ගිහි ජීවිතය සහ සදාචාරය

cmadurawala
14 Min Read

මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර

නිවන් සුව ලැබීම සඳහා බඹසර වසන්නට හොඳම පරිසරය සැලසෙන්නේ පැවිදිබිම තුළ බව අවිවාදනීයය. ගෘහස්ථ ජීවිතය සම්බාධ බහුල හෙයින් විරාගී චරණයට එහි ඇති අවකාශ සීමිතය. දිවිපැවැත්ම සඳහා සෑම ගිහියකුම ධනෝපාර්ජනයෙහි යෙදිය යුතුය. අඹු දරුවන් වෙත සෙනෙහස පාමින් යුතුකම් ඉටු කළ යුතුය. ඒ අතර විවිධ හේතු නිසා ගැටලු, ගැටුම් සහ විවිධ අර්බුදවලට මැදිවන්නට ද සිදුවෙයි. මෙවන් තත්ත්වයක් යටතේ සසර දුකක් ගැන සිතන්නට ඔවුනට ඉඩක් නොලැබෙන්නට පුළුවන. එහෙයින් නිවන ලැබීම සඳහා අධිශීල, අධිචිත්ත සහ අධිප්‍රඥා වඩනන්නට පැවිදිබිම පූර්ණ නිදහස සහ විවේකය සපයන බව සැබෑය. එතකුදු වුවත් පැවිද්දෙහි වටිනාකම පමණක් අවධාරණය කරමින් සියලු දෙනා පැවැද්දට ම පෙලඹවූයේ නම් බුදුදහමෙන් ජනතාවට විය හැකි සේවය හානිකර ලෙස අවම වන්නට ඉඩ තිබිණ. බුදුරදුන් ‘බහුජන හිතාය බහුජන සුඛාය’ යනුවෙන් ස්වකීය ශ්‍රාවකයන් සංචාරයෙහි යෙදවූයේ ඌන සේවයක් පිණිස නොව හැකිතාක් විපුල ජන පරාසයක් වෙත ධර්මාලෝකය විහිදුවන අටියෙනි. එහෙයින් බුදුරදුන්ගේ ආමන්ත්‍රණය ගෘහස්ථයන් වෙත ද ප්‍රබල ලෙස යොමු කොට ඇතැයි සිතුම අසාධාරණ නොවේ. දෙවි – මිනිසුන්ගේ ගුරුවරයා ලෙස තමන් වහන්සේ හඳුන්වන්නේ නම් එය නිවැරැදි බව බුදුරදුන් විසින් පවසා තිබේ. එහෙයින් මිනිසුන් අතර වැඩි පිරිස වූ ගිහියන් වෙනුවෙන් යම් අනුශාසනයක් නොකර සිටිනන්ට හේතුවක් නැත.

අනිත් අතට නිවන් ලැබීමට ඇති එක ම මඟ පැවිදිවීම යැයි තීරණය කළේ වුව ද (එබඳු තීරණයක් නැති බව අවධාරණය කළ යුතුය) එය පිළිගන්නා සියටලු බෞද්ධ ස්ත්‍රී – පුරුෂයන් එක් වර පැවිදිබිමට පිවිසුණහොත් සිදුවන්නේ මහත් අර්බුදයකි. එසේ පැවිදි වන භික්ෂු පිරිසගේ රක්ෂණය සහ පෝෂණය විෂයෙහි කැපවන්නේ කවුරුන්ද? එමෙන් ම සියල්ලන් බඹසර රැකීම නිසා බුදුසමය ඒ එකම පරපුරෙන් ඉවර වනු විනා දෙවන පරම්පරාවක් ඇති වේද? එහෙයින් එබඳු ප්‍රායෝගික නොවන සහ සාමාජික වශයෙන් අනර්ථකාරි මහා පැවිදි කිරීමේ ව්‍යාපාරයක් වෙනුවට භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා වශයෙන් සිවුවැදෑරුම් අනුගාමික පිරිසක් බුදුසමය තුළ ඇති කරන ලදී.

ගිහියන් කාමභෝගී හෙයින් ඔවුන් ඉඳුරන් පිණවීමෙහි නිරත වන බව පිළිගත් බුදුරජාණන් වහන්සේ පැවිදි පිරිස අනුගමනය කරන ශික්ෂණය ඔවුනට නොගැළපෙන බව පිළිගත්හ. වරක් එක් සාමණේර නමක් ජයසේන නම් ගිහියකුට නිර්වාණගාමී උසස් ප්‍රතිපදාවෙන් ධර්මානුශාසනයක් කළ විට තමන්ට ඒ හිමියන් ඉගැන්වූ දුෂ්කර ප්‍රතිපදාව පිළිපදින්නට බැරි බව හෙතෙම බුදුරදුනට සැල කර සිටියේය. එය පිළිගත් බුදුරජාණන් වහන්සේ කාම වස්තූන් මැද කම් සුව විඳිමින් කල් ගෙවන ගෘහස්ථයකුට පැවිද්දකු මෙන් ජීවත් වීම අපහසු බව වදාළහ. සිගාලෝවාද සූත්‍රයෙහි පැවිදි පක්ෂයේ යුතුකම් දක්වන තැන බුදුරදුන් වදාරා ඇත්තේ භික්ෂුන් විසින් ගෘහස්ථයනට ස්වර්ග මාර්ගය (සග්ගස්ස මග්ගං) ඉගැන්විය යුතු බවය. එහි තේරුම කිසි ම ගිහියකුට ගිහිව සිට ම නිවන් දකින්නට නොහැකි බව නොවේ. සුද්ධෝදන රජතුමා, සන්තති ඇමැතිතුමා වැනි ගිහි දිවියෙහිදී ම රහත් වී පිරිනිවන් පෑ උතුමන් ගැන අපි අසා ඇත්තෙමු. එහෙත් ඔවුහු ඉතා සුළු පිරිසක් වූහ. රහත් වූ පසුව කිසිවකු දිගට ම ගිහි දිවියේ නොවසන බව ද පිළිගැනේ. සෝවාන් සහ සකදාගාමි වැනි මාර්ග ඵල ලත් අය ද ගිහි සමාජයේ සිටියහ. ගිහියන් ද ධර්මය ඉගෙන පිළිපදිමින් උගන්වමින් සහ පරවාදීන් නඟන අපවාදවලට නිසි නිග්‍රහය කරමින් ක්‍රියා කරනු ඇතැයි උන්වහන්සේ අපේක්ෂා කළහ.

“අපි අනගි සළුපිළි හඳින, සුවඳ විලවුන් පරිහරණය කරන, දරුවන් කෙළිදෙලෙන් බාධා කරද්දී නින්දට යන ගිහි කාමභෝගීන් වෙමු. අපටත් ගැළපෙන බණක් ඔබ වහන්සේ ළඟ තිබෙනවාදැ” යි අසාගෙන පැමිණි අයට ද සොඳුරු ගිහි දිවියක් සඳහා මඟ කියා දෙන්නට බුදුහු කාරුණික වූහ. ගිහියන්ට විශේෂයෙන් ම වැදගත් සූත්‍ර ලෙස ව්‍යග්ඝපජ්ජ, සිගාලෝවාද, වසල, පරාභව වැනි සූත්‍ර මෙන් ම මහා මංගල සූත්‍රය ද ගිහි විනය සේ සංග්‍රහ කරගෙන භාවිත කරන්නේ එහෙයිනි. එමෙන් ම ගිහියන්ගේ ආර්ථික, සාමජීය සහ දේශපාලන චර්යාවනට අදාළ දේශන රාශියක් අංගුත්තර සහ සංයුත්ත නිකායයන්හි දක්නා ලැබේ.

ගිහියන් සඳහා නිවනට පෙර ඇති අතුරු අරමුණු නිර්දේශ කර ඇති බව අමතක නොකළ යුතුය. ආධ්‍යාත්මික වර්ධනයෙහි ප්‍රමාණය අනුව උත්තරෝත්තර වශයෙන් උසස්වන දිව්‍යලෝක සහ බ්‍රහ්ම ලෝක රාශියක් බුදුසමයෙහි නිර්දිෂ්ටය. දිව්‍ය ලෝකවල ඉපදීමට දාන ශීලාදී පුණ්‍යකර්ම ඉවහල් වන අතර දාන, ශීල මෙන් ම භාවනාමය කුසල කර්මයන්හි ද නිරත වීමෙන් බ්‍රහ්ම ලෝක උත්පත්තිය සාධනය කරගත හැකිය. පහළ දිව්‍ය ලෝක කම් සැපතින් ඉහළ නමුත් පින් දහම් කරගැනීමට එයින් බාධාවක් නැන. බ්‍රහ්ම ලෝක භාවනාමය ධ්‍යාන සුවයෙන් විසිය හැකි ස්ථාන වෙති. මේවායේ උත්පත්තිය ලැබීම අපා දුකට වඩා හැමතින් ම යහපත් හෙයින් වහා නිවන් සුව ලැබීමට තරම් සසර පිළිබඳ කලකිරීමක් නැත්තවුනට ඒවා යෝග්‍ය බව අනිවාර්යයෙන් ම පිළිගැනෙයි. බොහෝ විට ගිහියන් පින් කරන්නේ මතු ජන්මය මෙන් දිව්‍ය ලෝකයක ඉපිද සැප විඳීමටය. ගිහියනට දෙවුලොවට මඟ කියා දෙන්නැයි බුදුරදුන් සඟරුවනට කාරුණිකව සිහිපත් කර ඇත්තේ එහෙයිනි. ධර්මාශෝක රජතුමා තම ධර්ම ප්‍රචාරක ශිලාලේඛනවල නිර්වාණය ගැන වචනයක්වත් සඳහන් නොකළේ ද ඒ අනුව ම බව සිතිය හැක. එහෙයින් හැකි තරම් දාන, ශීල, භාවනා පුණ්‍ය කර්මයන්හි යෙදීම ගිහියන්ට අතිශයින් ම යෝග්‍යය.

ගිහියන්ගේ සදාචාරය ගැන කතා කිරීමේදී තමන්ගේ වටිනාකම තේරුම් ගැනීම ප්‍රධාන ප්‍රතිග්‍රැහීතයක් ලෙස ගනු ලැබේ. තමන්ට තමා ප්‍රිය නම් ආත්මය සුරකින්න. යහපතෙහි මිස පාපයෙහි නොයොදන්නැයි බුදුරදුන් වදාළේ තම වටිනාකම තේරුම් ගැනීම යහපැවැත්ම සඳහා අදාළ කරගැනීම සඳහාය. මෙහිදී ආත්මය යන්නෙන් අදහස් කළේ බ්‍රාහ්මණ ධර්මයෙහි උගන්වන ලද ස්ථාවර නිත්‍ය ආත්මය නොව වෙනස් වන සංවර්ධනය කරගත හැකි ස්වීයත්වයයි. වෙනස් නොවන සදාකාලික ආත්මයක් ගැන විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කරන නමුත් වෙනස් වන (අනිත්‍ය) සහ වෙනස් කළ හැකි සම්මුති ගණයට වැටෙන අගේ ඇති, ආදරය කළ හැකි ආත්මය බෞද්ධයනට පිළිගත හැකිය. දැනුම් තේරුම් ඇත්තන් දමනය කරන්නේ, සංවර්ධනය කරන්නේ එම අනිත්‍ය වූ ආත්මයයි. නූතන මනෝ විද්‍යාඥයෝ ද තම අගය (self worth) තේරුම් ගැනීම යහපත් පෞරුෂයක් ඇති කරගැනීම සඳහා බෙහෙවින් අදාළ වන අයුරු පහදති. සිය දිවි නසාගැනීම නොකළ යුත්තේ ද අප අපට ම ආදරය කළ යුතු හෙයිනි. මෛත්‍රී භාවනාව ආරම්භ කරන්නේ ද තමන්ට මෛත්‍රී කරගැනීමෙනි. තමන්ට වෛර කරන අයකු අනුන්ට මෙත් වඩතැයි සිතිය හැකි ද?

බෞද්ධ ආචාර ධර්ම තමන් පිළිබඳව ස්වයං ප්‍රත්‍ය වේක්ෂණයෙන් ම ආරම්භ වෙයි. අපි ජීවිතයට ප්‍රිය වෙමු. මරණයට අකැමැති වෙමු. දඬුවමට බිය වෙමු. සැපට කැමැති වෙමු. දුක පිළිකුල් කරමු. එසේ නම් අප වැනි ම සජීවී අන්‍ය සියලු මනුෂ්‍යයෝ මෙන් ම සතා සීපාවෝ ද එසේ ම වෙති. එහෙයින් අප ඔවුන්ගේ ජීවිතවලට හානි නොකළ යුතුය. දුක්නොදිය යුතුය. ඔවුන් අපට කරනවාට අකැමැති කිසිදෙයක් අප ඔවුනට නොකළ යුතුය. මෙම චින්තන ක්‍රමය වෙලුද්වාර සූත්‍රයේදී හඳුන්වා ඇත්තේ අත්තූපනායික ධම්ම පරියාය (තමා මුල් කොට සිතන ධර්ම ක්‍රමය) වශයෙනි. බෞද්ධයන් ජීවත් විය යුත්තේ සමූපකාරිකයන් පවසන පරිද්දෙන් ම ‘එකා සැමටත් – සැම එකාටත්’ යන පිළිවෙත ගරු කරමිනි. අප කරන දේ අනුනටත් අනුන් කරන දේ අපටත් බලපාන හෙයින් අපගේ සෑම ක්‍රියාවක ම සමාජීය බලපෑම ගැන නිතර අවදියෙන් සිටීම අවශ්‍යය. කිසිම කෙනකුට තනිව ම ජීවත් විය නොහැක. උදවු උපකාර කෙසේ වෙතත් කතා බහ කරන්නටවත් කෙනකු නැති විට ජීවිතය ඛේදවාචකයක් වෙයි. ලොව සියලුම ජීව සහ අජීව සාධක එකිනෙකා සාපේක්ෂ අයුරින් වෙළී පවතියි. බුදුදහමේ පටිච්චසමුප්පාද ධර්මයෙන් හෙළි කරන සත්‍යය එයයි.

බෞද්ධ ගිහියන්ගේ දෛනික ජීවිතය සඳහා ිනිර්දිෂ්ට යහපැවැත්මේ මූලික පදනම පංචශීලයයි. එය ඉදිරිපත් කර ඇත්තේ වෙනත් ආගම්වල මෙන් ප්‍රශ්න නොකර පිළිපැදිය යුතු දිව්‍යමය අධිකාරයක් විසින් නියම කරන නීතියක් ලෙස නොව හේතු යුක්ති සලකා බලා කැමැති නම් පිළිගෙන ස්වේච්ඡාවෙන් අනුගමනය කළ යුතු දෙයක් වශයෙනි. ශ්‍රාවකයනට තර්කානුකූලව සිතා මතා යෝග්‍ය දේ තෝරා ගන්නට නිදහස ඇති හෙයින් අප පන්සිල් රැකිය යුත්තේ කවර හෙයින්දැයි ප්‍රශ්න කිරීමට අපට නිදහස තිබේ. “බුදුරදුන් නියම කර ඇති නිසා අපි පන්සිල් රකිමු” යනුවෙන් පිළිතුරු දීම බෞද්ධ ක්‍රමය නොවේ. පන්සිල් නොරකින්නවුන් අතර අපට ජීවත්විය නොහැක. නිදර්ශනයක් ලෙස මිනීමැරීම සාමාන්‍ය දෙයක් ලෙස සිතන සමාජයක අපට ජීවත්වන්නට වුවුහොත් ඕනෑම තත්පරයක කවුරුන් විසින් හෝ අප මරා දමනු ඇතැයි බියෙන් ජීවත් වන්නට සිදුවෙයි. අපේ ජීවත්වීමේ අයිතිය අභියෝගයට ලක්වෙයි. සියලු දෙනා ම අනුන්ගේ ජීවත් වීමේ අයිතිය ගරු කරමින් අනුන් මැරීමෙන් වැළැකීමෙන් හැම දෙනාට ම හැම දෙනාගෙන් ම ජීවත් වීමේ අයිතිය පිළිබඳ සහතිකයක් ලැබේ. මෙය තේරුම් ගත් විට ප්‍රාණඝාතයෙන් වළකින්න යැයි ආගම් කතුවරයකු හෝ දෙවි කෙනකු අපට අණ කළ යුතුද? සිය කැමැත්තෙන් ප්‍රාණඝාතයෙන් වැළැකීමෙන් සාමකාමී නිර්විග්න පරිසරයක් නිර්මාණය කරගැනීම ඕනෑම ආගමක කෙනකුට හිතකර නොවේද? දෙවන සිල්පදය වූ සොරකමින් වැළැකීමෙන් අපි අන් අයට පෞද්ගලික දේපළක් අපෙන් සම්බාධයක් නැතිව හිමි කරගෙන සිටීමට අයිතිය දෙමු.

ඔවුන් ද සිය කැමැත්තෙන් එසේ කළහොත් අපේ දේපළ අයිතිය ද සුරැකෙනු ඇත. අනුන්ගේ අනවශ්‍ය මැදිහත්වීම් නැති සහනදායක පවුල් ජීවිතයක් ලබා ගැනීමට තෙවන සිල් පදය ද නිවැරදි ලෙස අදහස් හුවමාරු කරගනිමින් භාෂාවක් තිබීමේ නියම ප්‍රයෝජනය වූ සත්‍යය දැනගැනීමේ අයිතිය සිවුවන සිල් පදයෙන් ද මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතයෙන් මනස අවුල් කරගත්තවුන්ගෙන් බාධා නැති නිරාකුල ජීවිතයක් සඳහා වන අයිතිය පස්වන සිල් පදයෙන් ද තහවුරු වෙයි. අපට ලබාගන්නට අවශ්‍ය සුරක්ෂිතතාව අපි අනුන්ට දෙමු. අනුන් ද එවන් සුරක්ෂිතතාවකට අනිවාර්යයෙන් ම කැමති වනු ඇත. ඔවුන් ද පන්සිල් රකිතහොත් අපට ඔවුන්ගෙන් එය ලැබෙයි. ඔවුන් අප පන්සිල් රකින බව දැනගන්නේ කෙසේද? බෞද්ධයන් සෑම ආගමික උත්සවයකදී ම කාටත් ඇසෙන පරිදි පන්සිල් ගන්නේ ඒ සඳහාය. මේ නිසා බෞද්ධ සමාජයේ සියලු දෙනා ම සියලු දෙනාට ම මූලික අයිතිවාසිකම් අන්‍යොන්‍ය වශයෙන් තහවුරු කරගන්නවා නොවේද? මේ පංචශීලය සමාජයේ යහපැවැත්ම අරමුණු කරගෙන කාටත් ආගම් භේදයකින් තොරව බුදුරදුන්ගේ නම ගාවානොගෙන තහවුරු කර ඇති නිසා ඕනෑම ආගමක අයකුට සමාදන්ව පිළිපැදිය හැකිය. එවිට නිර්මාණය වන සමාජය මොන තරම් ප්‍රසන්න සුන්දර එකක් වනු ඇත්දැයි අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

බෞද්ධයන් පන්සිල් සමාදන් වනු දකින සමහර අයට එය හුදෙක් “වළකිමි” යනුවෙන් පොරොන්දු වීමක් නිසා ඍණාත්මක කියමන් මිස ධනාත්මක සීලයක් ලෙස නොපෙන්නට ඉඩ ඇත. යමකු එසේ පවසතහොත් ඒ ඔවුන්ගේ නොදැනුම්කම හේතුවෙනි. පෙරදිග සංස්කෘතියෙහි සමහර සංකල්ප ඍණ ලෙස පෙනී ගියත් ඒවා අතිශයින් ම ධනාත්මක අර්ථයන්ගෙන් පෝෂිතය. නිදර්ශනයක් වශයෙන් අහිංසාව යන වචනය දැක්විය හැකිය. එය ව්‍යාකරණානුකූලව බලන්නේ නම් නඥර්ථ පදයකි. හිංසාව නැතිකම ලෙස ඊට අරුත් දැක්වි ය හැකිය. එහෙත් සැබෑ තත්වය එය නොවේ. අහිංසාව නම් පූර්ණ ධනාත්මක ප්‍රතිපදාවකි. ගාන්ධිතුමා භාරත දේශයේ සමස්ත නිදහස් අරගලය ම ඉදිරියට ගෙන ගියේ අහිංසාව පදනම් කරගෙනය. සත්‍යග්‍රහයේ පසුබිම වූයේ ද අහිංසා දර්ශනයයි. අනිත්‍යය තවත් එවැනි පදයකි. එමගින් නිත්‍යතාවට වඩා අනගි ධනාත්මක පණිවුඩයක් ලැබේ. යමක් වෙනස් කර සංවර්ධනය කළ හැක්කේ අනිත්‍ය නම් පමණක් බව අනිත්‍ය දර්ශනයෙන් තේරුම් ගන්නා අපි එමගින් ධනාත්මක ආකල්පයක් ලබා ගනිමු. පංචශීලය සමග එබඳු ධනාත්මක පණිවුඩයක් බුදුසමය අපට ලබා දෙයි. ප්‍රාණඝාතයෙන් වැළැකීම විවරණය කර ඇති අයුරු බලන්න.

“ප්‍රාණඝාතයෙන් වැළැකී ප්‍රාණඝාතය අතහැර අවි ආයුධ හැර දමා පාපයට ලජ්ජා වෙමින් දයාව වර්ධනය කරගනිමින් සියලු ප්‍රාණීන්ගේ හිත සුව පිණිස ක්‍රියා කරයි. (පාණාතිපාතං පහාය. පාණාතිපාතා පටිවිරතො නිහිත දණ්ඩෝ, නිහිත සත්ථෝ, ලජ්ජී, දයාපන්නෝ සබ්බ පාණභූත හිතානුකම්පී විහරති.)”

අදින්නාදානයෙන් වැළැකීම විවරණය කර ඇත්තේ මෙසේය. “සොරකම් කිරීම අතහැර සොරකම් කිරීමෙන් වැළැකී, දෙන දේ පිළිගනිමින්, දෙන දේ පමණක් බලාපොරොත්තු වෙමින්, සොරසිත් දුරු කර පිරිසිදු සිතින් ජීවත් වෙයි. (අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො දින්නදායී දින්නපාටිකංඛී අථෙනෙන සුචිභූතෙන චෙතසා විහරති)”

සියලු සිල්පද පසුපස ඇත්තේ මෙවන් ධනාත්මක සදාචාරයකි. දස කුසල් නමින් දස අකුසලින් වැළැකීම දක්වා ඇත්තේ මෙවන් ධනාත්මක අදහසින් මිස අකුසලින් වැළැකීම් පමණින් මිනිසුන් නිෂ්ක්‍රිය කරන්නට නොවේ. බෞද්ධ ගෘහස්ථ සදාචාරය කිසිසේත් වැළැකීම් මාත්‍ර ලෙස නොගත යුතුය. “සබ්බ් පාපස්ස අකරණං” යන්නෙන් නොනැවතී” කුසලස්ස උපසම්පදා” යන්න ද දක්වන්නේ සංවර්ධානත්මක ක්‍රියාවලියක් හඟවනු පිණිසය.

ධනාත්මක මනෝභාවයන් වර්ධනය කිරීම සාර්ථක ගිහි ජීවිතයක් සඳහා අත්‍යවශ්‍යය. ප්‍රියංකර සුහද මානව සම්බන්ධතා වර්ධනය වන්නේ එබඳු උසස් හැඟීම් ඇති පුද්ගයන් අතරය. නිර්වාණ මර්ගය වුව ද හුදෙක් ප්‍රඥාව වර්ධනය කිරීමක් ලෙස දක්වා නැත. ඒ සඳහා ගුණ දහම් හෙවත් ශීලයෙහි වර්ධනය ද අවශ්‍යය. විශිෂ්ටතම ථෙරවාදී අටුවාචාර්ය බුද්ධඝෝෂ මාහිමියන් අටුවාකරණය ආරම්භ කරමින් සියලු ධර්මයන් විෂයෙහි ප්‍රඥාව ද සියලු සත්වයන් විෂයෙහි කරුණාව ද ඇති උතුමාණන් (පඤ්ඤාස්ස සබ්බ ධම්මේසු – කරුණා සබ්බ ජන්තුසු) ලෙස බුදුසමිඳුන් කීර්තනය කළේ එහෙයිනි. බෞද්ධයන් විසින් වර්ධනය කරගත යුතු වැදගත් භාවමය ගුණාංග හතරක් බ්‍රහ්ම විහාර හෙවත් අප්පමඤ්ඤා ලෙස ඉගැන්වේ. මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා යනු ඒ චිත්තාකල්ප හතරයි. බුද්ධඝෝෂාචාර්ය පාදයන් පහදා දෙන පරිදි සමාජ ආශ්‍රය හා බැඳුණු සෑම අවස්ථාවට ම අවශ්‍ය ප්‍රතිචාරය එමගින් සැලසෙයි. මේවා ප්‍රගුණ කිරීමෙන් බොහෝ අර්බුද නිරාකරණය වෙයි. සමාජ සම්බන්ධතා විෂයෙහි සාම සාධකයන් සේ ඒවා ක්‍රියා කරයි. සියලු ජීවිත ගැටුම් හේතුවෙන් ඇතිවන වේදනාවනට සහනය ගෙන එයි. සමාජ බාධක ඉවත් කර සාමකාමී ප්‍රජාවක් බිහිකරයි. නුපුහුණු දයා – කරුණා පුබුදුවාලයි. ආත්මාර්ථකාමීත්වය තුරන් කර මානව සහෝදරත්වය වර්ධනය කරයි. මේ ආකල්ප දෙමාපියන් විසින් දරුවනට දක්වන බව හඳුනා ගන්නා බුදුදහම ඒ අයුරින් ම අප ලෝකයා විෂයෙහි ඒවා ප්‍රගුණ කළ යුතු බව දක්වයි. මේවා අවංක ලෙස ප්‍රගුණ කරන්නෝ ජාති, කුල, ආගම් හෝ පන්ති භේද නොතකා සියල්ලන් වෙත ම සුහද සිත් ඇති කර ගනිති.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *