මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ
අඳුර පළවාහරිමින් බුදුන් වහන්සේලා ලෝකයට ආලෝකය ගෙන ආහ. බුද්ධාලෝකය පිළිබඳව අපට ඇති ඓතිහාසික පරමාදර්ශය වන්නේ ගෞතම බුදුන් වහන්සේය. අතීත බුදුන් වහන්සේලා සොයා යන ගවේෂකයනට මඟ පෙන්වන ආලෝකය වන්නේ ද උන්වහන්සේ ය. දීඝනිකායේ මහාපදාන සූත්‍රය වූ කලී මෙම ආලෝකය සපයන එක් ප්‍රධාන මූලාශ්‍රයකි.
බුදුන් වහන්සේ සැවත්නුවර ජේතවන අනේපිඬු සිටු අරමෙහි වැඩ සිටින කල භික්ෂුන් වහන්සේලා අතර පූර්වේනිවාස එනම් අතීත ජන්ම පිළිබඳ සාකච්ඡාවක් ඇති වෙයි. එතැනට වැඩම කරන බුදුන් වහන්සේ විපස්සී – සිඛී – වෙස්සභූ – කකුසන්ධ – කෝණාගමන – කස්සප ආදි කොට ඇති බුදුන් වහන්සේලාගේ පහළවීම පිළිබඳ ව කරුණු වදාරති!
මේ පිළිබඳ තවදුරටත් තොරතුරු හදාරද්දී පෙනී යන්නේ, නාමික වශයෙන් වෙනස් වුවත් බුද්ධ ප්‍රවාහය නම් එකක් බවය. නිදසුනක් ලෙස ගතහොත් පාලි සාහිත්‍යයට අනුව උන්වහන්සේලා සෑම කෙනෙක් ම සත්‍යාවබෝධය කොට ඇත්තේ කිසියම් වෘක්ෂයක් පාමුල ය. මෙයින් පෙනෙන්නේ බුද්ධ චරිතය සොබාදහමින් වියුක්ත නොකරන ප්‍රවණතාවයි. මහාපදාන සූත්‍රයේ දැක්වෙන පරිදි බුදුන් වහන්සේලා සත්නමක් සම්බුද්ධත්වය ලැබීමෙහිදී පිට දුන් වෘක්ෂයෝ පහත සඳහන් පරිදි වෙති.
- විපස්සී බුදුන් වහන්සේ – පළොල් රුකක් මුල (පාටලියා මූලේ)
- සිඛී බුදුන් වහන්සේ – හෙළඹ රුකක් මුල (පුණඩරීකස්ස මූලේ)
- වෙස්සභූ බුදුන් වහන්සේ – සල් රුකක් මුල (සාලස්ස මූලේ)
- කකුසන්ධ බුදුන් වහන්සේ – මහරි රුකක් මුල (සිරීසස්ස මූලේ)
- කෝණාගමන බුදුන් වහන්සේ – දිඹුල් රුකක් මුල (උදුම්බරස්ස මූලේ)
- කස්සප බුදුන් වහන්සේ – නුග රුකක් මුල (නිග්‍රෝධස්ස මූලේ)
- ගෞතම බුදුන් වහන්සේ – ඇසතු රුකක් මුල (අස්සත්ථස්ස මූලේ)
බුද්ධ චරිතය සමග ශාක ලෝකය සම්බන්ධ කිරීමෙහි තවත් විශේෂ වැදගත්කමක් තිබේ. ඒ ශාක ලෝකයේ පැවැත්ම සහතිකවීමෙහි ලා එය බලපා තිබීමය. සාමාන්‍යයෙන් මෙහි නම් සඳහන් කළ රුක් කපා දැමීමට කෙනෙක් ඉදිරිපත් නොවෙති. එයට ප්‍රධාන හේතුව ඒ රුක් බුද්ධ චරිතය සමග සම්බන්ධ කොට තිබීමය. මෙයින් තවදුරටත් පැහැදිලි වන්නේ බුද්ධ චරිතය නිසා සොබාදහමේ අමිල සම්පතක් වන වෘක්ෂ සම්පතෙහි චිර පැවැත්ම තහවුරු වන බවය.
මෙකී බුදුන් වහන්සේලාට සිටි අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ගැනත් අනෙකුත් ශ්‍රාවකයන් වහන්සේලාගේ සංඛ්‍යාවන් ගැනත් මහාපදාන සූත්‍රයෙහි සඳහන් වෙයි. උන්වහන්සේලා අතුරින් වැඩි දෙනෙක් රහතන් වහන්සේලා වෙති. එහි අරුත කෙලෙස් මලින් තොර, තමා සුවපත් වී ලෝකය ද, සුවපත් කරන අපමණ උත්තම චරිත බුද්ධ චරිතය නිසා ලෝකයට දායාද වූ බවයි. ඒ වූ කලී බුද්ධ චරිතයේ අසිරියයි.
ගෞතම බුදුන් වහන්සේට ආනන්ද හාමුදුරුවන් වහන්සේ අග්‍ර උපස්ථායක ලෙස කටයුතු කළ සෙයින් මෙකී සෑම බුද්ධ චරිතයක් විෂයෙහි ම අග්‍රශ්‍රාවක චරිතයක් වූ බව සඳහන්ය. ඒ ආකාරයට ම ඒ ඒ බුදුන් වහන්සේලා ගිහි කල, මව්පියන්ගේ නාම, ජීවත් වූ රාජධානි ආදිය පිළිබඳ විස්තර ද සඳහන්ය.
මෙයින් පසු අපට දක්නට ලැබෙන්නේ විපස්සී බුදුන් වහන්සේ පාදකකොට ගනිමින්, ගෞතම බුදුන් වහන්සේ කරුණු වදාරන ආකාරයයි. එහි කියැවෙන පරිදි බුද්ධෝත්පත්තියක දී දේවාලෝකය ද ඇතුළු සියලු ආලෝක ඉක්මවා ගිය ආලෝකයක් පහළ වෙයි. සඳහිරුට පවා දුරලිය නොහෙන ඕනෑම අඳුරක් දුරලීමේ ශක්තිය ඒ ආලෝකයට ඇත.
“යත්ථපිමේ චන්දිමසුරියා ඒවං මහිද්ධිකා ඒවං මහානුභාවා ආභාය නානුහොන්ති, තත්ථපි අප්පමාණෝ උළාරෝ ඕභාසෝ පාතුභවති අතික්කම්මේව දේවානං දේවානුභාවම්.”
මේ කියන ආලෝකය අන් කිසිවක් නොව බුද්ධා ලෝකයයි. බුදුන් වහන්සේලා කාය සංස්කාර වශයෙන් පිරිනිවී ගිය ද බුද්ධාලෝකය නිමාවකට නොයයි. බුදුන් වහන්සේ ධරමාන සමයේදී බොහෝ දෙනා ඒ බුද්ධාලෝකයෙන් සිය ජීවිත ආලෝකවත් කොටගෙන බොහෝ දෙනා නිවා, නිවී ගියහ. වර්තමානයේ ජීවමාන ව බුද්ධ චරිතයක් දැක ගැන්මේ භාග්‍යය නොමැති වුවත් අපට අවංක වුවමනාවක් ඇත්නම් බුද්ධාලෝකය යායුතු මඟ පෙන්වනවා ඇත.

සියලු බුදුන් වහන්සේලා විසින් කරන ලදැයි සැලකෙන ‘අග්ගෝහමස්මි ලෝකස්ස – මම ලෝකයට අග්‍ර වෙමියි’ ආදි වශයෙන් වන උදාන වාක්‍යය ද මහාපදාන සූත්‍රයේ අන්තර්ගතය. මෙම උදාන වාක්‍යයේ වැදගත් ම තැන ලෙස අපට දැනෙන්නේ ‘මේ මගේ අන්තිම ඉපැත්මයි; දැන් මට නැවත වීමක් නැත’ යන අර්ථ දෙන ‘අයමන්තිමා ජාති, නන්ථිදානි පුනබ්භවෝ’ යන ප්‍රකාශයයි.
සැමවිටම සැම දෙය ම අල්ලා ගැන්මට තැත් කරන – කවර හෝ තත්ත්වයක් ලබා ගැන්ම සඳහා නැවත නැවත වීමට කැමති ලෝකයට බුදුන් වහන්සේලාගේ මේ උදානය වෙනස් ඇසකින් ලෝකය දැකීමට ආලෝකයකි. මේ ජීවිතයෙන් මතු ව පමණක් නොව මේ ජීවිත කාලය තුළත් මෙතැනින් අර තැනට එතැනින් අර තනතුරට ආදි වශයෙන් තවත් අර්ථයකින් පුනර්භවය ම – නැවත වීම ම ප්‍රාර්ථනා කරන ලෝකයට භාවිත අර්ථයෙන් මෙන්ම පෘථුලාර්ථයෙන් ද ‘මේ මගේ අන්තිම වීමයි, මගේ නැවත වීමක් නැත’ යනුවෙන් ප්‍රකාශ කළ හැක්කේ සියලු සැප – සම්පත් – තනතුරු හැර තත්ත්ව හැර පියා ගිය බුදුන් වහන්සේ බඳු උත්තම චරිතයකට හෝ එබඳු චරිතයක ආලෝකය ලද විශිෂ්ට චරිතයකට පමණි. එහෙයින් නැවත නැවත වීම ම ප්‍රාර්ථනා කරන අපේ ලෝකයට යටකී විශේෂ වූ අර්ථයෙන් ද එකී ප්‍රකාශය අප අඳුර දුරලන ආලෝකයක් ම වෙයි.
මෙයිනික්බිති බුදුන් වහන්සේලාට ආවේණික දෙතිස් මහපුරිස ලක්ෂණ ගැන ද මහාපදාන සූත්‍රයෙහි කරුණු සඳහන් වෙයි. ප්‍රසන්න චරිතයක් එනම් ලෝකයට ශාන්තිය ගෙන දෙන චරිතයක් කාටත් ප්‍රිය වන ආකාරය, බුදුන් වහන්සේ විපස්සී කුමාර චරිතය ඇසුරින් පෙන්වා දෙති. ඒ කුමරුගේ ප්‍රියභාවය, මනාප භාවය වූ කලී පෞද්ගලික හේතු ඉක්මවා ගිය එකකි. කිසියම් කෙනකුගෙන් ලාභ සත්කාර ලබා ගැනීමේ අරමුණින් ඔහු ප්‍රිය කිරීම සැබෑ ප්‍රියතාව නොවේ. වර්තමාන දේශපාලන ලෝකයේ දක්නට ලැබෙන ‘මනාපය’ සැබෑ මනාපය නොවන්නාක් මෙනි. විපස්සී කුමරුන් සම්බන්ධ ප්‍රියතාව වූ කලී ඇත්ත ප්‍රියතාවකි, මේ මනාපය වූ කලී ඇත්ත මනාපයකි. පදාන සූත්‍රයෙහි සඳහන් වන්නේ උපුල් මලක්, පියුමක්, සුදු නෙළුමක් සෙයින් මේ විපස්සී කුමරු බොහෝ දෙනාට ප්‍රිය ද මනාප ද වූ බවයි.
“… විපස්සී කුමාරෝ බහුනෝ ජනස්ස පියෝ අහෝසි මනාපෝ. සෙය්‍යථාපි භික්ඛවේ උප්පලං වා පදුමං වා පුණඩරීකං වා බහුනෝ ජනස්ස පියං මනාපං…”
බුදුන් වහන්සේ විපස්සි කුමාර චරිතය ඔස්සේ අපට කියාදෙන්නේ ලෝකයේ යහපත සඳහා උපදින චරිතයක කටහඬ නොරළු බවය; වියත් බවය; මිහිරි බවය; ඇලුම් කටයුතු බවය. මේ අර්ථ දීම සඳහා මඤ්ජුස්සරෝ – වග්ගුස්සරො – මධුරස්සරො – පේමනීයස්සරෝ යන වචන මහාපදාන සූත්‍රයෙහි භාවිතය. මේ වචන තුළ පවා ඇත්තේ බුද්ධාලෝකයයි.
බුදුන් වහන්සේ මඤ්ජුස්සර ඇත්තකු වන්නැයි පැවසීම තුළ ඇත්තේ අප යහපත ඇති කරන වචන කතා කළ යුතු බව නොවේද? ‘වාගුස්සර’ වන්නැයි කීම තුළ ඇත්තේ වචනවල අර්ථ මනාව වටහාගෙන, තේරුමක් ඇතුව කතා කළ යුතු බව නොවේද? මධුරස්සරයෙන් කතා කිරීම යනු කෙනකුට ප්‍රිය උපදවන සේ මිහිරි හඬින් කතා කිරීම නොවේද? පේමනීස්සරයෙන් කතා කිරීම යනු අසන අයට ආදරය දැනෙන සේ කතා කළ යුතු බව නොවේද?
මහාපදාන සූත්‍රයෙහි සඳහන් වන පරිදි විපස්සි කුමරුගේ පියරජු බන්ධුමා නම් රජුය. ඒ රජු සිය පුත් කුමරු ඇකයෙහි හොවාගෙන විනිශ්චයාසනාරූඪ සිටින විට, ඒ පුතා කරුණු උගත් ආකාරය ගැන ද අපේ විශේෂ අවධානය යොමු කළ මනාය. එහි සඳහන් වන්නේ පිය ඇකයෙහි හිඳින විපස්සී කුමරු, විමස විමසා න්‍යායයෙන් යුක්ති ලෙස අර්ථ ගන්නා බවය. ඒ අනුව විපස්සී හෙවත් විශේෂයෙන් දකියි යන නමෙහි අරුත ක්‍රියාවෙන් සනාථ කළ බවය.
“විචෙය්‍ය විචෙය්‍ය කුමාරෝ අත්ථෙ පනයති ඤායේනාති ඛෝ භික්ඛවේ විපස්සිස්ස කුමාරස්ස භිය්‍යොසෝමන්තාය ‘විපස්සී විපස්සී’ ෙත්‍වව සමඤ්ඤා උදපාදි”
අනතුරුව සිදුහත් කුමරු සෙයින් ම විපස්සී කුමරු ද සතර පෙරනිමිති දුටු ආකාරය මෙහි විස්තර වෙයි. අවසානයේ දුටු පැවිදි චරිතයත් සමග ධර්ම චරණය – සමචර්යාව-කුසල ක්‍රියා-පුණ්‍ය ක්‍රියා අවිහිංසාව-සත්තවානුකම්පාව යන සියල්ල මූර්තිමත් කරන පැවිදි ජීවිතය මැනවයි යන හැඟීම විපස්සී කුමරු තුළ ඇති වෙයි. ඔහු එය ක්‍රියාවට නඟයි.

මෙයින් පසු කියැවෙන්නේ සිදුහත් බෝසතුන් සෙයින් ම විපස්සී බෝසත් ද ජාති-ජරා-මරණ පිළිබඳ අවබෝධය ලබන සැටිය. ඒ අනුව භවය නිසා ජාතියත් උපාදානය නිසා භවයත් තෘෂ්ණාව නිසා උපාදානයත් වේදනාව නිසා තෘෂ්ණාවත් ස්පර්ශය නිසා වේදනාවත් ෂඩායතනය නිසා ස්පර්ශයත් නාමරූප හේතුව නිසා ෂඩායතනයත් විඥාන හේතුවෙන් නාමරූපයත් නාමරූප නිසා විඥානයත් ආදි වශයෙන් වන ක්‍රියාවලිය පිළිබඳ ප්‍රඥාව විපස්සී බෝසත්හු ලබති. මෙසේ සමුදය හෙවත් හටගැන්ම විෂයයෙහි ඔහුට පෙර නොඇසූ විරූ ඇස පහළ විය; නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය; විද්‍යාව පහළ විය; ආලෝකය පහළ විය.
“සමුදයෝ, සමුදයෝ’ති ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තසස පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි”
මෙයිනික්බිති විපස්සී බෝසතුනට ජාතිය නැති කල ජරා මරණය නොවන බවත් ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධය සිදුවන බවත් පිළිබඳ ප්‍රඥාව පහළ වෙයි. අනතුරුව භව නිරෝධයෙන් ජාති නිරෝධයත් උපාදාන නිරෝධයෙන් භව නිරෝධයත් තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධයත් වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධයත් ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධයත් ෂඩායතන නිරෝධයෙන් ස්පර්ශ නිරෝධයත් නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධයත් විඥාන නිරෝධයෙන් නාමරූප නිරෝධයත් නාමරූප නිරෝධයෙන් විඥාන නිරෝධයත් වන ආකාරය පිළිබඳ ව දහම් ඇස – නුවණැස – ප්‍රඥාව – විද්‍යාව ආලෝකය උපදියි. මෙසේ රූප – වේදනා – සංඥා – සංස්කාර – විඥාන නිරෝධයෙන් බෝසත් සිත උපාදාන රහිතව ආස්‍රව කෙරෙන් මිදෙයි. ඒ වූ කලී සකල ක්ලේශ ප්‍රහාණයෙන් ලබන සම්මා සම්බුද්ධත්ව ලාභයයි.
මෙයින් පසු බුදුන් වහන්සේ සිත ඇතිවන්නේ තමා විසින් අවබෝධිත මේ ධර්මය ගැඹුරු දුක සේ දත යුතු – දුක සේ අවබෝධ කටයුතු – ශාන්ත – ප්‍රණීත – තර්කයෙන් දත නොහෙන – සියුම් නුවණැත්තවුන් විසින් පමණක් දත හැකි දහමක් ය යන හැඟීමයි. එහෙත් ලෝකය වූ කලී ආලයෙහි ඇලුණු – ආලයෙන් ප්‍රමුදිත – ආලයන්ගෙන් සතුටු වෙන එකකි. එබඳු ලෝකයකට මෙබඳු දහමක් අවබෝධ කොටගත නොහැකි ය යන සිතිවිල්ල බුදුන් වහන්සේ තුළ ඇති වූයේ ඒ නිසා විය හැකිය. මන්ද රාග – ද්වේෂ ආදි කෙලෙසුන්ගෙන් මැඩුණු රාගරක්ත – අවිද්‍යාවෙන් වැසුණු ජනතාව ඒ සියුම් නිපුණ දහම්හි නොඇලෙන බැවිනි.
බුදුන් වහන්සේ මෙබඳු සිතිවිල්ලකින් සිටියදී එතැනට පැමිණෙන මහබඹු උන්වහන්සේට වැඳ පවසන්නේ අල්ප රජස් – අල්ප රාග ඇති අය ද ලොව ජීවත්වන බැවින් ඔවුන් උදෙසා මේ දහම් දෙසන ලෙසයි. එසේම දහම් ඇසීමේ අවස්ථාව අහිමි ව ගියහොත් ඒ පිරිස ද පිරිහීමට පත්වනු ඇතැයි මහබඹු කියයි. මේ අවස්ථාවේදී බුදු ඇසින් ලෝකය අවලෝකනය කරන බුදුන් වහන්සේ විවිධ ගති ලක්ෂණවලින් හෙබි මනුෂ්‍ය ප්‍රජාව දකිති. උන්වහන්සේ එදා ඒ දුටු ඒ ප්‍රජාව ම අදත් සිටින බව දැනෙන්නේ මහාපදාන සූත්‍රය තවදුරටත් කියවන කල්හිය. එහි සඳහන් පරිදි එකල විසූ මනුෂ්‍ය ප්‍රජාව පහත සඳහන් පරිදි වෙයි.
- අල්ප කෙලෙස් අල්ප රජස් ඇති අය
- බොහෝ කෙලෙස් බොහෝ රජස් ඇති අය
- තියුණු ඉඳුරන් ඇති අය
- මෘදු ඉඳුරන් ඇති අය
- මනා ආකාර ඇති අය
- නොමනා ආකාර ඇති අය
- සුවසේ අවබෝධ කළ හැකි අය
- දුකසේ අවබෝධ කළ හැකි අය
- පරලොවත් වරදත් භය වශයෙන් දකින අය
- පරලොවත් වරදත් භය වශයෙන් නොදකින අය
වර්තමාන ලෝකය දෙස බැලුවත් අපට දක්නට ලැබෙන්නේ මේ ජනතාව ම මිස මෙයින් අන්‍ය වූ ජනතාවක් නම් නොවේ. මහබඹු පවසන්නේ මෙබඳු වූ ජනතාවක් ලෝකයේ සිටියදී ඔබවහන්සේ ධර්මය දේශනා නොකොට සිටීම නොකළ යුතු බවයි. ඔහු බුදුන් වහන්සේගෙන් මෙබඳු ඉල්ලීමක් කරයි.
“කඳු මුදුනක සිටින අයෙක් හාත්පස සිටින ජනතාව දකින්නේ යම් සේ ද මනා නුවණ ඇති හාත්පස දකින ඇස් ඇත්තාණෙනි, පහ වූ ශෝක ඇති ඔබ වහන්සේ, ඒ දහම් පහයට නැඟ ජාති ජරාවෙන් මැඩුණු ශෝකාවතීර්ණ මේ ජනතාව දෙස බලනු මැනවි. දිනන ලද සංග්‍රාම ඇත්තාණෙනි. වීරයාණෙනි, නැඟී සිටිනු මැනවි, ලොව සැරිසරනු මැනවි, භාග්‍යවතුන් වහන්ස, එවිට දහම් දැනගන්නා අය ඇතිවනු ඇත.”
මහබඹුගේ වචන පිළිගනිමින් විපස්සී බුදුන් වහන්සේ පළමුව දහම් දෙසීමට සුදුසු ප්‍රඥාවන්තයන් සොයයි. ඒ අනුව උන්වහන්සේගේ බුදු ඇසට පළමුව පෙනී යන්නේ ඛණ්ඩ නම් රාජ පුත්‍රයා සහ තිස්ස නම් පුරෝහිත පුත්‍රයාය. මේ දෙදෙනාම ව්‍යක්ත, අල්ප රජස් ඇති ප්‍රඥාවන්තයෝය. බුදු බණ ඇසීමෙන් පසු මේ දෙදෙනාට උපදනා සියල්ල නැසෙන සුළු ය යන අවබෝධය ඇතිවෙයි. ඔවුන් තුළ කෙලෙස් රජස් රහිත දහම් ඇස පහළ වෙයි.
විපස්සී බුද්ධ ශාසනයේ පළමුව පැවිදි ජීවිතයට එළඹෙන්නේ මේ දෙදෙනාය. මේ අනුව බුදුන් වහන්සේ පළමුව වෙනස් කළේ රටක ජනතාවට ඉමහත් බලපෑමක් ඇති කළ හැකි රාජ පුත්‍රයාය. එසේ ම පුරෝහිත පුත්‍රයාය. මේ වූ කලී සැබෑම විප්ලවයකි. රටේ රජුගේ පුත්‍රයාත් පුරෝහිත පුත්‍රයාත් පැවිදි ජීවිතයක් වෙත කැඳවීමට තරම් බලවත් බුද්ධ චරිතය, රටවැසියන්ගේ ජීවිතවල මහත් වෙනසකට ද බලපාන්නට ඇත. ඒ අනුව රටේ ජනතාව ද බුදු මඟ ගනිති, දහම් මඟට පිවිසෙති.
මෙසේ පැවිදි ජීවිතයට පත් සියලු චරිත අමතා බුදුන් වහන්සේ විසින් වදාරනු ලැබ ඇත්තේ ද ගෞතම බුදුන් වහන්සේ විසින් කරන ලද ප්‍රකාශයයි. එනම් බොහෝ දෙනාට හිත – සුව පිණිස – ලොවට අනුකම්පා පිණිස – දෙව් මිනිසුනට වැඩ පිණිස – හිත පිණිස – සුව පිණිස සැරිසැරිය යුතු බවයි, දෙදෙනෙක් එක මගින් නොයා යුතු බවයි. මුල – මැද – අග යහපත් වූ අර්ථවත් ධර්මය ම දේශනා කරන ලෙසයි.
ගෞතම බුදුන් වහන්සේ සෙයින් ම විපස්සී බුදුන් වහන්සේ විසින් ද වදාරන ලද කරුණු ගිහියන් වන අපට ද සුදුසු පරිදි අදාළ කොටගත හැකිය. එහිදී කියැවෙන්නේ ඉවසීම පරම තපස බවය. නිවන ම පරම දහම බවය, අනුන් පෙළන්නා, අනුන් වෙහෙසන්නා පැවිද්දකු නොවන බවය.
ඉවසීම ගිහියන් සම්බන්ධයෙන් ද වෙසෙසින් තිබිය යුතු තපසකි. වර්තමාන සමාජයේ ද බොහෝ ගැටලු – අර්බුද ඇති වන්නේ ඉවසීමෙන් තොරව කටයුතු කිරීම නිසා බැවිනි. එසේම ගිහියන් ලෙස අප විසින් සිතිය යුතු වන්නේ අනුන් පෙළීම. අනුන් වෙහෙසීම ගිහියාට ද තරම් නොවන කාර්යයන් බවයි. එබඳු අය ගිහියන් ලෙස හැඳින්වීම ද සුදුසු නොවේ. කවර හෝ භික්ෂුන් වහන්සේ කෙනකුගෙන් වන වරදක් දැඩිව ගනිමින් ඊට එරෙහිව කටයුතු කිරීමට වඩා එහාට ගිය කටයුත්තක් අපට තිබේ. භික්ෂූන් වහන්සේලාගේ කටයුතු පිළිබඳ ව ගුණ දොස් විවේචනය කළ යුත්තේ බුදුන් වහන්සේ හෝ උන්වහන්සේගේ මඟ ගත් භික්ෂුන් වහන්සේලාය. එහෙයින් අපට අයිතියක් හෝ සුදුසුකමක් නැති කාර්යයක් කිරීමට වඩා අප විසින් ගිහියන් ලෙස කළ යුතු කාර්යය වන්නේ අනුන් නොපෙළීම ය; අනුන් වෙහෙසට පත් නොකිරීමය.
සියලු බුදුවරුන්ගේ අනුශාසනය වන්නේ ද සියලු පව් නොකරන්න, කුසල් උපදවන්න, සිය සිත් පිරිසිදු කොට ගන්න යන්නයි.
“සබ්බපාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධාන සාසනං”
අන් කිසිවක් නැතත් යටකී ආලෝක ප්‍රකාශය පමණක් වුව බුද්ධාලෝකය ලබා සැනහෙනු රිසි ගිහි-පැවිදි කාටත් තමා යා යුතු මාර්ගය පෙන්වා දෙනවා ඇත.
බුද්ධාලෝකයෙන් ලෝකය නිවී සැනසේවා!

