සතියේ බල මහිමය The Power of Mindfulness ග්‍රන්ථය ඇසුරෙනි
(හයවැනි කොටස)
ජර්මන් ජාතික පූජ්‍ය ඤාණපොනික නාහිමි
සිංහලානුවාදය: මීතිරිගල නිස්සරණ වනය අරණ්‍ය සේනාසනාධිපති සහ ප්‍රධාන කර්මස්ථානාචාර්ය, පූජ්‍ය උඩඊරියගම ධම්මජීව නාහිමි
නිශ්චල වීම
මනසේ ප්‍රභාව මනා සේ විකසිත කරගැනීම සඳහා අනුපූරක බලවේග දෙකක් උපකාරී වේ. එනම් වෑයම හා ශික්ෂණයයි. සිතක පවතින වීරිය හා සමාධිය යන මේ චෛතසික දෙක හොඳින් අවබෝධ කරගත් සර්වඥයන් වහන්සේ මේ දෙක එකිනෙක පරයා නොයන ලෙසට සමබර කිරීම අවධාරණය කළ සේක. තත්ථ ජාතානං ධමමානං අනතිවතතනටෙඨන සමපහංසනා. තවද උන්වහන්සේ සත්ත බොජ්ඣංග අතුරින් තුනක් සිත පුබුදුවාලීම සඳහා ද තවත් තුනක් සිත සමාධිගත කිරීම සඳහා ද අනුදැන වදාරා ඇත. මේ අවස්ථා දෙකේදීම එනම් ආධ්‍යාත්මික ඉන්ද්රියවලදී සහ බොජ්ඣංගවලදී ද සතිය ඒවායේ සමතාව ආරක්ෂා කරන්නේය. ඒවා උද්දීපනය කිරීමේ හෝ මන්දෝත්සාහී කිරීමේ කටයුත්ත කරන්නේ සතියයි.
බැලූ බැල්මට සතිය ක්‍රියා විරහිත උදාසීන ස්වභාවයකින් යුක්ත බවක් පෙනුණත් ඇත්ත වශයෙන්ම එය සක්‍රිය බලවේගයකි. එය සිත පරීක්ෂාකාරී කරවයි. මේ පරීක්ෂාකාරි බව හැම සචේතනික ක්‍රියාවකටම අත්‍යවශ්‍ය වන්නේය. අප විසින් කරනු ලබන මේ සමාලෝචනයේදී අවධානය යොමු කළ යුත්තේ සතියේ ඇති සමතුලනය කිරීමේ කෘත්යයටයි. මේ සමතුලනය නෛෂ්ක්‍රම්‍යය පිණිස ද එමෙන්ම අවසාන විමුක්තිය සඳහා අවශ්‍ය කරන මානසික වටපිටාව දියුණු කරගැනීම පිණිස ද ඉවහල් වන හැටි දැන් බලමු.
සති මාත්‍රය පුරුදු කිරීමේදී අපි ඇතුළතින් හා පිටතින් ලැබෙන ඝෝෂා මැද කෙම් බිමකට වී නිසසලව සිටිමු. මෙම ඉරියව්වේ එක්තරා විදියක ශාන්ත බලයක් ඇත. ක්‍රියාවක් අත්හිටුවා නැවතිල්ලේ කරගෙන යෑමට අවශ්‍ය තිරිංග ඇත්තේ සතිය තුළය. කාරණා සොයා බැලීමට ද, ගැඹුරට මෙනෙහි කිරීමට ද, දුරදිග නොබලා කරන සැහැසි ක්‍රියා නවතාලීමට ද ක්ෂණික තීරණ වළක්වාලීමට ද හැකියාව සතිය සතුව ඇත. සිත කය වචනවල නොහොබිනා ගමන් වේගය හීන කිරීමක් ද මෙහිදී සිදුවේ. මෙසේ සති මාත්‍රයේ ඇති ශික්ෂණය ඉස්මතු කරලීමට නම් නිසසල වීම, නැවතිල්ලේ වැඩ කිරීම, වේගය අඩු කිරීම යන මේවා නිතර භාවිත කළ යුතු වචන විය යුත්තේය.
පැරණි චීන ග්‍රන්ථයක මෙලෙස සඳහන්ව ඇත.
‘යම් දෙයක් අවසන් කිරීමට හෝ පටන්ගැනීමට නම්, නිසසලව සිටීම තරම් තවත් ශ්‍රේෂ්ඨ දෙයක් නැත.’
ධර්මයේ සඳහන් ලෙසට සියල්ලෙහි අවසානය නම් නිවනයි = නිවීමයි. මෙයටම ‘සංස්කාරයන්ගේ සංසිඳීම’ සංඛාර වූපසමො – නිරෝධය = නිරොධො යැයිද කියැවේ. මේ කියැවෙන්නේ අවිද්‍යාව සහ තණ්හාව යන කෙලෙස් ධර්මයන්ගේ නිවීමයි, සංසිඳීමයි. සංස්කාරයන්ගේ හෙවත් සකස්කිරීම්වල නිරුද්ධ වීමෙන් මෙම නිරෝධය සාක්ෂාත් කළ හැක්කේය. ලෝකයක් නිර්මාණය කරන කර්ම හෙවත් චේතනා නතර වූ විට ලෝකය නතර වේ. මෙලෙස ලෝකය කෙළවර කිරීමෙන් දුක කෙළවර කළා වන්නේය. රෝහිතස්ස සූත්‍රයට අනුව මෙම කෙළවර කිරීම ඇවිදීමෙන් කළ නොහැක්කකි. එසේම පුනර්භවයකින් හෝ කළ නොහැක්කකි. මෙම කෙළවර කිරීම ඇත්තේ අප තුළම බවත් එය වනාහි සංස්කාරවල කෙළවර බවත් ධර්මයෙහි දැක්වේ. මෙම කර්තව්‍යය සංසිඳවීම හරහා, නැවතිල්ලේ වැඩ කිරීම හරහා, නිරෝධය හරහා සිදුවන බව සෑම සුපරීක්ෂාකාරී කටයුත්තකදීම දැකගත හැක. මෙය වනාහි කෙළවර කිරීමේ කටයුත්තේ පෙරනිමිත්තයි. මෙම සංහිඳියාවේ ප්‍රතිවිරුද්ධ පැත්ත නම් රැස් කිරීමයි. ගොඩගසාගැනීමයි. මෙමගින් සිදුවන්නේ සසර බැඳීම වැඩි කිරීමයි. ඒ නිසා කළ යුත්තේ මේ ස්ථිරසාර නොවන දේ සමඟ කෙරෙන කෙළවරක් නැති බැඳීම නැවැත්වීමයි. සතිය අනුගමනය කිරීමෙන් හා සති මාත්‍රය සමීපව හඳුනා ගැනීමෙන් ඉබ්බකු මෙන් නැවතිල්ලේ වැඩ කිරීමටත් නිසසලව සිටීමටත් හුරුව ලැබේ. ඒ අනුව විසම ලෝකයේ ජීවත් වනවිට නිතර ඉදිරිපත් වන රාගාදී අරමුණු ඉදිරියේ ‘නැත’ කීමටත් පුරුද්දක් ලැබේ. කලබලකාරීව හදිසි තීරණ ගන්නවා වෙනුවට වඩා පරීක්ෂාකාරී වීම හරහා ධර්ම ආරක්ෂාව තහවුරු කෙරෙනු ඇත. අපරීක්ෂාකාරී වටවළල්ලේ යෑම් වෙනුවට වඩා ඍජු, කෙටි, සරල ජීවන රටාවකට හුරු වනු ඇත.
අතීතයෙහි වූ සංස්කාරයන් ඇරබ උපදනා යම් කෙලෙස් වේ නම් එය වියළව අනාගතයෙහි වන සංස්කාරයන් ඇරැබ උපදනා රාගාදි කිඤ්චන තට නහමක් වේවා, ඉදින් වර්තමානයෙහි රූපාදි සංස්කාරයන් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නො ගන්නෙහි නම් උපශාන්ත වැ හැසිරෙන්නෙහි.
තමාගේ සීමාව දැනගෙන නතර වීමට දන්නා පුද්ගලයා අනතුරට නොපැමිණේ.
යට දැක්වූ චීන කියමනෙහි දෙවැනි කොටසින් කියවෙන්නේත් ‘යමක් පටන්ගන්නා විට නිසසලව බලා සිටීම තරම් මහඟු දෙයක් තවත් නැති තරම්ය’ යන්නයි.
ධර්මයෙහි දැක්වෙන පරිදි යමක් ආරම්භ කෙරෙන විට ඒ දෙස නිසොල්මනේ බලා සිටීමෙන් කර්ම රැස් වීම අවම කරගත හැක. යම් හෙයකින් ක්‍රියාත්මක වන්නේ නම් හික්මීම සීල, සමාධි, ප්‍රඥා වශයෙන් සම්බන්ධ කරගත යුතු වේ. සති මාත්‍රය හරහා කෙරෙන නැවතිල්ලේ කටයුතු කිරීම ඇසුරින් මේ ත්‍රිවිධ ශික්ෂාවම නියෝජනය වේ.
(මතු සම්බන්ධයි)

