අරමුණ වටහාගෙන සන්නිවේදනය කරමු

rashi
By rashi
10 Min Read

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය නිශාදිනී පීරිස්

අන් අය හා සන්නිවේදනය කිරීමේ හැකියාව අප වඩාගත යුතු කුසලතාවකි. යහපත් සබඳතාවන් පවත්වාගැනීමෙහි පදනම සන්නිවේදනය වීම එයට හේතුවයි. මනා සන්නිවේදනයක් ඇති වීමට නම්, අවශ්‍ය කරන පණිවිඩය ලබා දීම සඳහා භාවිත කරන ක්‍රමවේදය, සන්නිවේදකයා හෙවත් පණිවිඩය ලබා දෙන්නාට මෙන්ම ග්‍රාහකයා හෙවත් පණිවිඩය ලබන්නාට ද පොදු විය යුතු ය. එනම් අප යම් පණිවිඩයක් යමකුට ලබා දීමේ දී භාවිත කරන භාෂාව, වචන, මෙන්ම උදාහරණ ද, පණිවිඩය ලබා දෙන තැනැත්තාට ද වටහාගත හැකි විය යුතු ය. එසේ නොමැති ව අපගේ බහුස්‍රැත බව ප්‍රකාශ කිරීමෙහි අරමුණින් අන් තැනැත්තාට නො තේරෙන අයුරින් අප කථා කළ හොත් එය ප්‍රකට කරන්නේ, සන්නිවේදනයට ඇති අපගේ නොහැකියාවයි. බොහෝ විට අප අතර අනවබෝධයන්, අර්බුදයන් ඇති වනුයේ, අප අතර පවතින නො ගැළපීම් නිසා ම නො වේ. අපට අන් පුද්ගලයාට වැටහෙන ආකාරයට අවශ්‍ය සන්නිවේදනය කර ගැනීමට නොහැකි වන නිසා ය. එසේ නැතිනම්, අන් තැනැත්තාගේ සන්නිවේදන අවශ්‍යතාව වටහාගැනීමට අපට නොහැකි වන නිසා ය.

බුදුරජාණන්වහන්සේගේ සන්නිවේදන ක්‍රමවේදයන් තුළ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ සන්නිවේදකයාගේ සන්නිවේදන අවශ්‍යතාව වටහාගෙන එයට අනුව ප්‍රතිචාර දැක්වීමයි. එසේ ම මනා සන්නිවේදනයක් සඳහා අත්‍යවශ්‍ය ම වන සන්නිවේදකයාගේ සන්නිවේදන අවශ්‍යතාව වටහාගැනීමේ හැකියාව හඳුනාගැනීමට අවශ්‍ය මඟපෙන්වීම බුදුරජාණන්වහන්සේ අපට ලබා දී ඇත. අංගුත්තරනිකායෙහි, පඤ්චක නිපාතයෙහි, ආඝාත වග්ගයෙහි, පඤ්හපුච්ඡා සූත්‍රය මෙයට එක් නිදසුනකි. අප සාමාන්‍යයෙන් සිතන්නේ පුද්ගලයකු ප්‍රශ්න අසන්නේ යමක් දැනගැනීමෙහි අරමුණින් බව ය. එහෙත් සූත්‍රයට අනුව පුද්ගලයකු ප්‍රශ්න ඇසීමට හේතු වන කරුණු පහක් පවතී. එනම්,

  1. මෝඩ බව හෙවත් මුඩුභාවය නිසා
  2. සැකසහිත භාවයන් හා එම සැකයන් ගෙන් මඬිනු ලබන නිසා
  3. පරිභව කිරීමේ අරමුණින්
  4. දැනගනු කැමැත්තෙන්
  5. තමා ප්‍රශ්න කරන විට පිළිතුරු දුන හොත් යහපත්, නො දුන හොත් ඔහුට නිවරැදි ව පහදා දිය හැකි ය යන අරමුණින්

යන පංච ආකාරයෙන් ම පුද්ගලයන් අන් අය ගෙන් ප්‍රශ්න ඇසිමට පෙලඹිය හැකි ය. අප ගෙන් යමකු ප්‍රශ්නයක් අසන විට එම පුද්ගලයා එම ප්‍රශ්නය අසන්නේ කුමන අරමුණින් ද යන්න වටහාගැනීමට අපට හැකි නම්, එම පුද්ගලයාගේ අවශ්‍යතාවට ගැළපෙන ලෙස ප්‍රතිචාර දැක්වීමට අපට හැකි වේ.

යම් පුද්ගලයකු මෝඩ බව හෙවත් මුඩුභාවය නිසා ප්‍රශ්නයන් අසන්නේ නම්, අප පිළිතුරු දිය යුත්තේ එම පුද්ගලයාගේ මෝඩ බව දුරු කිරීමෙහි අරමුණින් මිස, එම පුද්ගලයාගේ මෝඩ බව තවත් ප්‍රකට කිරීමෙහි අරමුණින් නො වේ. මෙහි දී මෝඩභාවය යනු යමක් වටහාගැනීමට ඇති නොහැකියාවයි. එය තමාගේ දැඩි මතධාරී බව නිසා ද ඇති විය හැකි ය. සංයුත්ත නිකායෙහි සගාථා වග්ගපාලියෙහි කෝසල සංයුත්තයෙහි, දහර සූත්‍රය මෙවැනි අවස්ථාවකි. බුදුරජාණන්වහන්සේ වෙත පැමිණි කොසොල් රජතුමා

“භවත් ගෞතමයන් වහන්සේත් අනුත්තර සම්‍යක් සම්බොධිය ලැබූ බව ප්‍රකාශ කරන සේක් දැ යි” විමසා සිටියේ ය.

එයට පිළිතුරු දෙන බුදුරජාණන්වහන්සේ,

“නිවැරැදි ව කියන්නකු මෙම තැනැත්තා සම්‍යක් සම්බොධිය ලැබුයේ ය යි කියන්නේ නම්, එසේ නිවැරැදි ව කියන තැනැත්තා මා ගැන ම කියන ලදි. මම වනාහි ඉතා උතුම් සම්‍යක් සම්බොධියට පැමිණියෙක්මි” යි ප්‍රකාශ කළ සේක.

එවිට කොසොල් රජතුමා ෂඩ් ශාස්තෘන් ඇතුළු බොහෝ වයසින් වැඩි, බොහෝ දෙනකුගේ ගෞරවයට පාත්‍ර වන මහණ බමුණන් පවා, තමන් විමසූ විට ඔවුන් තමන් සම්‍යක් සම්බෝධිය ලැබූ බව ප්‍රකාශ නො කරන බවත්, වයසින් අඩු මෑත දී පැවිදි වූ ආධුනික ගෞතමයන් වහන්සේ, කෙසේ එවැන්නක් ප්‍රකාශ කරන්නේ ද විමසා සිටියේ ය.

එවිට බුදුරජාණන්වහන්සේ, ක්‍ෂත්‍රිය රාජ කුමරා, සර්පයා, ගින්න, හා භික්ෂුව යන සතර දෙනා, ළදරු ය යි අවමන් නො කළ යුතු බව කරුණු සහිත ව පැහැදිලි කළ සේක. මෙලෙස සම්‍යක් සම්බෝධිය ලැබීම වයස් පරිණතභාවය සමග සිදු වන්නක් බවට වූ කොසොල් රජතුමාගේ ආකල්පය වෙනස් කිරීමට, එතුමාට තේරෙන සරල උදාහරණවලින් බුදුරජාණන්වහන්සේ කරුණු පැහැදිලි කළ සේක. මේ ආකාරයට යමකු මෝඩ බව නිසා ප්‍රශ්න කරන්නේ නම්, එවැන්නකුගේ මෝඩ බව අඩු කිරීමට අපගේ පිළිතුර හේතු විය යුතු ය.

සැකසහිත භාවයන් හා එම සැකයන් ගෙන් මඬිනු ලබන නිසා ද එම සැකය දුරු කර ගැනීමේ අරමුණින් ප්‍රශ්න අසන පුද්ගලයෝ ද සිටිති. කේසිපුත්ත නියම්ගම් වාසී කාලාම ශාක්‍යයෝ ද, තමන් තුළ පවතින සැකයන් නිසා බුදුරජාණන්වහන්සේ ගෙන් ප්‍රශ්න කළ හ. ඔවුනට වූ ගැටලුව වූයේ තම ගමට පැමිණෙන විවිධ මතධාරීන් එකිනෙකට පරස්පර ව කරුණු ප්‍රකාශ කරමින් අන් අයගේ මත හෙළා දැකීම ය. එම නිසා කුමක් සත්‍යය ද කුමක් අසත්‍යය ද යන්න බුදුරජාණන්වහන්සේ ගෙන් දැනගැනීමට ඔවුනට අවශ්‍ය විය. එකිකෙනට පරස්පර මත නිසා සැක සහිත මනසකින් සිටි කාලාම වැසියනට, බුදුරජාණන්වහන්සේ යමක් වැරැදි නිවැරැද බව නිර්ණය කිරීමට සාමාන්‍ය ජනයා යොදාගන්නා වැරැදි නිර්ණායකයන් පළමුව පැහැදිලි කළ සේක. එම නිර්ණායකයන් ගෙන් බැහැර ව, මෙලොව පරලොව යහපත වෙනුවෙන් කළ යුතු දේට අවධානය යොමු කරන ලෙස අනතුරු ව ප්‍රකාශ කළහ. එසේ ම තම ක්‍රියාවන්ගේ වැරැදි නිවැරැදි බව නිර්ණය කිරීමට අවශ්‍ය දර්ශකයන් ද හඳුන්වා දුන් සේක. [අංගුත්තරනිකාය, තික නිපාතය, මහා වග්ගය, පස්වැනි (කාලාම) සූත්‍රය]. මෙසේ සැකයන් ගෙන් යුතු තැනැත්තාව තම මතය හුවා දක්වා තවත් අවුල් කරනු වෙනුවට, මධ්‍යස්ථ භාවයට යොමු කිරීම කළ යුතු ය.

එසේම පරිභව කිරීමේ අරමුණින් යමකු අප ගෙන් ප්‍රශ්න විචාරන්නේ නම්, එම පුද්ගලයාට තමාගේ අරමුණ වැරැදි බව වැටහෙන අයුරින් පිළිතුරු දිය යුතු ය. නිඝන්ඨනාථපුත්තයන්ගේ ඉගැන්වීමෙන් බුදුරජාණන්වහන්සේ අපහසුවට පත් කිරීමෙහි අරමුණින් ඉතා සැලසුම් සහගත ව අභය රජකුමාරයා බුදුරජාණන්වහන්සේ ගෙන් පහත පැණය විමසුවේ ය.

“ස්වාමිනි, යම් වචනයක් අනුන්ට අප්‍රිය ද අමනාප ද, තථාගත තෙමේ එබදු වචන කියන්නේ ද?” බුදුරජාණන්වහන්සේ මෙයට එවැනි වචන කියන බව පැවසුවත්, නො කියන බව පැවසුවත්, දිය හැකි පිළිතුරු කලින් ම හදාගෙන සිටි අභයරාජ කුමාරයාට බුදුරජාණන්වහන්සේගෙන් ලැබුණේ බලාපොරොත්තු නො වූ පිළිතුරකි. එනම්,

“රාජ කුමාරය එය ඒකාන්ත නො වේ” යන්න ය. අනතුරු ව රාජ කුමාරයාට වඩාත් සමීප උදාහරණයක් ද සමග තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරන බුදුරජාණන්වහන්සේ තමන් වහන්සේ අන් අය කෙරෙහි වන අනුකම්පාව නිසා අවස්ථානුකූල ව අන් අයට වඩාත් වැඩක් වන ආකාරයට ප්‍රතිචාර දක්වන බව පැහැදිලි කළ සේක. මේ ආකාරයට පරිභව කිරීමේ අරමුණින් ප්‍රශ්න අසන්නාට ද, මධ්‍යස්ථ ව, යහපතක් වන ආකාරය ගැන අවධානයෙන්, ප්‍රතිචාර දැක්වීමට අපට හැකි නම් එම පුද්ගලයාට පවා එම ප්‍රශ්න ඇසීම නිසා යහපතක් සිදු වේ. අභය රාජ කුමාරයාට සිදු වූයේ ද එයයි. සාකච්ඡාව අවසන ඔහු තෙරුවන් සරණ ගිය උපාසකයකු බවට පත් විය (මජ්ක්‍ධිම නිකාය, මජ්ක්‍ධිම පණ්ණාසකය, ගහපති වග්ගය, අභයරාජ කුමාර සූත්‍රය).

එසේම සැබෑවට ම දැනගැනීමේ අරමුණින් ප්‍රශ්න අසන්නෝ ද සිටිති. සාමඥඤ්ඤඵල සූත්‍රයෙහි දී අජාසත් රජතුමා අසන්නේ එවැනි පැණයකි. රජතුමාට පැවැති ගැටලුව වූයේ යම් වෘත්තියක නියැළෙන්නන්ට එම වෘත්තිය නිසා තම ජීවිතය සුවපත් කර ගත හැකි ය. පිනවිය හැකි ය. සිය පවුලේ සාමාජිකයන් යහළුවන් සුවපත් කළ හැකි ය. පිනවිය හැකි ය. මරණින් මතු සුගතියක ඉපදීමට මඟපාදන දානයන් මහණ බමුණනට දිය හැකි ය. එහෙත් පැවිදි වන පුද්ගලයකුට ලැබිය හැකි එවැනි කිසිවක් තිබේ ද යන්න ය. මෙම පැනයට පිළිතුරු සැපයීමට බුදුරජාණන්වහන්සේ පළමුවෙන් ම යොදාගන්නේ රජතුමනට වඩාත් සමීප උදාහරණයකි. එනම් රජතුමා ළඟ සිටින අනලස් ව ක්‍රියා කරන යහපත් හැසිරීම් ඇති දාසයකු රජතුමා සැප විඳින්නේ පින් ඇති නිසා බවත්, තමා දාසයකු ලෙස සිටින්නේ පින් මඳ නිසා බවත් සිතා, තමාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් පැවිදි වන්නේ ය. රජතුමා ළඟ සිටි දාසයා පැවිදි වූ බව රාජ පුරුෂයන් දැනුවුව හොත්, ඔහු රැගෙන විත් නැවත සේවයෙහි පිහිටුවීමට ක්‍රියා කරන්නේ දැ යි බුදුරජාණන්වහන්සේ, රජතුමා ගෙන් විමසූ සේක. තමා එසේ නො කරන බවත්, එසේ පැවිදි තත්ත්වයට පත් වූ නිසා තමන් අවශ්‍ය ගරු බුහුමන් දක්වන බවත්, පිරිකර ලබා දීම හා ධාර්මික ව රක්ෂා කිරීම කරන බවත්, රජතුමා පැවසී ය. පැවිද්දකුට ලැබිය හැකි පළමුවැනි ඵලය එය බව එවිට බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කළ සේක. අනතුරු ව පියවරෙන් පියවර උතුම් වූ අරහත් ඵලය දක්වා ම පැවිද්දකු ලබන ඵලයන් බුදුරජාණන්වහන්සේ රජතුමාට පැහැදිලි කළ සේක (දීඝනිකාය, සීලක්‍ඛන්‍ධවග්ගපාලි, සාමඥඤ්ඤඵල සූත්‍රය). එසේම දීඝනිකායෙහි, වන කූටදන්ත සූත්‍රය ඇතුළු බොහෝ සූත්‍රයන්හි සැබැවින් ම දැනගැනීමට ප්‍රශ්න අසන්නන්ට ඔවුනට එම කරුණ වඩා පැහැදිලි වන ලෙස බොහෝ ඉවසීමෙන් ඔවුනට සමීප දේ ඇසුරින් පැහැදිලි කර දෙන ආකාරය හඳුනාගත හැකි ය. දැනගැනීමෙහි අරමුණින් ප්‍රශ්න අසන්නාට ඉවසීමෙන් යුතු ව එම පුද්ගලයාට වඩාත් පහසුවෙන් වටහාගත ආකාරයට පැහැදිලි කිරීම බෞද්ධ ක්‍රමවේදයයි.

තමා ප්‍රශ්න කරන විට පිළිතුරු දුන හොත් යහපත්, නො දුන හොත් ඔහුට නිවරැදි ව පහදා දිය හැකි ය යන අරමුණින් ප්‍රශ්න අසන්නේ, යමක් පිළිබඳ අවබෝධයක් ඇති, අන් අයගේ යහපත අභිවෘද්ධිය කැමැති, කරණාවක්, අනුකම්පාවක්, සහිත තැනැත්තන් ය. බොහෝ අවස්ථාවල බුදුරජාණන්වහන්සේ යමකු ගෙන් ප්‍රශ්න විචාරා ඇත්තේ එම පුද්ගලයාට වඩා යමක් පැහැදිලි කිරීමෙහි අරමුණෙනි. සදිසාව නමස්කාර කරමින් සිටි සිගාලක තරණයා ගෙන් ඔහු කුමක් නිසා සදිසාව වඳින්නේ දැ යි විමසා සිටීම මෙවැනි එක් අවස්ථාවකි. අප බොහෝ දෙනකු දන්නා සිඟාලෝවාද සූත්‍රය දේශනා කරන්නේ ඉන් අනතුරු ව ය. (දීඝනිකාය, පාථිකවග්ගපාලි, සිඞ්ගාල සූත්‍රය). බොහෝ සූත්‍රවල හමු වන බුදුරජාණන්වහන්සේගේ ප්‍රකට චරියාවක් වන්නේ උන්වහන්සේ යම් තැනකට ගිය විට එතැන සිටි පුද්ගලයන් කථා කරමින් හෝ කරමින් සිටි දෙය ප්‍රථමයෙන් විමසා ඒ ඇසුරින් නො දන්නා දෙය පහදා දීම ය. සූත්‍ර විනය පිටකය තුළ බොහෝ විට හමු වන්නේ මෙවැනි අවස්ථාවන් ය.

මේ ආකාරයට තමා වෙත පැමිණෙන්නන්ගේ අරමුණ හඳුනාගෙන සන්නිවේදනය කිරීමට අපට හැකි නම් එය අපගේ සබඳතා නිවැරැදි ව පවත්වාගැනීමට උපකාරයක් වෙයි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *