බුදුදහම හා ගෘහස්ථ ජීවිතය

cmadurawala
6 Min Read

පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමි

පෙර ලිපියෙහි සඳහන් කළ ඉන්ද්‍රියයන් පහ යම් පුද්ගලයකු තුළ යම් පමණකින් ඇරඹී ඇත්නම් සද්ධානුසාරී හෝ ධම්මානුසාරී හෝ තත්ත්වයට පත් වූවකු ලෙස සැලකිය හැකිය. මේ ඉන්ද්‍රිය වැඩීමේ මූලිකම අවස්ථා දෙකයි. නිවන් මගට යොමු වුවද මේ දෙදෙනා තුළ යම් යම් දුර්වලතා ද දැකිය හැකිය. දැන් අපි ඒවා තේරුම් ගනිමු.

1.“න බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති” (සරකානි සූත්‍රය) යනුවෙන් කරුණු දැන බුද්ධ ප්‍රසාදයක් ඇති වී නොමැති බව කියැවේ. තථාගතයන් වහන්සේ ශාස්තෘත්වයෙන් තහවුරු ලෙස පිළිගන්නට තරම් වැටහීමක් මොවුන් තුළ නැත. ඇත්තේ ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් පමණි.

  1. “න ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො මොති” (සරකානි සූත්‍රය) ධර්මය පිළිබඳව ද කරුණු දැන පැහැදීමක් මොවුන් තුළ පිහිටා නොමැත. මෙහි දී ධර්මය යනුවෙන් අදහස් වන්නේ නිවනයි. ‘නිවන් අවබෝධ කළ යුතුය, එනම් සසර නිමකළ යුතුය’ යන අපේක්ෂාව ප්‍රයෝජනවත් වැඩදායී අර්ථවත් අපේක්ෂාවක් බව හරි හැටි තේරුම් ගොස් නැත. ඇත්තේ ධර්මය පිළිබඳ ප්‍රසාද මාත්‍රයක් පමණි. එහෙත් මෙහිදී ධම්මානුසාරී පුද්ගලයා ගේ ධර්ම ප්‍රසාදය සද්ධානුසාරී පුද්ගලයාගේ ධර්ම ප්‍රසාදයට වැඩිය.
  2. ‘න සංසෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති’ (සරකානි සූත්‍රය) සංඝයා පිළිබඳව ද කරුණු දැන ඇතිවුණ ප්‍රසාදයක් මේ දෙදෙනාට ම නැත.
  3. ‘න ච විමුත්තියා ච සමන්නාගතො හොති’ (කීටාගිරි සූත්‍රය) මේ දෙදෙනා විමුක්තියෙන් ද සමන්විත නොවෙත්.
  4. ‘පඤ්ඤායච අස්ස දිස්වා ආසවා අපරික්ඛීණා’ (කීටාගිරි සූත්‍රය) මේ දෙදෙනා ප්‍රඥාවෙන් දැක එක ද ක්ලේශයක්වත් ප්‍රහාණය කර නැත. මේ අනුව එක ද ක්ලේශයක්වත් ප්‍රහාරණය නොකළ අයකුට ද මේ සසුනේ ඉඩකඩ ඇති බව මෙයින් ප්‍රකට කෙරේ.

මෙවැනි දුර්වලකම් පැවතිය ද ඉහත දැක්වූ ඉන්ද්‍රිය පසෙහි පිහිටි යම් සද්ධානුසාරී හේ ධම්මානුසාරී හෝ පුද්ගලයෙක් වේ නම් එවැනි කෙනෙකු පහත සඳහන් විශේෂතාවන්ට හිමිකම් කීමට සුදුසු වන බව සරකානි සූත්‍රයෙහි සඳහන් වේ.

  1. අගන්තා නිරයං – එවැනි කෙනෙක් නිරයගාමී නොවේ.
  2. අගන්තා පෙත්ති විසයං – එවැනි කෙනෙක් ප්‍රේත ආත්ම භාවයට පත් නොවේ.
  3. අගන්තා තිරච්ඡාන යොනිං – එවැනි කෙනෙක් තිරිසන් බවට පත් නොවේ.
  4. අගන්තා අපායං දුග්ගතිං විනිපාතං – එවැනි කෙනෙක් දුගතිගාමී නොවේ. සැපයෙන් පිරිහීමක් නොවේ.
  5. ‘ඔක්කන්තො සම්මත්ත නියාමං සප්පුරිසභූමිං ඔක්කන්තො විතිවත්තො – පුථුග්ජන භූමිං’ යනුවෙන් සංයුක්ත නිකායේ ඔක්කන්ති සංයුත්තයෙහි මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙදෙනා පුහුදුන් භූමිය ඉක්මවා සත්පුරුෂ භූමියට පැමිණි අය ලෙස හඳුන්වා ඇත. ආධ්‍යාත්මික ස්වභාවය අනුව මේ ලෝකයේ පුද්ගලයන් භූමි තුනකට බෙදා වෙන්කර ඇත. පෘථග්ජන භූමි, සත්පුරුෂ භූමි, ආර්ය භූමි වශයෙනි. මේ අනුව සද්ධානුසාරී, ධම්මානුසාරී අය පෘථග්ජන නාමයෙන් හැඳින්වීමට සුදුසු නැත. මෙවැනි අයකුගෙන් නිරයගාමි වීමට හෝ තිරිසන් ගතවීමට හෝ ප්‍රේත විෂයට යෑමට හෝ තරම් වන අකුසලයක් සිදුවීමට නොසුදුසු බව ද ධර්මයේ සඳහන් වේ.

‘අහබ්බො තං කම්මං කාතුං යං කම්මං තත්වා නිරයං වා තිරච්ඡානයොනිං වා, පෙත්තිවිසයං වා උප්පජ්ජෙය්‍ය’ යනුවෙන් ඒ බව ඔක්කන්ති සංයුත්තයේ සඳහන් වේ.

  1. ‘අහබ්බොච තාව කාලං කාතුං යාව න සොතාපත්ති ඵලං සච්ඡකරොති’ යනුවෙන් මේ සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයන් සෝතාපත්ති ඵලයට පත්වන තුරු මිය යන්නට නොසුදුසු බව ද සඳහන් වේ.
  2. ‘ධම්මානුසාරිනො සද්ධානුසාරිනො සබ්බෙ තෙ සම්බෝධි පරායනා’ යනුවෙන් අල්ගද්දූපම සූත්‍රයෙහි දක්වා තිබෙන්නේ මේ පුද්ගලයන් නිවනට යොමු වූ අය බවයි. මෙයින් කියැවෙන්නේ සසරින් එතෙරවීමේ භාග්‍යය මොවුන් ලබන බවයි. මේ කරුණ මජ්ඣිම නිකායේ පළමු කොටසේ එන චූලගෝපාල සූත්‍රයෙන් ඉතා හොඳින් පැහැදිලි කර දී ඇත. බුදුරජාණන් වහන්සේ මේ කරුණ වැදගත් උපමාවකින් පහදා ඇත. ශාසනයට ඇතුළත් අය ගවරෑනක් නම් එහි පීතෘත්වය, නායකත්වය (ගො පිතරා, ගො පරිනායකා) දරන්නේ රහතන් වහන්සේලා ය. අනාගාමි, සකදාගාමි, සෝතාපන්න පුද්ගලයෝ ගවරෑනක ගමන් කරන ක්‍රමයෙන් වයසින් අඩුවන ගවයන් හා සමාන වෙති. එහි එදිනම උපත ලද ගව පැටවුන්ට සමාන වන්නෝ සද්ධානුසාරී, ධම්මානුසාරී පුද්ගලයෝ ය. තම ගවරෑන ගඟකින් එතෙර කරවනු කැමති දක්ෂ ගව පාලකයා තම ගවරෑන මිනිසුන් යනෙන තොටුපළකින් ගඟට බස්වා ගඟින් එතෙර වන්නාසේ සද්ධානුසාරී, ධම්මානුසාරී අයත් මාරයාගේ සැඩපහර සිඳ සසරින් එතෙර වන බව ඒ සූත්‍රයේ කියැවේ. ‘යෙ තෙ භික්ඛූ ධම්මානුසාරිනො සද්ධානුසාරිනො තෙපි තිරියං මාරස්ස සොතං ඡෙත්වා සොත්ථිනා පාරං ගමිස්සන්ති’ යනුවෙන් පැවසෙන්නේ එයයි.

වසු පැටියට මවු දෙනගේ හඬ ඉදිරියට යෑමට පෙලඹවීමක් වෙයි. (මාතුගොරවකෙන වුය්හමානො). එපරිද්දෙන් සද්ධානුසාරී, ධම්මානුසාරී පුද්ගලයන්ට පෙලඹවීම වන්නේ බුද්ධ වචනය යි. යමකු මට සවන්දිය යුතු යැයි ද මා ඇදහිය යුතු යැයි ද සිතන්නේ නම් එය ඔවුන්ට දිගු කලක් හිත සුව පිණිස වන්නේ යැයි බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.

මේ අනුව පෙනෙන වැදගත් කරුණ නම් එක ද ක්ලේශයක් වත් ප්‍රහාණය නොකළ ද ධම්මානුසාරී හෝ සද්ධානුසාරී හෝ පුද්ගලයකු මොන තරම් භාග්‍ය සම්පන්න ද යන්නයි.

සාමාන්‍යයෙන් පොදුවේ සමාජය කල්පනා කරන්නේ ‘අපි ඉතිං පෘථග්ජනයො නෙ. පුළු පුළුවන් හැටියට පිනක් දහමක් කරගන්න එකයි ඇත්තෙ. මැරුණාම මොන විදියෙන් උපත ලබයි ද කවුද දන්නෙ’ යනුවෙන් ඉතා සැක මුසුවයි. එවැනි සංකල්පනා ඇතිවීමට හේතුව ධර්මය පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිකමයි. ධර්මය නියම තැනින් අල්ලා ගැනීමට නොහැකිවීමයි. බුදුපියාණන් වහන්සේ අලගද්දූපම සූත්‍රයේ දී ධර්මය නිසි අයුරු අල්ලා ගැනීමේ වැදගත්කම පෙන්වා දී ඇත. අලගද්ද යනු නයාට නමකි. නයා අල්ලාගත යුතු ක්‍රමයක් තිබේ. නයා අල්ලාගත යුත්තේ එළු කුරයක් තරම් කරුවක් ඇති දණ්ඩකින් ඔළුව හිර කිරීමෙනි. මේ උපමාව දක්වන බුදුරජාණන් වහන්සේ ධර්මය නිවැරදිව අල්ලාගත යුතු බව වදාරා ඇත. ධර්මය ග්‍රහණයකර ගත යුතු මූලික ස්වරූපය සද්ධානුසාරී හා ධම්මානුසාරී අවස්ථා දෙකින් පෙන්නුම් කර ඇත.

මේ අනුව ධර්මය නිවැරදිව ග්‍රහණය කරගෙන සද්ධානුසාරී, ධම්මානුසාරී තත්ත්වයන් ඇතිකර ගෙන සත්පුරුෂ භාවයට පැමිණ නිවන් පසක් කර ගැනීමෙහි යොමුවීම බෞද්ධ ජීවන වැඩ පිළිවෙළෙහි මූලික සැකසීම බව දත යුතුය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *