සාමවිනිසුරු ගුණපාල කාරියවසම්
ගෝනලගොඩ – තල්ගස්වල
බුදු කෙනෙක් මනුලොව පහළවන්නේ ඉතා කලාතුරකිනි. එසේ පහළවන බුදුන් වහන්සේ නමක් විසින් ඊට පෙර බුද්ධෝත්පාදක කාලයේ සිට අතුරුදන්ව තිබූ දහමක් සොයාගනී. ඒ දක්වා ලොව මිථ්‍යාදෘෂ්ටික අදහස්වලින් පිරී පවතී. හොඳ නරක, පින් පව්, කුසල් අකුසල් ආදිය කවරේදැයි නොදැන ලැබූ මිනිස් ජීවිතය ගෙවාදමා මිය පරලොව යන්නේය. මේ අතරතුර බුදුවරයෙක් පහළවූ විට අන්ධකාරයෙන් වැසී තිබූ ලොව ආලෝකවත් වන්නේය. දෙවියන් – බඹුන්ට පවා සැක සහිත දේවල් හා ගැටලු හරියාකාරව දැනගැනීමට ක්‍රමවේදයක් නොමැතිව දුකසේ පසුවන්නේය. මෙසේ පසුවද්දී ලොව පහළවන බුදුන් වහන්සේ එතෙක් අළු යට ගිනි පුපුරු සේ යටපත්ව තිබූ චතුරාර්ය සත්‍ය දහම අවබෝධ කරගැනීමෙන් එතෙක් කිසිවකු විසින් අසා නොතිබූ අලුත් දහමක් දේශනා කරති. ගෞතම බුදුන් වහන්සේ එසේ බුද්ධත්වයට පත්වී තමන් වහන්සේ විසින් අවබෝධ කරගත් අලුත් දහම ප්‍රථම මංගල ධර්ම දේශනය ලෙස ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනු ලැබූ බව අපි දනිමු.
එම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී ‘ඉදං දුක්ඛං අරියසච්චන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි…’ ආදී වශයෙන් “මහණෙනි පෙර නොඇසූ විරූ ධර්මයක් දේශනා කරන බව වදාරන්නාහ. එයින්ම බුදුන් වහන්සේගේ දේශනාවේ අගය අපට වටහාගත හැකිය. උන්වහන්සේ දේශනා කරනු ලබනුයේ පෙර නොඇසූ විරූ දහමකි. එසේ නම් මේ අලුත් දහම බුද්ධ දේශනාව වේ. ඒ තුළින් අලුත් ශාසනයක් ආරම්භ වේ. ඒ බුද්ධ ශාසනයයි. බුදුවරයෙක් මංගල ධර්ම දේශනාවේ සිට පිරිනිවන්පාන මොහොත දක්වා දේශනා කරනු ලබන දේශනාවන් සියල්ල ත්‍රිපිටකයේ අඩංගුය. එය අසූ හාරදහසක්
ධර්මස්කන්ධයන්ගෙන් සමන්විත වේ. මේ සියල්ලම ගත්විට අංග නවයකින් යුක්තවේ. එසේ බුදුන් වහන්සේ නමක් දේශනා කරනු ලබන අංග නවයකින් සමන්විත දේශනා සියල්ල හෙවත්, ශාස්තෘ ශාසනය ‘නවාංග ශාස්තෘ ශාසනය’ නමින් ප්‍රචලිතය. එසේ අංග නවයකින් සමන්විත බුද්ධ ශාසනය හෙවත් ශාස්තෘ ශාසනය කවරේදැයි කෙටියෙන් සලකා බලමු.
සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන ඉතිමුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වේදැල්ල යනු ඒ අංග නවයයි. බෞද්ධයන් වශයෙන් අප සියලු දෙනාම මේ අංග නවය පිළිබඳව අවබෝධයක් ලබා සිටිය යුතුය. එවිට අප බුද්ධ ශාසනය පිළිබඳව මනා වැටහීමක් ඇති පිරිසක් බවට හෙවත් නියම බෞද්ධයන් බවට පත්වේ. බෞද්ධයන් වන අපි බොහෝ දෙනෙක් පරම්පරාවෙන් බෞද්ධයන් වනවා මිස ශාසනය පිළිබඳව හරි වැටහීමක් නැති පිරිසකි. එසේ වීමෙන් ඉතා ඉක්මනින් බුද්ධ ශාසනය තුරන් වීමට ඉඩ ඇත. කෙසේ වෙතත් ඉහත සඳහන් කළ අංග නවය පිළිබඳව සරල අවබෝධයක් ලබාගනිමු. එවිට ඒ ඔස්සේ ඔබට තවදුරටත් කරුණු දැනගැනීමට ඉඩ ලැබෙනු ඇත.
‘සුත්ත’ යනු සූත්‍රයි. බුදුන්වහන්සේ වරින් වර කවුරුන් හෝ කවර සිද්ධියක් හෝ මුල් කරගෙන දේශනා කර ඇති දහඅට දහසක් පමණ වන සූත්‍ර දේශනා මේ කොටසට අයත්වේ. ‘ගෙය්‍ය’ යනු ගාථා සහිත සූත්‍රයි. බුදුන්වහන්සේ යම් සූත්‍රයක් දේශනා කිරීමේදී දේශනාව අතරතුර හෝ දේශනාව අවසානයේ යම් ගාථාවක් දේශනා කරනවා. එවැනි ගාථාවන් සහිත සූත්‍ර ‘ගෙය්‍ය’ නමින් දැක්වෙනවා. ‘වෙය්‍යාකරණ’ යනුවෙන් හැඳින්වෙන්නේ විස්තර සහිත දේශනායි. ‘ගාථා’ යනුවෙන් හැඳින්වෙන්නේ ධම්මපදය වැනි ගාථා කොටසටයි. ‘උදාන’ යනු උදම් ඇනීමයි. යම් දුෂ්කර දෙයක් කිරීමේදී එය සාර්ථකව ඉටුකර ගත් පසු ඇතිවන්නේ බලවත් සතුටක්. එහිදී උදම් අනනවා හෙවත් ප්‍රීතිය පළකරනවා. බුදුන්වහන්සේ එසේ උදාන ප්‍රකාශ කර ඇති අවස්ථා බොහෝමයක් තිබෙනවා. සිදුහත් කුමාරයා මෙලොවට බිහිවූ අවස්ථාවේදී “අග්ගෝ හමස්මි ලෝකස්ස…” යන ගාථාවෙන් උදාන වාක්‍ය ප්‍රකාශ කර ඇති බව ඔබ අපි දන්නවා. බුද්ධත්වය ලබාගැනීමෙන් පසු බුදුන්වහන්සේ,
“අනේක ජාති සංසාරං
සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ
දුක්ඛාජාති පුනප්පුනං”
ආදී වශයෙන් උදාන වාක්‍ය ප්‍රකාශ කර තිබෙනවා. රහතන් වහන්සේලාත් හා රහත් මෙහෙණින් වහන්සේලාත් රහත් බව ලබා ප්‍රීතියට පත්ව උදාන ප්‍රකාශ කර ඇති අයුරු ‘ථෙරගාථා’ හා ‘ථෙරිගාථා’ වලදී පැහැදිලි වෙනවා. ‘මෙය මෙසේ සිදුවිය’ ආදී ලෙස දේශනා කළ දේශනා කොටස් ‘ඉතිවුත්ථක’ ලෙස සඳහන් වෙනවා. ‘ජාතක’ යන කොටස ගැන ඔබ හොඳින් දන්නවා. බුදුන්වහන්සේනමක් බුද්ධත්වයට පත්වීමට පෙර ඒ ඒ ජාතිවල උත්පත්තිය ලබා ඇති කතා පුවත් ‘ජාතක’ කතා යන කොටසට අයත් වෙනවා. පන්සිය පනස් ජාතික පොතෙහි මේ කතා පුවත් අඩංගු වෙනවා. ‘අබ්භූත ධම්ම’ යනු බුද්ධ ජීවිතයේ සිදුවී ඇති අද්භූතජනක හෙවත් පුදුමය ජනිත කරවන සිද්ධීන්ය. මෙවැනි අද්භූතජනක සිදුවීම් රාශියක්ම බුද්ධ ජීවිතයේ දක්නට ලැබෙනවා. යමාමහ පෙළහර දැක්වීම උදාහරණයක් ලෙස දැක්විය හැකියි. ‘වේදල්ල’ කොටස නවාංග ශාස්තෘ ශාසනයේ අවසාන අංගයයි. මිනිසුන් හා දෙවියන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් බුදුන් වහන්සේ විසින් දේශනා කළ දේශනා මේ වේදැල්ල අංගයට අයත් වෙනවා. උදාහරණයක් ලෙස මහා මංගල සූත්‍රය දැක්විය හැකියි. එම සූත්‍රය දේශනා කර තිබෙන්නේ, මංගල කාරණා මොනවා ද යන්න දෙවියන් විසින් බුදුන්ගෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
ඉහතින් සඳහන් කළේ නවාංග ශාස්තෘ ශාසනය පිළිබඳව කෙටි සටහනක්. පොතපත බලා දේශනාවන්ට හොඳින් සවන්දී තවත් තොරතුරු ඔබේ මතක ගබඩාවේ තැන්පත් කරගන්න. බෞද්ධ ඔබ මේ නවාංග ශාස්තෘ ශාසනය පිළිබඳව හොඳ දැනුමක් ලබාගෙන තිබිය යුතුමය. එය ත්‍රිපිටකය දැනගත්තා හා සමානය. සියල්ල අනිත්‍ය බව බුද්ධ දේශනාවයි. එසේ දේශනා කළ බුදුන් වහන්සේලාත් පිරිනිවන්පානවා. පිරිනිවන්පා තිබෙනවා. ඒ නිසා ශාස්තෘ ශාසනයත් අනිත්‍යයි. එහෙත් එය අනිත්‍ය වන්නේ සතර මහ භූතයන්ගේ ක්‍රියාකාරිත්වය නිසා නොව බෞද්ධ ශ්‍රාවකයන් වන ඔබ – අපගේම ක්‍රියාකාරිත්වය නිසයි. ඒ නිසා ශාස්තෘ ශාසනය හෙවත් බුද්ධ ශාසනය බොහෝ කල් පවත්වා ගෙන යෑමට නම් ඒ පිළිබඳව හොඳින් දැනුවත් වී සිටිය යුතුය. එහි වගකීම ඔබ – අප සතුය. ධර්මය ගැන මනා වැටහීමකින් හා අවබෝධයකින් ප්‍රඥාවන්තව කටයුතු කරමු. මේ අගනා දහම ප්‍රඥාවන්තයන්ටය. ප්‍රඥාවෙන් අඩු අයට නොවේ.
සියලු දෙනාට තෙරුවන් සරණයි.

