අවිරුද්ධ ප්‍රතිපදාව

rashi
By rashi
9 Min Read

සතියේ බල මහිමය The Power of Mindfulness ග්‍රන්ථය ඇසුරෙනි

(සිව්වැනි කොටස)

ජර්මන් ජාතික පූජ්‍ය ඤාණපොනික නාහිමි

සිංහලානුවාදය: මීතිරිගල නිස්සරණ වනය අරණ්‍ය සේනාසනාධිපති සහ ප්‍රධාන කර්මස්ථානාචාර්ය, පූජ්‍ය උඩඊරියගම ධම්මජීව නාහිමි

භාවනාවට ඇති බාධක

අප අවට ලෝකය මෙන්ම අපගේ මනෝ ලෝකයත් ඉච්ඡා භංගත්වයෙන්, අසහනයෙන් හා පරස්පර විරෝධී බලවේගවලින් පිරී පවතී. ඒවායෙන් ජය ලැබීමට හෝ ඒවාට එදිරිව සටන් කිරීමට තරම් ශක්තියක් අපට නැති බව අපි අත්දැකීමෙන්ම දනිමු. අප කැමති සියල්ල කැමති පරිදි ලබාගැනීමට මේ ලෝකයේදී නොහැක්කේය. මනෝ ලෝකයේදී පවා ආශා, හැඟීම් හා හිතුවක්කාර සිතිවිලි, සාධාරණත්වයද වගකීම්ද බුද්ධිමය අපේක්ෂාද යටපත් කරගෙන නැගී සිටී.

අමනාප අවස්ථාවලට එරෙහි වීමෙන් ඒවා තව තවත් අප්‍රසන්න තත්ත්වයට පෙරළෙන බවද අපි දනිමු. කාමාසාව මැඩ පැවැත්වීමට දැඩි චිත්ත ශක්තියක් යෙදුවහොත් කාමාසා තව තවත් වැඩිවන අයුරු අපි දන්නෙමු. මත භේද – රණ්ඩුවලදී කෝප සහගතව කටයුතු කිරීමෙන් තව තවත් ඒවා තර වන්නේ ආහාර ලැබුණු කලෙක මෙනි. අනෙකාගේ එදිරිවාදිකම් මැඬලීමට කරන ප්‍රයත්න හරහා එදිරිවාදිකම් උග්‍ර වන්නේය. කටයුත්තක යෙදී සිටින විටෙක හෝ විවේකීව සිටින විටෙක නැත්නම් භාවනා කරන විටෙක මතු වන බාධාවකදී යමකු නුරුස්නාසුලුව ප්‍රතික්‍රියා කළහොත් හෝ මැඬලීමට යත්න දැරුවොත් එම බාධාව දිගින් දිගට ඇදී යනවාක් මෙන්ම එන්න එන්නම උග්‍ර වීමද වැළැක්විය නොහැක.

බලකොටු උදුරාගත නොහැකි තත්ත්වයන් අනුව බලාපොරොත්තු සුන්වීම ජීවිතයේදී බහුලය. එහෙත් අවිරුද්ධව ජයගත හැකි, නිතරග ජයග්‍රහණ ලබාදෙන ක්‍රම සහ විධි ඇත. මර්දනකාරීව ලබාගත නොහැකි අභ්‍යන්තර හෝ බාහිර බොහෝ දේ සාමකාමීව අහිංසකව ලබාගත හැක. සතිපට්ඨානය එවැනි සාමකාමී ප්‍රතිපදාවකි. සම්‍යග් සතියට ආසන්න කාරණය වන සති මාත්‍රයට තැන දීමෙන් මෙම අවිරුද්ධ ප්‍රතිපදාව සතු ශක්තිය සහ එහි යහපත් ප්‍රතිඵල ක්‍රමයෙන් විකසිත වන්නේ අසිරිමත් ලෙසිනි. සතිපට්ඨාන භාවනාව මෙම සාමකාමී ප්‍රතිපදාව හරහා ගෙන දෙන මානසික සංයමය හා භාවනා දියුණුව වැනි ප්‍රතිඵල සහ ප්‍රතිවිපාක මෙහිදී අපි සලකමු. සැලකිල්ලෙන් විමසා බලන පාඨකයකුට මෙයටත් වඩා හොඳ ශික්ෂාවක් පිළිතුරු වශයෙන් තවත් නැත.

භාවනාවේදී හමුවන බාධක ප්‍රධාන වශයෙන් තුනකි.

  1. ශබ්ද වැනි බාහිර කරදර;
  2. මනසේ පහළ වන රාග, ද්වේෂ, දුක්, අසහනය, අලසකම ආදී කෙලෙස් ධර්මයෝ;
  3. විවිධ වූ අයාලේ යන සිතිවිලි සහ දවල් සිහිනයි.

ආධුනික යෝගාවචරයාට මේවා බරපතළ බාධාවන් වන අතර, ඔහුට එම තත්ත්ව තනිවම ලේසියෙන් මගහැර යා හැකි දක්ෂතාවක් නැත. මේවා මතු වූ පසු පිළිතුරු සෙවීම හෝ සිත ඒ බාධක වෙත යෙදවීම පමණක් මේ සඳහා ප්‍රමාණවත් නොවේ. බලාපොරොත්තු නැති වෙලාවක මේවා මතු වීමේදී ඒවාට ස්වභාවයෙන් ප්‍රතික්‍රියා කිරීමෙන් හෙතෙම අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගනී. සූදානම් නැති අවස්ථාවක මතුවන මෙවන් බාධක සමග නොසන්සුන් සිතින් පොර බැදීමෙන් අනවශ්‍ය බාධා ඇති කරගැනීම සිදුවිය හැක්කකි. මේ අනුව බලාපොරොත්තු කඩවීම හෝ ඉඳගන සිටින සළුව ගසා දමා නැගිට යෑම සිදුවිය හැක්කකි.

මේවා ගැන සවිස්තරව කොතෙක් කලින් කියවා බලා තිබුණත් ගුරුවරුන්ගෙන් අසා දැන සිටියත් අසීරු අවස්ථාවක් මතු වූ විට ඒ පිළිබඳව කටයුතු කිරීමට අවශ්‍ය දැනුම යෝගාවචරයා සතුව නැත. ආධුනික යෝගාවචරයා එවන් අවස්ථාවල අසරණ වන අතර, ඉක්මනින් බලාපොරොත්තු සුන් කරගැනීම ඔහුට ඇති ප්‍රධාන බාධාවයි. ඉක්මනින් පරාජය පිළිගනී. ලෞකික කටයුතුවලදී මෙන්ම මෙහිදීද මෙවන් “මූලික දුෂ්කරතාවලට” මූණ දෙන ආකාරය තම යෝග ජීවිතයේ අනාගතය තීරණය කරනු ඇත.

බාධක හමුවේ අදක්ෂ යෝගාවචරයා ප්‍රතික්‍රියා කරන හැටි දෙයාකාරය. ප්‍රථමයෙන් ඇඟට නොදැනී ඉවත ලෑමට යත්න කරනු ඇත. එය ව්‍යර්ථ වුවහොත් දැඩි සිතින් යටපත් කරන්නට පෙළඹෙනු ඇත. මේ කරදර, බාධක ගරුසරුවක් නැති මැස්සන් වැනිය. පළමුව හෙමිහිටත් පසුව කෝපයෙනුත් ගසා දමන විට ඔවුන් නැවත නැවතත් ආපසු එන හෙයින් එවුන් මුළුමනින්ම එලවා දැමීම නොකළ හැක්කකි. මේ එලවා දැමීමේ ප්‍රයත්නය මඳ වේලාවකින් යෝගාවචරයාගේ ඉරියව්ව හා සිතේ ශාන්තිය නසා දමනු ඇත.

මෙසේ බලයෙන් යටපත් කිරීමේ ඔළමොළ ක්‍රමය නිෂ්ඵල මෙන්ම අසාර්ථක වූද එකකි. ඒ වෙනුවට සතිපට්ඨානය, සති මාත්‍රය හරහා මෙයම වෙනස් ප්‍රතිපදාවකින් අපට උගන්වයි.

මේ සාමකාමී පිළිවෙළ සඳහා යහපත් දැක්මක්, සම්මා දිට්ඨියක් ආරම්භයේදීම අත්‍යවශ්‍යය. මෙලොව ජීවත් වන සියල්ලන්ටම ඉහත සඳහන් බාධා සාධාරණ බව මුලින්ම පිළිගත යුතුය. ප්‍රතික්ෂේප කිරීමෙන් මේ බාධා වෙනස් කළ නොහැක. ඒ වෙනුවට ඒවා සමග සුහදතාවක් ඇති කරගැනීමෙන් සමහර බාධා සමනය කළ හැක. ඉතිරි කරදර සහ අනෙකුත් කෙලෙස් සම්පූර්ණයෙන් සන්සිඳෙන තුරු කටයුතු කළ යුතු ආකාරයක් ඇත. එය දැන සිටිය යුතු.

  1. මෙලොව අයිතිය අපට පමණක් නොව, අනෙකුත් බොහෝ ජීවීන්ටද සාධාරණ නිසා ශබ්ද හා ආගන්තුක බාධා අනන්තය. අප බලාපොරොත්තු වන “අංග සම්පූර්ණ හුදකලාව” ඇති හෝ අනෙකුත් සතුන්ගේ ශබ්ද, කෑගැසීම්, බිරීම් නැති ලොවක් නැත. උඩ එල්ලෙන සිහින මාලිගා වැනි, මහජනයා ගෙන් තොර තැන් පැතිය නොහැක. විපස්සනා භාවනාව යනු ප්‍රශ්නවලින් පැන යෑමක් හෝ තාවකාලික තැනක ශාන්තව සැඟවී සිටීමක් නොවේ. මෙම තාත්වික භාවනා ක්‍රමය හරහා අප බලාපොරොත්තු වන්නේ අප ජීවත් වන ලෝකය ඇති හැටියෙන් ඇස්පනාපිට දැන ගැනීමත්, එය ඉක්මවා යන ලෙසට සිත පුරුදු කිරීමත්ය. මේ භාවනා ජීවිතය කෙරේ විවිධාකාර බාධක අනිවාර්යයෙන්ම පවතින්නේය.
  2. මහාසී සයාඩෝ ස්වාමීන්වහන්සේ මෙසේ කියා ඇත:

“පෘථග්ජන හිත තුළ නැවත නැවත කෙලෙස් ඉපදීම ස්වාභාවිකය. පෘථග්ජනයා එයට මුහුණ දිය යුතුය. සතිපට්ඨානය වඩන්නා, භාවනා කරන්නා එම කෙලෙස් ධර්ම ගැන වැටහීමක් ලබාගත යුතුය. කෙලෙස් හඳුනාගත යුතුය. මෙම හඳුනා ගැනීම හරහා එම කෙලෙස් දුර්වල වීම, ක්ෂය වීම කෙළවර කොට අවසානයේ අතුරුදන් වනු ඇත.” මෙවන් යෝගාවචරයකුට තමා සතු කෙලෙස් හඳුනාගැනීම කෙතරම් වැදගත් ද යත්, තමා සතු යහපත් – උසස් සිතිවිලි දැන ගැනීම තරමටම එයද වැදගත්ය.

කෙලෙස්වලට මුහුණ දීමෙන් යෝගාවචරයා තුළ එම කෙලෙස් යටපත් කිරීමේ අදහස සහ අවශ්‍යතාව වැඩෙන්නේය. උනන්දුවක් ඇති වන්නේය. ඒ වෙනුවට යම් කෙනකු කෙලෙස් පහළ වූ විට ලැජ්ජාව නිසා හෝ මාන්නය නිසා නොතකා හැරියොත්, මේ පුරුද්ද නිසාම අවසාන සම්මුඛ සටනින්ද පරදිනු ඇත. අන්ධ ලෙස කෙලෙස්වලට පහරදීමට යෑමෙන් තමා වෙහෙසට පත්වේ. නැත්නම් තමාටම අනතුරු කරගනී. ඒ වෙනුවට කෙලෙස් මතුවන විටම, සිතේ උපදින විටම, ඒවායේ ස්වභාවය සහ හැසිරීම් හොඳින් පරීක්ෂා කළ හැකි නම්, කළ යුත්තට කල් තියා සූදානම් වීමක් මෙන්ම ඊටත් කලින් සහමුලින්ම වළක්වා ලීම පිළිබඳ විශ්වාසයක්ද තැබිය හැක. මෙය කවදා හෝ සහමුලින්ම දුරු කිරීමේ නොවරදින ක්‍රමයයි. ඒ නිසා මතුවන කෙලෙස්වලට විවෘත මනසකින් යුක්තව මුහුණ දෙන්න. කෝල නොවන්න! බිය නොවන්න! අධෛර්ය වී පසු නොබසින්න.

  1. භාවනාවේදී හමුවන මීළඟ බාධකය නම් අයාලේ යන සිතිවිලි සහ දවල් සිහිනයි. මේවා අතීත-අනාගත සිතිවිලි, මනෝවිකාර ආදියෙන් සමන්විත විය හැක. සිතින්ම මතුවන කුණුද මෙහිදී මතුවනු ඇත. අතීතය අනුව සිදුවන පශ්චාත්තාප, අනාගත සිහින මෙන්ම ඉන්ද්‍රිය බද්ධව සිදුවන මනෝ ක්‍රියාද මෙහිදී ඉස්මතු වේ. සතිය දුර්වල වී සිතේ එකලස බිඳෙන විට, ලූලා නැති වළට කනයා පණ්ඩිතයා වන්නා සේ මේවා ආගන්තුකව ඉස්මතු වන්නේ හිතේ අසතිමත් හිස් තැන් පුරවන්නා සේය. අයාලේ යන්නාක් මෙන් නොවැදගත් ලෙස මුල් බැසගන්නා මේවා ගෙට වැදුණු ඔටුවකු සේ ආධුනිකයාගේ මෙන්ම ප්‍රවීණයාගේ ද සිත වසා ඉතිර පැතිර යයි. බැලූ බැල්මට කෙලෙස් නොවන මේවා සම්පූර්ණයෙන් පාලනයට නතු කරගත හැක්කේ අර්හත්වයෙන්ම පමණි. මුලින් මුලින් කරන්නේ ඒවා තරමක් ඈතින් ඈතට තල්ලු කර හැරීම පමණක් වන අතර, ඒ තරමට භාවනාවේ දියුණුව සඳහා වේලාව ලැබේ. මෙම ආක්‍රමණික ධර්ම ඈත්ව තබා ගතහොත් දීර්ඝ කාලයක් මූල කර්මස්ථානය මත භාවනා කිරීමේ හැකියාව දියුණු කරගත හැක.

යට දැක්වූ බාධා තුනට නිසි අවධානය දීම යෝගාවචරයාගේ යුතුකමයි. ඒ බව දැන ගෙන ඊට සුදුසු මානසිකත්වය සකස් කරගැනීමට නම් ඒවා පිළිබඳ සුතමය ඥානය තිබිය යුතුය. සිතේ ධාරණය කරගත යුතුය. ඒ අනුව ඉදිරිපත් වන මේ ත්‍රිවිධ බාධා තුළ යෝගාවචරයාට දුක පිළිබඳ ප්‍රත්‍යක්ෂය තහවුරු වන්නේ සුතමය හා චින්තාමය වූ මූලික දැනුමේ ප්‍රමාණයටය. ඒ ආධාරයෙනි. කාට හෝ අභිමත දේ අභිමත සේ නොලැබේ ද එය දුකකි. ඉතිරි ආර්ය සත්‍ය තුනද මෙලෙසටම අනුකූල වන පරිදි භාවනාවට ආදේශ කරගත යුතුය. මෙලෙසටම අනුකූල වන පරිදි භාවනාවට ආදේශ කරගත යුතුය. මෙලෙසටම නීවරණ ධර්ම හමුවේ ද ගෝචර ලෙස යොදාගැනීමට යෝගාවචරයා සූර විය යුතුය. කෙටියෙන් කියතොත්, නීවරණ ඉදිරිපත් වන විට ඒවාට වෛර නොකිරීමෙනි; අවිරුද්ධ වීමේ කලාව හරහාම පමණි. සම්‍යග් සතිය පිළිබඳ අවබෝධයෙන් එම සතිය හරහා එදිනෙදා ජීවිතයේ සිද්ධිවලදී ලැබෙන අවබෝධ ඥාන හා සුතමය ඥාන – චින්තාමය ඥාන නිසි සමබරතාවකට ගෙන ඒම, ප්‍රයෝජනය සලකා එතැනි එතැන කළ යුත්තකි. මෙය සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන හතරවැන්න වන ධම්මානුපස්සනාවයි. ආරම්භයේදීම මේ සඳහා ලෑස්ති මනසකින් යුක්ත වීම සඳහා වන මෙම අවිරුද්ධ ප්‍රතිපදාව හෙවත් පළමුවන පිම්ම දැන් අප සතුව ඇත. සතුරා හමුවේ උද්වේගකර වූ, සූදානම් නැති මනසකින්, දුර්වල ලෙස මුලින් පටන්ගත්තේ වී නමුත් කාරණය හරි හැටි මෙලෙස වටහාගැනීමෙන් පසු සූදානම් මනසක් දැන් අප සතුව ඇත. මෙය විශාල ලාභයක් වන අතර, මෙයට අපි අවිරුද්ධ ප්‍රතිපදාව යැයි කියමු. මෙතෙක් සතුරන්ව පැවති මේවා දැන් චතුරාර්ය සත්‍යය කියා දෙන ගුරුවරුන් බවට පත් කරගත් පසු මේ තාක් පැවති මේ බාධකය ඉදිරි ගමනට සාධකයක් කරගනිමු.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *