දහම් ගීතය

cmadurawala
8 Min Read

ශ්‍රී සද්ධර්ම ශාසන ප්‍රසාදිනී, දේශාභිමානී පී.චන්ද්‍රරත්න

නිකිණි පොහොය (අගෝස්තු) කලාපයට බොදු ගීතය යටතේ අද විමසුමට ලක් කෙරෙනුයේ සිංහල බැති ගීතාවලියෙහි එන සුවිශේෂී ගීතයකි. භක්ති රසය තීව්‍ර ලෙස ජනනය කරනුවස් පාලි හෝ සංස්කෘත පද මෙන්ම තත්සම පදද භාවිතා කරමින් ලියැවුණු ගී කෙරෙහි විශේෂ අවධානයක් යොමුවීම ස්වභාවයකි. එසේම එවන් ගී ප්‍රබන්ධයද එතරම් පහසු නොවේ. භාෂා දැනුම මෙන්ම එය රසෝත්දීපනය සඳහා ද උචිත ලෙස හැසිරවීමද සිදු නොකළහොත් ඒවා හුදු රචනා පමණි. නන්දා මාලනී විසින් ගැයූ “ප්‍රඥා ප්‍රදීප දල්වා” යන බොදු බැති ගීය සියලු ප්‍රමිති ඉහළින්ම එක් කළ නිර්මාණයකි. මෙහි පදරචනය විමලේන්ද්‍ර වතුරේගම කිවියා විසින් සිදුකර ඇත. සංගීතය පී. ඩන්ස්ටන් ද සිල්වාගෙනි.

ප්‍රඥා ප්‍රදීප දල්වා
මෝහාන්ධකාර වනසා
ලෝකාලෝක සදාලා
වජ්‍රාසනාරූඪ වූ

ශ්‍රී ඝන මෛත්‍රී මූර්තී
ශ්‍රී පද පද්ම නමාමී

කරුණා සීතල හදිනී
වස්වා සද්ධර්ම වර්ෂා
ජනතා විමුක්ති සලසා
පෑ ලෝකානුකම්පා

ශ්‍රී ඝන මෛත්‍රී මූර්ති
ශ්‍රී පද පද්ම නමාමී

පාරමිතා උපහාරි
පුණ්‍ය ක්‍රියා බලධාරි
ඥාන විශේෂ නිවාසී
මාර පරාජිත සෑසී

ශ්‍රී ඝන මෛත්‍රී මූර්තී
ශ්‍රී පද පද්ම නමාමී

මෙලෙස පාලි සංස්කෘත පද මෙන්ම තත්සම පදද බහුලව උපයෝගී කර ගනිමින් තාලානුරූප බව රැක ගැනීමට සීමිත සිංහල පද සංඛ්‍යාවක් එක්කරගෙන සම්භාව්‍ය රචනා ඇත්තේ ස්වල්පයක් පමණි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් මෙම දස්කම ඉහළින්ම තිබූ තැනැත්තෙකි. බුදුමඟ වෙසක් අතිරේකයේ විමසුමට බඳුන් වූ පාරමිතා බල පූරිත පූජිත ගීය ඉන් එකක් පමණි. 1964 දී තිරගත වූ අම්බපාලි (සිංහල දෙබස් කැවූ) චිත්‍රපටයේ ආ බොදු ගී දෙකක් මෙහෙිදී එක්වරම සිහියට නැගේ. බි. වික්ටර් පෙරේරා සහ පිරිස ගැයූ

සම්බුද්ධ සුධාකර වූ අංගීරස මහ මුනිදා
සද්ධර්ම ප්‍රභාකර වූ සිරි සුගත තථාගත වූ
තිලෝහිමි නමදිමු දෝත නඟා
අභයංකර සරණංකර මාහිමි
අමතන්දද පද පංකජ වඳිමු

එම ගීයේ මුල් කොටසයි. පෙර සඳහන් කළ ලෙසින්ම මෙම අසීරු රචනය කරන ලද්දේ කීර්තිමත් කවියෙකු හා ලේඛකයෙකු වූ විමල් අභයසුන්දරයන් විසිනි. එම අම්බපාලි චිත්‍රපටයෙහිම එන අනෙක් බුදු ගුණ ගීතයද එවැන්නකි. සුනිල් ශාන්තයන් ගැයූ එහි රචනය රැපියල් තෙන්නකෝන් කවියා විසිනි.

ත්‍රෛලෝක නේත්‍ර
මෝහ අන්ධකාර දූරිභූත වූ
වෛශාරද්‍ය ඥාන සම්ප්‍රයුක්ත
සර්වලෝක නාථ වූ
දුර්වාර ඝෝර ධර මාර
පාරමී බෙලෙන් දිනූ
ශ්‍රී ශාක්‍ය සිංහ පාද පද්ම
භක්තියෙන් නමාමහම්

මෙම ගීත රචනා දෙක මෙහිදී විශේෂයෙන් සඳහන් කළේ විමල් අභයසුන්දර හා රැපියල් තෙන්නකෝන් යන විශිෂ්ට කවියන් දෙදෙනා විසින් කරන ලද එකම චිත්‍රපට ගී රචනය එම ගීත දෙක පමණක් බැවිනි. අද විමසුමට ලක්කෙරෙන ප්‍රඥා ප්‍රදීප දල්වා ගීතය අයත් වන්නේද එම ගී කුලකයටම ය.

ප්‍රඥා ප්‍රදීප දල්වා යන පදාර්ථයෙන්ම පැවසෙන පරිදි ප්‍රඥාව යනු ආලෝකයයි. එකී ආලෝකයෙන් දුරු කෙරෙන අඳුර නම් මෝහයයි. ප්‍රඥාව සංකේත වන සෑම ස්ථානයකම පහනක සංකේතය දැක්වෙන්නේ එබැවිනි. අධ්‍යාපන ආයතන රාශියකම සංකේතය පහන වේ. බොහෝ දෙනාට අවබෝධයක් නොමැති නමුත් වෙසක් උත්සවයේදී ආලෝක පූජාවෙන් සංකේතවත් කෙරෙන්නේද පඤ්ඤා උදපාදි (ප්‍රඥාව පහළවිය) යන්නය. ප්‍රස්තුත ගීතයද ඇරඹෙන්නේ එම සංකල්පයෙනි. මේ සඳහා ත්‍රිපිටකයේ නිදසුන් රාශියක් තිබෙන නමුත් මෙහිදී සංයුක්ත නිකායේ එන පජ්ජෝත සූත්‍රය නිදසුනක් ලෙස දක්වමු. එහිදී ලොව බබලන්නේ කවරක් නිසාදැයි කරන විමසුමට පිළිතුරු ලෙස බුදුන් වහන්සේ මෙසේ වදාරති.

දිවා තපනි ආදිච්චො – රතකිං ආහාති චන්දිමා
අථ අග්ගි දිවාරත්තිං – තත්ථ තත්ථ පකාසති
සම්බුදෙධා තපතං සෙටෙඨා – එසා ආභා අනුත්තරාති

(ලොවැ එළිය කරන දෑ සතරෙකි. මෙහි පස්වැන්නක් නැත. දහවල් හිරු බබළයි. රෑ සඳ බබළයි. වැලි දිවා රෑ දෙකේහි ගින්න ඒ ඒ තැන බබළයි. තමාම සත්‍යාවබෝධය කළ තැනැත්තේ (සම්බුද්ධයන් වහන්සේ) බබළන්නවුන් අතුරෙහි ශ්‍රේෂ්ඨය. මේ (බුද්ධාලෝකය) හැමටම වැඩ තරම් වූ ආලෝකයකි. (සං.සු.නි)

ගීතයේ පළමු ස්ථායී කොටසෙන් විදාරණය කෙරෙනුයේ මෙම සත්‍යයි. එසේද ගීතය පුරා පුනරුච්චාරණය කෙරෙන ශ්‍රී ඝන මෛත්‍රී මූර්ති ශ්‍රී පද පද්ම නමාමි. යන්න බුද්ධත්වයේ අසමසම බව ප්‍රකාශ කෙරෙමින් ඒ ඒ බුදු ගුණය අවසානයේදී ද කියැවේ. බුද්ධ ඥානයද අසමසමය. එය බුදුවරයකුට පමණක් අවබෝධ වන උත්තරීතර ඥානයකි. අසමසම බුද්ධ ඥානය පිළිබඳව ධර්‍මප්‍රදීපිකාවෙහි මෙසේ විස්තර කෙරේ.

“ඔවුන්ගේ ඥානවිලාස නම් කවරැයත්? බුද්ධ ඥානය අතීතයෙහි අනාගතයෙහි දු ප්‍රත්‍යුපන්නයෙහි (වර්තමානයේ) දු ක්‍රමයෙන් පවත්නා කලැ ජීර්ණත්‍රපූටයෙහි (දරූ පරණල පතෙක්හි) තත්තනාරාව (රත්වූ යකඩ නාරාසනය) සෙයින් නො පැකිල ගොස් ඥෙයපර්‍ය්‍යන්තයෙහි (දතයුත්ත සම්බන්ධ අවසානයෙහි) නවත්ති. ක්‍රම විනා පවත්නා කලැ අනෙක කල්ප කෝටිශත සහශ්‍රයෙන් අත්හරින (මුවහ) වූ අතීනදු අනාගත දු අනේක චක්‍රමාලා කෝටි ශතසහශ්‍රයෙන් අන්හරිත වූ ප්‍රතපුපන්නදු ආවර්ජන ප්‍රතිබද්ධ වෙයි. මනසිකාර ප්‍රතිබද්ධ වෙයි.” (ධර්‍මප්‍රදීපිකා – 19 පිටුව)

ශ්‍රී ඝන යන යෙදුම බුදුවරයන් වහන්සේට පමණක් වූ විශේෂණයකි. දහම් සරණ කෘතියෙහි කොණ්ඩඤ්ඤ (කෞණ්ඩිණ්‍ය) විවරණ කථාහි “දීපංකර ශ්‍රී ඝන පාදමූල…” යනුවෙන් දක්වා ඇත. “ඝන” යනු සමූහය හෝ එක්වූ යන්න අරුත දේ. ශ්‍රී යනු උතුම් යන්නය. ඒ අනුව ලොව ඇති උත්තම දේ එක්වීම බුද්ධත්වය ලැබීමය. එම උතුම් දේ නම් පාරමී පූරණය, දෙතිස් මහා පුරිස ලක්ෂණ, අසූ අනුව්‍යඤ්ණ ලක්ෂණ, දස කාය බල, දශ ඥාන බල ආදිය වේ. එකී උත්තම දේ සියල්ලෙහි මූර්තිය හෙවත් නිර්මාණය මහා කරුණා ප්‍රතිමූර්තිය වේ. ශ්‍රී ඝන මෛත්‍රී මූර්තී යෙදුම ඒ සියලු අරුත් කැටිකර දක්වයි.

දැවෙන තැවෙන සංසාර රෝගයට එකම ඔසුව සද්ධර්ම වර්ෂාවෙන් තෙමීමයි. ගීතයෙහි පළමු අන්තරා කොටසෙහි එසේ දේශනා කරනු ලබන්නේ කරුණා සීතල හදින් බව දක්වයි. ඉන් ජනතා විමුක්තිය සැලසෙන අතර එසේ කරනු ලබන්නේ ලෝකානුකම්පාවෙන් බවද කියැවේ. භක්ති ශතකයෙහි මෙම කරුණ නිදසුන් කර දැක්වෙන්නේ චන්ද්‍රා ලෝකය චන්ද්‍රකාන්ත පාෂාණයට වැටී එම පාෂාණයද සිසිල්වන ලෙසින් යනුවෙනි.

තව ගුණකථනෙ තු ය: ප්‍රසන්නස්
තමනු විශන්ති මුනෙ ගුණාස්ත්වදීයා:
උදයති ශශිනි ප්‍රසන්නමින්දු-
පලමිව තත්කිරණාවලීතුෂාර – භක්ති ශතකය – 71

සර්වඥයන් වහන්ස, යමෙක් නුඹ වහන්සේගේ ගුණයෙහි පැහැදුනේද, එවිට නුඹ වහන්සේගේ මෛත්‍රී කරුණාදී ගුණ ඔහු කරාද පිවිසෙයි. ඒ කෙසේද කිවහොත් සඳ උදාවන විට බබළන සඳකැන්මිණට සඳරැසෙහි සිසිල් ගුණය පිවිසෙනු මෙනි. හෙවත් සඳරැස් නිසා සඳකත්මිණ පිණිබිඳු දරනු මෙනි. (සිරි තිලකසිරි සංස්කරණය)

සංසාරයෙන් එතෙර වීම ජනතා විමුක්තිය වන්නේ කෙලෙස දැයි වටහා ගැනීමට සංසාරයේ බියකරු බව දැනිය යුතුය. එහි බියකරු බව හා ඉන් මුදවාලීමට පෑ කරුණාව පිළිබඳව ධර්‍මප්‍රදීපිකාවෙහි මෙසේ විස්තර කෙරේ.

“සංසාරය අනවරාග යැ, නරකදුකබ භයානක යැ මනුෂ්‍යත්වය දුලභ යැ, සෙසු තැන් පුණ්‍යකර්‍මයට අස්ථාන යැ, මාගේ පීතෘමහාදීහු අනෙක් කොටිශතධන සඤ්චය කොට තබා මිය පරලොව යන්නාහු මෙයින් එකකාර්‍ෂපණයක් නොද ගෙනැ ගියහ. නැවත මෙ වළදන්නට නොද එති. අහෝ පිරිහුණහ. ක්ෂණ සම්පත් නොද ගෙනැ ගියහ. නැවත මෙ වළදන්නට නොද එති. අහෝ පිරිහුණහ. ක්ෂණ සම්පත් වැරැදවූහ,යි කරුණාවෙන් කම්පිත වූ පරිදි කියූ වෙත්” (ධර්‍මප්‍රදීපිකාව – 58 පිටුව)

ගීතයෙහි දෙවන අන්තරා කොටසෙහි “පුණ්‍ය ක්‍රියා බලධාරී” නම යෙදුම දක්නට ලැබේ. බුදුන් වහන්සේට නායකයාණෙනි, ජයග්‍රාහකයාණෙනි, උතුමාණෙනි ආදී වශයෙන් ගීතයේ යෙදුමට සමාන ආමන්ත්‍රණයක් භක්ති ගායනයෙහිද සඳහන්ය.

ප්‍රසීදේශ දෙවෙශ ලොකෙශ ජිෂ්ණො
ජගද්වන්ද්‍ය මද්වන්ද්‍ය සද්වන්ද්‍ය බුද්ධ
අඝාරෙ භවාරෙ ස්මරාරෙ තමොරෙ
තමෛවාස්මි භක්තො වපූර්වාංමනොභි
(භක්ති ශතකය – 31)

අනුන්ට යහපැන කිරීමේ නායකයාණෙනි, ලෝකනාථයාණෙනි, ජයග්‍රාහකයාණෙනි, ලෝවැස්සන් විසින් වැඳිය යුතු මා විසින් වැඳිය යුතු මා විසින් වැදිය යුතු උතුමාණෙනි, සර්‍වඥයන් වහන්ස, පැහැද වදාළ මැනවි. පව් නසන මොහදුර නසන තථාගතයන් වහන්ස, කය වචන සිත යන තුන් දොරින් ඔබ වහන්සේට බැතිමත්මි.

බුද්ධ විෂය අචින්ත්‍යය හෙවත් කෙළවරක් නොමැති බව සඳහන්ය. එබැවින් ගද්‍යයෙන් හෝ පද්‍යයෙන් කිසිවකුට හෝ ලියා අවසන් කළ නොහැකිය. මීට දශක තුනකට පමණ පෙර සිංහල බෞද්ධ බැති ගීතාවලිය බෙහෙවින් සමෘද්ධිමත්ව පැවතුණි. ඊට හේතුව එකල සිටි රචකයින්ගේ සිංහල පාලි හා සංස්කෘත පිළිබඳ පැවති දැනුමය. එම දැනුම නිර්මාණශීලීව භාවිත කරමින් අගනා බොදු බැති ගීතාවලියක් සිංහල ගීත සාහිත්‍ය එක්කර ඇති නමුදු වර්තමානයේ පැවිදි පක්ෂය පවා පාලි හා සංස්කෘත පිළිබඳ එතරම් උනන්දුවක් දක්වන බවක් නොපෙනේ. වත්මන් ගීතවල වාක් කෝෂයෙහි දුගී බව ප්‍රකටය. පාලි සංස්කෘත තබා සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කෘති හෝ පරිශීලනය කරන බවක් නොපෙනේ. පැරණි ඉගැන්වීමේ ප්‍රාථමික කෘති වූයේ බුද්ධ ගද්‍යය – ගණදෙවි හෑල්ල – වදන් කවි පොත ආදියයි. අර්ථ සහිතව ඒවා වනපොත් කළ ප්‍රවීණයන් විශිෂ්ට බුදු ගුණ ගී අසා සිටීම පවා භාවභෝග සම්පත් ලැබීමට හේතු නොවන්නේද යන බුද්ධ ගද්‍ය පාඨය අනුව විය හැකිය.

අනඝමති මනෝඥං ධර්‍මරාජස්්‍ය ගද්‍යං
ලිඛිත පඨති යොවා සාදරංයං ශ්‍රැණොති
ත්‍රිභූවන භව නානතං ප්‍රත්‍ය භෝගානශෙෂා
නනුහවති ස නිත්‍යං ශානත නිර්‍වාණ සෞඛ්‍යම් – බුද්ධ ගද්‍යය

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *