මේ ප්‍රශ්න ජය ගැනීමට නම්

cmadurawala
6 Min Read

අතිපූජ්‍ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නාහිමි

බුදු දහමෙහි ‘දුක්ඛ’ යන වචනය යොදා ඇත්තේ ජීවිතයේ දී මුහුණ පාන්නට සිදුවන සිත් කම්පා කරවන, සිතට වේදනා ගෙන දෙන මේ ලොකු – කුඩා සියලු ප්‍රශ්න හැඳින්වීමට ය. ධම්ම චක්කපවත්තන සූත්‍රයේ දුක්ඛ සත්‍යය විග්‍රහ කර තිබෙන ආකාරයෙන් මේ බව මනාව පැහැදිලි වේ. දුක තුන් ආකාර බව එනම්, දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ හා සංඛාර දුක්ඛ බව දක්වා තිබීමෙන් මේ බව වඩාත් තහවුරු වේ.

ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීම ඇරඹෙන්නේ ප්‍රශ්නයක් ඇති බව දැන ගැනීමෙන් අනතුරුවය. ප්‍රශ්නයක් ඇති බව දැනගන්නා තුරු නිරාකරණය කිරීම පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනඟී. ප්‍රශ්නයක් ඇති බව දැන ගත් අනතුරුව ප්‍රශ්නය මනාව අවබෝධ කොට ගතයුතු ය. ප්‍රශ්නයකට නියම විසඳුම ලබාගත හැක්කේ ප්‍රශ්නය කුමක්ද යන්න නිවැරදිව වටහා ගත්විට ය.

බෞද්ධ විග්‍රහය අනුව පැහැදිලි වන්නේ මේ සියලු ප්‍රශ්න පුද්ගල සන්තානයේ හටගන්නා ඒවා බව ය. පුද්ගලයා බාහිර ලෝකය සමග ගැටෙනවිට, ඒ ගැටීම හේතුවෙන් පුද්ගලයා ලබන වින්දන, ඒ වින්දනවල ප්‍රසන්න හෝ අප්‍රසන්නතාව අනුව ඔහු තුළ ඇති කෙරෙන ප්‍රතික්‍රියා, ආකල්ප යන සියල්ල දුක වශයෙන් හැඳින්වේ. මෙයින් පෙනී යන්නේ දුක නම්, පුද්ගලයාට බාහිරින් පවතින දෙයක් නොවන බවය. සංයුක්ත නිකායේ රෝහිතස්ස සූත්‍රයේ දැක්වෙන පරිදි සියලුම දුක් මේ බඹයක් පමණ වූ ශරීරය තුළම පවතී යන කියමනෙන් මේ බව සනාථ වේ.

දුක පුද්ගල සන්තානයේ ම හටගන්නේ නම්, ඒ සඳහා වගකිව යුතු වන්නේ පුද්ගලයාම ය. මේ බව ධම්මපදයේ ඉතා සරලව සහ ඍජුව සඳහන් වේ.

අත්තනා ව කතං පාපං අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං අත්තනාව විසුප්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤෝ විසොධයේ

පාපක්‍රියා කෙරෙන්නේ තමන් විසින්ම ය. තමන්ව කිලිටි කෙරෙන්නේ තමන් විසින්ම ය. පාපක්‍රියා නොකරන්නේද තමන් විසින්ම ය. පවිත්‍ර – අපවිත්‍ර බව තමන්ගේම ය. කෙනකුට තවකකු පවිත්‍ර කළ හැකි නොවේ. මෙය බෞද්ධ ජීවන දෘෂ්ටියේ සුවිශේෂ ලක්ෂණයක් දක්වන විග්‍රහයකි. නොයකුත් ආගම් මගින් ඉගැන්වෙන්නේ පුද්ගලයාගේ හොඳ – නරක, දුක – සැප සියල්ල පුද්ගලයාට ඉහළින් සිටින, පුද්ගලයාව පාලනය කරන දෙවිකෙනකුන් හෝ වෙනත් කිසියම් බලවේගයක් මගින් තීරණය කෙරෙන බව ය. මේ නිසා පුද්ගලයා දෙවියන්ගේ හෝ එබඳු යම් සුපිරි බලයක අතකොලුවක් බවට පත්වේ. බුදු දහම ඉදිරිපත් කරන්නේ මීට හාත්පසින්ම වෙනස් අදහසකි.

තමා තමාගේ ම ස්වාමියා බව “අත්තාහි අත්තනො නාථො” බුදුදහම අවධාරණය කර සිටී.

මේ ඉගැන්වීම්වලින් ගම්‍ය වන ප්‍රධාන කරුණු කිහිපයක් වේ. ඉන් එකක් නම්, දුක යනු පුද්ගල සන්තානයේ ම හටගන්නක් බව ය. දෙවැන්න මේ දුක ඇති කර ගන්නේ පුද්ගලයා විසින්ම බව ය. කරුණු එසේ නම්, දුක

හඳුනාගැනීමට පුද්ගලයා ඔහු තුළටම එබී බැලිය යුතුය. එසේම දුක් ගිනි නිවා ගැනීම තමන් විසින්ම කළ යුතු ය.

අපේ ප්‍රශ්න නිරාකරණය කරගැනීමට දෙවියන්ට කන්නලව් කිරීම, බලි – තොවිල් කිරීම, බාර – හාර වීම, යන්ත්‍ර – මන්ත්‍ර ගුරුකම්වල පිහිට පැතීම, කේන්දරය, ග්‍රහචක්‍රය අනුව ප්‍රශ්න විසඳේ යැයි බලාපොරොත්තුවෙන් සිටීම ඵලදායක ද? ගිලෙන්නට යන මිනිසා පිදුරු ගහෙත් එල්ලෙනවා යැයි කියමනක් ඇත. බියට තර්ජනයට ලක් වූවන් ගස් – ගල්වලට පවා වැඳුම් – පිදුම් කොට ආරක්ෂාව පතන බව ධම්මපදයේ සඳහන්වේ. දුර්වල අවස්ථාවකදී මිනිසා සාමාන්‍යයෙන් ක්‍රියා කරන පිළිවෙළය මේ. මෙබඳු පුද – පූජා, පැවැත්වීම ආදියෙන් කිසියම් තාවකාලික මානසික සහනයක් ලැබෙනවා විය හැකිය. ප්‍රශ්නවලට මුහුණ පෑමේ ශක්තිය වර්ධනය කරගැනීමට මේ මානසික සහනය උපකාරි වනවා විය හැකිය. ඉන් එහාට එවන් ක්‍රියාවන්ගෙන් ඵලක් ඇතැයි කිව නොහැකි ය.

ප්‍රශ්නවලට අප වගකිව යුතු නම්, ඒවා විසඳා ගැනීම ද අපේ ම වගකීම ය. අප ඒ සඳහා උත්සාහ ගතයුතු ය. ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය, පුරුෂ ධෛර්ය ඇති කර ගතයුතු ය. මේ සඳහා මිනිසාට කායික ශක්තියත් ආත්ම ශක්තියත් මානසික ශක්තියත් ඇත.

ඔබට කායික ශක්තියත්, ආත්ම ධෛර්යයත් අවශ්‍ය මානසික ශක්තියත් ඇති කර ගතහැකි නම්, බුදු දහම අනුව යමින් ප්‍රශ්නවලට එඩිතරව මුහුණ පාමින්, ප්‍රශ්න තේරුම් ගනිමින්, ඒවාට විසඳුම් සොයා ගතහැකි ය. බුදුදහම ප්‍රයෝජනවත් වන්නේ මෙතැනදී ය.

ප්‍රශ්න ජීවිතයෙන් සම්පූර්ණයෙන් ම තුරන් කරලීම අතිශය අපහසු කාර්යයක් වුවත් ප්‍රශ්නවලින් යටවී මිරිකී තැවෙමින් – පෙළෙමින් – දැවෙමින් , මැරි – මැරී ජීවත් වීම බොහෝ දුරට වළක්වා ගතහැකි ය. මේ සඳහා කළ යුත්තේ හැකිතාක් දුරට ප්‍රශ්න ඇති කර නොගැනීම ය. ප්‍රශ්න ඇතිවීමට බලපාන ආසන්නම හේතුව ජීවිතය පිළිබඳව අප තුළ ඇති දුරවබෝධයයි. මේ දුරවබෝධයට හේතු වන්නේ ලෝකය හා අපට අපේ සිතැඟි අනුව තේරුම් ගැනීමට උත්සාහ ගැනීම ය. කිසිවක් අපට ප්‍රිය වේද අපි එයට ඇලෙන්නට, ආශා කරන්නට පටන් ගනිමු. කිසිවක් අපට අප්‍රියවේද එය පිළිකුල් කිරීමට එයට ද්වේෂ කිරීමට, පටන් ගනිමු. අප ලෝකය දෙස බලන්නේ මේ දෘෂ්ටි කෝණ දෙකේ මෙහෙය වීමෙන්. මේ නිසා අප මනසෙහි විශාල ගැටීමක් ඇතිවේ. ආශා කරන දේ ළංකර ගන්නටත් ද්වේෂ කරන දේ ලැබුණුවිට හද වෛරයෙන් උතුරා යෑමටත් පටන් ගනී. ආශා කරන දේ නොලැබුණොත් එසේත් නැත්නම් ආශාවෙන් අත්පත් කර ගත් දේ නැති වුණොත් හද දුකෙන් තැවි තැවී හඬන්නට වේ.

අපට අප්‍රිය, අප ද්වේෂ කරන කිසිවක් අපට ළංවෙත්ම අපේ සිත ක්‍රෝධයෙන් වෛරයෙන් ඉරි තැලී පිපිරෙන්නට වේ. එවිට අප පුළුවන් තරම් උත්සාහ ගන්නේ ඒ අප්‍රසන්න දේ ප්‍රතික්ෂේප කිරීමටයි.

අපේ සියලු ප්‍රශ්න මේ ආශාව හා ද්වේෂ නිසා හටගන්නේ ය. ඒ බව තේරුම්ගත් විට අපේ කරදර සියල්ල අපට බොහෝ දුරට පැහැදිලි වෙනවා ඇති. මෙයින් සියලුම ප්‍රශ්න සම්පූර්ණයෙන් විසඳා ගැනීමට අපට නොහැකි වුණත් ඒවායෙන් පෙළීමට පත්වීම හෝ මානසික – කායික වශයෙන් රෝගීන් බවට පත්වීම බොහෝ දුරට අඩු කරගත හැකි වෙනවා ඇති.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *