බුදු දහමේ විද්‍යාත්මක ආකල්පය සහ ආචාර විද්‍යාත්මක සිද්ධාන්ත පැහැදිලි වන සූත්‍රයකි
මහනායක ගන්තුනේ අස්සජි නාහිමිපාණෝ
බෞද්ධයන්ගේ පමණක් නොව අබෞද්ධ බුද්ධිමතුන්ගේ ද නොමඳ සැලකිල්ලට හා අවධානයට යොමු වූ සූත්‍ර ධර්මයකි, කාලාම සූත්‍රය. අංගුන්තර නිකායේ තික නිපාතයට ඇතුළත් වන මෙම සූත්‍රය කෙරෙහි ඒ තරම් සැලකිල්ලක් යොමු වී ඇත්තේ එහි නිදහස් චින්තනයට ලැබී ඇති තැන නිසාය.
මනුෂ්‍යයා ඉතිහාසයෙහි සෑම යුගයකදීම පාහේ විවිධාකාර නිදහස සඳහා සටන් කර ඇත. ක්‍රි.පූ. සවැනි සියවස වනවිට කුළුගැන්වී තිබුණේ අසත්‍යයෙන් නිදහස්ව සත්‍යය කරා ළඟාවීම පිළිබඳ සටනකි. අවිද්‍යාවෙන් නිදහස්ව විද්‍යාව කරා ළඟාවීම පිළිබඳ සටනකි. එය බුද්ධිමය අරගලයක් මිස ආයුධ ශක්තිය හෝ බාහු බලය යෙදවූ සටනක් නොවේ. එම සටනේ ජයග්‍රාහක නියමුවා වූයේ ගෞතම බුදුරජාණන් වහන්සේය. පරම විමුක්තිය සඳහා අවිද්‍යාවෙන් නිදහස් විය යුතුම බව ඉගැන්වූ බුදුරජාණන් වහන්සේගේ පහළවීම යුගයේ අවශ්‍යතාවක් විය. උන් වහන්සේ අවිද්‍යාවෙන් නිදහස් වන මඟ අවබෝධ කොට ලෝකයට ඉදිරිපත් කළහ.
අවිද්‍යාවෙන් නිදහස්වීමට පුද්ගලයාට බාධා වන බැමි රැසක් ඇත. ඒ සියල්ල සමාජය විසින්ම ගොඩනඟන ලද සීමා මිස අදෘශ්‍යමාන පුද්ගලයකුගේ බලවේගයක් විසින් ඇති කරන ලද සීමා නොවේ. එම බැමිවලින් තද කර තබන ලද්දේ නිදහස්ව සිතීමට හා නිගමනවලට එළැඹීමට පුද්ගලයාට ඇති අයිතිය හා ශක්තියයි.
බාහිර ලෝකයෙහි ඇති කොටු පවුරු බිඳ දැමූ මිනිසා ගිරිදුර්ග වන දුර්ග තරණය කර ඇත. ගංගා, කාන්තාර, සමුදුර හා අහස පමණක් නොව අභ්‍යවකාශය ද තරණය කර ඇත. එහෙත් ඔහුට බිඳ දැමීමට අපහසු වී ඇත්තේ ඔහු අවට සමාජය විසින් සිතින් ගොඩනඟන ලද මතිමතාන්තර නමැති මානසික බන්ධනයන් ය. අවිද්‍යාවෙන් විද්‍යාව කරා ළඟාවීමට උත්සාහ දරන පුද්ගලයා තවදුරටත් අවිද්‍යාවෙහිම රඳවන ලද්දේ එම මතිමතාන්තර විසින් බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කර ගත්හ. එබැවින් එම බන්ධනයන්ගෙන් සීමා නොවී, නිදහස්ව සිතන්නට හා හෘදය සාක්‍ෂියට එකඟව තීරණ ගන්නට අවශ්‍ය බුද්ධිමය ආකල්පය මිනිසා තුළ ඇති කිරීමට උන්වහන්සේ ක්‍රියා කළහ. ඒ බව කාලාම සූත්‍රයෙන් අනාවරණය වේ.
කේසපුත්ත නම් නියම් ගමෙහි කාලාම නමින් හැඳින්වුණු පිරිස විවිධ ආගමික නායකයන්ගේ දෙසුම්වලට සවන් දුන් පිරිසකි. ඒ අයට තිබුණු ගැටලුව එම ආගමික නායකයන්ගෙන් කවරෙක් ඇත්ත කියත්ද, කවරෙක් බොරු කියත්ද? යන්නයි. එබඳු ගැටලුවක් ඇතිවීමට හේතු වූයේ පැමිණෙන සෑම ආගමික නායකයකුම තම තමන් පවසන දේ සත්‍ය බවත් අනෙකුත් අය කියන දේ අසත්‍ය බවත් පැවසීමෙනි. ඔවුන් එම ගැටලුව බුදුරදුන් වෙත ඉදිරිපත් කළ විට “අන් සියලු දෙන කියන දේ අසත්‍යයි තමන් කියන දේ පමණක් සත්‍යයි”
උන්වහන්සේ නොවදාළහ. එබඳු අවස්ථාවක තිබිය යුතු බුද්ධිමය ආකල්පය පැහැදිලි කිරීමයි
උන්වහන්සේ කළේ.
යමක සත්‍ය අසත්‍යභාවය හෝ කුසලාකුසලභාවය පිළිබඳ නිගමනය කිරීමේදී තනිකරම ප්‍රමාණ කර නොගත යුතු නිර්ණායක දහයක් පිළිබඳ කාලාම සූත්‍රයෙහි සඳහන් වෙයි. ආරංචිය, පරම්පරාගත පිළිගැනීම්, කටකතා, ග්‍රන්ථාගත කරුණු, තර්කය, නීතිය, බාහිර ස්වරූපය, දෘෂ්ටියට ගැළපීම, කියන්නාගේ සුදුසුකම් හා ගුරු වදනක් වීම යනු එම දහයයි. දහය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළයුතු යැයි මෙහි නොකියවේ. එම කරුණු හෝ එයින් එකක් හෝ පමණක් මිනුම් දණ්ඩ නොකර ගත යුතුයි. එයින් දෙන පණිවිඩයයි ඒ සියල්ලට වඩා වැදගත් වන්නේ. තමන්ගේම විචාර පූර්වක චින්තනයයි. යමක් පිළිගැනීමේදී හෝ ප්‍රතික්ෂේප කිරීමේදී එහි කුසල අකුසලභාවය, වැරදි නිවැරදිභාවය, දෙස බැලිය යුත්තේ තමාම ය. බලකිරීම්වලින් සීමා කිරීම්වලින් තොරව, අගතියෙන් තොරව බුද්ධිය මෙහෙයවා බැලිමේදී, නිදහස පුද්ගලයා සතුවන බව බුදුරජාණන් වහන්සේ වදාළහ.
ආරංචි, පරම්පරාගත පිළිගැනීම් ආදිය නිසා තමා ගොඩනඟාගෙන ඇති දෘෂ්ටි, බැසගෙන ඇති පූර්ව නිගමන ආදියට වහල් නොවී ඒ ඒ අවවාද නිදහස්ව සිතා බලන්නැයි කරන බුද්ධිමය ආරාධනාව තුළ ගැබ්වී ඇති විද්‍යාත්මක ආකල්පයයි. විද්‍යාත්මක ආකල්පයෙහි ප්‍රමුඛ ලක්‍ෂණය යම්කිසිවක යථා තත්ත්වය තේරුම් ගැනීමේදී පෞද්ගලික සිතුම් අදහස් උදහස් මතිමතාන්තර ආදිය අදාළ නොවන බව එකහෙළා ගැනීමයි.
විද්‍යාඥයා යමක් පිළිගන්නේ ඒවා දේවභාෂිත හෝ සෘෂිභාෂිත නිසාවත් පාරම්පරිකව උගන්වාගෙන ආ නිසාවත් නොව, බුද්ධිගෝචරව සාධක පදනම් කරගෙන ඇති නිසා ය. එබැවින් විද්‍යාත්මක ආකල්ප ඇති තැනැත්තා ඕනෑම කරුණක් ගැන විචාර පූර්වකව බැලීමට සූදානම්ය. ඇසූ තරමින් හෝ පොතපතේ සඳහන් වූ තරමින් හෝ ඒ ආකාරයෙන් පිළිගැනීමට ඔහු බැඳී නැත. කාලාම සූත්‍රයෙහිදී බුදුරදුන් වදාළ වචනයෙහි ගැබ්වී ඇත්තේ මේ ආකල්පය නොවේ ද?
සැක කළ යුතු තැනකදී සැක කිරීම හා ඒ ගැන තවදුරටත් සොයා බැලීම විද්‍යාත්මක ආකල්පයේ ලක්‍ෂණයකි. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කාලාමයන්ට වදාළේ “කාලාමයෙනි, ඔබ විසින් සැක පහළ කිරීමත්, කුකුස් පහළ කිරීමත් සුදුසුමය. ඔබට සැක පහළ වී ඇත්තේ සැක කළ යුතු තැනකම ය. කුකුස් පහළ වී ඇත්තේ කුකුස් ඇති කරගත යුතු තැනකම ය” කියාය. යමක් එක් විට පිළිගැනීමක් හෝ එක් විට ප්‍රතික්ෂේප කිරීමක් හෝ නොකර සැක ඇත්නම් ඒ ගැන විමසා බලා පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම විද්‍යාත්මක ආකල්පයේ ලක්‍ෂණයකි. කාලාම සූත්‍රයෙන් නිර්දේශිත චින්තන ක්‍රමය තුළ එම ආකල්පය ගැබ්ව ඇති බව වටහා ගැනීම අපහසු නොවේ.
මෙහිදී සියල්ල අනිවාර්යයෙන්ම සැක කළ යුතුමයැයි කියා හෝ ශ්‍රැතිය, සම්ප්‍රදාය, තර්කය ආදිය සම්පූර්ණයෙන්ම බැහැර කළ යුතුය කියා බුදුදහම නූගන්වන බව තේරුම් ගත යුතුය. සැක කළ යුතු තැන සැක ඇති කරගැනීම සාධාරණය. ශ්‍රැතිය, තර්කය ආදිය මත පමණක් නිගමනවලට එළැඹීම සුදුසු නැත.
ශ්‍රැතිය, තර්කය ආදිය පමණක් ප්‍රමාණ කොට නොගත යුත්තේ ඇයි? ඇතැම් විට අප අසා ගනු ලබන දේ හොඳින් අසාගනු ලැබුවා විය හැකිය. ඇතැම් විට හොඳින් අසාගනු නොලැබුවා විය හැකිය. (සුස්සුතම්පි හොති දුස්සුතම්පි හොති) හොඳින් නොඇසූ දෙයක් නම් එය පදනම් කොට ගෙන නිගමනවලට එළැඹීම සුදුසු නොවේ. තර්කය ද එසේය. තර්ක කිරීම හරියටත් කළ හැකියි, වැරදියටත් කළ හැකියි. (සුනත්තිතම්පි හොති- දුනත්තිතම්පි හොති) වැරදි ලෙස ගොඩනඟන ලද තර්කයක් ඇසුරෙන් එළැඹෙන නිගමනය ද වැරදි විය හැකිය. මේ නිසා ශ්‍රැතිය තර්කය ආදිය පිළිබඳ සම්පූර්ණ විශ්වාසය තැබීම සුදුසු නොවේ. ඒවා පමණක් ප්‍රමාණ කොට නොගත යුතු යැයි ඉගැන්වෙන්නේ එබැවිනි
අනෙකුත් ප්‍රමාණ මත සම්පූර්ණ විශ්වාසය නොතබා තීරණ ගැනීමේ නිදහස පුද්ගලයාට පැවරෙන්නේ කුමන හේතුවක් නිසාද යන්නත් සැලකිල්ලට භාජනය කළ යුතුය. එහි ඇත්තේ වගකීම පිළිබඳ අවධානයයි. යම් කිසිවකු
බැසගන්නා තීරණයෙහි හා ඒ අනුව කරන කියන දෙයෙහි වගකීම පැවරෙන්නේ ද ඔහුටම ය. අප කරන කියන දේවල්වල වගකීම අන් අයකුට පැවරිය නොහැකිය. හොඳක් කළත්, නරකක් කළත්, එහි වගකීම පැවරෙන්නේ එය කළ තැනැත්තාටමය. නිදහස තරමටම වගකීම ද බලවත්ය. කරන කියන දෙයෙහි වගකීම අප වෙත පැවරෙන්නේ නම් ඒ පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය අප වෙත හිමිවිය යුතුමය. අනෙකකු ගන්නා තීරණවලට වගකීමට අප බැඳී නැත. මේ හේතුව නිසයි නිදහස්ව සිතා බලා තීරණ ගැනීමට පුද්ගලයාට අයිතියක් ඇතැයි බුදුදහම අවධාරණය කරන්නේ, එය සීමාරහිත යැයි කිව හැකි නොවේ, මක්නිසාද? වගකීමෙන් පාලනය වන බැවිනි. නිදහස වගකීම සමගත් වගකීම නිදහස සමගත් එකිනෙකට බැඳී පවතී. කාලාම සූත්‍රයෙහි එය අමතක කර නැත.
තීරණ ගැනීමේ නිදහස වගකීමෙන් පාලනය වන බැවිනි, එසේ තීරණ ගැනීමේදී නුවණැත්තන් දෙස බැලීමට අවධානය යොමු කර ඇත්තේ. තීරණයක් ගැනීමේදී සැලකිල්ලට භාජනය විය යුතු කරුණු කීපයක් ගැන කාලාම සූත්‍රයේ සඳහන් වෙයි. ඒවා මෙසේය:-
- කුසලයක් ද අකුසලයක් ද යන වග.
- වැරදි ක්‍රියාවක් ද, නිවැරදි ක්‍රියාවක් ද යන වග.
- නුවණැතියන්ගේ නින්දාවට භාජනය වන දෙයක් ද.
- නැතහොත් ප්‍රශංසාවට භාජනය වන දෙයක් ද යන වග.
- ක්‍රියාවේ ප්‍රතිඵලය අහිත පිණිස දුක් පිණිස පවතී ද, නැතහොත් සැප පිණිස පවතී ද යන වග.
අකුසල් වූ, වැරදි සහිත වූ, නුවණැතියන්ගේ නින්දාවට ලක්වන්නා වූ තමාගේත්, අනුන්ගේත්, අහිත පිණිස දුක සැප පවතින්නා වූ ක්‍රියා අත්හළ යුතු බව මෙම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළහ.
එසේම කුසල් වූ නිවැරදි වූ නුවණැතියන්ගේ පැසසුමට ලක්වූ තමාගේත් අනුන්ගේත් හිත සැප පිණිස පවතින්නා වූ ක්‍රියා කිරීම සුදුසු බව ද වදාළහ. ඒ නිසා කළ යුතු නොකළ යුතු දේ මොනවාදැයි අවිචාරවත් ලෙස හිතුමතයට තීරණය කරගැනීමට මඟපෙන්වා නැත. අප කිරීම සඳහා තෝරා ගන්නා ක්‍රියාව කුසලයක් විය යුතුය. එසේම තමාගේත්, අනුන්ගේත් හිත සැප පවතින්නක් විය යුතුයි. එසේ නොවූ අකුසල වූ, ක්‍රියාවන් ද තෝරාගැනීමට පුද්ගලයකුට නිදහස ඇතත්, එහි වගකීම ද තමා වෙත පැවරෙන බව එම පුද්ගලයා තේරුම් ගත යුතුය. එසේ තේරුම් ගන්නා විටම ඔහුගේ නිදහස පාලනය වේ.
මෙහිදී අකුසල වූ ක්‍රියා මොනවාද, කුසල වූ ක්‍රියා මොනවාදැයි බුදුරජාණන් වහන්සේ නොවදාළහ. ඒවා මොනවාදැයි කාලාමයන්ටම තීරණ කරගැනීමට මඟපෙන්වූහ. ලෝභ, දෝෂ, මෝහ පුද්ගලයකු තුළ ඇතිවන්නේ හිත පිණිස ද නැතහොත් අහිත පිණිස දැයි බුදුරදුන් විමසූ විට අහිත පිණිස යැයි කාලාමයෝම පිළිතුරු දුන්හ. එසේම අලෝභ, අදෝෂ, අමෝහ ඇතිවීම හිත සැප පිණිස පවතින බව ද ඔවූහු පැවසූහ. තවදුරටත් ජීවිත හානි, සොර මැරකම්, ආදි දුසිරිත්වල තමා යෙදෙමින් අනුන් ද ඒ සඳහා යොදවන්නේ ලෝභාදිය නිසා යැයි ඔවුහුම පිළිගත්හ. අලෝභාදියෙන් යුක්ත වූ විට එබඳු දුසිරිත්වලින් තමා ද මිදී අනුන් ද ඒවා සඳහා නොපොලඹවන බව පිළිගත්හ. මේ නිසාම ලෝභාදිය අකුසල් බවත්, අලෝභාදිය කුසල් බවත්, කාලාමයෝම පැවසූහ.
ලෝභාදිය අකුසල ලෙසත්, අලෝභාදිය කුසල ලෙසත්, පිළිගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ කාලාමයන්ට දේශනා නොකළහ. උන්වහන්සේ කරුණු පැහැදිලි කිරීම මත නිදහස්ව සිතා මතා ඒවා කුසල අකුසල දැයි තීරණය කරගැනීමට මඟපෙන්වූහ. මෙම සූත්‍රයෙහි ඇතුළත් චින්තන ක්‍රමය ප්‍රායෝගිකවම උපයෝගි කොට ගත් ආකාරය එයින් පැහැදිලි වෙයි.
ආචාර විද්‍යාත්මක සිද්ධාන්ත අතින් ද කාලාම සූත්‍රය වැදගත් බව මුලදී සඳහන් කැරිණ. ආචාර විද්‍යාවේ ඉතා වැදගත් මාතෘකාවකි ස්වච්ඡන්දතා සංකල්පය ස්වච්ඡන්දතාව නම් නිදහස් කැමැත්තයි. ඒ පිළිබඳ කාලාම සූත්‍රයෙහි අවධානය යොමු වී ඇති ආකාරය, කළ යුත්ත නොකළ යුත්ත තීරණය කිරීමේදී පුද්ගලයාට හිමිකර දී ඇති නිදහසින් අනාවරණය වේ. අප කරන කියන දේට වගකීම ද අප සතුව පවතින බව ප්‍රකාශ කිරීමේදී ඇත්තේ ආචාර විද්‍යාත්මක වටිනාකමකි. ගැඹුරින් සලකන විට එහි ඇත්තේ බෞද්ධ කර්ම සිද්ධාන්තයකි.
තමන් කරන කියන දේ කුසල් ද අකුසල් ද ආදී වශයෙන් සලකා බලන ලෙසත්, ඒවායේ විපාක පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් බුදුරදුන් වදාරා ඇති බව අපි මුලදී අනාවරණය කර ගතිමු. එය ද ආචාර විද්‍යාත්මක වශයෙන් වැදගත්ය.
තීරණවලට එළැඹීමේදී සලකා බලන ලෙස දැක්වෙන කරුණු ද ආචාර විද්‍යාත්මකව වැදගත් වෙයි. එහිදී මාර්ග දෙකක් පිළිබඳව අවධානය යොමු කිරීමට මඟපෙන්වා ඇත. ඒ මෙසේය.
- ක්‍රියාවකට පදනම් වන මූලික සිතුවිලිවල ස්වභාවය ගැන සැලකීම.
- එම සිතුවිලි පදනම් කරගෙන කරනු ලබන ක්‍රියාවන්හි ස්වභාවය හා ඒවායේ ප්‍රතිඵල ගැන සැලකීම.
යම් ක්‍රියාවක් ලෝභය, ද්වේෂය, මෝහය, පදනම් කොට ඇති නම් එය අයහපත් වන අතර, අලෝභය, අද්වේෂය, අමෝහය පදනම් කොට ඇති නම් එය යහපත් වේ.
යම් සිතුවිලි පදනමක් නිසා හිංසාව, වංචාව, දුරාචාරය, බොරුව ඇතිවේ නම් එය අයහපත් වන අතර, දයාව, අවංකත්වය, සත්‍යය හා සදාචාරය මතුවෙයි නම් එය යහපත් වේ.
යහපත – අයහපත- හොඳ – නරක – කළයුත්ත – නොකළයුත්ත තීරණය කරගැනීමට පෙන්වා ඇති මේ මාර්ගය ආචාර විද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත්ය.
මෙම සූත්‍රයේ අවසාන කොටස දෙස බැලූ විට තවත් වැදගත් කරුණක් ඉස්මතු වෙයි. එනම් මෙහි එන තීරණයන් ගැනීමේ ආචාර විද්‍යාත්මක ක්‍රමය පින් පව් හෝ පරලොව පිළිගැනීමට බලකර නොතිබීමයි. ඒවා ප්‍රතික්ෂේප කිරීමක් ද නැත. පින් පව් හා පරලොව විශ්වාස නොකරන කෙනකුට වුව ද මෙහි දැක්වෙන ආචාර විද්‍යාත්මක පදනමෙහි පිහිටා ක්‍රියාකිරිමෙන් උසස් ප්‍රතිඵල ලබාගත හැකිය.
කාලාම සූත්‍රයේ එන චින්තන ක්‍රමය කිසියම් ආගමකට, දර්ශනයකට. රටකට හෝ සංස්කෘතියකට සීමාවූවක් නොවේ. එසේම එය කිසියම් කාලපරිච්ඡේදයකට පමණක් අයත් වන්නේ ද නොවේ. එබැවින් මෙම චින්තන ක්‍රමය සෑම ආගමිකයකුටම වැදගත්ය. සෑම යුගයකදීම, සෑම රටකදීම මානව සමාජයට එකසේ වටිනාකමින් යුක්තය. බෞද්ධයන්ගේ පමණක් නොව අබෞද්ධ බුද්ධිමතුන්ගේද නොමඳ සැලකිල්ල කාලාම සූත්‍රය පිළිබඳ යොමු වී ඇත්තේ එබැවිනි.
නා චින්තනයන්තෝ පුරිසෝ -විසේස මධි ගච්ඡති
සිතා බලා වැඩ නොකරන පුද්ගලයා කිසිදු ආධ්‍යාත්මික ප්‍රගතියක් නොලබයි.

