයි.
පංචනීවරණ ධර්ම මගින් අපව මේ චක්‍රයේ බැඳ තබා ඇත. විවිධ කැමති – නන්දි වලින් සිත පුරවා ඇත. (කාමච්ඡන්දය) ඒවා නොලබන විට ඊට එරෙහි වීමට කටයුතු යොදා ඇත. (ව්‍යාපාදය) කැමති දේ හැර අන් දේ කිරීමට, මේ චක්‍රයෙන් මිදීමට උදාසීන බවක් ඇත. (ථීන මිද්ධය) සංඛාර දිට්ඨි අරමුණු චක්‍රය අතිශය නොසන්සුන්ය (උද්ධච්ච කුක්කුච්ච) මේ නොසන්සුන් බවම මේ චක්‍රය දැක ගැනීමට ඇති බලවත් බාධාවකි. මේ චක්‍රයෙන් මිදුණු සැනසීමක් / නිවීමක් පිළිබඳ ඇති සැකයය විචිකිච්ඡාව.
පංචේන්ද්‍රිය පිනවීමට යොදා ගැනෙන්නේ විවිධ භෞතික තත්වයන්ය. එහෙත් සිත පිනවීමට (සොම්නස) යොදා ගැනෙන්නේ විවිධ කතාය (සංඛාර- දිට්ඨි) මේ තත්ත්වය අපට තෙරුම් ගැනීමට අපහසු වුවත්, අප කුඩා දරුවනට විවිධ කතා කියා ඒ ඒ අවස්ථාවලදී ඔවුන් සනසාලීමට උත්සාහ ගැනීමට මෙය කිසිසේත් දෙවෙනි නැත. අප වැඩිහිටියන් ලෙස පත්වී ඇත්තේද මේ තත්වයටමය. මේ කතා අප සිත් තුළ පැලපදියම් කරගෙන ඒ ඔස්සේ පැනනගින අරමුණු සහ මේවා ගැටීම තුළ හට ගන්නා වේදනා චක්‍රයේ (අනිත්‍යවූ) ගිලී සිටිමු. කුඩා ළමයි මෙන්ම එක කතාවක් මදිවන විට, ඉන් නොසෑහෙන විට තවත් එකක් ගොතමින් දිගටම සැනසීමට පොරකමු.
මේ ලෝකයේ සියලු සත්වයාට අවශ්‍ය වන්නේ තම සිත් සතන් සොම්නස්ව – සැනසීමෙන් තබාගැනීමටය. සියලු සත්ත්වයා සියල්ල කරන්නේ අවසන් වශයෙන් ඒ සඳහාය. ඉතින් මේ වේදනා චෛතසිකය නිවී සැනසී තබා ගැනීමට නම්, කළ යුත්තේ මේ සොම්නස් – දොම්නස් චක්‍රයෙන් මිදීමය.
විවිධ අරමුණු නිසා (ඒවා සංඛාරවල ගැටීම නිසා) මනසට ඇති වන වේදනා වලට අප කොපමණ වැදගත් තැනක් ලබා දී ඇත්ද? එය සක්කාය දිටිඨිය සමග කොපමණ අනන්‍ය කරගෙන ඇත් ද? පංචේන්ද්‍රියනට දැනෙන සැප – දුක් ලෙසටම, ඉන් ඔබ්බට නොගොස් මනසට (වේදනා චෛතසිකයට) දැනෙන සෝමනස්ස – දොමනස්සයන්ද සැලකිය හැකි නම් කොපමණ සහනයක්ද? එවිට වේදනා චෛතසිකය කොපමණ සංසිඳේද? මේ නිවුණු වේදනා චෛතසිකය සමග ලෝකයේ අදාළ කටයුතු ඉතා හොඳින් කළ හැකිය.
දිට්ඨි – සංඛාරවල හරසුන්භාවය සහ අනිත්‍ය දක්නා විට තවදුරටත්, ඒවා අතහැරීම පිළිබඳව විචිකිච්ඡාවක් ඇති වන්නේ නැත. ඒ සමගම සිතේ නිවීම සඳහා භාග්‍යවතුන් වහන්සේගේ මග හැර අන් මංපෙත් සෙවීම ද නතර වේ. මේ නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා, සීලබ්බත පරාමාසයෙන් මිදුණු සෝවාන් වීමය!

