බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජ්‍ය මිරිස්සේ ධම්මික නාහිමි
ගතවෙන සෑම මොහොතක්ම ජීවත් වෙන්නට තිබෙන කාලයෙන් අඩුවී යයි. පරමායුෂ වශයෙන් අවුරුදු සීයක කාලයක් නිශ්චිතයේ පැවතුණ ද, උපන් සියලුම මනුෂ්‍යයන්ට පරමායුෂ භුක්ති විඳින්නට නොලැබෙන බව ප්‍රකට කරුණකි. කෙසේ වෙතත්, ජීවිතයේ වැඩිම කාලයක් ගතවෙන්නේ සසර පැවැත්මට ප්‍රත්‍යවන සංස්කාර හෙවත් කර්ම රැස්කිරීමෙනි. මෙම සංස්කාරයන් ද කාය සංස්කාර, වචී සංස්කාර, මනො සංස්කාර වශයෙන් කයින්, වචනයෙන්, මනසින් කර්ම රැස් කෙරේ.
මෙම ත්‍රිවිධ ආකාරයෙන් රැස්කරන කර්ම, නැවතත් පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනෙඤ්ඤාභි සංස්කාර වශයෙන් කොටස් කෙරේ. එනම්, පින් හෙවත් දුගතියට හේතුවන කර්ම සහ ධ්‍යාන උපදවා බඹලොව ඉපදීමට හේතුවන කර්ම ලෙසිනි. දුගතියේ ඉපදීම අති භයානකය. සුගතිය, බඹලොව සැපතක සේ හැඟුණ ද, පින පිරිහීමෙන් සුගතියෙන් නික්මීම ද ධ්‍යානයෙන් පිරිහීමෙන් බඹලොවින් නික්මීම ද දුකකි. මේ නිසා සසර නිමා කිරීම හෙවත් භවය අවසන් කිරීම හැර අන්‍ය වූ පරම සැපතක් බුදු දහමෙහි පෙන්වා දෙන්නේ නැත.
ජීවිතයේ ගතවන සෑම මොහොතක්ම, අභාවිත සිත්වලට ඇවිළෙන මොහොතක් වන බව ධර්මයෙහි විස්තර කෙරේ. අනිච්ච, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්‍ෂණ ධර්මය තේරුම් නොගන්නා වූ, අභාවිත සිත්හි අපුඤ්ඤාභි සංස්කාර හෙවත් අකුසල කර්ම බොහෝසෙයින් සකස් කෙරෙයි. මෙම අකුසල කර්ම රැස්කෙරෙන චිත්ත චෛතසික ඇවිළී ගන්නා බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක. චිත්ත චෛතසිකයන්හි ඇවිළීගත් ගිනි නිවා ගැනීමට නොදත් අශ්‍රැතවත් පෘථග්ජනයා, ඇවිළීමට හේතුවන ප්‍රත්‍ය හෙවත් ආරම්මණ කෙරේම උපාදානයට යොමුවෙයි. එනම් සිතින් අරමුණු දැඩිව අල්ලා ගැනීමයි. මෙය ගිනි නිවීමක් වෙනුවට ගිනි තව තවත් අවුළවා ගැනීමකි. සසර දිගු කරමින් ගිනි අවුළවන මේ පරමාර්ථ ධර්ම කතාව නම් කුමක්ද?
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් සුත්‍රානුසාරය මෙසේයි. (ආදිත්තපරියාය සූත්‍රය)
“සියල්ල ඇවිළගන්නා ලදී. කවර සියල්ල ඇවිළගන්නා ලද ද? ඇස ඇවිළගන්නා ලදය. රූපයෝ ඇවිළගන්නා ලදහ. චක්ඛු විඤ්ඤාණය ඇවිළගන්නා ලදය. චක්ඛු සම්ඵස්සය ඇවිළගන්නා ලදය. චක්ඛු සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ මැදහත් වූ හෝ යම් වේදනාවක් උපදී නම් එය ද ඇවිළගන්නා ලදය. කිමකින් ඇවිළගන්නා ලද්දේ ද? රාග ගින්නෙන්, දෝස ගින්නෙන්, මෝහ ගින්නෙන් ඇවිළගන්නා ලදය. ජාතියෙන් ජරා මරණයෙන් ඇවිළගන්නා ලදය. සෝකයෙන් පරිදේවයෙන් හෙවත් හඬා වැළපීමෙන්, දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසය හෙවත් බලවත් සිත්තැවුලෙන් ඇවිළගන්නා ලදැයි කියමි.”
ඇවිළෙන්නේ ගිනි නිසාය. පෘථග්ජන සිත්වල හටගන්නා වූ චෛතසික ගිනි බවට පත්වන්නේ පරිළාහය නිසාය. එනම් රාගාදී කෙලෙස්වල ඇති රත්වෙන, උණුසුම් වන, පිච්චෙන ස්වභාවය නිසාය. සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක වස්තුවක් කෙරේ ඇතිවන උපාදානය, එනම් තද ඇල්ම රාගය නම් වෙයි. මෙය රූපයට, ශබ්දයට, ආඝ්‍රාණයට, රසයට, ස්පර්ශයට, සිතුවිලිවලට ඇතිවිය හැකිය. එමෙන්ම එම රූපාදී ආරම්මණයන්ට එරෙහිව උපදින සිත් සහ සිතුවිලි ද්වේෂ නම් වෙයි. පටිඝ වූයේ ද මෙයයි. පඨවි (තද බව) ආදී හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස්වන සියල්ලම සංඛත ලෙස හැඳින්වෙයි. මෙම සියලු සංඛත වස්තූන් අනිච්ච, දුක්ඛ, අනත්ත නම් ත්‍රිලක්‍ෂණ ධර්මයට යටත් කොට නුවණින් මෙනෙහි නොකිරීම ම මෝහය නම් වෙයි. මේ අනුව රාගය ගින්නකි. ඇවිළෙයි, ද්වේෂය ගින්නකි ඇවිළෙයි. මෝහය ගින්නකි. ඇවිළෙයි. මෙහිදී තවදුරටත් දැක්වෙයි. එනම් ඉපදීම නිසා ද දිරාගෙන යෑම, මරණය නිසා ද ඇවිළෙයි. සෝකය නිසා ද, පරිදේවය නිසා ද දුක්ඛ දෝමනස්ස නිසා ද උපායාසය නිසා ද ඇවිළෙයි.
“නොවඩනා ලද සීලය, නොවඩනා ලද කය, නොවඩනා ලද සිත, නොවඩනා ලද නුවණ ඇත්තේය” යන අදහසින් දක්වන්නේ අවිද්‍යාවෙන් යුක්ත බවය. අවිද්‍යාව හෙවත් මුළාව නිසා ස්කන්ධ පඤ්චකයම වගේම එහි රූපයට අයත් ඇසත්, කනත්, නාසයත්, දිවත්, කයත්, සක්කායදිට්ඨිය (මමය මාගේය නම් වූ දැක්ම) මුල්කොට ගත් ආත්ම සංඥාවෙන් මෙහෙයවෙයි. එහිදී මෙවැනි දෙයක් සිදුවෙයි.
“ප්‍රිය රූපෙ රූපෙ සාරජ්ඣති….
ප්‍රිය රූපයෙහි රාගයෙන් ඇලෙයි
ප්‍රිය ශබ්දයෙහි රාගයෙන් ඇලෙයි
ප්‍රිය ආඝා්‍රණයෙහි රාගයෙන් ඇලෙයි
ප්‍රිය රසයෙහි රාගයෙන් ඇලෙයි
ප්‍රිය ස්පර්ශයෙහි රාගයෙන් ඇලෙයි
ප්‍රිය සිතුවිල්ලෙහි රාගයෙන් ඇලෙයි.
මෙම රූප, ශබ්ද ආදී ආරම්මණ සංඛත සංඛාර බැවින් එහි වෙනස්වීම, විසිරීම සිදුවෙයි. හටගෙන බිඳෙමින් භංගවීම ලෙසිනි. නොවඩනා ලද සීලය, කය, සිත, නුවණ ඇති අශ්‍රැතවත් පෘථග්ජනයාට මෙය තර්ජනයකි. තැතිගැනීමකි. බිය හටගැනීමකි. කම්පාවකි. මෙය දක්වන්නේ “ඇවිළීම ලෙස ය. ඇස නිදසුනට ගත්විට මෙසේය. අවිද්‍යාව – සක්කාය දිට්ඨිය – ආත්ම සංඥාව – සත්ත්ව පුද්ගල – මම ඇස අසරණ වෙයි. අනාථ වෙයි. කළ යුතු, කිවයුතු, සිතිය යුතු යමක් නොදැනෙයි. මෙම අවස්ථාව මෙසේ දේශනාවෙහි විස්තර කෙරෙයි.
සෝචති – ශෝක කෙරෙයි
පරිදේවති – හඬා වැලපෙයි.
උරත්තාළිං කන්දති – ළයෙහි අතගසා ගනියි
කිළමති – ක්ලාන්ත වෙයි
සම්මෝහං ආපජ්ජති – මුළාවට පැමිණෙයි.
මෙසේ සකස්වන ඇවිළීම, භාග්‍යවතුන් වහන්සේ විසින් පැහැදිලි කරනු ලැබුවේ “සබ්බං භික්ඛවෙ ආදිත්තං, මහණෙනි, සියල්ල ඇවිළගන්නා ලදි” යනුවෙනි. “සියොළඟ’ ඇවිළුණු ගිනි ඇත ලෙසින් මෙය දැක්වෙයි. මේ සියල්ල ඇවිළීම මුළුමනින්ම දක්වන්නේ නම් මෙසේය. ඇස මුලින් දක්වන ලදී. මීළඟට කන
ඇවිළගන්නා ලදය. ශබ්දයෝ
ඇවිළගන්නා ලදහ. සෝත විඤ්ඤාණය
ඇවිළගන්නා ලදය. සෝත සම්ඵස්සය
ඇවිළගන්නා ලදය. සෝත සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ මධ්‍යස්ථ වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එය ද ඇවිළගන්නා ලදය. කිමෙකින් ඇවිළගන්නා ලද්දේ ද? රාග ගින්නෙන් දෝස ගින්නෙන්, මෝහ ගින්නෙන් ඇවිළගන්නා ලදය. ජාතියෙන් ජරා මරණයෙන් ඇවිලගන්නා ලදය. සෝකයෙන්, පරිදේවයෙන්, දුක්ඛයෙන්, දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිළගන්නා ලදය.
නාසය ඇවිළගන්නා ලදය. ආඝ්‍රාණයෝ
ඇවිළගන්නා ලදය. ඝාන විඤ්ඤාණය
ඇවිළගන්නා ලදය. ඝාන සම්ඵස්සය ඇවිළගන්නා ලදය. ඝාන සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ මධ්‍යස්ථ වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එයද ඇවිළගන්නා ලදය. කිමෙකින් ඇවිළගන්නා ලද්දේ ද? රාග ගින්නෙන්, දෝස ගින්නෙන්, මෝහ ගින්නෙන් ඇවිළගන්නා ලදය. ජාතියෙන් ජරා මරණයෙන් ඇවිළගන්නා ලදය. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිළගන්නා ලදය.
දිව ඇවිළගන්නා ලදය. රසයෝ ඇවිළගන්නා ලදහ. ජිව්හා විඤ්ඤාණය ඇවිළගන්නා ලදය. ජිව්හා සම්ඵස්සය ඇවිළගන්නා ලදය. ජිව්හා සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ මධ්‍යස්ථ වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එය ද ඇවිළගන්නා ලදය. කිමෙකින් ඇවිළගන්නා ලද්දේ ද? රාග ගින්නෙන්, දෝස ගින්නෙන්, මෝහ ගින්නෙන් ඇවිළගන්නා ලදය. ජාතියෙන් ජරා මරණයෙන් ඇවිළගන්නා ලදය. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිළගන්නා ලදය.
කය ඇවිළගන්නා ලදය. ස්පර්ශයෝ ඇවිළගන්නා ලදහ. කාය විඤ්ඤාණය ඇවිළගන්නා ලදය. කාය සම්ඵස්සය ඇවිළගන්නා ලදය. කාය සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ මධ්‍යස්ථ වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එය ද ඇවිළගන්නා ලදය කිමෙකින් ඇවිළගන්නා ලද්දේ ද? රාග ගින්නෙන්, දෝස ගින්නෙන්, මෝහ ගින්නෙන් ඇවිළගන්නා ලදය. ජාතියෙන් ජරායෙන් මරණයෙන් ඇවිළගන්නා ලදය. සෝකයෙන්, පරිදේවයෙන් දුක්ඛයෙන්, දෝමනස්සයෙන්, උපායාසයෙන් ඇවිළගන්නා ලදය.
මනස ඇවිළගන්නා ලදය. සිතුවිලි ඇවිළගන්නා ලදහ. මනෝ විඤ්ඤාණය ඇවිළගන්නා ලදය. මනෝ සම්ඵස්සය ඇවිළගන්නා ලදය. මනෝ සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ මධ්‍යස්ථ වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එය ද ඇවිළගන්නා ලදය. කිමෙකින් ඇවිළගන්නා ලද්දෙ ්ද? රාග ගින්නෙන්, දෝස ගින්නෙන්, මෝහ ගින්නෙන් ඇවිළගන්නා ලදය. ජාතියෙන්, ජරා මරණයෙන් ඇවිළගන්නා ලදය. සෝකයෙන්, පරිදේවයෙන්, දුක්ඛයෙන්, දෝමනස්සයෙන්, උපායාසයෙන්, ඇවිළගන්නා ලදය.
මෙහිදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් දහම් පෙළක් මතුකොට දක්වමි.
“කෝ නු හාසො කිමානන්දෝ?
නිච්චං පජ්ජලිතෙ සති
අන්ධකාරෙන ඔනද්ධා
පදීපං නං ගවෙස්සථ
“රාගාදී ගිනිවලින් ඇවිළගෙන නිතොර දැවෙද්දී, කුමන සිනාවෙක් ද? කුමන සතුටක් ද? සම්මා ප්‍රඥාව නමැති පහන නොසොයන්නහු ද? (ධම්මපදය) මෙහිදී සීලයෙහි පිහිටා අවබෝධයෙන් ලබන සිනාව, සතුට ප්‍රතික්‍ෂෙප නොකෙරේ. මෙහි අදහස් කරන්නේ මෝහාන්ධකාරයෙහි ගිලී, ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය, ස්පර්ශය, විඳීම් ආදිය” “මමය මාගේය” යනුවෙන් ඇතිකර ගන්නා වූ සිනාවයි. සතුටයි.
ඉහත දැක්වූ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව, ශ්‍රැතවත් බවට පැමිණෙන ශ්‍රාවකයා විසින් ඇසෙහි යථා අවබෝධයට පැමිණෙයි. “යමක් හටගන්නාසුලු ද ඒ හැම නැසෙනසුලු ය යනුවෙනි. මෙයම “චක්ඛුස්මිම්පි නිබ්බින්දති රූපෙසුපි නිබ්බින්දති… ආදී ලෙසින් ඇසෙහි කලකිරෙයි. රූපයන්හි කලකිරෙයි, චක්ඛු විඤ්ඤාණයෙහි කලකිරෙයි ආදී ලෙසින් දැක්වෙයි. කලකිරීම නම් වූ යථාවබෝධයට පැමිණෙන්නේ පරමාර්ථ අවබෝධයෙන් නොඇලෙයි. නොඇලුණේ මිදෙයි. මිදුණේ මිදුන බව දැනගනියි. ඉපදීම අවසන් වෙයි. බඹසර වාසය කොට නිමවන ලදී. කළ යුතු කටයුතු කරන ලදී. ඒ සඳහා අන් කිසිවක් නැත. මේ දැක්වූයේ එකම දහම් මඟක, තවත් පැතිකඩකින් සසර මඟ කෙටිකර ගැනීමයි. ආරම්භ කරන්න. නික්මෙන්න. බුදුසසුනෙහි යෙදෙන්න.

