සර්වඥ ධාතූන් වහන්සේලා අතර ශ්‍රී දළදා වහන්සේට උත්තරීතර අග්‍රගණ්‍ය ස්ථානයක් හිමි වන්නේය. ඒ මහාර්ඝ වස්තුව තැන්පත් කොට ඉදානීන්තනයෙහි පුද පූජා පවත්වන මහනුවර දළදා මාලිගය වූ කලී බෞද්ධ ලෝක වාසීන්ගේ සුවිශේෂ පූජනීය භූමිය බවට සැකයක් නොවේ.
සිරිලක දළදා මාලිගයන්හි ඉතිහාසය ගැන තොරතුරු රැසක් මහා වංසය හා චූල වංසය වැනි ඉතිහාස ග්‍රන්ථ අප වෙත ලබාදෙයි. මෙහි කියැවෙන මූලාශ්‍රය දක්වන තොරතුරු වෙනත් සාක්ෂ්‍ය මගින් තහවුරු වී ඇත. බුදුරදුන් වහන්සේගේ වම් දන්ත ධාතුව දඹදිව කාලිංග රටින් සිරිලකට වැඩමවා ගෙන එන ලද්දේ කීර්ති ශ්‍රී මේඝවර්ණ (ක්‍රි. ව. 301-328) රජතුමාගේ කාලයේ දීය. එකල මේ රටවල් දෙක අතර පැවැති දේශපාලනමය හා ආගමික සබඳතාව අතිශයින් බලවත්ය. දාඨා වංසය, දළදා සිරිත, දළදා පූජාවලිය, රාජරත්නාකරය අපට තොරතුරු සපයයි.
වසරක් පාසා දළදා පූජාවක් රජවරුන් විසින් පවත්වන ලදී. දළදා පුද පූජා කළ යුතු යැයි සිරිමෙවන් රජු විසින් කළ නියෝගය නිසා සෙසු සර්වඥ ධාතූන් වහන්සේලාට පුද සත්කාර කරමින් සිටි බෞද්ධයන්ට මහත් ප්‍රීතියක් ඇති විය. ධාතූන් වහන්සේ නිසා ඉන්දියාවේ ඇතිවූ ගැටුම ආරංචි වීම ද බෞද්ධයන්ගේ සැලකිල්ල වැඩිවීමට හේතුවක් බව බද්දේගම විමලවංස නාහිමියෝ අපේ සංස්කෘතිය පොතේ සඳහන් කරති. දළදාව විනාශ කිරීමට කළ උපක්‍රමයත් එහිදී පෑ ප්‍රාතිහාර්යයත් ඇසූ බෞද්ධයෝ දළදා වහන්සේ ගැන දැඩි කුතුහලයක් දැක්වූහ. චීන ජාතික පාහියන් භික්ෂුව ලක්දිව දී තමා දුටු දළදා උත්සවයක් විස්තර කර ඇත. මේ උත්සවයේ සමහර අංග එදා දුටුගැමුණු රජුගේ රුවන්වැලි සෑයට මුල් ගල් තිබූ අවස්ථාවේ ද පැවැතිණි.
උත්සවයට දින දහයකට කලින් අතකු පිටින් අඬබෙරකාරයකු යවයි. ඔහු බුද්ධ චරිතය ගැන කෙටි විස්තරයක් කර අනතුරුව පින් කැමැති අය මඟ සාදා නුවර හැම වීදියක්ම සරසා තෙල්, මල්, පහන් සුවඳ පිළියෙල කොට ගනිත්වායි දන්වයි. අඬබෙර ලැබීමෙන් පසු බෝධිසත්ව චරිතයේ අවස්ථා නිරූපිත චිත්‍ර රූප ආදිය මඟ දෙපස කිරීමෙන් පසු දළදා වහන්සේ අභයගිරියේ ධාතු මන්දිරයේ පෙරහැරින් ගෙන යති. මල් හා සුවඳ දුම් ආදිය ගත් සෙනඟ මඟ දෙපස රැස්වී පුද පූජා පවත්වති. ධාතූන් වහන්සේ ප්‍රදර්ශන ශාලාවේ තැබීමෙන් පසු ගිහි පැවිදි සියලු දෙනාම මල් පහන් පුදා වැඳ සත්කාර කරති.
උත්සවය තුන් මාසයක්ම නොකඩවා මේ අයුරින් පැවැත්වේ. 7 වන සියවසේ ලක්දිවට පැමිණි තවත් චීන සංචාරකයෙක් දළදා වහන්සේ ගැනත් ධාතු පූජෝත්සවය ගැනත් සඳහන් කරයි. පොලොන්නරු දඹදෙණි යුගවල දී ද දළදා උත්සව රජවරුන්ගේ සහායෙන් කරවන ලදී. පැරකුම්බාවන් විසින් කරන ලද දළදා උත්සව පූජාවක් පූජාවලියෙහි ද විස්තර වෙයි. දෙවන පැරකුම්බා රජු විසින් කරවන ලද දළදා පූජාවක් මහා වංසයේ ද සඳහන් වේ. කුරුණෑගල යුගයේ රජ පැමිණි බුවනෙකබාහු රජතුමන් විසින් ද ඉතා උසස් ආකාරයෙන් දළදා පූජාවක් කරන ලදී. මේ උත්සවයත් දළදා සිරිතත් කළ රජු හතර වන පරාක්‍රමබාහු යැයි ද මතයක් පවතී. දළදා සිරිතේ එන සමහර වගන්ති ඉතා පැරණිය. මුලපටන් ම රජවරුන් ක්‍රමිකව දළදා පූජාව හා උත්සව කළ බවට එය සාධකයකි.
කෝට්ටේ යුගයේදී ද දළදාවට පුද සත්කාර නොඅඩුව ලැබුණි. සවැනි පැරකුම්බා රජු දළදා මාලිගයක් කොට එයට පූජා වස්තු පුද කොට උත්සව පැවැත් වීය.
නූතන යුගයේදී ද මෙබඳු අවස්ථා උදාවී තිබේ. වර්තමානයේ බක්මහ වසන්තයේ අප්‍රේල් මාසයේ 18 වැනිදා සිට දින තුනක් දළදා ප්‍රදර්ශනයක් පැවැත්වේ. එය වසංගත ඉඩෝරය නැති කර සාමය, සෞභාග්‍යය සශ්‍රීකත්වය ජනිත කිරීමට හේතු වේවා යැයි සැමගේ පැතුමයි.