තරුණ පරපුර හා සාරධර්ම

cmadurawala
9 Min Read

ආචාර්ය බෙල්ලන ඤාණවිමල නාහිමි

සිංහල භාෂාවේ ‘සාරධර්ම’ යන වචනය මෑතකදී ව්‍යවහාරයට පැමිණ ඇතත්, එයින් ගම්‍යමාන වන දෙය සිංහල සමාජයේ බොහෝ අතීතයේ සිටම බැරෑරුම්කොට සලකන ලද්දකි. කවර හෝ සමාජයක සාර්ධර්ම නමින් හැඳින්වෙන කොටසක් ඇත්තේමය. සමාජයක වැඩිදෙනා අගය කොට සලකන හැසිරීම් රටාව හා සම්මත සාමාජික ව්‍යවහාරය මෙයින් අදහස් කෙරෙයි. මෙය සිංහල සමාජයේ පෙරදී හැඳින්වුණේ ‘සදාචාරය’ යන නමිනි. රටාවේ අලුත්වීමක් දක්නා හෙයින් නාමයේ ද අලුත්වීමෙහි වරදක් නොපෙනේ.

සමාජයක සාරධර්ම ගොඩනැඟෙන්නේ රටෙහි ජීවිකා වෘත්තිය, ආගමික ඉගැන්වීම් හා සාමාජික අවශ්‍යතාවන් යන මේවායේ බලපෑම් අනුවය. බොහෝවිට සාරධර්මයන් සමාජයේ පවත්නා ආගමික ඉගැන්වීම් තුළටම කාවැදී පවතිනු දක්නා ලැබේ. විවිධ රටවල සාරධර්මයන්ගේ විවිධත්වය පරීක්ෂා කිරීමේදී මෙය මනාව පැහැදිලි වෙයි. ඇතැම් විටෙක වෙනත් රටක හෝ සමාජයක පිළිගත් සාරධර්මවල ඇතැම් අංග වෙනත් සමාජයක සාරධර්මවලට විෂම වෙයි. ඇතැම් ආහාර වර්ග සමහර කෙනකුගේ ශරීරවලට විස වන්නාක් මෙනි.

මව්පිය ගරුත්වය

ගත වූ සියවස් කීපය තුළ ගමනාගමන පහසුකම් දියුණු වීම, අධිරාජ්‍ය ගොඩනැඟීම හා ජාත්‍යන්තර වෙළෙඳාම් දියුණුවීම යන කරුණු නිසා වෙනත් ජාතීන් වෙනත් රටවලට සංක්‍රමණය වීම හා ඇසුර වැඩිවීම සිදුවිය. මේ හේතුවෙන් බොහෝවිට සමහර රටවල සම්භාවිත සාරධර්මයන් වෙනත් රටවල සාරධර්මයන්ට විෂ වී ඇති බව ද දැකිය හැක. බටහිර වැසියන් චීනයට අබින් භාවිතය පුරුදු කිරීමත්, එයින් සිදුවූ විපතක් සිතාමතා විෂ මිශ්‍ර කිරීමක් ලෙස සලකා ඇත. එසේ සිතාමතා කළ ඒවා නොවූවත්, නොදැනුවත්වම සිදුවන මෙබඳු දේ ද ඇත. දරුවන් මවුපියන්ගේ නායකත්වය පිළිගැනීම ලංකාවේ ඉතා පුරාණයේ සිට පැවැත ආ සාරධර්මයකි. එයින් ලංකා සමාජයට සිදුවූ යහපත අපමණය. බි්‍රතාන්‍ය පාලනය යටතේ සිවිල් සේවයට බඳවා ගත්තේ යම්තම් විසි අවුරුද්ද පිරුණු තරුණයන් පමණි. රටේ පාලනය පිළිබඳ බලතල හා ක්‍රියාත්මක වූ දැනුමත් තුන්වැනි දශකය මුල හරියේ වයසක සිටි තරුණ පිරිස සතු විය. ඔවුන්ගේ වැඩ කොටස ඔවුන්ගේ වැඩිහිටි මවුපියන්ට නුපුරුදුම දෙයක් විය. මේ තත්ත්වය යටතේ එම දරුවන්ට ඔවුන්ගේ මවුපියන් පෙනුණේ නූගත් මහල්ලන් ලෙසය. මෙතැනින් මාපියන් අනුගමනය කිරීමේ සාරධර්මය වියළීයන්නට පටන් ගති.

සමාජ සංකීර්ණත්වය නිසා රටවල චිරාගත සාරධර්මයන් විස මුසු නොවී රැකගැනීම දුෂ්කර කාර්යයක් විය. විශේෂයෙන් ලංකාව වැනි කුඩා රටක් ලෙහෙසියෙන් සංකීර්ණ වෙයි. පෙරදිග හා බටහිර නාවික ගමන් මාර්ගයේ පිහිටා තිබීම ලංකාව කෙරෙහි තවත් බලපෑම් වැඩිවීමට හේතු විය. ලංකාව විදේශික ආධිපත්‍යයන් යටතේ පවතින කාලයේ සිතාමතාම කළ විදේශික උපක්‍රම ද මේ සඳහා ක්‍රියාත්මක වී ඇත. දේශීය සාරධර්මවලට වෙනස් වූ හැඩහුරුකම් දරන පාලක විදේශිකයන් බුහුමන් ලබමින් බබළන සැටි දැකීම නිසා ඇතැම් දෙනා ස්වකීය සාරධර්මයන්ට නිගා කරන්නට ද වූහ. ස්වකීය සාරධර්මයන් අතහැරීම සඳහා සෙසු අය පෙලඹවීම හා ඇතැම් අංශවලින් ඔවුන්ට බල කිරීම ද පටන් ගන්නා ලදී. එතෙක් කල් නොකෑ දේවල් කෑමටත් නොනිසි සේ සැලකූ දේවල් කරන්නටත් ආගම පවා වෙනස් කරන්නටත් පටන් ගැනිණි. මේ ගමන නතර කිරීමට වරින්වර උත්සාහ ගත් ප්‍රබුද්ධයන් වරින් වර පහළ වුව ද ජීවන රටාව වෙනස්වූ නිසා ඇති වූ දරිද්‍රතාව හරස්වීමෙන් ප්‍රමාණවත් ප්‍රතිඵල ඇති නොවීය.

උත්තම ආකල්ප

හෙළදිව වැසියන්ගේ සාරධර්ම ගොඩනැඟී ඇත්තේ බෞද්ධ ඉගැන්වීම් ඇසුරෙන් බුදුදහම සමග ලංකාවට ලැබුණු සාමාජික පිළිගැනීම් සහිතවය. එසේ ගොඩනැඟී ඇති සාරධර්ම සියල්ලක් විස්තර කිරීමට මේ ලිපියෙහි ඉඩ ඇතැයි මම නොසිතමි. ඒවා විස්තර වශයෙන් හඳුනා ගැනීමටත් වඩා අද වැදගත් වන්නේ ලෙහෙසියෙන් හඳුනාගත හැකි ටිකවත් වගකීමෙන් යුතුව ජීවිතවලට සම්බන්ධ කරගැනීමය. මෙහිලා සාරධර්මයන් අගය කිරීම ප්‍රධාන කරුණ වෙයි. මහාවංසයේ 45 වඅනි පරිච්ඡේදයේ සඳහන් වන පුවතක් මට සිහිපත් වෙයි. එම පුවත අටවැනි සියවසට අයත් එකකි. මානවම්ම රජුට ද්‍රෝහිකම් කර පලාගිය පොත්ථකුඩ්ඩ නම් දෙමළ ඇමැතියෙක් ආරක්ෂාව සඳහා මෙරකඳුරේ ගමරාළ වෙත ගියේය. එසේ ගියේ ගමරාළ දෙමළ ඇමැතියාගේ මිත්‍රයකු වී සිටි නිසාය. ගමරාළට මුහුණ පෑමට සිදුවූයේ උභතෝකෝටික ප්‍රශ්නයකටය. පිහිට සොයා සිය නිවසට පැමිණි මිත්‍රයකුට පිටු පෑම මිත්‍රද්‍රෝහී ක්‍රියාවකි. රාජද්‍රෝහියකුට ආරක්ෂාව සැලසීම රාජද්‍රෝහීකමකි. ගමරාළ අගය කළ සාරධර්ම අනුව මේ ද්‍රෝහිකම් දෙකම ඔහු පිළිකුල් කරන දේමය. මෙහිදී ගමරාළ කළේ විෂ ගිල සිය පණ හානි කර ගැනීමය. ගමරාළගේ එම ක්‍රියාව වීරකමක් ලෙස හෝ මෝඩකමක් ලෙස හඳුන්වන අය සිටිය හැකිය. එහෙත් මේ පුවත මෙහි සඳහන් කළේ තමන් පිළිගෙන ඇති සාරධර්මයන් සඳහා ඔහු ගෙවූ මිල පෙන්වීමටය. ජීවිතය වැනි වටිනා දෙයක් ඔහු තමන් පිළිගත් සාරධර්මයන් රැකීම සඳහා වියදම් කර ඇති බව හෙළි කිරීමටය. එම ඇමැතියා අල්ලා දී රජුගෙන් උසස් තනතුරක් හෝ ගම්වරයක් ලබාගැනීමටත් ගමරාළට ඉඩ තිබිණි. සමාජයක සාරධර්ම රැකීමට නම් ඒවා අගය කිරීමටත් ඒවා වෙනුවෙන් විඳීමට සිදුවන පාඩුවක් නොසලකා සිටීමට තරම් පරිත්‍යාගශීලී වීමටත් පුරුදු විය යුතුය.

වයස හා සාරධර්ම

තරුණ වයසේදී සාරධර්මයන් ඉගෙන සිටීමට පුළුවන. එහෙත් ඒවායේ අගය හරිහැටි වැටහී තිබීම දුර්ලභය. එය ස්වාභාවිකය. තරුණ වියෙහිදී අපට ඇත්තේ හැකිතාක් ලොකු දෙයක් කිරීමෙන් ප්‍රශංසාවක් ලබා ගැනීමට ඇති ආශාවය. බරපතළ කාර්යක් කොට තෘප්තියක් ලැබීමේ ආශාවය. එහිදී සාරධර්මයන් ගැන තැකීම අඩුය. මෙය ප්‍රකට සත්‍යයකි. සාරධර්මයන් අගය කිරීමට පටන් ගන්නේ ටිකක් මේරූ පසුවය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි එන ඡේදයක් මෙහිදී සිහියට නැඟේ. ඒ අනුව උගත්කම් කොපමණ තිබුණත් වයස තිස්පහක් සම්පූර්ණ නොවූ කෙනකුට ජනාධිපති පදවිය සඳහා තරග කිරීමට ඉඩක් නැත. ජාතියේ ආරක්ෂාව සඳහා ඔවුන් එම ඡේදය ඇතුළත් කර ඇත්තේ ජාතික සාරධර්මයන් රැකගත යුතු නිසා යැයි සිතේ. තරුණ පෙළ සතුටු කොට ඡන්දය ලබාගැනීම සඳහා ඡන්ද බලයේ වයස් සීමාව පහතට හෙළීම හෝ තරුණයන් පාලනයට සහභාගි කරගැනීම හෝ සඳහා ව්‍යවස්ථා වෙනස් කරන්ට ගියා නම් ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට ලෝකාධිපත්‍යයට නොපැමිණෙන්ට ද තිබිණ. තරුණ වියේදී අප වඩා එඩිතරය. වඩා වේගවත්ය. හානිය හෝ බාධකය ගැන සැලකීම අඩුය. උත්සාහ වුවත් සාරධර්මයන් ගැන තැකීම අඩුය. බුදුහාමුදුරුවන් භික්ෂු ශාසනයේ පූර්ණ අයිතිවාසිකම් දීම ද යම් වයසකට සීමා කර ඇත. එහිදී උන්වහන්සේ එයට හේතු වශයෙන් දක්වා ඇත්තේ ඔරොත්තු දීමේ ශක්තිය අඩුවෙන් තිබීමය. වයස විස්සේදී සංඝ සමාජයේ පූර්ණ අයිතිවාසිකම් ලැබිය හැකි වුවත් වගකීම් භාරයක් දැරීමට නම් වයස තිහක්ම විය යුතුය.

අනුකරණය

මේ තත්ත්වය යටතේ තරුණ පෙළ සාරධර්මවලින් වෙන්කර තැබිය යුතුද? නැතිනම් අතීතයේ එසේ කර තිබුණේද? නැතිනම් එම දායාදය ඔවුන්ට ලබාදිය හැකි මඟක් තිබේ ද? යන්න මෙහිදී සලකා බැලිය යුතුය. ජීවිතයක ආරම්භයේ සිට අනුකරණය කෙරෙන්නේ වැඩිහිටියන්ය. අප කතා කරන්නට පටන් ගත්තේ ඔවුන් කතා කළ භාෂාවය. ඇඳුම් පැලඳුම් මෙන්ම වෙනත් හැසිරීම් ද කරන්නේ වැඩිහිටියන් ඒවා කළ සැටිය අනුකරණයෙනි. කුඩා කල අප එසේ කළේ වැඩිහිටියන්ගේ බලකිරීමක් නිසා නොවේ. අපගේ කැමැත්තෙන්මය. වැඩිහිටියන්ට තිබුණේ අප වරද්දාගත් තැනක් තිබුණොත් නිවැරදි කරදීම පමණි. පාසල් යනතුරු අපට නිතර හමුවූයේ ගෙදර සිටි වැඩිහිටියන් පමණි. අතරතුර දුටු අය දෙස අප බැලුවේ අමුත්තන් හැටියටය. ගෙදරදී හමුවන අමුත්තකු තුළ වෙනස් හැඩහුරුකම් දුටු කල අප ඒ ගැන අපේ වැඩිහිටියන්ගෙන් විමසා ඇත. සිය මව කොණ්ඩය පීරා, බැඳ හෝ ගොතාගෙන සිටිනවා දකින දැරියක් කොණ්ඩය කපාගෙන සිටින කාන්තාවක දුටුවොත් එසේ කර ඇත්තේ මක්නිසාදැයි සිය මවගෙන් විමසන්නේ එසේ තිබීම අනුමත නොකරන්නියක ලෙසය.

මෙලෙසින් කුඩා කාලයේ සිට අප තුළ වැඩිහිටියන් අනුකරණය කිරීම මගින් කිසියම් ආකාරයක රුචියක් ගොඩනැඟෙයි. එම රුචියට අනුව සිතෙහි නම්‍යතාවයක් ඇතිවන අතර ඒවාට සමාන වන තෝරා ගැනීමක් ද සිත තුළ ගොඩනැඟෙයි. පාසලට ඇතුළු වූ තැන පටන් මෙයට තවත් දායකත්වයක් ලැබේ. එනම්, පාසලේදී හමුවන වැඩිහිටියන් වූ ගුරුවරුන්ගේ හැසිරීම සහ උගන්නා පොතපතෙහි ඇතුළත් වන දේය. වැඩීගෙන යන මනසට ලැබෙන පෝෂණ මාර්ගයක් වූ ඉහත සඳහන් අංශවලින් සාරධර්ම ඇතුළු වූයේ නම් තරුණ ජීවිතයෙහි එම සාරධර්ම දැකිය හැකි වෙයි. ඒවාට ඇතිවන රුචිය හා ඒවා නොතිබීම ගැන ඇතිවන පිළිකුලක් නිසාය.

අනුකරණය කෙරෙන්නේ කෙනකුගේ සිත්ගත් දෙයය. යම් දෙයක් රසවත් හෝ පියකරු ලෙස වැටහේ නම් හෝ යමක් ගෞරවාන්විත සේ පෙනේ නම් හෝ යමක් සිත ඇතුළෙන්ම අවශ්‍ය ලෙස දැනේ නම් හෝ එය සිත්ගන්නා දෙයක් වෙයි. පුරුද්ද ද මේවාට බලපායි. කුඩා කාලයේ සිට යමක් පිළිකුල් කිරීමට පුරුද්දක් ඇති වුවහොත් එයින් ඈත් වී සිටීම ද සිත්ගන්නා දෙයක් වෙයි. කුඩා අවධියේ එනම් තමාගේම තෝරා ගැනීම් නැති කාලයේ සිටම අප අනුකරණය කළේ අපගේ වැඩිහිටියන්ය. එය කළේ රුචියෙන්මය. එසේ නම් අප තරුණ වයසට පත්වන අවස්ථාව දක්වා ආධුනිකයාගේ රුචිය තමාගේ හැසිරීම වෙත යොමු වන සේ පවත්වාගෙන යෑම වැඩිහිටියන් සතු වගකීමකි. ඒ වගකීම ආරක්ෂා කරගැනීමට අපොහොසත් වෙතොත්, එය වැඩිහිටියන්ගේ දුර්වලකමක් බව පිළිගැනීමට සිදුවෙයි. වැඩිහිටියන්ගේ අසීමිත කෑදරකම හෝ අවිචාරය හෝ නිසා දරුවන්ගේ රුචිය තමා වෙත රඳවා ගැනීමට හා ආදර්ශයට සුදුසු ලෙස හැසිරීමටත් අසමත් වන මවුපියන් නිසා තරුණ පරපුරට සාරධර්ම අහිමි වී යයි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *