ජීවිතය විඳිනවාද විඳවනවාද?

cmadurawala
3 Min Read

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
අංශාධිපති, සංස්කෘතික අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

ආයුර්වර්ෂශත්‍රං නෘණාං පරිමිතං රාත්‍රෞ තදර්ධං ගතං තස්‍යාර්ධස්‍ය පරස්‍යචාර්ධමපරං බාලත්‍වවෘද්ධත්‍වයෝඃ
ශේෂං ව්‍යාධි වියෝගදුඃඛ සහිතං ස්වාදිභිර්නීයතේ
ජීවේ වාරිතරංගචඤ්චලතරේ සෞඛ්‍යං කුතඃ ප්‍රාණිනාමි

(මිනිසාගේ වයස අවුරුදු සියයකට සීමාවේ.
එයින් අඩක් රාත්‍රියෙහි ගෙවී යයි.
ඉතිරියෙන් කොටසක් බාල බවටත් – මහලු බවටත් ගෙවී යයි.
ඉතිරි කාලය රෝග හා වියෝ දුකින් යුක්ත වූයේ

රැකියාදියෙන් ගෙන යනු ලැබේ. අතිශයින් සෙලවෙන ජල රළ බඳු ජීවිතයක් ගත කරන කල්හි සත්ත්වයනට සැපවත් බවක් නම් කොයින්ද?)

අපි හිතාගෙන ඉන්නේ ජීවිතය මහා දිග එකක් කියලා. ඒත් මේ ලෝකේ පහළ වෙච්ච දා ඉඳලා ලෝකේ වයස සමග සසඳන කොට ජීවිතයේ වයස එච්චර ලොකු වයසක්ද? මේ මහ පොළොව පහළ වෙලා දැන් අවුරුදු මිලියන ගණනක් වෙනවා. ඒ එක්ක සැසඳුවත් ජීවිතේ කියන්නේ බොහොම ටික කාලයයි. සමහර සත්තු අවුරුදු හාරපන්සියයක් ජීවත් වෙනවලු. ඒ සතෙකුගේ ජීවිතයත් එක්ක සසඳලා බැලුවත් අපේ ජීවිතේ බොහොම ටික කාලයයිනේ. දන්නවද සමහර ගස් අවුරුදු දහස් ගණනක් පරණයි. ඒ ගස් එක්ක බැලුවත් අපේ ජීවිත පවතින්නේ ටික කාලයයිනේ. ගංගා, අමුණු විතරක් නෙවෙයි සමහර ගොඩනැඟිලි අවුරුදු සිය ගණන් පරණයි කියලා දන්නවා නේද? සමහර සබන් කෑලිත් හදන්න පටන් අරන් අවුරුදු එකසිය විසිපහකටත් වැඩියි. ඉතිං ඒ කොහොම බැලුවත් මනුස්ස ජීවිතයක් කියන්නේ බොහොම ටික කාලයක් තියෙන දෙයක්.

අපි හිතමු මිනිස් ජීවිතයක් අවුරුදු 80ක් විතර වෙනවා කියලා ඇත්තටම අවුරුදු 80ම මේ ඇඟ ඇතුළේ පණ තිබුණට කොච්චර ටික කාලේද වැඩක් ඇතිව ගත වෙන්නේ. මේ අවුරුදු 80න්ම 05ක් විතර ළදරු කාලයට ඇරියම ඉතුරු වෙන්නේ හැත්තෑ පහයි. ජීවිතේ අන්තිම අවුරුදු 05ත් අසනීපයටම ඇරියොත් අවුරුදු හැත්තෑවනේ ඉතුරු වෙන්නේ. මේකෙන් දවසෙන් භාගයක් විතර සාමාන්‍යයෙන් රාත්‍රිය. ඒක නින්දට ඇරියම අවුරුදු තිස්පහක්ම ඉඳලා තියෙන්නේ නින්දෙනේ. ඇඳේ දිගාවෙලානේ. එතකොට ඉතුරු කාලය ගණන් කළොත් ඉතුරු වෙන්නේ අවුරුදු තිස්පහයි. ඉගෙන ගන්නයි. පුහුණුවීම් කරන්නයි අවුරුදු හතක්ම ගියා කියමු. ඉතුරු වෙන්නේ අවුරුදු විසි අටනේ. අසනීප ආදි අනිත් ඔක්කෝටම අවුරුදු තුනක් ගියොත් ඉතුරු වෙන්නේ අවුරුදු විසිපහක් පමණයි. රක්ෂා කරන්න, ඉඩම් ගන්න, ගෙවල් හදන්න, කසාද බඳින්න, ළමයි හදන්න, විනෝද වෙන්න, දුක් විඳින්න, ගැටලු හා ප්‍රශ්නවල පැටලවෙන්න, නඩු හබ කියා ගන්න, ළමයි ලොකු මහත් කරන්න, එයාලා බන්දලා දෙන්න ආදී මෙකී නොකී ඔක්කෝම දේවල් කරන්න ඉතුරු වෙන්නේ ඒ අවුරුදු විසිපහනේ. ඉතිං ඒ විසිපහෙත් දුක්ම විඳ විඳ ඉන්නවද? හම්බ කර කරම අවිවේකී වෙනවද? සතුටින් හා සොම්නසින් ගත කරනවද? කියන එක තීන්දු කරන්න ඔබටම භාරයි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *