මනුෂ්‍යත්වයේ උදාරත්වය

cmadurawala
7 Min Read

ආචාර්ය පූජ්‍ය ලබුදූවේ සිරිධම්ම නාහිමි

● කිංකුසලගවේසී

බෞද්ධයාගේ පරමාර්ථය නිවන් ලැබීමයි. හැම පිංකමක්ම සිදුකොට අපි නිවන් පතමු. එහෙත් නිර්වාණයේ යථා තත්ත්වය ගැන ලෞකික වූ අපට හරි අවබෝධයෙක් නැති, නිර්වාණයේ යථා තත්ත්වය අවබෝධ වන්නේ ලෝකෝත්තර සිත්වලට පමණක් බැවින් නිවන් ලබන තුරු අපට ඒ ගැන ප්‍රත්‍යක්ෂ අවබා්ධයක් ලැබීම අසීරුය. එහෙත් අප යමක් පතන්නේ නම් ඒ පතන්නේ කෙබන්දක් ද යන්න ගැන කිසියම් අවබෝධයක් අප තුළ තිබිය යුතුය. අවබෝධයකින් තොරව අන්ධානුකරණයෙන් ක්‍රියා කිරීමට බුදු සමයෙන් ඉඩෙක් නැති.

ලොව සියලු ප්‍රානීහු සැප කැමැත්තෝය. ඔවුන් හැම විටම උත්සාහ කරනුයේ සුවය, සතුට, මිහිර, සැනසිල්ල ළඟා කරගනු සඳහාය. කෙටියෙන් කියතොත් සියල්ලන්ගේ මූලික පරමාර්ථය සැප ලැබීමයි. එම සුවය ලැබීමට මඟ පෙන්වීම බුදුරජාණන් වහන්සේගේ මුඛ්‍ය අධ්‍යාසය විය. බුදුරජාණන් වහන්සේ උගන්වා ඇත්තේ දුක් විඳින මාර්ගයක් බවට ඇති සාවද්‍ය මතය නිසා බොහෝ දුක් විඳින කටුක ව්‍රත රකින අය දුටුවිට ඔවුන් මහ සිල්වතුන් ගුණවතුන් සේ සලකා බොහෝ දෙන ගරු බුහුමන් දක්වති. මෙය බුදු දහමට ඉඳුරා පටහැනි තත්ත්වයකි.

එදා සියලු යස ඉසුරෙන් ආඪ්‍යව, දුක නම් කිමෙක් දැයි නොදැන රජමැඳුරෙක, රජකුමරෙකු ලෙස භද්‍රයෞවන වියෙහි පසුවුණු සිදුහත් කුමරුන්හට දිනක් උයන්කෙළියෙහි යන අතර මඟ දිරාපත් මහලු මිනිසකු හමුවිය. මේ දර්ශනයෙන් තිගැස්සුණු සිදුහත් කුමරු ගැඹුරු සිතුවිල්ලකට වැටිණි. ඔහු සිතුවේ මේ මහලු වීම මේ මිනිසාට පමණක් සීමා වූවක් නොව තමන් ද ඇතුළු ලොව සියල්ලන්ට පොදුවූ ධර්මයක් බවයි. එසේ නම් තමන්ගේ දැන් පවත්නා තරුණකම වහා වැනසී යන වෙනස් වන එකක් බවත් මෙසේ වහා නැසෙන, පෙරැළෙන සුවය නියම සුවයක්, සතුටක්, සම්පතක්, මිහිරක් නොවිය හැකි බවත් එය දුකින් දොම්නසින් කෙළවර වන්නක් බවත් එතුමන් හට මනාව පැහැදිලි විය. පසු දින ලෙඩකු ද මළ සිරුරක් ද දුටු එතුමන්ගේ මේ හැඟුම් වඩාත් තීව්‍ර බවට පත් විය. එදා රෑ කුරවී නාදය පරයන අයුරින් කන්කලු වීණා නද පතුරවමින් සුමිහිරි සංගීතයට අනුව සුරලියන් සේ රඟ පෑ ලද බොළඳ යුවතියන් තව මොහොතකින් ගොරව ගොරවා, කුණුකෙළ වගුරවමින්, මළ කඳන් සේ වැතිර නිදනු දුටු සිදුහත් කුමරුන්හට වැටහුණේ ලෞකික මිහිර, සුවය නිකම්ම සිහිනයක් මායාවක් බවයි. මේ මිහිර වහා ශෝකයට දුකට හේතුවන බව එතුමන්හට මනාව පැහැදිලි විය.

මේ නිසා මේ තත්ත්වයට ගොදුරු වූ සියලු සතුන් කෙරෙහි එතුමන් තුළ ඇතිවූයේ මහා කරුණාවකි. මෙසේ කම්පාවට පත් සිදුහත් කුමරු අදිටන් කොට ගත්තේ මේ පෙරැළෙන, වැනසෙන, සැලෙන, දුකට හේතුවන සුවය වෙනුවට නොපෙරැළෙන, නොනැසෙන, නොසැලෙන ස්ථිර සුවය සෙවිය යුතු බවත් තමන් ඒ පරම සුවය සොයාගෙන අන් සියල්ලනට ද එයට මඟ කියාදිය යුතු බවත්ය. එදා රෑ ම තම සොඳුරු බිරිඳ වන යසෝධරා කුමරියත් මැණිකක් වන් රාහුල බිලිඳාත් සියලු රජ සැප ඉසුරුත් හැර දමා “කිං කුසල ගවේසි අනුත්තරං සන්තිවරපදං පරියෙසමානෝ” යනුවෙන් සඳහන් වන පරිදි නියම සුවය, නියම සැනසිල්ල කිමෙක් දැයි සොයමින් ගොස් වර්ෂ ගණනාවක් ප්‍රධන් වීර්යය කොට එදා ඇසතු බෝ මුලදී සොයාගත්තේ ඒ නොනැසෙන, නොසැලෙන පරම මිහිරයි. සුවයයි, නිවනයි. සියලු දුකට හේතුව මෝඩකම හෙවත් අවිද්‍යාවත්, තෘෂ්ණාවත් බවත් ඒවා සහ මුලින් නසා දැමීමෙන් – නිවාදැමීමෙන් ඇතිවන තත්ත්වය “නිවන” බවත් එතුමන්හට පැහැදිලි විය. එහෙයිනි “නිබ්බානං පරමං සුඛං” යනුවෙන් නිවන පරම සුවය බව උන්වහන්සේ පැහැදිලි ලෙස වදාළේ.

භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන – සදා සොත්ථි භවන්තු තෙ.

● ඇරඹුම

සිල්වත්කම සියලු ගුණ ධර්මයෙහි පදනමයි. යමෙක් සිල්වත් නොවේ නම් අනිත් කිසිදු ගුණ ධර්මයෙක් ඔහු තුළ රඳා නො සිටී. සියලු ගුණ ධර්මයන් දැරීමේ ප්‍රතිපදාව සීලය හෙයිනි. බුදු දහමේ උගන්වන උත්තරීතර මනුෂ්‍ය ධර්මයන් වන ධ්‍යාන, මාර්ග, ඵල නැමැති බීජයන් වැපිරීමට භූමිය ලෙස දක්වා ඇත්තේ සීලයයි. මාර්ග ඵල නම් ප්‍රඥාවයි. මේ නිසා ස්ථිර ලෙස සීලයෙහි නො පිහිටි කෙනකුන්හට සමාධි ප්‍රඥාවෙන් වැඩිය නොහැකියි. සීලයෙන් තොර තැනැත්තා පරම සුවය හෙවත් නිවන ලැබීමේ මාර්ගයෙන් ඉවත පැන්නෙකි. එහෙයින් බුදු දහමේ උගන්වන විශිෂ්ට පරමාර්ථය ලැබ ගනු පිණිස පළමුවෙන් සිල්වත් වියයුතුය.

සිල්වත් වීම නිවන් මඟට පිය තැබීමෙක් පමණෙකි. යමෙක් සිල්වත් නොවේ නම් හේ නිවන් මඟට පා තැබුවෙක්ද නොවේ. සීලය විවිධ ප්‍රභේදයන්ගෙන් යුක්තය. එහි අන්තිම ඉහළ මට්ටමේ සීලයෙන් අදහස් කරන්නේ පරම පවිත්‍ර චරිත ශක්තියක් ඇති කිරීමය. නිර්වාණ මාර්ගයේ මුල් පියවර වන සීලයේ ද ආරම්භක සීලය ලෙස සැලකෙන්නේ පංච සීලයයි. යමෙක් පන්සිල්වත් නො රකී නම් එයින් අදහස් වන්නේ ඔහු නිර්වාණ මාර්ගයේ මුල් පියවර තැබීමට සූදානමක් පවා නැති බවයි. තවත් අයුරෙකින් කිවහොත් ලෞකික තත්ත්ත්වය ඉක්මවීමෙන් ලැබිය හැකි පරම සුවයක් ගැන උගන්වන බෞද්ධ දර්ශන ශාස්ත්‍රයේ අ යන්න, ආ යන්න පවා ඉගෙන ගන්නට තව ඔහු සූදානම් නැති බවයි.

මේ අනුව වර්තමාන ජන සමාජයේ ජීවත් වන බොහෝ අයගේ ජීවිත පඤ්චශීලය හා සසඳා බලනවිට, මෙතෙක් මිහිපිට පහළ වී ඇති මහා පුරුෂයාණෝ පෙන්වා ඇති පරම සුවය ලැබීමේ මගින් ඔවුන් කොතරම් ඈත් වී ඇත්ද යනු මනාව පැහැදිලි වේ. ඇතැම් බෞද්ධයන් තුළ වුවද පන්සිල් සමාදන් වීම හුදු චාරිත්‍ර මාත්‍රයක් බවට පත්වී තිබේ.

එය නියම හැඟීමකින් කරන්නේ නම්, “පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යි කියනවිට මම කුරා කුහුඹුවකුගේ වුවද ජීවිතයට හිංසාවක්, පීඩාවක්, අවහිරයක් නොකරමියි හදවත කරුණාවෙන් මෛත්‍රීයෙන් පිරී ඉතිරී යා යුතුය.

දෙවන ශික්ෂාපදය කීමේදී අනුන් සතු කිසිදෙයක් මම හොරා නොගනිමි. වැරදි ලෙස නොගනිමි, පොදු වස්තූන්හට හානි නොපමුණුවමි, නියමිත සේවය නොකොට පඩිය නොගනිමි. අනුන් සතු අයිතිවාසිකම්වලට ගරු කරන අතර ඒවා රැක ගැනීමට පොරොන්දු වෙමි. ආදි උදාර හැඟීම් ඔහු තුළ ඇති විය යුතුය.

තුන්වන ශික්ෂාපදය සමාදන් වනවිට මම මගේ ඇස, කන, නහය, දිව, සිරුර යන පසිඳුරන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණුවල වැරදි ලෙස යොදවා සිත දූෂ්‍ය කොට නොගනිමියි අදිටන් කරගත යුතුය.

මම සත්‍යවාදී, අවංක, ඍජු, ලාබයක් නිසා ආත්ම ගෞරවය පවා නොදෙන, නිර්භීත මිනිහෙක් වෙමියි සිතමින හතර වන ශික්ෂාපදය කිය යුතුය.

මගේ සිත විකල් වන ශරීර සෞඛ්‍යය වැනසී යන, ඒ නිසා දූ දරුවන් පරම්පරාවන් විනාශයට හේතු වන, පවුල් අවුල්වන, මෙලොව පරලොව පිරිහෙන, මත්පැන් නොබොමියි අධිෂ්ඨානයක් ඇති කොට ගනිමින් පස්වන ශික්ෂාපදය සමාදන් විය යුතුය.

මෙබඳු හැඟීම් ක්‍රියාවට නැඟීමෙන් පමණක් නිර්වාණ මාර්ගයේ දොරටුවට පා තැබිය හැකි වනු ඇත.

භවතු සබ්බ මංගලං

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *